විශ්වයේ ක්‍රියාකාරීත්වය විටෙක හිතකරය. තවත් විටෙක අහිතකරය. මේ නිසා හොඳ නරක යන එකිනෙකට ප්‍රතිවිරුද්ධාකාර බලශක්ති දෙකක් විද්‍යමාන වේ. චින්තනයක් හා ජීවයක් ඇති සත්වයාට එය හොඳින් දැනෙන අතර චින්තනයෙන් එය හඳුනා ගන්නා මිනිසා කර්මය වශයෙන් වෙන්කොට එයටම හේතුඵල ධර්මතාවයක් සම්බන්ධ කොට පවත්නා ස්වභාවයෙන් සත්ව යන නාමයෙන් පෙන්වාදී ඇත.
අප බුදුරජාණන් වහන්සේ මෙම විශ්ව ශක්තිය හොඳින් හඳුනාගැනීමට එහි ඇති තත්ත්ව ස්වභාවයම උපයෝගී කරගෙන සුවිශේෂ චින්තන ශක්තියක් උපදවා ගත්සේක. ආගමික වශයෙන්, දාර්ශනික වශයෙන් මෙන්ම විද්‍යාත්මක වශයෙන්ද සංකල්ප නිපදවාගත් සෙසු අයගේ අදහස් නිර්මාණ වාදයට හා ආත්ම වාදයට අයත් වීම නිසා චින්තන ශක්තිය සීමා සහිත විය.
විශ්ව පැවැත්ම කුළ කරන නිර්මාණය විශ්ව ශක්තියට අදාළ නොවන බැවින් සත්ත්වයාගේ හොඳ නරක දෙකට එයින් අල්ප මාත්‍රයකුදු ප්‍රයෝජනයක් බලපෑමක් නොවේ.
කෙතරම් නිර්මාණ බිහිවුවද එයින් වන්නේ සත්වයාගේ ප්‍රගතියට බාධාවකි. එයට හේතුව විශ්ව ශක්තියෙන් මර්දනය වන සත්වයා නිර්මාණ සීමාව කෙරෙහි තීරණාත්මක අපේක්ෂාවක් තබා ගැනීම හා විශ්ව ශක්තියෙන් තව තවත් පීඩා විඳින්නට සිදුවීමය.
විශ්වයම උපයෝගී කරගෙන එම ශක්තියට වඩා බලසම්පන්න ඤාණශක්තියක් ලබාගත් අප බුදුරජාණන් වහන්සේ තම බුද්ධි ප්‍රභාවය එම පුළුල් විශ්වය ඉක්මවා පැතිර වූ අයුරු ධර්ම දේශනා කීපයකින්ම අපට පැහැදිලි වන්නේ ය. බුදුරජාණන් වහන්සේගේ රූපය දැකීමෙන්, දේශනා ශබ්දය ඇසීමෙන්, නම දැන ගැනීමෙන්, ධර්මය දැන ගැනීමෙන් ලබාගත් අවබෝධ ඤාණයෙන් සැනසෙන්නට හැකි වන්නේ බුද්ධ බලය විශ්ව බලය ඉක්මවා යන බැවිනි.
අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාසහශී‍්‍ර ලෝකධාතු මෙන්ම ඉන් පිටතටද තථාගත බ්‍රහ්මස්වරය පතුරුවන්නේ නම් හැකිවන බව පෙන්වා වදාළ සේක. ලොව්තුරා බුදු කෙනෙකුගේ අල්ප මාත්‍රවූද අසත්‍යයක්, වැරැද්දක්, අනර්ථයක් නොමැති නිසා බුද්ධ යන වචනය විශ්වයේ විවෘතව ප්‍රකටව පවත්නේය. ලෝභ, දෝස, මෝහ යන අකුසල මූලයන්ගේ බල පැවැත්මේ ප්‍රමිතිය අනුව සංවෘත භාවය හා විවෘත භාවය පවතින්නේ ය.
බුද්ධ යන වචනයෙන් ප්‍රකටවන පුරිසෝත්තමයාණන් ඉතා දිගු කලක් විශ්වයේ බෝධිසත්ව නාමයෙන් ප්‍රකටව ලබාගන්නා වූ මහා ගුණ සම්භාරය එක්වන්ව ප්‍රකට වීම් වශයෙන් බුද්ධ යන නාමයට විශ්වගත සියලු ගුණාංග කේන්ද්‍රගතවන්නේ ය.
අතීතයේ විශ්වයේ පැවැති ගුණාංග මෙන්ම වර්තමානයේ පවත්නා ගුණාංග එක්තැන් වන විට විශ්වයට දරාගත නොහැකි නිසා දස දහසක් ලෝක සෙළවෙන්නේ ය.
විශ්වයේ පවත්නා ගුණාත්මක බලය ධනාත්මකව සත්ත්ව ජීවයට ලබා දෙන්නට හැකිවන්නේ ලොව්තුරා බුදු කෙනෙකුට පමණි. ජීවිතයක් තුළ පවත්නා විශ්ව බලයට ප්‍රතික්‍රියා කරවන්නට තරම් ඤාණශක්තියක් බුදුරජාණන් වහන්සේට විද්‍යාමාන වන්නේ ය. මේ නිසා සත්වයා විශ්වය තුළ රඳා පවතින මූලික බලවේග වන උපාදානවලින් මුදවා බාහිර නිවන වෙත යොමු කරවන්නට ලොව්තුරා බුදුකෙනෙකුම අවශ්‍යම වන්නේ ය.
අප ජීවත්වන ලෝකය සීමා කරගෙන අපේ දැනීම හා ආත්ම කිරණ විහිදුවා එකිනෙකාට වෙනස්ව සුවිශේෂ බලයක් නිර්මාණය කරගෙන තෘප්තියක් ලබා ගන්නේ අසීමිත විශ්වය ගුණ හෝ නොපෙනෙන භවය පිළිබඳව හෝ දැනීමක් නැති බැවිනි.
ශ්‍රද්ධාව, විශ්වාසය, භක්තිය, ප්‍රඥාව, ආදී හැඟීම් විශ්වයට හඳුන්වා දෙන්නේ මිනිසා කේන්ද්‍රකරගෙන බැවින් සෑම තැනම ව්‍යාප්ත වූ ශක්තියක් ඇත්නම් එය මිනිසා විසින් විශ්වයට මුදාහල භාව්‍ය දෙයක් මිස වෙනත් කෙනෙකුගේ ආකස්මික නිර්මාණයක් නොවේ. යම් දවසක නවීන විද්‍යාත්මක බලයකින් මිනිසාගේ මෙම නිර්මාණය පිළිබඳ මානසික වහල් භාවය තුරන් කරන්නේ නම් ලෝකයේ ප්‍රශ්නවලින් නිදහස් වන්නට පුළුවන.
මිනිස් චින්තනයේ උපරිම තලය බුදුරදුන්ගේ ඤාණයයි.
විශ්වය පිළිබඳ දැනගත යුතු යම්තාක්වේද ඒතාක් බුද්ධඤාණය වේ. යම්තාක් බුද්ධඤාණයද ඒ තාක් දැනගත යුතු දේ වන්නේ ය. බුද්ධ ඤාණයක් දැනගත යුතු සියල්ලත් අන්‍යෝන්‍ය සමානව පරියන්තව පවතී.
මෙසේ සර්වඥ වූ අප බුදුරජාණන් වහන්සේ විසින් නොදක්නාලද විශ්ව නිර්මාණකරුවා කේන්ද්‍ර කරගත් හැඟීම මනුලොව පවත්නාතාක් ලෝකයේ කිසිම රටක කිසිම ජාතියක නිදහස තහවුරුවන්නේම නැත. භෞතික වශයෙන් යම්කිසි සීමාවක සිට පසුතලයේ සිටින අපමණ සත්වයන් හා සසඳමින් තමා යම්කිසි තෘප්තියකින් වින්දනයක් ලබන්නේ නම් එය සත්ව සන්තතියට කරන නිගාවකි.
අපමණ සත්ත්වයන් අයාලේ දුව මානසික මුලාවකට වහල්භාවයකට දීනත්වයට පත්වී මං මුලා වී ගමන් කරන ප්‍රවණතාවයෙන් මුදාගන්නට බුද්ධිමත් මහා සංඝරත්නය පෙරමුණ ගත යුතු වන්නේ ය.
විශ්ව ශක්තිය බුද්ධ දේශනාව අනුව හොඳින් හඳුනාගෙන ලෝකවාසීන්ට හඳුන්වා දෙන්නේ නම් මෙම වත්මන් ලෝක ජනතාව මෙයට වඩා දහස් ගුණයෙන් ශුභවාදී වන්නේ ය. මේ සඳහා කළයුතු ප්‍රධාන කාර්යයන් විශ්ව ශක්තිය හඳුනාගැනීම, එය ලොවට හඳුන්වාදීම, තමාට තමාම විශ්ව ශක්තියක් කර ගැනීම, විශ්ව ශක්ති කේන්ද්‍රස්ථානයක් පිහිටුවා ගැනීම දැක්විය හැකිය. මෙවන් උතුම් අදහසක් ක්‍රියාත්මක කිරීම අපකාගේත් යුක්ති ධර්මයක් වන අතර එයින් මතුවට සමස්ත මානව සමාජයටම යහපතක් වන්නේ ය.
අස්ගිරි මහා සංඝසභාවේ මහෝපාධ්‍යාය
ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මැයි 03 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment