Labels

Sunday, June 11, 2017

මේ මුළු ලෝකයම ඔහුට කමටහනක්‌ වූ මෙවලමකි

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ 'සතර අපායෙන් මිදෙමු' - 19 කොටස

භික්‍ෂුවට මතකයි, භික්‍ෂුව උපසම්පදා විනය කර්මයට සහභාගීවී පැමිණි පසු ආරණ්‍යයේ වැඩ සිටි සාමනේර හිමිනමක්‌ විමසුවා 'ඔබ වහන්සේ ඊයේ උපසම්පදා වුණානේ. දැන් ඔබ වහන්සේ ලොක්‌කෙක්‌ නේද?' කියලා. ඒ දරුවා උපසම්පදාව කියන අර්ථය දුටු චිත්‍රයයි ඒ ප්‍රකාශකළේ. ඒ මොහොතේ භික්‍ෂුව කිව්වේ 'දරුවෝ, උපසම්පදා පිංකමෙන් පස්‌සේ මම තව කුඩා වුණා' ය කියලයි. සරළ වුණාය කියලයි. නිහතමානී වුණාය කියලයි. උපසම්පදා විනය කර්මයෙන් පස්‌සේ මට වෙච්චි දෙයයි මම ප්‍රකාශ කළේ. ඒත්, ඒ දරුවා ඒක තේරුම් ගත්තේ නැහැ. ශීලය තුළට යන්න යන්න ඔහු නිවෙනවා. එය ශීලයේ ආශ්චර්යයක්‌. සිsල්පද රකිනවාය කියන්නේ ජීවිතයට පහසුවක්‌මයි. භික්‍ෂුව මේ මොහොතේ ඉන්න සරළ භාවය ශීලයේ ඵලයක්‌. මෙතනට එන කෙනා අවබෝධයෙන් දන්නවා තමා තුළ විකුණන්නවත්, විකිණෙන්නවත් දෙයක්‌ නොමැති බව.
අපි විකුණන්නේ ලෝභ, ද්වේෂ. මෝහ අකුසල් මූලයන් තුළින් ගොඩගසාගත් 'මගේ කුණුගොඩ'මයි. එහෙම කුණුගොඩක්‌ නැති තැන ඔහු නිදහස්‌ පිංවතෙක්‌.

පිංවත් ඔබ සම්මා වායාමෝ කියන යහපත් ව්‍යායාමයක යෙදෙන කෙනෙක්‌ වෙනවා. යහපත් ව්‍යායාමය කියන්නේ කුසල් ධර්මයන් දියුණුකරගැනීමත්, අකුසල් දුරුකර ගැනීමත් කියන කාරණයයි. අකුසල් ප්‍රහානය කරන පිංවතා කුසලය තුළටමයි ජීවිතය රැගෙන යන්නේ. එයා කුසල් අකුසල් හොඳින් හඳුනනවා. ඒ දෙකේ ඵලවිපාකයන් හොඳින් හඳුනනවා. දැන් මොහු දිට්‌ඨධම්මවේදනීයව කුසලයේ ඵලයන් භුක්‌තිවිඳින කෙනෙක්‌. ජීවිතයට සැනසිල්ල ලැබෙන්න ලැබෙන්න තව තවත් කුසලය දිශාවටමයි ඔහු ඇදීයන්නේ. මොහු ලෝකය තකන්නේ නැහැ. සන්දිට්‌ඨ§කව ධර්මයේ ගුණයන් අත්විඳිනවා. මොහු ආපසු හැරීබලන්නේ යමක්‌ ඉගෙනගැනීමට පමණක්‌මයි. පසුතැවීමට නොවේ. මොහු බොහෝම ක්‍රියාශීලියි. හැබැයි අධිවේගී නැහැ. ශීලය විසින් මොහුව තැන්පත්කොට තිබෙන්නේ. ඔබ දැන් දන්නවා කුසල් අකුසල් දෙකම සංස්‌කාරයන් බව. සංස්‌කාරයන්ගේ ස්‌වභාවය අනිත්‍ය බව. මේ දැක්‌ම නිසාම ඔබ උත්සාහගන්නවා කුසල් අකුසල් දෙකෙන්ම මිදෙන්නට. ඔබ කල්පනා කරනවා කුමක්‌ නිසාද කුසල් අකුසල් සිද්ධවෙන්නේ කියලා. රූපය කෙරෙහි ඇති ඡන්දරාගය නිසාමයි අපි කුසල් අකුසල් සිදුකරන්නේ. එයා නුවනින් මෙනෙහි කරනවා රූපයේ අනිත්‍යබව. දැන් එයා ව්‍යායාමයක යෙදෙන්නේ දුක පිණිස හේතුවන දේවල් අයිතිකරගන්න නොවේ. දුකෙන් මිදෙන දිශාවටයි ඔහු යොමුවී සිටින්නේ. ඔහු තෘෂ්ණාව ඉලක්‌ක කරගෙන, පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දකින්නයි උත්සාහගන්නේ. එතනමයි එයාගේ සම්මා වායාමය. කුසල්, අකුසල් වල ඵලය භවයමයි කියලා ඔහුට දැන් පෙනෙනවා. ඔහු සිත, කය, වචනය මෙහෙයවන්නේ ධර්මය තුළින් යමක්‌ ඉගෙනගැනීමේ දිශාවටමයි. රූපය කාමය සඳහා නොව, ක්‍රීඩාව සඳහා නොව අවබෝධය සඳහාය කියන කාරණය ඔහු දකිනවා. 

ඔහු තුළ සම්මා සතිය යහපත් සිහිය ඇතිවෙනවා. මොහු හොඳ නරක තෝරාබේරා ගන්නවා. ධර්මය අධර්මය හඳුනා ගන්නවා. විනයට අනුව ඇවත දැක ඒවා පිරිසිදුකර ගන්නවා. මග නොමග තේරුම් ගන්නවා. නවාතැන් පොළවල් නැති නිවන් මාර්ගය දැන් ඔහු හොඳින් හඳුනනවා. එයා දන්නවා 'බුද්ධං සරණං ගච්ඡාමි' කියන සරණාගමනයේ ඇති අර්ථය. එයා බුදුරජාණන් වහන්සේ තුළින් බුදුරජාණන් වහන්සේගේ රූපය නෙමෙයි දකින්නේ, උතුම් සම්මා සම්බුද්ධ ඤාණයයි. එයා දන්නවා ධර්මයේ අර්ථය අනිත්‍යයි කියලා. සංඝරත්නය කියන්නේ විමුක්‌ති ඤාණදර්ශනවල ඵලයයි කියලා. එයා කවදාකවත් පොත්ත සොයාගෙන යන්නේ නැහැ. එයා සොයාගෙන යන්නේ අරටුවයි. එයා දැන් අරටුව හඳුනනවා. කාම රූපී, අරූපී භවාත්‍රයන් පිළිබඳ මුළාවන් දැන් ඔහුගෙන් ඉවත්වෙලා. ඔහු ඒ සඳහා සක්‌කාය දිට්‌ඨ§ය, විචිකිච්ජාව, සීලබ්බත පරාමාස ධර්මයන් ජීවිතයෙන් සියුම්කර දමනවා, නුවනින් මෙනෙහි කරමින්. ඔහු නිවැරදිව දන්නවා ඔහු ඉදිරියේ කාම, රාග, පටිඝ පළිබෝධයනුත් තිබෙනවා කියලා. කළ්‍යාණ මිත්‍ර ඇසුර ලබමින් මොහු ස්‌වයංක්‍රීයව ධර්මයේ ශක්‌තියෙන්ම ඉදිරියට යන්නේ. මොහුට හදිසියක්‌ නැහැ, මොහු දන්නවා ඉක්‌මන්කාර බවත් සිතිවිල්ලක්‌ය කියලා. ඒ සිතුවිල්ලත් අනිත්‍ය වශයෙන් දකිද්දී ඔහු දකින්නේ ධර්මයේ අර්ථයයි කියලා. වාද විවාද සිත ඇතුළේ තිබෙනවා. ඒවා විසඳෙන්නේ ධර්මානුකූලව, නිවැරදි දිසාවටමයි. මොහු ආපසු හැරෙන්නේ නැහැ. සම්මා සතියේ සැබෑම ආශ්චර්ය ඒකයි. ඔබ මේ මොහොතේ මොන දේවල් අයිතිකරගෙන සිටියත් අවසානයේ ඒවා මතක සටහන් පමණක්‌මයි. ඒ මතක සටහන් හේතුවෙන් තවත් උපතකටයි ඔබ බැසගන්නේ කියලා ඔහු දන්නවා. මොහු කය දකින්නේ සතර මහා ධාතුන් වශයෙන්, දෙතිස්‌ කුණුපයන් වශයෙන්, ආයතන වශයෙන්, පංචඋපාදානස්‌කන්ධ වශයෙන්. මොහු වේදනාව දකින්නේ ඇලීම්, ගැටීම්, උපේක්‍ෂාවන් හැටියට. විඳීම නැතිතැන මනස විසිතුරුයි. එහි ඝණ රූප සටහන් නැහැ. රූප සටහන් ඇඳුනද ඒවා ඉතා ඉක්‌මනින් මැකීයන සටහන්. එහෙයින් එතැන ගැටලු නැහැ. ගැටලු ඇත්තේ තෘෂ්ණාවේ තීන්ත විසින් රූප ඝණ කර අඳින තැනදීය. තෘෂ්ණාවේ තීන්ත දියවුන තැනදී ඝණ චිත්‍රයක්‌ නැත. එහෙයින් සිත නිරතුරුවම ප්‍රභාෂ්වරයි. ඒ ප්‍රභාෂ්වර සිතිනුයි ඔහු දැන් ලෝකය බලන්නේ. මේ මුළු ලෝකයම ඔහුට කමටහනක්‌ වූ මෙවලමකි. එම සිත ඔබ මඩේ ඔබාගත්තද එහි මඩ තැවරී නැත. තැවරෙන ස්‌වභාවයෙන් යුත් තෘෂ්ණාවේ ලාටු එහි නැත. දායක මහත්මයෙක්‌ මහත්මියක්‌ මොනතරම් ලෙන්ගතුකම් පෑවද, පිංවත් ඔවුන් සහ බැඳීමක්‌ නැත. මන්ද බැඳීම ඇතිකරන්නාවූ තෘෂ්ණාවේ මැවුම්කාරියව මරාදමා ඇති හෙයිනි. දැන් ඔබ ලෝකයට ණයකාරයෙකු නොවේ.

මුල් අදියරේදී ඔහු දුකට හේතුවන සක්‌කාය දිට්‌ඨ§ය, විචිකිව්ජාව, සීලබ්බත පරාමාස යන සංයෝජන ධර්මයනුත්, දෙවැනුව කාම, රාඝ, පටිඝ මෝහ ධර්මයනුත් හොඳින් හඳුනන අයෙකි. මොහු දැන් එක දෙයක්‌ කරමින් තව දෙයක්‌ හිතන අයෙක්‌ නොවේ. එක දෙයක්‌ කරමින් තව දෙයක්‌ කථාකරන අයෙන් නොවේ. කළ යුත්ත නොකළ යුත්ත වටහාගෙන කරන අයෙකි. තමාගේ අරමුණු මොහු තමා විසින්ම පාවා නොගනී. මොහුගේ ගමන ප්‍රසන්නය. ධර්මයේ හැඩතල පෙන්නන්නෙකි. සිතුවිලි විවේකීභාවයට පත්වූවෙකි. මොහු ඇවතක්‌ වුවහොත් වහ වහා නිවැරදිවනවා, දුසිල්වතුන් මග හැර යනවා, නපුරු අවදානම් තැන් මග හැර යනවා, ශීලයට ඇති කැමැත්ත නිසාම..... ලෝකයක්‌ තනිවුනාය කියල මොහු තකන්නෙ නැහැ. මොකද නැතිවෙන්න කෙනෙක්‌ මෙතන නැහැ. ස්‌ථිරව රැඳෙන්න පුළුවන් කෙනෙකුත් ලෝකයේ නැහැ. සිව්පසය පරිහරණයේදී මොහු මන්දගාමීයි. ඔහු දන්නවා වේගය තමාව ගොදුරක්‌ කරගනීවි කියලා. ලාභ සත්කාර සර්පයෙක්‌ වශයෙන් දකින්නේ. උවමනා එපාකම් ගොඩාක්‌ ගොඩගසා ගන්නේ නැහැ. ලද දෙයින් සතුටුවෙනවා. ඉන්ද්‍රිය සංවරය ඉතා දියුණුයි. උදේ, දවල්, රාත්‍රී වශයෙන් මොහු කාලය දකින්නෙ නැහැ. මොහු දන්නවා මේ මොහොත උතුම්ම මොහොතයි කියලා. එය ගෙවී යනවා ලැබුවාවූ මොහොත ප්‍රයෝජනයට ගන්නවාය කියලා. මොහු ලෝකයාගෙන් සම්මාන ගෞරව බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඔහු දන්නවා නිකෙලෙස්‌ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සම්මාන ගෞරවයට තමන් පාත්‍රවී ඇති බව. ඔහු සංකීර්ණව ජාති, ජරා, ව්‍යාධි, මරණ අභිභවාගිය අයෙක්‌. නිරතුරුවම ලෝකය වසඟ කරන දුක කියන කාරණයේ අර්ථය හෙළිකරගත් කෙනෙක්‌ වෙනවා. 

සමාධිමත් භාවයේ ආරම්භය ආශ්වාස ප්‍රශ්වාසයේ දිග භාවය, කෙටි භාවය, විචාර විතක්‌ක, ප්‍රීතිය සැපය පසුකරමින් සිත උපේක්‍ෂාව කියන ඇලීම් ගැටීම් වලින් තොර ස්‌වභාවයට පත්වෙනවා. උපේක්‍ෂාව කියන තැන බොහෝම සුන්දර පැහැදිලි නම්‍යශීලී තැනක්‌. විදර්ශනාව දෙසට හිත මෙහෙයවීමට අවශ්‍යනම් දැන් සිත සුදානම්. ඔහු මුලින්ම තමා උපේක්‍ෂාව දක්‌වා පැමිණි ආශ්වාස ප්‍රශ්වාසයේ දිග, කෙටි භාවය, විචාර විතර්ක, ප්‍රීතිය සැපය අනිත්‍යවූ හැටි විදර්ශනාවෙන් දකිනවා. ඔහු ඒවාට ඇති ඇලීමෙන් මිදෙනවා. සෑම රූපයක්‌ම අභියස අනිත්‍ය සංඥාව ඉස්‌මතුවෙනවා සිත තුළින්ම. කැමත්තයි අතහැරෙන්නේ අවබෝධයයි ලබන්නේ. සතර මහා ධාතුවේ සැබෑම වේගය, විඤ්ඤාණ ධාතුවේ සැබෑම වේගය ඔහු තම අවබෝධ පථයට හසුකර ගන්නවා. සිත උපේක්‍ෂාව කියන නම්‍යශීලී තැනදී අවශ්‍යනම් මොහු චුතූපපාතඥානය, පුර්වේ නිවාසානුස්‌සති ඥානය, දිව්‍ය චක්‌ඛු ඥානය, දිව්‍ය ශ්‍රොaත ඥානය ඔස්‌සේ සිත රැගෙන යනවා. මස්‌ ඇසෙන් නොදැක්‌ක ලෝකය සමාධියේ ඇසෙන් දකිනවා. සිත රළු බවට පත්කරන පංචනීවරණයන්ගේ ග්‍රහණයෙන් මිදුන සිත ප්‍රභාෂ්වරයි. ආලෝකය තුළිනුයි මොහු ලෝකය දකින්නේ. සම්මා සමාධිය ලෝකයේ බොරුව නිශේධ කර සත්‍යාවබෝධය අත්දැකීම් තුළින්ම ඔබට පසක්‌කර දෙනවා. එවිට ඔබ තුළ පැටලිලි ස්‌වභාවයන් නැත. ඔබ ඇත්ත ඇතිහැටියෙන් දකී. සම්මා සමාධියේ අසිරිමත් ස්‌වභාවයක්‌ මෙහි සටහන් තබමි. 

එක්‌තරා භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙන විට මීට වසර දෙදහස්‌ පන්සියයකට පෙරාතුව ජීවමානව වැඩසිටි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ සමාධියෙන් දර්ශනයකර ගෙන ඇත. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පා අවසානය. නමුත් මේ භික්‍ෂුව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දකින්නේ පුර්වේනිවාසානුස්‌සති ඥානය තුළින්ය. එම භික්‍ෂුව මීට වසර දෙදහස්‌ පන්සියයකට පෙර කාලයේ දඹදිවදී බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක තිබෙන්න පුළුවන්. එසේත් නැතිනම් ශ්‍රී ලංකාවට වැඩමකළ අවස්‌ථාවක බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක තිබෙන්න පුළුවන්. එසේත් නැතිනම් දිව්‍ය තලයක දෙවියෙක්‌ ලෙස ඉපිද සිට බුදුරජාණන් වහන්සේව ජීවමානව දැක තිබෙන්නට ඇත. ඒ අතීත දර්ශණය පුර්වේනිවාසානුස්‌සති ඥානය ඔස්‌සේ අරමුණු නොකරම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ එම භික්‍ෂුවට දර්ශනය වී ඇත.

ලෝකයේ ඇත්ත ඇතිසැටියෙන් පෙන්වීම සම්මා සමාධියේ ස්‌වභාවයයි. ඒ ඇත්ත ඉදිරියේ කුමන රූපයක්‌ දුටුවද එම රූපය දිනයෙන් මනසින් මැකීයන්නේ අනිත්‍ය සංඥාව ඉස්‌මතුවීමත් සමගින්මය. ශාස්‌තෘන් වහන්සේගේ රූපය ඉදිරියේ වුවද විඳීම නිරුද්aධවී ගොස්‌ය. සම්මා සමාධිය ඔබව ලෝකයෙන් එතෙර කරන දැක්‌මයි. අනිත්‍යයේ සියුම් වේගය ප්‍රඥාවේ දැලට හසුකරගන්නා දැක්‌මයි. 

භික්‍ෂුව පිංවත් ඔබටත් එන්න කියලා ආරාධනා කරන්නේ මෙතැනට. අතුරු නවාතැන්පලවල් වල නැවතී සිටිනවාට වඩා මෙතැන මොන තරම් ආරක්‍ෂාකාරී තැනක්‌ද. 

පුද්ගලයෙක්‌ සිටිනවා ඔහු ලෝකය සමග තැවරී නැහැ. ලෝකය සමග මුහුවෙලා නැහැ. ලෝකය කියලා කීවේ නාමරූප ධර්මයන්ට. ලෝකයට නොතැවරුන, ඔබටත් මටත් පාර කියන මේ සුන්දර මිනිසා ජීවත්වන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක. මේ සුන්දර ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඵලය තුළ පමණක්‌මයි. 

දැන් වේලාව සවස 5,00 පමණ ඇති. කුරුල්ලන්ගේ හඬ බොහෝම වේගවත්. මේ කුටිය අවට කැලෑරොදේ කුරුල්ලන් සියගනනක්‌ සිටිනවා. විවිධ වර්ග වල, හැඩවල, වර්ණවලට අයිති. මේ කුරුල්ලන් නගන විවිධ ශබ්ද කිචිබිචිය හරිම මිහිරියි. ඒ මිහිරි පක්‍ෂි චර්යාවන් නරඹන්න ඔබ හරිම කැමතියි. සමහරවිට එය ඔබේ විනෝදාංශයක්‌. නමුත් මේ කුරුල්ලන්ගේ මිහිරි නාදය භික්‍ෂුවට ඇසෙන්නේ අඳෝනාවක්‌ වගේ. නිකං අඳෝනාවක්‌ නෙවේ. තිරිසන් අපා දුකේ අඳෝනාවක්‌ වගෙයි. ඔය කුරුල්ලෝ අතුපතර රිංග රිංගා සොයන්නේ ගස්‌වල සිටින පණුවන්, දලඹුවන්, කෘමීන්. ඒවා ඔවුනගේ රසවත්ම ආහාරයයි. ඔය ලස්‌සන පාට පාට සුන්දර එක කුරුල්ලෙක්‌ දිනකට අවමවශයෙන් පණුවන් පනස්‌ දෙනෙක්‌ පමණ ගිලදමනවා. ප්‍රාණඝාත අකුසලයේ තෝතැන්නක්‌ පක්‍ෂි ජීවිතය. පණුවන් හොටෙන් අල්ලාගෙන එම හොටෙන් දෙතුන් වරක්‌ අතුවලට තට්‌ටු කරනවා පණුවා මැරෙන්න. පණුවා මැරුණ පසුයි එය ගිලදමන්නේ. එම පක්‍ෂියා තුළ සත්ව ඝාතන, සත්ව හිංසා කියන ෙච්තනා සියල්ල සකස්‌වෙලා තිබෙන්නේ. කර්මය කර්මඵල විශ්වාසය තමයි නැත්තේ පක්‍ෂියා තුළ. මේ පක්‍ෂීන් කියන්නේ අකුසල් නිධි. එම පක්‍ෂීන් මිය යන වෙලාවේ එම පක්‍ෂීන්ට මතක්‌ වෙන්නේ පණුවන්ගේ රසය ඒ උපාදානයට අනුව එම පක්‍ෂියා මරණින් මතු පණු කුලයක, දලඹු, කෘමි කුලයකයි උපත ලබන්නේ බොහෝවිට. එසේ වුණහොත් එයා කර්ම ඵලය කුරුල්ලකුටම ගොදුරු වෙන්න පුළුවන්. බලන්න සුන්දර කුරුළු ජීවිතයක්‌ තුළ මොනතරම් අසුන්දර කථාවක්‌ සැඟවිලා තිබෙනවාද කියල. මෙවන් සුන්දර කුරුලු ගීතයක්‌ තුළ මොනතරම් අමිහිරි අඳෝනාවක්‌ සැඟවී තිබෙනවාද කියල. මෙවැනි අසුන්දර, අමිහිරි කුරුලු ලෝකය විනෝදාංශයක්‌ කරගත්ත අපි විනෝදාංශයක්‌ කරගන්නේ මෝහයයි. කමටහනක්‌ කරගත යුතුදෙය විනෝදාංශයක්‌ කරගන්නවා. මෝහය විනෝදාංශයක්‌ කරගත්තාවූ ලෝකයාට අමෝහයේ සැබෑම මග විවර කරදෙන්නේද උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයමය. සත්තු මරන මිනිස්‌සුන්ව පිළිකුල් කරන අපි සත්තු මරන කුරුල්ලන්ව විනෝදාංශයක්‌ කරගන්නවා. පක්‍ෂීන් යනු අපායේ යන කුරුල්ලන්ය. මන්ද ඒ සතුන් ඒ තරමටම ආහාරය සඳහා ප්‍රණඝාතය සිද්ධකරගන්නවා. ඇසට පෙනෙන දෙයින් එහාට දකින්න. ඒ දැක්‌ම ප්‍රඥාවයි.


2013 ජනවාරි 13 ඉරිදා දින  දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි

No comments:

Post a Comment