Labels

Thursday, July 28, 2016

පුද්ගලයාටත් පරිසරයටත් හානි කරමින් උපයන ධනය අධාර්මිකයි

කාමභෝගී ගිහි සැප භෞතික ධනය මත පදනම් වන හෙයින් එය නොමැති තැන ගිහි සැපත අර්ථවත් නොවේ. ගිහි ජීවිතය අර්ථවත් කරගැනීමට ධනය අවශ්‍ය බව පිළිගන්නා බුදුසමය ධන නිෂ්පාදනය සඳහා දැහැමි ක්‍රමයක් යෝජනා කරයි. සංයුත්ත නිකායේ රාසිය සූත්‍රයෙහි මෙම ක්‍රමවේදය ඇතුළත් වේ.
ඒ අනුව බුදුරදුන්ගේ ඇගයුමට ලක්වන්නේ සහසික නොවී ධනය නිෂ්පාදනය කිරීමයි. (ධම්මේන භොගෙ පරියෙසති අසාහසෙනාති) අසහාසික යන්නෙන් අදහස් වන්නේ සහසික නොවන ආකාරයෙන් ධනය ඉපැයීමයි. වචනාර්ථය අනුව සහසික වීම යනු ප්‍රචණ්ඩකාරී ස්වභාවයයි. ඒ අනුව යමෙක් පරිසරය හෝ මානව වර්ගයා වෙත ප්‍රචණ්ඩවෙමින් ඒවාට හානිකරමින් සූරාකමින් අධාර්මික ලෙස ධනය උපයන්නේ නම් එය සහසිකව ධනය ඉපැයීමක් ලෙස නම් කළ හැකිය. වෙනත් අයුරකින් පවසන්නේ නම් පුද්ගලයාට හා පරිසරයට හානිකරමින් ධනය නිපදවීම අධාර්මික වේ. ධන නිෂ්පාදනය ධාර්මිකව කළයුතුය යන්න මෙයින් ගම්‍ය වේ. බුදුසමය ධන නිෂ්පාදනය සඳහා කෘෂිකර්මය (කසියා) වෙළෙඳාම (වණිජ්ජා) ගවපාලනය (ගොරක්ඛ) ආරක්ෂක සේවය (ඉස්සත්ථ) රාජ්‍ය සේවය (රාජපොරිස) වෙනත් ශිල්පකර්මාන්ත (සිප්පඤ්ඤතරෙන) යනුවෙන් අවස්ථා හයක් ව්‍යග්ඝපජ්ජ සූත්‍රය යටතේ හඳුන්වාදෙයි. මෙම ධන නිෂ්පාදන අවස්ථා බුදුසමය උදාවන අවදියේ දැහැමි රැකියා වශයෙන් පිළිගෙන තිබේ. හයවන අවස්ථාව තරමක් පූළුල් අයුරින් වටහාගත යුතුවේ.
මුල් පහට අයත් නොවන වෙනත් පෞද්ගලික ආයතනගත දැහැමි රැකියා මෙන්ම දැහැමි ස්වයං රැකියා ද එයට අන්තර්ගත කළ හැකි වේ. කවර රැකියාවක් වුවද එය ඉහතින් දැක් වූ පරිදි ධාර්මික හා සහාසික නොවීම අවශ්‍ය වේ.
එසේම වාණිජ ව්‍යාපාරයකින් ධනය ඉපැයීමේදී බෞද්ධයෙකු විසින් අනුගමනය නොකළ යුතු ව්‍යාපාර පහක් උපාසක අකරණීය සූත්‍රයේ දැක්වේ.  ඒ අනුව බෞද්ධ ව්‍යාපාරිකයෙකු විසින් 
අවි ආයුධ වෙළෙඳාම (සත්ථ වණිජ්ජා)
වහල් වෙළෙඳාම (සත්ත වණිජ්ජා)
 මස් පිණිස සතුන් වෙළෙඳාම (මංස වණිජ්ජා)
 මත් ද්‍රව්‍ය වෙළෙඳාම (මජ්ජ වණිජ්ජා) 
සහ 
විෂ වෙළෙඳාම (විස වණිජ්ජා) නොකළයුතුවේ. 
වර්තමාන ලෝක තත්ත්වය අනුව මෙම වෙළෙඳාම් දේශීය මෙන්ම විදේශීය වශයෙන් ක්‍රියාත්මක වේ. පළමුවැන්න වන සත්ත වණිජ්ජා යන්නෙන් සියලු ආයුධ අදහස් නොවේ. ගෘහ අවශ්‍යතා සඳහා නිෂ්පාදනය කරනු ලබන කැති, උදළු ආදී විවිධ උපකරණ තිබේ. සත්ථ වනිජ්ජා යන්නෙන් අදහස් කෙරෙන්නේ සෘජුවම මිනිස් ඝාතනය අරමුණු කරගෙන නිපදවන අවි ආයුධය. අටිඨකතා විවරණය අනුව දෙවැන්නෙන් අදහස් වන්නේ මිනිස් වෙළෙඳාමයි. (මනුස්සවික්කයො) සත්ත යන පදය මිනිසා ඇතුළු සෙසු ජීවීන් හැඳින්වීම පිණිසද පිටක ග්‍රන්ථවල භාවිත කොට තිබේ. ඒ අනුව එයින් මිනිසුන් හා සතුන් යන දෙවර්ගයම අදහස් කළ හැකිය. මිනිසුන් වහල් මෙහෙය පිණිස අලෙවි කිරීම යුරෝපයේ පැවතී තත්ත්වයකි. ලංකාවේ වහල් මෙහෙය සඳහා මිනිසුන් අලෙවි කළ බවක් ඓතිහාසික වශයෙන් වාර්තා නොවෙන්නේ බුදුසමයේ ආභාසය නිසා විය හැකියි. සෙසු වෙළෙඳාම අතරින් මස් පිණිස සතුන් වෙළෙඳාම, මත්ද්‍රව්‍ය හා මත් පැන් මෙන්ම විෂ වෙළෙඳාම ද මූලික බෞද්ධ ඉගැන්වීම්වලට අනුකූල නොවේ. මෙම පංචවිධ ව්‍යාපාර බෞද්ධයන් නොකළයුතු ව්‍යාපාර ලෙස පිළිගෙන තිබේ. අටුවාවෙහි දැක්වෙන පරිදි එම ව්‍යාපාර තමා විසින් හෝ අනුන් ලවා හෝ නොකළ යුතුයැයි පිළිගෙන තිබේ. ඉහතින් සඳහන් කළ දැහැමි ධනෝපාර්ජන ක්‍රම හය අනුගමනය කිරීමේදී එම ව්‍යාපාර වඩාත් ඵලදායී අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍ය දිරිය ලබාදෙන උපදෙස් රැසක් දහමෙහි ඇතුළත් වේ.

බෞද්ධ සදාචාර දර්ශනයෙන් අවධාරණය කරන්නේ ධනෝපාර්ජනය සඳහා භාවිත කරන ක්‍රමවේදය දැහැමිවිය යුතු බවයි. බුදුසමයට අනුව යම් ව්‍යාපාරයක දැහැමි හෝ අදහැමි බව තීරණය කිරීමේදී එම ව්‍යාපාරය පුද්ගලයාට හා පරිසරයට කුමන ආකාරයේ බලපෑමක් කරන්නේද යන්න සැළකිල්ලට යොමු කෙරේ. එසේම එම ව්‍යාපාරය මූලික බෞද්ධ ඉගැන්වීම්වලට කොතෙක්දුරට අනුකූල වන්නේද යන්නද සළකා බැලේ. පව හා අකුශලය දුරින්ම දුරුකළ යුතුය යන්න බුදුසමයේ මූලික පිළිගැනීමයි. ඒ අනුව පවට හා අකුශලයට අනුබල සැපයෙන කිසිඳු ක්‍රියාවක් බුදුදහමින් අනුමත නොකරයි. කොතෙක් ලාභදායක වුවත් අදැහැමි ධනෝපායන ක්‍රමයකට බෞද්ධ ආර්ථික ප්‍රතිපදාවෙන් ඉඩක් නොලැබේ. අධාර්මික ක්‍රියාවෙහි අනිටු විපාක වර්තමාන ජීවිතයට පමණක් නොව මතු ජීවිතයටද අදාළ වේ. කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීමෙන් පෙන්වා දෙන්නේ මෙම යථාර්ථයයි. කර්මය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම පුද්ගලයා අධෛර්ය කරන්නක් නොවේ. එය පුද්ගලයාට අර්ථවත් නිවැරදි ජීවිතයකට මඟ පෙන්වන ඉගැන්වීමකි.කර්මය හා කර්මඵල විශ්වාසය ඇතිවිට පුද්ගලයා කොතෙක් ලාභදායි වුවත් අධාර්මික ධනෝපාර්ජන ක්‍රමයක් අනුගමනය නොකරයි. ධනය අවශ්‍ය වන්නේ මෙලොව ජීවිතය සැපවත් කරගැනීමටය. දීර්ඝ කාලීන වශයෙන් එය පරලොව සැපත පිණිස හේතුවන පින් රැස් කරගැනීමටද කිරීමටද උපයෝගී වේ. එහෙත් අධාර්මික ධනය නිසා මෙලොවදී යම් සැපතක් ලැබුණත් කර්ම කර්මඵල විශ්වාසය අනුව එය පුද්ගලයාට දෙලොවින්ම පරාජය අත්පත්කරදෙනු ඇත. අධර්මයෙන් ධනය සොයා සපයා ගත් පුද්ගලයන්ට විඳීමට සිදුවී තිබෙන විවිධ දුක්ඛදායක තත්ත්වයන් දෙස බැලීමෙන් මෙය වටහා ගත හැකිවේ.


ධන නිෂ්පාදනයේදී එය කෙසේ කළ යුතුද? යන්න සම්මා ආජීවය යටතේ සාකච්ඡාවට භාජනය කර ඇති අයුරු මහාචත්තාරීසක සූත්‍රයෙන් පැහැදිලි වේ. ව්‍යාපාරික ලෝකය තුළ භාණ්ඩ නිෂ්පාදනයේදී මෙන්ම ඒවා අලෙවි කිරීමේදී විවිධ කූට උපක්‍රම භාවිතා කරනු ලැබේ. ලාභයම අරමුණු කරගත් මෙම ව්‍යාපාර මඟින් පාරිභෝගික අයිතීන් දැඩි ලෙස උල්ලංගනය කෙරේ. උක්ත සූත්‍රයේ පෙන්වාදෙන ආකාරයට ලාභාපේක්ෂාවෙන් කෙරෙන විවිධ රැවටීම් කුහනා යනුවෙන් නම්කර තිබේ. එසේම නිෂ්පාදන භාණ්ඩ පාරිභෝගිකයාට හඳුන්වාදීම සඳහා මාධ්‍ය භාවිතය අවශ්‍ය වේ. එහෙත් භාණ්ඩයේ අන්තර්ගත තත්ත්වය හා ප්‍රයෝජනයට වඩා වැඩි යමක් මවාපාමින් පාරිභෝගිකයා මුලාවට පත් කිරීම ලපනා ලෙස නම්කළ හැකිය. එසේම තමා නිපදවන ලද භාණ්ඩ අලෙවියේ දී ඒ හා සමාන වෙනත් නිෂ්පාදක ආයතන මඟින් ඉදිරිපත් කරන ලද භාණ්ඩ අවතක්සේරු කරමින් තම නිෂ්පාදනය පමණක් හුවා දැක්වීම නිප්පේසිකතා ලෙස හැඳින්විය හැකිය. කවර භාණ්ඩයක් වුව අලෙවි කිරීමේදී එයින් යම් ප්‍රමාණයක ලාභයක් අපේක්ෂා කිරීම වරදක් නොවේ. එහෙත් ලාභයම ඒකායන අරමුණ කරගෙන භාණ්ඩ අලෙවි කිරීම වරදක් වේ. ඒ අනුව ලාභයෙන් ලාභය සෙවීම (ලාභෙන ලාභං නිජිගිංසනතා) අදහැමි ක්‍රියාවකි. භාණ්ඩ අලෙවියේදී සිදුකරනු ලබන වංචනික ක්‍රියා රැසක් සමඤ්ඤඵල සූත්‍රයේ තුලාකූට යටතේ ඉදිරිපත් කරතිබේ. මෙම ඉගැන්වීම් පෙරටත් වඩා නූතන වෙළෙඳ ලෝකයට අදාළ වන්නේ එහි දැක්වෙන කූට උපක්‍රම භාණ්ඩ නිෂ්පාදනයේ දී මෙන්ම අලෙවි කිරීමේදීත් බහුල වශයෙන් සිදුවන හෙයිනි. මිනිස් පරිභෝජනයට නුසුදුසු, විවිධ විෂ ද්‍රව්‍ය යෙදූ ආහාරපාන රැසක් වෙළෙඳ පොලේ දක්නට ලැබේ. එවන් තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ මිනිස් ජීවිතයේ වටිනාකම, සදාචාරය හා නීතිය යුක්තිය පසෙකලා ලාභයම ඒකායන අරමුණකරගත් වෙළෙඳ ප්‍රජාවක් බිහි වී තිබීම නිසයි. බුදුරදුන් පෙන්වා වදාළ දැහැමි ආර්ථික පිළිවෙත අවබෝධ කරගැනීමෙන් හා ක්‍රියාවට නැංවීමෙන් මෙම දුර්වලතා යම්පමණකට හෝ පාලනය කරගත හැකිවේ. බුදුරදුන්ගේ අනුශාසනාව පරිදි මල නොතලා රොන් ගන්නා බඹරෙකු සෙයින් ස්වභාවික පරිසරයට මෙන්ම මානව වර්ගයාටත් හානි නොකර දැහැමි ක්‍රමයකින් දැහැමි අයුරින් ධනය නිෂ්පාදනය කිරීම බෞද්ධ පිළිවෙත වේ.



කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත 
උඩුහාවර ආනන්ද හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ ඇසළ අව අටවක පොහෝ දිනරාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජූලි 26 වන අඟහරුවාදා  බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment