Labels

Saturday, July 2, 2016

ධර්ම සන්නිවේදනය


ධර්ම සන්නිවේදනයෙන් අපේක්ෂිත අරමුණු අටක් අනුරුද්ධ සූත්‍රයේ දැක්වේ. ඒ අනුව ධර්මය දේශනා කළ යුත්තේ පුද්ගලයා තුළ අල්පේච්ඡතාව ඇතිකිරීම පිණිසය. සතුට වර්ධනය කිරීම පිණිසය. විවේක සුවය ඇති කිරීම පිණිසය. ආරබ්ධ වීර්ය ඇති කිරීම පිණිසය. සිහියෙන් යුක්තව කටයුතු කිරීමට අවශ්‍ය පුහුණුව පිණිසය. චිත්ත සමාධිය වර්ධනය කිරීම පිණිසය. ප්‍රඥාව වර්ධනය කිරීම පිණිසය. ප්‍රපංච ධර්ම (තණ්හා මාන දිට්ඨි) ඉවත්කිරීම පිණිසය.
නක් උදායි හිමියෝ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි විශාල ගිහි පිරිසක් පිරිවරාගෙන ධර්ම දේශනාවක් පවත්වමින් සිටියහ. ආනන්ද තෙරණුවෝ එම සිද්ධිය බුදුරජාණන් වහන්සේට සැළකළහ.
බුදුරජාණන් වහන්සේ එම අවස්ථාවෙහි ආනන්ද හිමියන් අමතා අන්‍යයන්ට ධර්ම දේශනා කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් බව දැන්වූහ. (නඛො ආනන්ද සුකරං පරෙසං ධම්මං දේසෙතුං- අංගුත්තර පංචක නිපාත උදායි සුත්ත) ආරම්භක ධර්මදූත කණ්ඩායමේ සිට වර්තමානය දක්වාම සියලු බෞද්ධ ධර්මදූතයෝ මෙකී දුෂ්කරතාවට මුහුණ දුන් බව නිසැකය. සියලු දුෂ්කරතා මධ්‍යයෙහි බුදුරදුන්ගේ සදහම් පණිවිඩය වසර දෙදහස් ගණනක් තිස්සේ ලොවට සන්නිවේදනය කළහ. මුල් අවධියේ ධර්මය සන්නිවේදනය කළේ දේශනා මාර්ගයෙන්ය. වර්තමානයේ ඒ සඳහා බහුවිධ මාධ්‍ය උපයෝගීකරගනු ලැබේ. මෙම බහුවිධ මාධ්‍ය ඔස්සේ ලිඛිතව හා වාචිකව ධර්මය සන්නිවේදනය කෙරේ. ධර්ම සන්නිවේදනයේ බහුවිධ මාධ්‍ය භාවිතය මෙන්ම ධර්ම සන්නිවේදකයන්ගේ විවිධ ක්‍රියාකාරකම් අනුව මෙහි ගුණාත්මක ලක්ෂණ මෙන්ම පරිහානි ලක්ෂණ ද දක්නට ලැබේ. විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමගම බුදුදහම කෙරෙහි ලෝක උනන්දුව වැඩෙමින් පවතී. මෙනිසා මෙතෙක් නොඇසූ මාතෘකා යටතේ බුදුසමය අධ්‍යනය කිරීමේ අවස්ථා උදාවී තිබේ. විවිධ විෂයන් බුදුරදුන්ගේ ඉගැන්වීම් සමඟ තුලනය කරමින් අධ්‍යනය කිරීමේ උනන්දුව ලොව පුරා සෑම රටකම විශ්වවිද්‍යාල මට්ටමින් ක්‍රියාත්මක වේ. ශාස්ත්‍රීය ලෙස බුදුසමය හදාරන්නන්ට අමතරව තම දෛනික ජීවන ගැටලුවලට බුදුරදුන්ගේ ඉගැන්වීම් ඇසුරෙන් විසඳුම් සොයන පිරිසක් ද දක්නට ලැබේ. මෙම පසුබිම යටතේ ධර්ම සන්නිවේදකයෙකු වෙත පැවරෙන වගකීම විශාලය. බුදුරදුන්ගේ දේශනා තුළින්ම මෙයට විසඳුමක් සපයා ගත හැකි වේ. එම විසඳුම් කවරේදැයි විමසා බැලීම කාලෝචිතය.

බුදුරදුන්ගේ දහම එලෙසින්ම දේශනා කරන ධර්ම සන්නිවේදකයන් මෙන්ම එම ධර්මය දන්නා අය ද එය පිළිපදින පුද්ගලයන්ද ලොව අතිශය දුර්ලභ බව අංගුත්තර නිකායේ පංචක නිපාතයේ පිංගියානි සූත්‍රයේ දැක්වේ. මේ අනුව ධර්ම සන්නිවේදකයාගේ කාර්ය භාරය සුවිශේෂ වූවක් බව පැහැදිලිය. ධර්ම සන්නිවේදනය ඵලදායි එකක් බවට පත්කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් රැසක් සූත්‍රදේශනා තුළ අන්තර්ගත වේ.

ධර්ම සන්නිවේදනයේ මුඛ්‍යතම අරමුණ වනුයේ අනාදිමත් කලෙක සිට පුද්ගලයා මුහුණ දෙන දුක පිළිබඳ ගැටලුව හා එහි ස්වභාවය පැහැදිලිකොට එයින් මිදීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදීමයි. විමුක්තිය සාක්ෂාත් කිරීම කෙටිකලකින් සිදුවන්නක් නොවේ. ඒ සඳහා ගන්නා උත්සාහය මත එහි කාලය තීරණය වේ. අනෙක් අතට සියලු දෙනාටම එකවර නිවන් අවබෝධ කළ නොහැකිය. නිවන් අවබෝධය තම ඒකායන අරමුණ වුවද වගකීම් හා බැඳීම් හේතුවෙන් එම මුඛ්‍ය අරමුණට ලඟාවීමට අපොහොසත් විශාල පිරිසක් ද දක්නට ලැබේ. 

මෙම පිරිසට තම දෛනික සමාජ ජීවිතය පාපයෙන් හා අකුශලයෙන් මුදවා පුණ්‍ය හා කුශල ප්‍රතිපදාවට යොමුකරගැනීමට අවශ්‍ය මඟපෙන්වීම ලැබෙන පරිදි ධර්ම දේශනා කළ යුතු වේ. සමාජ වගකීම් සමූහයකින් බැඳී සිටින එවැන්නන් කඩිනමින් විමුක්තියට යොමු කිරීමට වඩා ක්‍රමයෙන් නිවන් පිළිවෙතට යොමුවන පරිදි අනුශාසනා කළ යුතු වේ. මේ පිළිබඳ ධර්මය සන්නිවේදකයන්ට පුළුල් අවබෝධයක් තිබිය යුතු වේ. අත්දැකීම් තුළින් තමන්ට කළ නොහැකි දෙයක් අන් අයවෙත බලෙන් ආරෝපණය කිරීම යෝග්‍ය නොවේ. ඇතැම් ධර්ම සන්නිවේදකයන්ට සමකාලීන සමාජ ප්‍රශ්න පිළිබඳ පවතින දුරවබෝධය හේතුවෙන් ගිහි සමාජයට ඉදිරිපත් කළ යුතු හා නොකළ යුතු දහම් කරුණු මෙන්ම සූත්‍ර දේශනා කවරේදැයි තෝරා බේරා ගැනීමේ නොහැකියාව පවතී. දැනුමෙහි මෙන්ම අවබෝධයේ පවතින විවිධත්වය නිසා ඇතැම් ශ්‍රාවකයන්ට එම කරුණු නිසි පරිදි වටහා ගැනීමට නොහැකි වන අතර එනිසාම ඇතැම් ශ්‍රාවකයන් විවිධ ස්වරූපයකින් හැසිරෙනු දක්නට ලැබේ. ධර්ම සන්නිවේදනයෙන් අපේක්ෂිත අරමුණු අටක් අනුරුද්ධ සූත්‍රයේ දැක්වේ. ඒ අනුව ධර්මය දේශනා කළ යුත්තේ පුද්ගලයා තුළ අල්පේච්ඡතාව ඇතිකිරීම පිණිසය. සතුට වර්ධනය කිරීම පිණිසය. විවේක සුවය ඇති කිරීම පිණිසය. ආරබ්ධ වීර්ය ඇති කිරීම පිණිසය. සිහියෙන් යුක්තව කටයුතු කිරීමට අවශ්‍ය පුහුණුව පිණිසය. චිත්ත සමාධිය වර්ධනය කිරීම පිණිසය. ප්‍රඥාව වර්ධනය කිරීම පිණිසය. ප්‍රපංච ධර්ම (තණ්හා මාන දිට්ඨි) ඉවත්කිරීම පිණිසය.

ධර්මය ඉදිරිපත්කරන ආකාරය මත උක්ත අරමුණුවලට ළඟාවීම හෝ නොවීම තීරණය වේ. මේ සම්බන්ධයෙන් වැදගත් වන උපදෙස් පහක් ඉහතින් සඳහන් කළ උදායී සූත්‍රයෙහි දක්නට ලැබේ. ඒ අනුව ධර්ම දේශකයා විසින් ඔහුගේ හෝ ඇයගේ දේශනාව ඉදිරිපත් කිරීමේ දී එහි අනුපිළිවෙල (ආනුපුබ්බික කථා) විස්තරාත්මක කරුණු දැක්වීම (පරියාය දස්සාවි කථා) අසන්නා කෙරෙහි දක්වන සානුකම්පිත බව (පරානුද්දය කථං) ලාභාපේක්ෂාවෙන් තොරවීම (නාමිසන්තර කථා) අනුන් හෙලා නොදැකීම (අනුපහච්ච) ආදිය කෙරෙහි සැළකිලිමත් විය යුතු වේ. මෙම කරුණු පහ එකිනෙක ගෙන විවේක බුද්ධියෙන් යුක්තව ගැඹුරින් විශ්ලේෂණය කළ විට ධර්ම සන්නිවේදනය හා සම්බන්ධ නූතන ගැටලු කවරේදැයි වටහාගත හැකිවේ.

ධර්ම දේශනයකට සවන් යොමුකිරීමෙන් අනතුරුව ශ්‍රාවකයා තුළ ඇතිවෙන පරිවර්තනය කෙබදු එකක්ද යන්න ධම්මසවන සූත්‍රයෙහි දැක්වේ. ඒ අනුව ධර්ම දේශනය තුළින් පළමුව ශ්‍රාවකයාට මෙතෙක් නොතිබුණු නව දැනුමක් ලැබිය යුතුවේ. (අස්සුතං සුණාති) දෙවනුව දැනට තමා තුළ පවතින අවබෝධය නිවැරදි වීමත් ස්ථාවර වීමත් සිදුවිය යුතුවේ(සුතං පරියෝදපෙති) තෙවනුව මෙතෙක් පැවැතී සැකමුසු තැන් දුරුවී ධර්මය පිළිබඳ දැනුමෙහි නිරවද්‍ය බව තහවුරු විය යුතුය. (ක¾ඩ්ඛං විතරති) සිව්වෙනුව ධර්මය සම්බන්ධයෙන් තම නිවැරදි දැක්ම හෙවත් දෘෂ්ඨිය ශක්තිමත් කරගැනීම සිදුවිය යුතුය. (දිට්ඨං උජුං කරොති) පස්වෙනුව මේ සියලු පරිවර්තනයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේ විශේෂ මානසික ප්‍රබෝධයක් ඇතිවිය යුතුවේ. 

(චිත්තමස්ස පසිදීති) ශ්‍රාවකයා තුළ ධර්ම දේශනයක පිරිසුදු බව තීරණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ නිර්ණායකයක් කස්සප සංයුත්තයේ චන්දූපම සූත්‍රයේ ඇතුළත් වේ. ඒ අනුව “යම් භික්ෂුවක් මගේ බණ අසනවානම් බණ අසා පහදිනවානම් පැහැදි පැහැදුණු බවක් දක්වනවා නම් අනේ අපූරුයි” කියා මෙවැනි පටු අදහසකින් අන් අයට දහම් දෙසන්නේ නම් එම භික්ෂුවගේ ධර්ම දේශනය අපිරිසුදුය. එහෙත් කිසියම් භික්ෂුවක් “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මැනවින් දේශනා කරන ලදී. නුවණැත්තන් විසින් එය තම තමන්ම වටහාගත යුතු ය. මගේ බණ අසනවානම් අසා අවබෝධකරගන්නවා නම් අවබෝධකොට පිළිපදිනවානම් හොඳයි.” යන පිවිතුරු අදහසින් අන් අයට දහම් දෙසන්නේ නම් එම භික්ෂුවගේ ධර්ම දේශනය පිරිසුදුය. ධර්ම සන්නිවේදනය සම්බන්ධයෙන් දේශක ශ්‍රාවක අවබෝධයේ පවතින ඌණතා ධර්ම දේශනා පිළිබඳ විවිධ විෂමතා ඇතිවීමට හේතුවී තිබේ.



කොළඹ විශ්වවිද්‍යාලයේ, 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත 
උඩුහාවර ආනන්ද හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ උඳුවප් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2014 ක් වූ දෙසැම්බර් 14 වන ඉරිදා බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment