Labels

Wednesday, July 6, 2016

කර්මය දුබල කළ හැකි ධර්මය

මේ ලෝකයට පහළ වූ ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. බව කතරේ අතරමංව සසර ගින්නෙන් දැවෙන බොහෝ දුක් විඳින ඒ සත්ත්වයාට භයානක වූ සසරින් අතමිඳී උතුම් ශාන්තියක් කරා පියනැගිය හැකි ඉතාමත් අසිරිමත් ධර්ම මාර්ගයක් මේ ලෝකයට එළිපෙහෙළි කර වදාළේ අපේ තථාගතයන් වහන්සේ යි.

ස්වාමින් වහන්ස, බුදුරජාණන් වහන්සේ විසින් දෙසා වදාළා ධර්මයේ චේතනාව ලෙස හඳුනා දී ඇත්තේ කුමක්ද?

අප කවුරුත් කර්ම සිදු කරනවා. සෑම මොහොතකම කුසල, අකුසල පින්, පව් සිදුවෙනවා. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි - චේතනාත්මකව කරන ක්‍රියාව තමයි පින් හෝ පව් ලෙසට වර්ග වෙන්නේ. චේතනාවකින් තොරව කරන කර්ම පින්, පව් කියා වර්ග කිරීමක් නැහැ. උදාහරණයක් ලෙස වෛද්‍යවරයෙකු වෙත අමාරු රෝගියකු එනවා. වෛද්‍යවරයා තීරණය කරනවා මේ රෝගියා වහාම ශල්‍ය කර්මයකට භාජනය කිරීමට. ශල්‍ය කර්මය තුළදී මේ රෝගියා මිය යනවා. ශල්‍ය කර්මය වරදිනවා. ඔබ මොකද හිතන්නේ වෛද්‍යවරයාට එය පාපයක්ද? පිනක්ද?
සිදුවුණේ. නැතිනම් දෙකම සිදුවන්නේ නැද්ද? වෛද්‍යවරයාට ලෙඩා මියගියාට පාපයක් සිදුවූයේ නැහැ. ඇයි ඒ? අප සිතයි වෛද්‍යවරයා නිසා රෝගියා මිය ගියා කියා. නමුත් ධර්මානුකූලව බැලු විට ඔහු හොඳ සිතිවිල්ලකින් තව දිනයක් හෝ රෝගියා ජීවත් කරවීමට තමා දන්නා ශාස්ත්‍රය අනුව ක්‍රියාක්මක වුණා. ඒ චේතනාව නම් රෝගියා ජීවත් වීමට ඇති පරිසරය උදා කිරීම. මරන්නට අදහසක් තිබුණේ නැහැ. නමුත් මියගියා. එනිසා පාපයක් සිදු වන්නේ නැහැ.
අප ඇවිදිනකොට පොඩි පොඩි සතුන් කී දෙනෙක් අපේ කකුලට යටවෙලා මැරෙනවාද? එවිට අපට පව් සිදු වන්නේ නැහැ. ඇයි ඒ? සත්තු මැරීමට අදහසක් , චේතනාවක් අප තුළ නැහැ. අප කාටත් මහා කර්ම ගොඩක් තිබෙනවා. මේ කර්ම බර, බැරි බර කරගහගෙන අපට යන්න සිදුවෙලා. කර්මය කියන්නේ බීජයක්. බීජ තුළින් තමා පැළ හට ගන්නේ. ඇති කළ ඇත. නැතිකළ නැත. ඇති කළ කියන්නේ බීජ තිබෙන විට පැළ හට ගැනීමයි. බීජ නැත්නම් පැළද නැහැ. කර්ම බීජ තිබෙන කොට අලුත් අලුත් භව නමැති පැළ හට ගන්නවා. මේ ජීවිතයත් කර්මය නමැති බීජ මත පැළ වූ අවස්ථාවක්.

කර්මය පාලනය කරගත හැක්කේ කෙසේද?

කළ කර්ම, කර ගත් කර්ම සිදුවූ කර්ම, පාලනය කරගන්න පුළුවන්. සුදු කර්ම හා කළු කර්ම කියා දෙකක් තිබෙනවා. යහපත්, අභිවෘද්ධිමත්, ධර්ම මාර්ගය බලවත් කරන කර්ම සුදු කර්මයි. අප අඳුරු කරන, සසර ගමන පටලවන, ජීවිතයට විවිධ විපත් ගෙනදෙන, කරදර ගෙනදෙන කර්ම කළු කර්මයි. කර්මයේ කාර්යභාරය, ඒ බර අපට දරන්නට සිදුවෙනවා. මහා පුණ්‍ය කර්ම තුළින් පාප කර්ම යටපත් කළ හැකියි. දුබල කර්මය ප්‍රබල කර්මයකින් යට කළ හැකියි. ඒක හරියට පුංචි භාජනයක් විශාල භාජනයකින් වසා දමනවා වගේ දෙයක්. නමුත් බොහෝ අය එහි අනෙක් පැත්තයි කරන්නේ. පුණ්‍ය කර්මයක් නිසා පෙර පිනට ලැබුණ මේ මනුස්ස ජීවිතය, බුද්ධෝප්පත්ති කාලයක පාප කර්ම වලින් යටකර දමනවා නම් එය කනගාටුදායක කරුණක්. මහා කළු, ඝන තද වළාකුළු කඩා බිඳගෙන සුණු විසුණු කරගෙන එන පුන්සඳ වගේ පුද්ගලයකුට පුළුවන් ආලෝකමත් වෙන්න.
කර්මය හරි පුදුම දෙයක්. අචින්තනීය ධර්මයක්. සිහි නොකළ යුතු කර්ම හතරක් දේශනාවේ සඳහන්. ඒ බුද්ධ විෂය, ධ්‍යාන සමාපත්තිවල බලය , ලෝක විෂය, කර්ම විෂය. මේවා සිහි කරමින් සිටින අයෙක් සිහි මුලා වෙන බවයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. නිදි වරන පුද්ගලයාට රාත්‍රිය දිගයි. පයින් යන කෙනාට යොදුන දිගයි. කර්මය කර්ම රැස්වෙන ක්‍රමය, කර්මය නසා දැමීම ගැන අවබෝධයක් නැති පුද්ගලයාට සසර දිගයි. සද්ධර්මය දන්නේ නැත්නම්, බුදුබණ ශ්‍රවණය කරන්නේ නැත්නම් සසර ගමන බොහෝම ආයාසකරයි, දිගයි, මුලාවෙයි.

අප දෝලනය වන්නේ කර්මය අනුවද?

කර්මය ගැන මෙසේ සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ කර්මය කුඹුරකටත්, විඤ්ඤාණය බීජයකටත්, තණ්හාව ජලයටත් උපමා කළා. කර්මය කුඹුරට උපමා කළේ ඇයි? අස්වැන්න ගන්නේ කොහෙන්ද? කුඹුරෙන්. විඤ්ඤාණය විසින් තමයි සිත නමැති බීජය වපුරා කර්ම අස්වැන්න ලබා දෙන්නේ. කුඹුරේ බීජය වැපිරීමට තෙතමනය අවශ්‍යයි. තණ්හාව එයයි. මේ නිසා විඤ්ඤාණය විවිධ තැන්වල අප බීජ වශයෙන් පැළ කරනවා. එයින් මහා කුඹුරක අස්වැන්නක් ලැබෙනවා. මේ සිත අයාලේ යන්න දුන්නොත් ලැබෙන්නේ පාප අස්වැන්නක්. සිත තමා තුළ පවත්වා ගන්නවානම් පුණ්‍ය අස්වැන්නක් ලැබෙනවා. නමුත් අද මිනිසුන් පින නැති කරගෙන පාපය වවාගෙන පාපකාරි දේ කරනවා.

මේ සම්බන්ධව ඔබට කථාවක් කියන්නම් . අතීතයේ දී සිතුල්පව්ව ආශ්‍රිතව සිටියා “විලක්ක” කියා වැද්දෙක්. ඔහු කැමැති පාප අස්වැන්න ලබන්නයි. කුසලය, අකුසලය ගැන විශ්වාසයක් නැහැ. කර්මය, කර්මඵලය විශ්වාසයක් නැහැ. හොඳ නරක ගැන පරලොව ගැන විශ්වාසයක් නැහැ. පෝය දිනක මිනිසුන් සිල් සමාදන් වෙන්න යනවා. දන්දෙනවා, විශාල පුණ්‍ය කර්ම කරනවා. වැද්දා හිතනවා මේවා කරලා කාටද හරි ගියේ? මම සතෙක් මරාගන්න ඕන කියා වනයට ගියා. වැද්දා වනයේ බොහෝ දුර ගියා. නමුත් සතෙකු මුණ ගැහුනේ නැහැ. වනය මැදට ගියා. වැද්දා දුටුවා පැටියකු බිහිකළ මුවදෙනෙක් බොහෝම ආදරයෙන් පැටියාට උණුසුම දෙමින් සිටිනවා. වැද්දා කල්පනා කරනවා පැටියා බිහි කළ ගමන් මේ සතා මරන්න හොඳ නැහැ කියා. ඒ සමඟම කල්පනා වෙනවා අද එක සතෙක්වත් මරාගත්තේ නැහැ. කෑමට දෙයක් නැහැ කියා හොඳ සිතිවිල්ල පසෙක ලා මුවදෙන වෙත පැන්නා. බියට පත් වූ මුවදෙන අහකට දිව්වා. පැටියා හසුවුණා. වැද්දා එවලෙහි බිහිකළ පැටියා පණ පිටින්ම අනුභව කළා. ඒ සමඟම වැද්දාට මහා දහඩියක් දාන්නට පටන් ගත්තා. අපහසුවක් දැනුනා. පිච්චෙන්න කසන්න ගත්තා. වැද්දගේ ශරීරයෙන් මහා දුඟදක් හැමුවා. මෙයා දුවන්න ගත්තා. වතුර සොයාගෙන දුවනවා. කිසිදු ළිඳක වතුර නැහැ. බැරි තැන සිතුල්පව්ව විහාරයේ දාන ශාලාව වෙත දිව ගියා. කලගෙඩි දහසයක පැන් පුරවා තිබුණා. රහතන් වහන්සේලා සිය ගණනක් වැඩ විසුවා. විලක්ක වැද්දාට බොන්න එක කලයකවත් පැන් පෙනෙන්නේ නැහැ. මෙයා කෑගසා අහනවා අනේ මගේ ඇඟ පිච්චෙනවා දැඩි තිබහක් තිබෙන්නේ මේ එක කළයකවත් ජලය නැහැනේ කියා.

ප්‍රධාන ස්වාමින් වහන්සේ දාන ශාලාවට වැඩ අසනවා “පින්වත, ඇයි මෙසේ කෑ කෝ ගසන්නේ?” “අනේ ස්වාමිනි, වතුර පිපාසයි. මේ එක කළයකවත් වතුර ටිකක් නැහැ”. ස්වාමින් වහන්සේ බැලු විට කළ සියල්ලේම වතුර පිරී තිබෙනවා. නමුත් වැද්දාට පෙනෙන්නේ වතුර නැති ලෙසයි. ස්වාමින් වහන්සේ වක්කරනවා වැද්දා කට තබාගෙන පැන් බොනවා. කළ දහසයේම වතුර බිව්වා. ඒත් පිපාසය සංසිඳෙන්නේ නැහැ. කර්මය අනුව පහළට වැටී දුක් විඳීමට නියමිත මේ වැද්දා මනුස්ස ලෝකයේම ඒ බව පෙන්නුම් කරනවා. විලක්ක කළගෙඩි සියල්ලේම වතුර බීලත් ඔබගේ පිපාසය නො සංසිඳුනේ ඔබනම් දුක්ඛිත ජීවිතයකට යන බවයි.පෙනෙන්නේ කියා හිමියන් වදාළහ. වැද්දා බිය වුණා. ඔබ කළ විශාල පාපි කි‍්‍රයාවක් නිසා පණ පිටින්ම ඔබ පේ‍්‍රතයෙක් වී තිබෙන්නේ. මහා අඳුරක් ඔබ ඉදිරියේ තිබෙන්නේ. ස්වාමිනි, මටත් එය දැනෙනවා. මෙහෙම දුර්ගන්ධයක්, පිපාසයක් මට දැනී නැහැ. ස්වාමිනි, මම දැන් කළ යුත්තේ කුමක්ද? මගේ ජීවිතයේ පවු විතරමයි කළේ. සතුන් මැරෙනවිට ලතෝනි දුන් ආකාරය මට සිහිපත් වෙනවා. මගේ ජීවිතය අඳුරට යන ආකාරයත් මට පෙනෙනවා. අනේ ස්වාමිනි, මාව සුවපත් කරන්න කියා ඉල්ලා සිටියා. ඒ රහතන් වහන්සේ අනුශාසනා කරනවා මහා පාපි කෙනෙකු වුවත් ඔබට ගොඩ ඒමට පුළුවන්. එහෙම වුණොත් කළු වළාකුළු දෙබෑකරගෙන පුර පෝ දින බබළන හඳක් වගේ පිරිසුදු වේවි.

ඔහු ප්‍රාණඝාතයෙන් නිදහස් වුණා. අල්ලාගෙන සිටි සතුන් මුදා හැරියා. ඔහු මහණ දම් පිරුවා. රහතන් වහන්සේගේ මඟ පෙන්වීම මත ටික ටික පාපී ක්‍රියා යටපත් කළා. සතර සෘර්ධිපාද වැඩුවා. අකුසලයට ඇදෙන සිත මැඬ ගත්තා, හොඳ වැඩවලට වීර්යය කළා, දහම ඉගෙන ගෙන ඒ අනුව ක්‍රියා කළා. විලක්ක කියන ඒ වැද්දා දැන් විලක්කතිස්ස හිමියන්. උන්වහන්සේ නිරය, පේ‍්‍රත ලෝකය පෙනී පෙනී සිට රහතන් වහන්සේ නමක් බවට පත්වූවා.

මෙයින් අපට හොඳ පණිවිඩයක් දෙනවා. දැන හෝ නොදැන අප අතින් පාප කර්ම සිදුවුවත්, බුදුදහමට අනුව ආයති සංවරයට පැමිණ කළ වැරැදි හදාගෙන නැවත සුබ පැත්තට ආලෝකමත් ගමනක් යා හැකි බව. අප මේ ජීවිතයේ මිය ගියාට සිදු කළ ක්‍රියාව මිය යන්නේ නැහැ. අකුසල කළ පසු සිත අකුසලයට බරවෙනවා. පින් කළොත් සිත පිනට හුරු පුරුදු වෙනවා.




මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති කථිකාචාර්ය, 
දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ පොසොන් අමාවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජූලි 04 වන සඳුදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment