කෙලෙස් වසඟයට පත් නොවෙමු. කෙලෙස් වෛරස්වලින් රෝගී නොවෙමු. අපිරිසුදු නොවෙමු. මානසිකව නිරෝගී වෙමු. අපි කෙලෙස් රෝගීන් අතර මනසින් නිරෝගී මිනිසුන් ලෙස ඒකාන්තයෙන්ම සුවෙන් සැපෙන් ජීවත් වෙමු.
බුදුරදුන් මෙම ගාථාව දේශනා කළේ ශාක්‍ය හා කෝලිය වංශිකයන් අතර ඇති වූ ගැටුමක් සමථකරණය සඳහා ය. මේ දෙපාර්ශ්වයම බුදුරදුන්ගේ ඥාතීහුය. ඔවුහු අක්කර සිය ගණන් කෙත් වතු වගා කළහ. ඒ සඳහා අවශ්‍ය ජලය ලබා ගත්තේ රෝහිණී නදියෙනි. ජලය ලබා ගැනීමේදී දෙපිරිස අතර වරින් වර ගැටුම්කාරී අවස්ථා ඇතිවිණ. එම ගැටුම් සුහද ව සමගියෙන් සමථයකට පත්කර ගැනීමට ඒ කිසිවෙකුත් උනන්දු වූයේ නැත. මේ නිසා එම ගැටුම් දුර දිග යාමෙන් එක් අවස්ථාවක දෙපිරිස ගඟ දෙපස ඔවුනොවුන්ට එරෙහිව අවි දරමින් ඉතා ප්‍රචණ්ඩකාරී අරගලයකට සූදානම් වූහ. මෙය සැල වූ බුදුරදුන් එහි වැඩම කර, ගඟ මැද අහසෙහි දිස්ව ඔවුන් ඇමතූහ.
“ජලය ඔබට මහඟු සම්පතකි. තම තමන්ගේ ජීවිත ඊටත් වඩා මහඟු සම්පතකි. ජලය ඔබට වටින්නේ එයින් ප්‍රයෝජන ගැනීමට ඔබ ජීවත් ව සිටියහොත් පමණි. වෛරයේ, ක්‍රෝධයේ, ද්වේෂයේ ගින්නෙන් ඔවුනොවුන් ගිනිතබා ගනිමින් විනාශ වන්නේ නම්, ජලයෙන් ඇති ප්‍රයෝජන කිම්ද? එයින් ප්‍රයෝජන ගැනීමට ඉතිරිවන්නේ කවුරුද? ඒ නිසා ඔබ එවන් කෙලෙස් කුණු කසළින් අපිරිසුදු නොවී, රෝගී නොවී, එයින් රෝගී වූ මිනිසුන් අතර නිරෝගී මිනිසුන් ලෙස සුවෙන් සැපෙන් ජීවත්වන ලෙසට දහම් දෙසූ සේක. දහම් ඇසූ ඥාතීහු සමගියේ සුහදත්වයේ සපථකරුවන් ලෙස සතුටින් විසිර ගියහ.
මෙහි පළමු කරුණ ‘සුසුඛං වත ජීවාම’ යන්නය. එයින් බුදුදහම අවධාරණය කරන්නේ “ඒකාන්තයෙන්ම අපි සැපසේ ජීවත් වෙමු” යන අදහසයි. මේ අප ඉතා කැමති සුබවාදී සුන්දර අදහසකි. එසේ පවසන්නේ සියලුම සත්ත්වයෝ සැප කැමැත්තෝ වන අතර (සුඛ කැමැති) දුක පිළිකුල් කරන්නෝ වන හෙයිනි. (දුක්ඛේ පටික්කූලා) බුදු දහමේ උගන්වන මෛත්‍රී චිත්ත සන්තානයේ අග්‍රප්‍රාප්තිය වන්නේ (සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා) සියලු සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා’ යන අසමසම උතුම් පැතුමයි. බුදු දහමේ මූලික අපේක්ෂාව වන්නේ කිසිසේත්ම මිනිසා දුකින් ජීවත්වනවා දැකීම නොවේ. එහි මූලික අරමුණ වන්නේ මිනිසා දුකින් ගලවා ගැනීමය. බුදුදහම කිසිසේත්ම ‘දුක්ඛ මූලික’ දහමක් නොව ඒකාන්තයෙන්ම සුඛ මුලික දහමක් වන්නේ ඒ නිසාමය. ‘ජීවිතය යනු දුක් ගොඩකි. එහි ගතුයුතු, ලැබියයුතු, විඳිය යුතු කිසිදු සැපයක්, රසයක්, සුන්දරත්වයක් අර්ථයක් නැත.’ යන සර්ව අශුභවාදී, අක්‍රිය වූ, අපි‍්‍රය වූ කඳුළු ගංගාවකට බුදු දහම මගින් මිනිස් ජීවිතය ඇද දමා නැති බව, අප ඉතා කල්පනාකාරීව, විවේක බුද්ධියෙන් තේරුම්ගත යුතුව ඇත. ජීවිතය නිරන්තරයෙන්ම සසලය. සසල ජීවිතය පිළිබඳ අප ඇතිකර ගන්නා නිගමන නිසලය. කම්පනය ඇත්තේ එතැනය. සසල ජීවිතය පිළිබඳ අප නිසල උපාදානයන් තුළ එල්බ ගැනීම වලක්වාලීමට බුදු දහම අපගේ බුද්ධිය අමතයි. කුපිතව නිදා සිටින්නා පුබුදුවයි. වැටී සිටින මිනිසා නඟා සිටුවයි. දුක නැමැති මඩ ගොහොරුවේ එරී සිටින මිනිසාට එයින් ගොඩ ඒමට දිරි බල ලබා දෙයි. ජීවිතයේ සැපය වසාගෙන තිබෙන පරාභවයේ අඳුරු කඩතුරා ඉවත් කරයි. ජීවන පරමාර්ථයන්හි සාඵල්‍යය සඳහා මානසික උත්තේජනය ලබාදෙයි. ඒ අනුව අප තේරුම් ගත යුතු වන්නේ බුදු දහම පුද්ගලයාගේ මෙලොව සැපයම මූලික කරගෙන දෙසූ (සන්දිට්ඨිකෝ, අකාලිකෝ) ප්‍රායෝගික දහමක් වන අතර, පුද්ගලයා මෙලොවදී ලබන විඳින යුක්ති සහගතවූත්, සාධාරණවූත් (අනවජ්ජ සුඛ) සැපයම හෙවත් ‘සම්මා ආජීවය’ ම ඔහුගේ පරලොව සැපය පිණිසද හේතුවන බවය.
සිත ඉල්ලන හැම දෙයක්ම අපට ඒ ආකාරයෙන්ම ලබාදිය හැකිනම් අපේ (සම්මත) සැප සියල්ලද එයම වේ. ලබාදිය නොහැකි නම් දුක ද එයමය. අපේ සිත ඉල්ලන හැම දෙයක්ම අපට ලබා දිය හැකිද? මුළු ජීවිත කාලයේම එය කිසිදා කළ හැකි දෙයක් නොවේ. එසේ නොහැකි වේ නම් එය ඉච්ඡා භංගත්වයයි. සන්තානගත දුකද එයම මිස අන් කුමක්ද?
කෙතරම් දුන්නත්, කෙතරම් ලැබුණත් සිතට ඇතිවීමක් නැත. ‘මට තව මදි මදි යයි’ සිතෙනවා මිස දැන් මට ඇති යයි සෑහීමකට පත්වන්නේ නැත. (ඌණෝලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ) මේ නිසා සිතට වහල් වූ, ක්ලේශ වසඟයට පත් වූ, මිනිසා හොඳින් හෝ නරකින් මොනයම්ම ක්‍රමයකින් හෝ ඉඳුරන් පිනවීමටත්, එම සතුට අන්සතු නොවී රැක ගැනීමටත් විවිධ අයෝග්‍ය උපක්‍රම යෙදීම නිසා මිනීමැරීම, සොරකම, කාම අපරාධ, දූෂණ, වංචා ආදී දුසිරිත් (බහිජටා) සමාජය තුළ හටගනී. මේ නිසා අපේ අවශ්‍යතා කාගෙන්, කොතනින් කෙසේ හෝ සපුරාගෙන සැප විඳින්නට සිතීම මිච්ඡා ආජීවයකි. බුදුරදුන් අපට පෙන්වා දෙන්නේ (යථා පි භමරෝ පුප්ඵං - වණ්ණ ගන්ධං අහෙම්ඨයං) මල නොතලා රොන් ගෙන යන බඹරකු පරිද්දෙන් සම්මා ආජීවයෙන් ම සැප විඳිය යුතු බවය. ලැබිය යුතු හා විඳිය යුතු සැපය අපගේ හෘදය සාක්ෂිය තුළ අන්තර්ගත විය යුත්තේ සිතට වසඟව නොව සිතට එකඟවය යන්න අප මැනවින් අවබෝධ කර ගත යුතුව ඇත.
මීළඟට අප මැනවින් වටහා ගත යුතු වන්නේ, දැහැමිව සැප ලබා එම සැපය ඉවසීමෙන් හා සැනසීමෙන් විඳිය යුත්තේ, විඳිය හැක්කේ කවුරුන් අතර, කවුරුන් ලෙස සිටීමෙන්ද යන්නය. ‘ආතුරේසුමනුස්සේසු - විහරාම අනාතුරා” යන්නෙන් අපට පෙන්වා දෙන්නේ එම කාරණයයි. කෙලෙස් කුණු කසලින් අපිරිසුදු වූ, ක්ලේශ වෛරස්වලින් රෝගාතුර වූවන් අතර, ඔබ තඩාගයේ විකසිත අරවින්දයක් සේ ආධ්‍යාත්මික පවිත්‍රතාවෙන්, හා සුවපත් බවින් යුක්තව වාසය කළ යුතු බවයි. එයින් පැවසෙන්නේ එය සමාජගත පුද්ගලයාගේ සල්ලේඛ පටිපදාවයි. එනම් ක්ලේශ වසඟව දුසිරිතේ ඇලී ගැලී භීෂණයේ, ත්‍රාසයේ ප්‍රචණ්ඩත්වයේ මාරාන්තික වේදනාවන් අතරින් භෞතික සම්පත් පොරයක යෙදී, සැප සොයන කෙලෙස් රෝගීන් අතර, ඔබ නිරෝගී මනසින් සුසිරිත්ව සුවපත්ව ජීවත්වීමයි.
මේ කරුණට අදාළ ජාතක කතාවක් කෙටියෙන් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි. එය සූකර ජාතකයයි. අප මහ බෝසතාණෝ එක් ආත්ම භාවයක කැලෑවක සිංහයකු ව ඉපිද එහි රජුන් ලෙස සතුන් සමඟ සාමයෙන් සතුටින් වෙසෙති. එම කැලෑවෙහිම තාරුණ්‍යයෙන් උඩඟු වූ එක් ඌරකු, තමා හා සටනට එන ලෙස එම සිංහ රජුට අභියෝග කරයි. සිංහයාට ඌරා සමඟ සටනක් නැත. ඌරා මට්ටු කිරීමට සිංහයාගේ බැල්ම වුවද සෑහේ. එහෙත් ඌරාගේ උද්ධච්චකමට දඬුවමක් දිය යුතු යැයි සිංහයා සිතීය. සිංහයා අභියෝගය භාර ගත්තේ ය. සටනට දිනය තැන වේලාව නියමය. එපරිදි නියමිත දින, නියමිත වේලාවේදී සිංහයා පැමිණියේ ය. ඌරා ද මඳක් ප්‍රමාදව පැමිණියේ ය. ඒ පළාතම ගඳ ගස්වමිනි. සියලු සතුන්ගේ නාස් පුඬු හැකිළිණි. සිංහයාගේ ද නාසය හැකිළිණි. ඌරා දෙස මද වේලාවක් පිළිකුලෙන් බලා සිටියේ ය. ඌ පැමිණ ඇත්තේ ශරීරය පුරාම අසූචි තවරා ගෙන බව දුටුවේ ය. සිංහයා මඳක් සිතීය. ක්ෂණික තීරණයකට එළඹිණ.
මිත්‍රය, නුඹ දිනුම්, මා පරාදයි කියා ඌරාට දිනුම දී, සිංහයා තම වර්ගයාට හිමි උසස් ගති ස්වභාවයන්ගේ ගෞරවය රැක ගනිමින් ආපසු යන්නට ගියේ ය.
ශාස්ත්රපතිමහගල්වැවේ විමල හිමි
No comments:
Post a Comment