Labels

Friday, July 1, 2016

සාර්ථක යුග දිවියකට බුදුදහමෙන් උපදෙස්



ඔබේ යුගදිවිය සාර්ථකද? මෙයට පිළිතුරු ඔබගේ සිත තුළින්ම ඔබට ලැබේවි. නමුත් එම පිළිතුර ඔබගේ පෞද්ගලික අද්දැකීම් පදනම් කරගත් එකක් වීමට බොහෝදුරට ඉඩ තිබේ. ඒ නිසා එම පිළිතුරු පොදුවේ කාටත් පිළිපැදීමට තරම් වටිනා එකක් නොවීමටද ඉඩ තිබේ. යුගදිවිය පිළිබඳ බුදුරදුන්ගේ ආකල්පය කොයිවගේද? යන්න විමසා බැලිය යුතු වන්නේ එය හුදු පෞද්ගලික අද්දැකීමක් පමණක් පදනම් කරගත් පටු විග්‍රහයක් නොවන බැවිනි.බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද යුගදිවිය වර්තමාන අපට වැදගත් වන්නේ මේ නිසාය.
සිද්ධාර්ථ කුමාරයා මිනිසුන් අතර බොහෝ සැප සම්පත් විඳින ලද ඉතා සුඛෝපභෝගි ජීවිතයක් ගත කළ රජ කුමාරයෙකි. එතුමාගේ යුග දිවිය ද අතිශයින්ම සාර්ථක හා පී‍්‍රතිමත් එකක් වූ බව ඓතිහාසික පොත්පත් වලින් පැහැදිලි වේ. තවද සිද්ධාර්ථ කුමාරයා තමන් විවාහ වීමට කැමැති කුමරිය කෙබඳුද? යන්න පවසා ශුද්ධෝදන රජතුමාට ලිපියක් යවන ලද බව ලලිත විස්තරය නම් වූ මහායාන පොතේ සඳහන් වන අතර එහි පරිවර්තනය මෙසේය.

”මට කුමරියක පාවා දෙතොත් ඇය මෙහි සඳහන් වන ගුණ ඇත්තියක විය යුතු. ඕ රූප මදයෙන් මත් නොවිය යුතු මවක සේ සොහොයුරියක සේ මෙත් සිතැත්තියක විය යුතු. මහණ බමුණනට දන් දීමෙහි ඇලුනියක විය යුතු. මානය, කිපෙන ගතිය, දෘඪ බව, ඊර්ෂ්‍යාව, වංක බව යන දුර්ගුණ නැති ස්වාමි භක්තිය ඇති උඩඟු නොවූ හැඩි දැඩි නොවූ රසයෙහි ගිජු නොවු ගැයුම් වැයුම් ආදී වශයෙන් පැවැත්වෙන ගාලගෝට්ට් කෙරෙහි ඇලුම් නැති සුවඳ විලවුන් දැරීමෙහි ආශා නැති ලොහොබි නොවූ අන්සතු දෙය දැක ආශා නොකරන, සත්‍යාවාදී වූ සැපතෙහි දී ආඩම්බර නොවන විපතේදී නොතැවෙන ඒ හැමතැනදී මධ්‍යස්ථ (උපේක්ෂක) ව සිටින ලජ්ජා බය ඇති දෘෂ්ටි මංගල ශ්‍රැතමංගල්‍යයෙහි පි‍්‍රයදෑ දැකුම් ආදියෙන් සුබපල ලැබෙතැයි යන මතයෙහිද) නොඇලුණු ගුණ දහමින් යුත් හැමකල්හි හිත, කය, වචනය යන තුන්දොරම පිරිසුදු ලෙස රැකගන්නා අලස බැවින් කුසීත බවින් දුරුවු කුලමාන, වංශ මානයෙන් මත් නොවූ විමසා කටයුතු කරන ධර්මචාරි වූ නැදිමයිලන් කෙරෙහි ගුරුනට සේ ආදර ගෞරව ඇති දාසියක සේ යටපත් මවක සේ කාරුණික කුහක නොවූ එකියක විය යුතු”(සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය – 24- 25 පිටු)
මෙයින් පැහැදිලි වන්නේ විවාහයට ප්‍රථම සිද්ධාර්ථ කුමාරයා විසින් පී‍්‍රතිමත් යුග ජීවිතයකට ගැලපෙන කුමාරිකාවක් කෙසේ විය යුතුද යන්න පිළිබද සිතා සිටි බවය. ඒ අනුව වටිනා ගුණධර්ම රාශියකින් යුතු කුමරියක සරණ පවා ගැනීමට කටයුතු කළහ.
සිද්ධාර්ථ කුමාරයා ද මෙබඳු කුලකතකට නොදෙවෙනි ආකාරයේ ගුණ ධර්ම දියුණු කළ එකල තරුණියන් අතර ජනපි‍්‍රය චරිතයක් වූ බව පෙනේ. උන්වහන්සේ තුළ තිබුණු තාරුණ්‍යය මුසු වූ පෞරුෂත්වය දුටු කිසාගෝතමිය මෙලෙස ප්‍රකාශ කළේ ඒ නිසාය.
“මෙබඳු පුතෙකු ලද මාතාව අනිවාර්යයෙන්ම
නිවීමෙන් සැනසෙන්නේය. ඒ වගේම පියාද
අනිවාර්යයෙන්ම නිවීමෙන් සැනසෙන්නේය. මෙබඳු ස්වාමියෙකු ලද ස්ත්‍රියද අනිවාර්යයෙන් ම නිවීමෙන් සැනසෙන්නීය.
ඉහත සඳහන් ප්‍රකාශය “නිබ්බුතපද” යනුවෙන් ප්‍රසිද්ධියට පත්ව තිබේ. ගාථාවේ පද පෙළ ඉතා සරල වුවත් එයින් ගම්‍ය වන අර්ථය එතරම් සරල නැත. ස්වාමි පුරුෂයෙකුට එකම මොහොතක සිය දෙමාපියන් හා බිරිඳ සැනසීමට පත් කළ හැකි නම් ඒ ඉතා දුර්ලභ කාරණයකි. කෙනෙකුගේ විවාහක ජීවිතය වඩාත් සාර්ථක වන්නේ එබඳු දක්ෂතාවක් තිබේ නම් පමණි. කිසා ගෝතමිය දුටු සිද්ධාර්ථ කුමාරයා එවන් දුර්ලභ ගුණාංගයන්ගෙන් සපිරි පුරුෂ ශ්‍රේෂ්ඨයෙකු බව අවිවාදයෙන්ම පිළිගත යුතුය. ඊට හේතුව නම් උන්වහන්සේගෙන් ඒ අයට ලෞකික මෙන්ම ලෝකෝත්තර නිවනද උරුම වූ නිසාය.
සිද්ධාර්ථ කුමාරයා හා යසෝධරා දේවිය විවාහයට පත්වීමට පෙර පටන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කළ අය වූහ.පෙර සංසාරයේ පුරුදු කරන ලද අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම පුරණ ලද පාරමිතා ධර්ම ද මෙහිදී අමතක කළ යුතු නැත. මේ දෙපොළ පිළිබද කරන ලද විවාහ යෝජනාව හා කුමරු හා කුමරිය ඔවුන් පිළිබඳ දරන ලද ආකල්පය පූජාවලියේ සඳහන් වන්නේ මෙසේය.
“ඉක්බිතිතෙන් පිය මහරජ්ජුරුවෝ යසෝධරා දේවින් පුතනුවන්ට අගමෙහෙසුන් කරනු කැමතිව ඔවුන්ගේ පියාණන් සුප්‍රබුද්ධ රජ්ජුරුවන්ට කියා යැවූහ. සුප්‍රබුද්ධ රජ්ජුරුවෝ කියන්නාවූ තමන්ගේ පුතණුවන් සිද්ධාර්ථ කුමාරයන් නොබෝ කලකින් මහණවනු සඳහා රජය හැර යෙත්ල. එදවස් මාගේ දුවණියෝ වැන්දඹු වෙති. මහණ නොවන රජෙක් හට පාවාදෙමි කියා යැවූහ. බෝධිසත්වයෝ එපවත් අසා මහණත් වෙම්ම. යසෝධරාවනුත් මට පාවා නුදුනොත් රජය නොකැමැත්තමියි කියති. යසෝධරා දේවීද සිද්ධාර්ථ කුමාරයෝ සෙට මහණවෙත් නමුත් සරණක රැකේ නම් උන්කෙරේ රැකෙමිය කියති.
මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ කුමර කුමරියන් දෙපොල කෙතෙක් දුරට ඔවුනොවුන්ට ගරු කළාද යන්නය. සිද්ධාර්ථ කුමාරයා තුළ මේසා ආකර්ශනීය පෞරුෂත්වයක් ඇති වූයේ කෙසේද, උන්වහන්සේ බෝධිසත්වයෙකු ලෙස සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පුරණ ලද පාරමිතා ධර්මයන්ගේ ප්‍රතිඵල ලෙස මෙම අද්විතීය ලක්ෂණය ඇතිවිය . පාරමිතා දහයකි. ඒවා නම්

“දානං සීලංච නෙක්ඛම්මං, පඤ්ඤා විරියේන පංචමං
ඛන්ති සච්චම දිට්ඨානං –මෙත්තු පෙක්ඛා තිමේ දසං

1.දානය, 

2.ශීලය 

3. නෛෂ්ක්‍රම්‍ය (නික්මීම) ය. 

4.ප්‍රඥාා (නුවණ) ය. 

5.වීර්යය 

6.ක්ෂාන්ති (ඉවසීම) ය. 

7. සත්‍යය 

8. අධිෂ්ඨානය, 

9. මෛත්‍රීය

 10. උපේක්ෂා (මැදහත් බව) ය 

යන මේ දශය බුද්ධකාරක ධර්මයෝ හෙවත් පාරමීහු වෙති.
සෑම පාරමිතාවක්ම පාරමී උපපාරමී පරමාර්ථපාරමී යනුවෙන් බෙදෙන අතර ඒ අනුව තිස්වැදෑරුම් වේ. රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත පාරමිතා ප්‍රකරණයට අනුව පාරමිතාවල ප්‍රයෝජනය මෙලෙස සදහන් කළ හැකිය. “නාම රූප සංඛ්‍යාත සංස්කාරයන්ගේ හෙවත් ස්කන්ධ පංචකයාගේ අසාරත්වය සලකා ආත්මය කෙරෙහි ඇල්ම තුනී කර ගැනීම හා කරුණා මෛත්‍රීන් දියුණූ කිරීමෙන් පරසත්ත්වයන් කෙරෙහි ස්නේහය දියුණු කරගැනීමත්, පාරමී සම්පාදනයේ උපායෝය. ආත්ම ස්නේහය තුනී කරගත් මහා බෝසත්හට බෝධි සම්භාර සම්පාදනයෙන් වන දුක්ගැහැට අලාභ හානි ඉවසිය හැකිවේ. පර සත්ත්වයන් කෙරෙහි දයාව දියුණු කර ගැනීමෙන් ඔවුන් උදෙසා කොතෙක් වුවද දුක් ගත හැකි වේ.වෙහෙසිය හැකිවේ. තමන්ගේ ධනය හා සැපය ඔවුන් උදෙසා පරිත්‍යාග කළ හැකිවේ. එබැවින් ආත්ම ස්නේහය තුනී කරගැනීම හා පරසත්ත්ව ස්නේහය දියුණු කර ගැනීමත් පාරමී සම්පාදනයේ උපාය වේ. (පාරමිතා ප්‍රකරණය 71-72 පිට)
මෙබඳු උසස් උත්තමයෙකු තුළ තිබෙන උතුම් ගති ගුණ සියල්ලක්ම යහපත් කුලකතුන් සතුටු කරවීමට හේතුවන අතර පුරණ ලද පාරමිතාවන්ගේ ප්‍රතිඵල ලෙස අප මහා බෝධිසත්ත්වයාණන් වහන්සේ අඟනන්ගේ නෙත් සිත් පැහැර ගත් අයෙකු වුවාසේම ඉතාගුණ යහපත් ස්වාමි පුරුෂයෙකු ද වූ සේක. මේ නිසාම බෝධිසත්වයන් ගිහිගෙය අතහැර ගියත් යසෝධරා දේවිය උන්වහන්සේ වෙත තිබූ සෙනෙහස හා අවබෝධය කිසි ලෙසකින්වත් අඩු කර ගත්තේ නැත. ඒ බව චන්දකින්නර ජාතකයේ සඳහන් සුද්ධෝදන රජ යසෝධරා දේවිය පිළිබඳ කරන විස්තරයෙන් මනාව පැහැදිලි වේ.

“සුද්ධෝදන රජ්ජුරුවන් වහන්සේ ද බිම්බා දේවින්ගේ ගුණ කියන සේක්” ස්වාමීනි, මාගේ යෙහෙළි කොට නුඹ කෙරෙහි සනේහයෙන් නුඹ මහබිනික්මන් කොට කසාය වස්ත්‍රයක් පෙරවීය යනු අසා තුමු අංගරාග නොගැල්වූ විරූය. නුඹ වහන්සේ එක් වේලේ වළඳති යනු අසා තුමූද ඒකභක්තයෙන් යපෙන්නාහ. තවද නුඹ වහන්සේ බිම වැදහොති යනු අසා තුමූද බිම සයනය කරන්නාහ.


2016-06-27  පත්‍රයේ පළවු  ලිපිය



තවද නුඹ වහන්සේ මහණ වූ බව අසා සෙසු රජ දරුවන් එවූ පඬුරු නොගෙන නුඹවහන්සේ කෙරෙහි ස්නේහයෙන් වැන්දඹුව ජීවත් වූයේ ඉතා ආශ්චර්ය යයි සිතමි. ස්වාමි දරුවාණෙනි, මෙවිට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක. “එපවත් අසා බුදුහු” මහරජ යම්බඳු මෑ දැන් වැන්දඹුව කෙළවර අත්බැව්හි මා කෙරෙහි ස්නේහයෙන් ක්ලේශ වසඟ නොවී අනුන් ප්‍රාර්ථනා නොකළ බව ආශ්චර්ය නොවෙයි. පෙරගිය දවස තිරිසන් යෝනියෙහි ඉපිද පවා මා කෙරෙහි ස්නේහයෙන් ප්‍රාර්ථනා නොකළ බව වේදැයි.”
(චන්ද කින්නර ජාතකය – නිදාන කථාව)
පතිපතිනි දෙපොළ ඉතා සරල යුග දිවියක් ගත කළත් රට ජාතිය හා සමය වෙනුවෙන් කැප වූ ජීවිතයක් ගත කලත් නොඑසේ නම් පරාර්ථ චර්යාවටම නැඹූරු වූ බෝසත් ප්‍රතිඥාවක් අනුගමනය කළත් ඔවුනගේ යුග දිවිය වඩාත් ඔපවත් වන්නේ අන්‍යෝන්‍ය කැපකිරීම හා අවබෝධය මත බව ඉහත කරුණූු වලින් පැහැදිලි වේ.
බෝසත් කාලයේ තමන් ලද අත්දැකීම් මත පදනම්ව බුද්ධත්වයට පත් වු පසු අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවස්ථා ගණනාවක දීම යුගදිවිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය මගපෙන්වීම් කළ සේක.

මේ පිළිබඳ ඉතා අනඟි විස්තරයක් සිඟාලෝවාද සූත්‍රයේ දක්නට ලැබේ. එම සූත්‍රයේ සඳහන් වන පරිදි ස්වාමි පුරුෂයින් විසින් භාර්යාවන් කෙරෙහි කරුණු 5 කින් පිළිපදින විට භාර්යාවරු කරුණු 5 කින් ස්වාමිවරුන්ට අනුකම්පා කරති. සූත්‍රයේ සඳහන් මේ පිළිබඳ විස්තරය මෙසේය.

“පශ්චිම දිශාවෙන් දක්වනලද භාර්යාවන් කෙරෙහි කරුණුූ 5 කින් පිළිපැදිය යුතුය.
1.ගරුකිරීමෙන් 

2.අවමන් නොකිරීමෙන්, 

3.භාර්යාව නොඉක්මවා යාමෙන්, 

4.සම්පත් පැවරීමෙන් 

5. ආභරණ ලබාදීමෙන්.

මෙසේ කරුණු 5 කින් සලකනු ලැබූ භාර්යාවෝ කරුණු 5 කින් ස්වාමිපුරුෂයන්ට අනුකම්පා කරති.

1.කළ යුතු දේ මනාව කිරීමෙන් 

2.පිරිවර ජනයාට මැනවින් සැලකීමෙන් 

3.ස්වාමියා නොඉක්මවා යාමෙන් 

4. ධනය රැකීමෙන්, 

5. සියලු කටයුතු මැළි නොවී කිරීමෙන්.
මේ අනුව තම යුග දිවිය සැපතක් බවට පත්කර ගැනීමට හා සියලු දුකින් එතෙර වීමට විවාහය ආශිර්වාදයක් කර ගැනීමටත් අවශ්‍ය ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේගේ මග පෙන්වීම තුළ මැනවින් දක්නට ලැබේ. සාර්ථක යුග දිවියක් තුළින් ලෞකික සැපය දියුණු කර ගැනීමට දෙන ලද වටිනා උපදෙස් රාශියක්ම මෙහි සඳහන් වී ඇත. සිඟාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ භාවිතා කරන ලද වචනද ඉතාමත්ම වැදගත් වේ. උන්වහන්සේ වදාළේ ස්වාමි පුුරුෂයන් විසින් භාර්යාවන් වෙත “පච්චපට්ඨාතබ්බා” හෙවත් “එළඹිය යුතුයි” හෝ “පිළිපැදිය යුතුයි” යනුවෙන් වන අතර භාර්යාවන් විසින් ස්වාමි පුරුෂයන් වෙත “අනුකම්පති” හෙවත් “අනුකම්පා කරයි” යනුවෙනි. මෙම වචන වලින් පවා දක්නට ලැබෙන්නේ ස්වාමි භාර්යා දෙපොල ඔවුනොවුන් කෙරෙහි දැක්විය යුතු අන්‍යෝන්‍ය ගෞරවයේ උච්චතම අවස්ථාවයි. ස්වාමි පුරුෂයා විසින් භාර්යාව කෙරෙහි ඉහත කරුණු අනුව “පිළිපදින” විට භාර්යාව ස්වාමි පුරුෂයාට “අනුකම්පාව කරයි.”මෙම ප්‍රතිපත්තිය සාර්ථක යුගදිවියක් තුළ ලෞකික හා ලෝකෝතතර සැපය ලඟා කරදීමට හේතුවේ.
මහා මංගල සූත්‍රය තුළ සඳහන් මංගල කරුණු තිස්අට අතර අඹුදරුවන්ට සැලකීම ද එකකි. මේ අනුව “පුත්ත දාරස්ස සංගහෝ” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ යහපත් කරුණු අතර තම පවුල නිසි පරිදි පෝෂණය කිරීමද ඇතුළත් වන බවය.

ලෞකික හා ලෝකෝත්තර සැපය ගෙන දෙන සාර්ථක යුග දිවියකට මනා උදාහරණයක් අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පඨම (නකුල) සමජීවි සූත්‍රයේ මෙසේ සඳහන් වී ඇත. බුදුරජාණන් වහන්සේ භගුරට සුංසුමාරගිරි නුවර භේසකලාවනයේ වැඩ වසන කාලයේ දිනක නකුලපිතු ගෘහපතියාගේ නිවසට වැඩම කළ සේක. එහිදී බුදුරජාණන් වහන්සේට වැඳ එකත් පසෙක සිටි නකුලපිතු ගෘහපතියා හා නකුලමාතා ගෘහපතිනිය බුදුරජාණන් වහන්සේට මෙසේ සැලකර සිටියහ.
“ස්වාමීනි, යම් කලෙක තරුණ වියේ සිටි මට තරුණ නකුලමාතාව කැඳවාගෙන එන ලද්දීද එතැන් පටන් ඇය හැර වෙනෙකෙකු ගැන සිතිවිල්ලක් පවා ඇති විණිදැයි මම නොදනිමි. කයින් නම් කියනුම කවරේද? අපි දෙදෙනා මෙලොව දී ඔවුනොවුන් දැකීමට කැමැතිවන්නා සේම පරලොව දීද ඔවුනොවුන් දැකීමට කැමැති වෙමු.

නකුල මතා ගෘහපතිනිය ද බුදුරජාණන් වහන්සේට මෙසේ සැලකළාය. ස්වාමීනි, යම්කලෙක තරුණ වියේ සිටි මම තරුණ වියේ සිටි නකුල පිතුට කැඳවා ගෙන එන ලද්දෙම්ද, එතැන් පටන් ඔහු හැර වෙනකෙකු ගැන සිතිවිල්ලක් පවා ඇති විණිදැයි, මම නොදනිමි. කයින් නම් කියනුම කවරේද? අපි දෙදෙනා මෙලොව දී ඔවුනොවුන් දැකීමට කැමැති වන්නා සේ ම පරලොව දීද ඔවුනොවුන් දැකීමට කැමැති වෙමු.
ගෘහපති වැසියනි, ඉදින් අඹුසැමි දෙපොළ මෙලොව දීද ඔවුනොවුන් දැකීමට කැමැති නම්, පරලොව දීද ඔවුනොවුන් දැකීමට කැමැති නම් දෙදෙනාම සමශ්‍රද්ධා , සමසීල, සමත්‍යාග හා සමප්‍රඥා ඇති අය වුවහොත් ඔවුහු මෙලොව දීද ඔවුනොවුන් දකිති. පරලොවදී ද ඔවුනොවුන් දකිති.”
මෙම සූත්‍රයෙන් පැහැදිලි වන්නේ ශ්‍රද්ධා , ශීල, ත්‍යාග හා ප්‍රඥා යන කරුණු දියුණු කරන ලද අඹුසැමි යුවළ තමන් කැමැති වූ උසස් ආත්මභාවවල එකට ඉපිද පින්දහම් කිරීමට වාසනාවන්ත වන බවය.
අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේම සඳහන් පඨමසංවාස හා දුතිය සංවාස සූත්‍ර වලින්ද පැහැදිලි වන්නේ ස්වාමි පුරුෂයා හා ස්වාමි දියණිය අනුගමනය කරන ප්‍රතිපත්ති අනුව උසස් හෝ පහත් තත්වයට පත්වන ආකාරයයි. මෙම සූත්‍ර දෙකේම බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“චත්තාරෝ මේ ගහපතියෝ (භික්ඛවේ) සංවාසා, කතමේ චත්තාරෝ
ජවෝ ඡවාය සද්ධිං සංවසති, ඡවෝ දේවියා, සද්ධීං සංවසති. දේවෝ ඡවාය සද්ධිං සංවසති. දෙවෝ දේවියා සද්ධිං සංවසති”

මෙහි තේරුම් නම්

“ගෘහපතියනි, (මහණෙනි) සංවාස හතරකි. ඒ හතර මොනවාද?
මළ තැනැත්තෙක් මළ තැනැත්තියක සමඟ වාසය කරයි.
මළ තැනැත්තෙක් දිව්‍යාංගනාවක සමඟ වාසය කරයි
දෙවියෙක් මළ තැනැත්තියක සමග වාසය කරයි
දෙවියෙක් දිව්‍යාංගනාවක සමඟ වාසය කරයි.

ජීවත්වන මනුෂ්‍යයෙකු මළ තැනැත්තෙකු හෝ තැනැත්තියක වන්නේත් දෙවියෙකු හෝ දිව්‍යාංගනාවක, වන්නේත්,කුමන කරුණු මතද යන්න පිළිබඳ පැහැදිලි විස්තරයක් බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දෙකෙහිදිම පැහැදිලි කරදුන් සේක. ඒ අනුව විවාහ යුවළ මළවුන් හා සමාන වීමට තුඩු දෙන කරුණු මෙසේය.

1. සතුන් මැරීම, 

2.සොරකම් කිරීම 

3. කාම මිථ්‍යාචාරය කිරීම

 4. බොරුකීම 

5. සුරා මේරය ආදි ප්‍රමාදයට හේතුවන මත්ද්‍රව්‍ය ගැනීම 6. දුසිල්වත් වීම 7. පාපධර්මයෙන් යුක්ත වීම 8.මසුරුකමින් යුතුව ගිහි ගෙයි විසීම, ශ්‍රමණ බ්‍රාහ්මණාදී ආගමික පුජ්‍ය පූජකවරුන්ට බැණ වැදීම
ඉහත සඳහන් කරුණු වලින් යුක්ත අය මලවුන්සේද ඒවායෙන් දුරුවු අය දෙවිවරුන් සේද බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක!.

ලෞකික හා ලෝකෝත්තර සැපය ගෙන දෙන සාර්ථක යුගදිවියක් ගත කිරීමට අවශ්‍ය මඟපෙන්වීම බෝසත් චරිතයෙන් මෙන්ම බුද්ධ දේශනාවලින්ද මැනවින් දැකගත හැකි බව මෙයින් පැහැදිලි වේ. ඒ අනුව ඉහත සඳහන් වටිනා ගුරුහරුකම් පිළිගෙන නිසි ලෙස අනුගමනය කර මෙලොව පරලොව දෙලොව යහපතත් ලෞකික හා ලෝකෝත්තර සැපයත් ලඟාකර ගනිමු.




කැලණිය විශ්වවිද්‍යාලයේ 
නූතන භාෂා අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
අලුතෑපොල ගණේකන්ද පුරාණ 
රජමහා විහාරාධිපති 
ආචාර්ය රාජකීය පණ්ඩිත 
නැදලගමුවේ ධම්මදින්න හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජුනි 19 වන ඉරිදා දින හා පොසොන් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජුනි 27 වන සඳුදා  දිනවලදි  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment