සෝණ හාමුදුරුවෝ ඉතා සියුමැලි , මුදු මොළොක් ස්වභාවයෙන් යුක්ත ජීවිතයක් ගත කළ හාමුදුරු කෙනෙක්. එක් කලෙක සීත වනයට වැඩම කළ උන්වහන්සේ ‘සක්මන් භාවනාව’ පුරුදු පුහුණු කළා. සක්මන් භාවනාව කියන්නේ ඇවිදින විට සිහිය පිහිටුවා ගැනීමයි.
දිගින් දිගටම භාවනාවේ යෙදුණත් සෝණ හාමුදුරුවන්ට කිසිම මාර්ගඵලයකට පත්වෙන්නට හැකි වුණේ නෑ. චිත්ත සමාධියක් ඇති වුණෙත් නෑ. එහෙත් උත්සාහය අත් නොහළ උන්වහන්සේ මොනතරම් සක්මන් භාවනාවේ යෙදුනාද කියනවා නම් දෙපා පැළී ලේ ගලන්නට පටන් ගත්තා. දෙපයින් සක්මන් කිරීම නවතා දණගාමින් සක්මන් කරන්නට පටන් ගත්තා. දෙදණත් පැළී රුධිරය ගලා ගියා. මේ විදිහට මොන තරම් උත්සාහ කළත් සෝණ හාමුදුරුවන්ට තමන්ගේ අරමුණට ළඟා වෙන්නට හැකි වුණේ නෑ.
‘මම මොනතරම් උට්ඨාන වීර්යයෙන් වැඩ කළත් බලාපොරාත්තු ඉටු කරන්නට බැරි වුණා.’එසේ සිතමින් සෝණ හාමුදුරුවන් සිවුරු හැර නැවත ගිහිගෙදරට යන්නට කල්පනා කළා. මේ අවස්ථාවේ රජගහ නුවර ගිජු කුළු පව්වේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ පරචිත්ත විජානන ඥානයෙන් සෝණ හාමුදුරුවන්ගේ අදහස දැන ඉතා වේගයෙන් සීත වනයට වැඩම කළා.
“හැබෑද සෝණ, ඔබට මෙවැනි සිතක් පහළ වුණා නේද?”
බුදු හිමියන් විසින් උන්වහන්සේගෙන් ප්රශ්න කරනු ලැබුවා.සෝණ හිමියෝ බොහොම අවංකයි. බොරු කියන්නේ නෑ. ඒ නිසා පැකිළීමක් නැතිව “එහෙමයි බුදුරජාණන් වහන්ස” යනුවෙන් පිළිතුරු දුන්නා.