පසුගිය වෙසක් පුන් පොහොය එළඹීමත් සමඟ ශ්‍රී බුද්ධ වර්ෂ 2561 උදා වූ බව අප කවුරුත් දන්නවා. තවත් ආකාරයකින් කියනවා නම් ශාඛ්‍යමුණි තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා දැන් අවුරුදු 2561 ක් වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් බොහෝ කාලයක් ගත වුවද ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අදටත් අපට අසන්නට ලැබෙනවා. එය අපේ වාසනාව නොවේද? සසර දුකික් එතෙර වීමට උන්වහන්සේ අපට මුල, මැද, අග සුන්දර ධර්මයක් දේශනා කොට වදාළා. ඒ මගෙහි ගමන් කරන කවුරු වුවද දුක් විඳින සසර ගමන නවතා දමනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ශ්‍රැතවත් ශ්‍රාවකයාට ධර්මය අවබෝධ කිරීම පිණිස බාහිරින් උපකාරක අංග දෙකක් ලැබිය යුතු බව. එනම් කල්‍යාණ මිත්‍ර සේවනය සහ, ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයයි. කල්‍යාණ මිත්‍රයෙකුගෙන් අපට ලැබිය යුත්තේ ශ්‍රී සද්ධර්මය යි. අනෙක් අතට ශ්‍රී සද්ධර්මය අපට මනාකොට අසන්නට ලැබෙන්නේ කාගෙන්ද ඔහු අපේ කල්‍යාණ මිත‍්‍රයා වෙනවා.
දිනක් බුදුරජාණන් වහන්සේගෙන් රන් කරුවෙකුගේ පුතෙක් වූ “චුන්ද” අසා සිටියේ මේ ලෝකයේ ශ්‍රමණයෝ කොතෙක් සිටිත්ද? යන්නයි. මේ පැනයට පිළිතුරු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ
චතුරෝ සමණා න පඤ්චමත්ථි - තේ තේ ආවිකරෝමි සක්ඛිපුට්ඨෝ
මග්ගජිනෝ මග්ගදේසකෝ ච - මග්ගේ ජීවති යෝ ච මග්ගදූසි
මේ ලෝකයේ ශ්‍රමණයින් සිව් දෙනෙක් සිටියි. ඒ ශ්‍රමණයන් හතර දෙනාට අමතරව පස්වැනි ශ්‍රමණයෙකු නැත. පින්වත් චුන්දය, ඔබේ පැනයට මෙසේ පිළිතුරු දෙමි. ඒ ශ්‍රමණයින් සිව් දෙනා නම් 1.මඟ ජයගත් කෙනාය, මඟ දෙසන කෙනාය, මඟ දිව් ගෙවන්නාය, මඟ වනසන්නාය. (චුන්ද සූත්‍රය - සුත්ත නිපාතය)
මේ අනුව බලන විට කල්‍යාණ මිතුරන් තෝරා ගන්නා විට අප වඩාත් බුද්ධිමත් විය යුතු වෙනවා. හේතුව මග දෙසනා අය සේම මග නසන අයත් ශ්‍රමණ වේශයෙන් පෙනී සිටිනා බැවිනි. භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත ජටිල සූත්‍රයේදී මේ කරුණ මනාකොට ඉස්මතු කොට වදාළා.
දිනක් භාග්‍යවතුන් වහන්සේ පූර්වාරාමයේ එළිමහනෙහි වැඩ සිටින මොහොතක පසේනදී කොසොල් රජතුමා එතැනට පැමිණියා. ඒ මොහොතේ ජටාධර තවුසන් හත් දෙනෙකුත්, නිගණ්ඨයන් හත් දෙනෙකුත්, අචේලකයන් හත් දෙනෙකුත් තනි සළුවක් පමණක් ඇඳගත් තවුසන් හත් දෙනෙකුත්, පරිබ්‍රාජකයන් හත් දෙනෙකුත් භාග්‍යවතුන් වහන්සේට නුදුරින් ගමන් කළා. නිය, කෙස් වවාගෙනයි ඔවුන් සිිටියේ. නොයෙක් විදිහේ තවුස් පිරිකර ඔවුන් ළඟ තිබුණා. ඔවුන් දුටු පසේනදී කොසොල් රජතුමා ආසනයෙන් නැගිට උතුරු සළුව එක් පැත්තකට පොරෝ ගෙන දකුණු දණහිස පොළොවේ තබා ගත්තා. අර ජටාධර තවුසන් හත්දෙනා, නිගණ්ඨයන් හත්දෙනා, අචේලකයින් හත්දෙනා තනි සළුවක් පොරවාගත් හත්දෙනා සහ පරිබ්‍රාජකයන් හත්දෙනා දෙසට වැඳගෙනම තුන්වරක්ම තමන් හඳුන්වා දෙමින් ස්වාමිනි, මමයි පසේනදී කොසොල් රජතුමා යැයි කියා සිටියා.
ඉන්පසු පසේනදී කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියා සිටියා.
ස්වාමිනි, මේ ලෝකයේ යම් රහතන් වහන්සේලා සිටීනම්, රහත් මාර්ගයට බැසගත් උතුමන් සිටීනම් දැන් මෙතැනින් ගිය උදවියත් ඒ පිරිසට තමයි අයත් වන්නේ.
එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ පින්වත් මහරජ, ගිහි ගෙදර ගත කරන, කම්සැප විඳින දූ දරුවන්ගේ කරදර තිබෙන සිනිඳු සළු පොරවන, මල්, සුවඳ විලවුන් පරිහරණය කරන, රන් රිදී පරිහරණය කරන, ඔබට මේ උදවිය රහත්ය. මේ උදවිය රහත් මඟට බැසගත් පිරිසය කියා දැනගන්න පුළුවන්කමක් තිබෙනවාද?
පින්වත් මහරජ, එකට ජීවත් වෙලයි සීලය ගැන දැන ගන්න තිබෙන්නේ. එය ටික දවසකින් නොවේ. බොහෝ කාලයක් එකට ජීවත් වූ පසුවය. ඒ වගේම ඒ පිළිබඳව කල්පනාවෙන් සිටින පුද්ගලයාටයි එය තේරෙන්නේ. කල්පනාව නැති පුද්ගලයාට නොවෙයි. ඒ වගේම ප්‍රඥාවන්ත පුද්ගලයාටයි ඒ බව තේරුම් යන්නේ. ප්‍රඥාව නැති පුද්ගලයාට නොවෙයි.
පින්වත් මහරජ, කෙනෙකුගේ ප්‍රඥාව සොයාගන්න තිබෙන්නේ සාකච්ඡා කිරීමෙන්මයි. එයත් සුළු කලකින් නොවෙයි. සෑහෙන කලක් සාකච්ඡා කිරීමෙනුයි. එයද කල්පනාවෙන්මයි තෝරා බේරා ගත යුත්තේ. කල්පනාවෙන් තොරව නොවෙයි. ප්‍රඥාවන්ත පුද්ගලයාට පමණයි එය තේරුම් යන්නේ. ප්‍රඥාව නැති පුද්ගලයාට නොවෙයි.
මෙසේ බුදුරජාණන් වහන්සේ වදාළ විට රජතුමා පවසනවා “ස්වාමිනි ආශ්චර්යයි, ස්වාමිනි අද්භූතයි, භාග්‍යවතුන් වහන්සේ වදාළේ සත්‍යයක්මයි. ස්වාමිනි ඔය උදවිය මගේ චර පුරුෂයෝයි. දැන් ඒ ඇත්තෝ ජනපදවලින් ඇවිදගෙන ගොස් තොරතුරු අරගෙනයි එන්නේ. ඒ ඇත්තන් පළමුව ඇවිදගෙන ගිය පළාතේ තමයි ඉන්පසු මම යන්නේ. ස්වාමිිනි දැන් ඉතින් ඔය උදවිය ඔය දැලි කුණු සෝදා, හොඳට වතුර නාලා, හොඳට සුවඳ විලවුන් ගල්වා, හැඩට කොණ්ඩය පීරා, සළු පිළි ඇඳගෙන පස්කම් සැපතින් පිනා යමින් ඉඳුරන් පිනව පිනවා සිටිනවා.
එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන ඒ අවස්ථාවේ මෙසේ වදාළ සේක. පින්වත් රජතුමනි, බාහිර පෙනුමෙන් මිනිසෙකු පහසුවෙන් හඳුනාගත නොහැකියි. දැන හඳුනාගෙන සුළු වෙලාවකින් ඔවුන් විශ්වාස කරන්න හොඳ නැහැ. මේ ලෝකයේ නිසි සංවරයක් නැති උදවිය ශාන්ත දාන්ත ඉරියව් පෙන්නාගෙනයි සිටින්නේ.
මඩේ එරුණ මනුෂ්‍යයෙකුට තවත් මඩේ එරී සිටින මනුෂ්‍යයෙකු ගොඩ ගන්න පුළුවන්කමක් නැහැ. එය සිදු නොවන දෙයක්. ඒ නිසා සසර දුකෙන් එතෙර වීම පිණිස වෙර වීරිය වඩන කවුරුත් මේ යුගයේ තමන්ගේ යහපත පිණිස පවතින බාහිර උපකාරක අංග දෙක වන කල්‍යාණ මිත්‍ර සේවනයත්, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයත් ලැබීමේදී බුද්ධිමත් බවකින් කටයුතු කළ යුතු වෙනවා.
මග්ගජිනෝ මග්ගදේසකෝ ච - මග්ගේ ජීවති යෝ ච මග්ගදූසි
පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
No comments:
Post a Comment