බුදුරදුන් දෙව්රම් වෙහෙරෙ වෙසෙන සමයෙහි තමා හුවා දක්වමින් අනුන් හෙලා දුටු එක්තර ආඩම්බරකාරී භික්ෂූන් වහන්සේ නමක් අරභයා මෙම ජාතක කථාව දේශනා කරන ලදි. දෙව්රම් වෙහෙර වැසි එක්තරා භික්ෂූන් වහන්සේ නමක් “ඇවැත්නි අපගේ ජාතිය හා සමාන ජාතියක් නැත, අපගේ ගෝත්‍රය හා සමාන ගෝත්‍රයක් නැත, අපගේ දැසි දස් කම්කරුවෝ පවා ඇල් සහලේ බත් සහ මත්ස්‍ය මාංස අනුභව කෙරෙති, කසී සළු අදිති, කසී රට සුවඳ විලවුන් ගල්වති, අපි මහණ වූ හෙයින් මෙබඳු රූක්ෂ භෝජන අනුභව කරම්හ, රූක්ෂ වූ සිවුරු පරිහරණය කරම්හ” යනුවෙන් ස්ථවිර නවක මධ්‍යමක භික්ෂූන් ඉදිරියෙහි තම මහන්තත්වය ප්‍රකාශ කරමින් ජාත්‍යාදි වශයෙන් අන්‍යයන්ට නින්දාකරමින් වාසය කළේය.
උතුම් බුදු සසුනෙහි පැවිදිව ජාත්‍යාදි වශයෙන් තමන් හුවා දකිමින් අන්‍යයන්ට නින්දා කරන මෙම නොහික්මුණු භික්ෂුවගේ හැසිරීම අන්‍ය භික්ෂූන්ගේ අප්‍රසාදයට හේතු වූ අතර එය දැනගත් බුදුරජාණන් වහන්සේ එම භික්ෂුව පෙර ආත්මයෙත් එසේ හැසිරුණ සේකැයි දක්වා අතීත පුවත ගෙන හැර දැක්වූ සේක. අතීතයේ බෝධිසත්වයන් වහන්සේ එක්තරා බමුණු කුලයක ඉපිද දිසාපාමොක් ආචාර්ය වරයාගෙන් සියලු ශිල්ප හදාරා චුල්ලධනුග්ගහ පණ්ඩිතයෝ යන නමින් ප්‍රකට වූහ. උපතින්ම මදක් මිටි හා ඉදිරියට නැමුණු ශරීරයක් හිමි බෝධිසත්ත්වයන් වහන්සේ සියලු ශිල්ප නිමකොට ජීවිකාව සඳහා රැකියාවක් සොයමින් යන්නේ තම කුදු බව නිසා රජුගෙන් රැකියාවක් ලද නොහැකි බව දැන එක්තරා ආරෝහ පරිණාහයෙන් යුක්ත පුරුෂයෙකු සම්බන්ධ කරගෙන ඔහුත් සමඟ ගොස් ඔහුගේ අතවැසියෙකු ලෙස පෙනී සිට රජුට සේවය කරමින් ජීවත් වෙමියි අධිෂ්ඨාන කරගත්තේය. ඒ අනුව ආරෝහ පරිණාහ සම්පන්න භීමසේන නම් රෙදි වියන්නෙකු වෙත ගොස් තම අරමුණ පැහැදිලි කළේය.
පණ්ඩිතයන්ගේ බස පිළිගත් භීමසේන රජුවෙත ගොස් තමා දුනුවායෙකුයි හඟවා රාජකීය හමුදාවට ඇතුළත් විය. භීමසේනගේ අතවැසියෙකු ලෙස පෙනී සිටි බෝධිසත්ත්වයෝ දුනු ශිල්පයෙහි පාරප්‍රාප්ත වූයේ ඔහුට අවශ්‍ය උපදෙස් සැපයීමෙන් හා එයින් ලද වැටුපෙන් ජීවිකාව පැවැත් වූහ. දුනුවායෙකු ලෙස පෙනී සිටියත් භීමසේනට දුනු ශිල්පය පිළිබඳ කිසිත් උගත්කමක් නොතිබුණු අතර පණ්ඩිතයන්ගේ උපදෙස් අනුව කටයුතු කරමින් රජුගේ සිත් දිනාගත්තේය. එක් දිනෙක ප්‍රත්‍යන්ත ප්‍රදේශයක මිනිසුන් යන එන මහමග ව්‍යාඝ්‍රයෙක් සංචාරය කරමින් මිනිසුන් මරාකන බව රජුට ආරංචි වූ අතර රජු භීමසේන කැඳවා එම ව්‍යාඝ්‍රයා අල්වාගෙන එන මෙන් නියෝග කළේය. පණ්ඩිතයන්ගේ උපදෙස් පරිදි කටයුතු කිරීමෙන් ගම්වැසියන් ලවා ව්‍යාඝ්‍රයා මරා දමා තමන් කළ පරිද්දෙන් රජුට ඉදිරිපත් කළේය. මේ අයුරින් කුළු මීමෙක්ද අල්ලාගෙන ආවේය. මෙයින් ප්‍රසාදයට පත් රජු ඔහුට බොහෝ සම්පත් ලබාදුන් අතර එයින් භීමසේන මහත් උද්දාමයට පත්ව තමන්ට උපදෙස් දුන් පණ්ඩිතයන්ට නන් අයුරින් නින්දා කළේය.
එක් දිනෙක රජුට පසමිතුරු රජෙකු යුද්ධ ප්‍රකාශ කල්හී එය ජයගැනීම සඳහා භීමසේන යැවීමට තීරණය කරන ලදි. යුද්ධය සඳහා ගිය භිමසේනට මරණ බිය හේතුවෙන් ඇතු පිටම මල මූත්‍ර පහ වූවේය. තමාට කොතරම් නින්දා කළද මෙතෙක් කලක් ඔහු නිසා ජීවිකාව පවත්වාගෙන ගියේ යැයි සළකා පණ්ඩිතයෝ ද සියලු සන්නාහ සන්නද්ධව යුධ පෙරමුණට ගොස් භීමසේන පිටුපසින් සිටගත්තෝය. භීමසේන බියෙන් තැති ගැනී සිටිනු දුටු බෝධිසත්ත්වයෝ ඔහු අමතා “ඔබ විසින් පළමුව ප්‍රකාශ කළේ ඔබ පමණක්ම ශක්තිමත් තැනැත්තා බවත් සියල්ල ඔබ විසින්ම දිනාගත් බවත්ය. මා කිසිවක් නොකළේ යැයි කියමින් නින්දා අපහාස කළේය. එහෙත් දැන් යුද්ධය දිනමියි පැමිණි ඔබට ඇතුපිට සිටියදීම මළ මූත්‍ර පහවන්නේය. ඔබගේ ආඩම්බර සහගත ප්‍රකාශත් දැන් සිදුවන දෙයත් අතර වෙනසක් තිබේ.
එබැවින් නොමැරී බේරී පලා යවයි” ප්‍රකාශ කළේය. ලද ඇසිල්ලෙන් භීමසේන පලාගිය අතර බෝධිසත්වයන් වහන්සේ අද දින මගේ නියම ස්වභාවය පෙන්වා ප්‍රකට වෙමියි සිතා තනිවම යුද වැදී සතුරු රජු ජීවග්‍රාහයෙන් ගෙන බරණැස් රජුට ඉදිරිපත් කළහ. මෙතෙක් භීමසේනගේ අතවැසියැයි සිතා සිටි චුල්ලධනුග්ගහ පණ්ඩිතයන්ට රජුගේ ප්‍රසාදය හිමි වූ අතර ත්‍යාග වශයෙන් බොහෝ සම්පත් ද ලැබිණි. අනතුරුව පණ්ඩිතයෝ භීමසේනට මුදල් ගෙවා ඔහු පෙර කළ රැකියාවට පිටත් කොට හැරියේය. ඉතා දිගු ජාතක කථාවක් වන භීමසේන ජාතකය මෙහිදී අතිශය සංක්‍ෂිප්ත කොට ඉදිරිපත් කර ඇති බව සැළකිය යුතු වේ.
තමන් හුවා දක්වමින් අනුන් හෙළා දැකීම නොකළ යුතුය යන්න මෙම ජාතක කථාවෙන් ඉදරිපත් කෙරෙන මූලික පරමාදර්ශයයි. වර්තමාන කථාවේ එන භික්ෂුව ගිහි කල තම වංශවත් ජීවිතය පිළිබඳ ප්‍රකාශ කරමින් සහෝදර ස්වාමින් වහන්සේලා මෙන්ම ලැබෙන සිව්පසය ද අවතක්සේරුවට භාජනය කළේය. බුදුසසුනට ඇතුළත් වන ශ්‍රාවක ශ්‍රාවිකාවන් වර්ණවලට අයත් නොවේ(විවණ්ණ). අංගුත්තර නිකායේ පහාරාද සූත්‍රයේ එන පරිදි මහා සාගරයේ ඇති ලක්ෂණ අටක් බුදුසසුනේ ද පවතින බව උපමා කරමින් බුදුරදුන් පෙන්වා දුන්නේ සිව් මහා ගංගාවන්ගෙන් ගලා එන ජලය සාගරයට එක් වූ විට එකම ලවණ රසයෙන් යුක්ත වන්නාක් මෙන් සිව් වර්ණයෙන්ම සසුනට ඇතුළත් ශ්‍රාවක පිරිස ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන් ලෙස නම්කෙරෙන බවත් සමස්ත සසුන එකම විමුක්ති රසයෙන් යුක්ත බවත්ය.
එවන් සසුනක සාමාජිකත්වය දරණ භික්ෂුවක් ජාති ග්‍රෝත්‍ර වාදයෙන් හා වෙනත් නින්දා වචනයෙන් අන් අය හෙළාදැකීම අයෝග්‍ය යන්න වර්තමාන කථාවෙන් තහවුරු වේ. අතීත කථාවෙහි එන චුල්ලධනුද්ධර පණ්ඩිතයන්ට තම මිටි බව හා කුදු බව පිළිබඳ හීන මානයක් පැවතී බව පැහැදිලිය. උපතින් පිහිටි ශාරීරික ලක්ෂණ පිළිබඳ පසුතැවීම මෙන්ම එවැනි ආබාධිත තත්ත්වයන් මත වෙනස්කොට සැළකීමේ පුරුද්දක් එකල ද පැවතී බව තම ජීවන වෘත්තිය පිළිබඳ පණ්ඩිතයන් තුළ ඇති වූ හැගීම්වලින් සනාථ වේ. ඇතැම් රැකියාවන්ට අංග සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවක් අවශ්‍ය වුවද හැම රැකියාවකටම එය අදාළ නොවේ. එසේම තම දැනුම හා කුසලතාව පිළිබඳ විශ්වාසය තබා කටයුතු කිරීම මිස ශාරීරීක තත්ත්වයන් පිළිබඳ වද වීම අනවශ්‍යය යන්න බෝධිසත්ත්වයන් තම ශිල්පීය කුසලතාව අනුව තනිව සටන්කොට යුද්ධය ජයගැනීමෙන් පැහැදිලි වේ.
එසේම ශාරීරික අසම්පූර්ණතා සහිත පුද්ගලයන් අවතක්සේරු කොට සැළකීම අයෝග්‍ය යන්න ද මෙයින් ගම්‍ය වේ. ඇතැම් ආයතන මෙන්ම පුද්ගලයන් ද පවතින්නේ විශේෂඥයන්ගේ කැපවීම හා සහයෝගය මතය. එම විශේෂඥ දැනුමට ගරු කළ යුතු අතර ජයග්‍රහණයේදී ඔවුන්ගේ සේවය හා කැපවීම අමතකකොට ක්‍රියා කිරීමෙන් ඔවුන් තුළ ආයතනය හා එහි ප්‍රධානීන් කෙරෙහි කළ කිරිමක් ඇති විය හැකිය. එවිට ඔවුන්ගෙන් අවංක සේවයක් අපේක්ෂා කළ නොහැකිය. පණ්ඩිතයන්ගේ උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ප්‍රතිලාභ ලැබූ භීමසේන එය තමන් විසින් අත්පත්කරගත් දෙයක් ලෙසත් පණ්ඩිතයන්ගේ කැපවීම අගය නොකිරීමෙනුත් පැහැදිලි වන්නේ එම යථාර්ථයයි.
සාමුහික ප්‍රයත්නයකින් අත්පත්කරගත් ජයග්‍රහණයක් පෞද්ගලිකව තමා වෙත පවරාගනිමින් එය තමන්ගේ කැපවීමක් ලෙස හුවා දක්වන භීමසේන වැනි ප්‍රධානීන් ගැන කොතෙකුත් අසන්නට ලැබේ. එහෙත් ඔවුන්ට තමන්ටම කියා ගොඩනඟාගත් දැනුමක් හෝ පුහුණුවක් නොමැති නිසා තනියෙන් කිසිම අභියෝගයක් ජයගත නොහැකි බව භීමසේන තනිව සටන ගොස් සිදුවූ වූ ඇබැද්දීන්ගෙන් තහවුරු වේ. මේ අනුව තමා හුවා දක්වමින් කෙරෙන ආත්ම වර්ණනාව ශිෂ්ට සම්මත ලෝකය විසින් අවඥාවෙන් බැහැර කරන දුර්ගුණයක් බව වටහා ගතයුතුවේ.
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 03 වන සඳුදා වන බදාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment