Labels

Sunday, June 4, 2017

සැබෑ දිනීම


පාසල් ළමයෙක් සාමාන්‍ය පෙළ, උසස් පෙළ ආදී විභාගයන් සඳහා ලබා ගන්නා ලද ජයග්‍රහණය නො අනුමානව හිතට දැනෙනු ඇත. ක්‍රීඩා කරන අය තනිව හෝ සමූහයක් වශයෙන් විවිධ තරගවලින් දිනුම ලබන්නේ නම් එතුළින් ලොකු සතුටක් දැනෙනු ඇත. එය දිනීමෙන් ලැබෙන සතුට අඟවන අවස්ථාවකි. අද සමාජයේ බොහෝ දෙනෙක් දිනීම ලබන්නේ සම්පත් හා දිනීමකි. අද පවතින තරඟකාරී රටාවත් සමඟ සියල්ලෝම එකිනෙකා පරයා දිනීමට උත්සාවත් වෙති.
එම හේතුවෙන් විවිධ ගැටලු ප්‍රශ්නවලට සත්වයාට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවී ඇත. කෙනෙක් තව කෙනෙකුට නොදෙවෙනි වන සේ රැල්ලට හසු වූවන් සේ වතුර යයි සිතා මිරිඟුව පසු පස හඹායන මුව පෝතකයන් සේ මංමුලා වී ඇත. නමුදු බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ සැබෑ දිනීම වන්නේ තමන් දිනීම බවය. ධම්ම පදයේ සහස්ස වග්ගය තුළින් බුදුහිමි පෙන්වා දෙන්නේ ආත්මය දිනීම පිළිබඳවයි.


යුද්ධයකදී දස ලක්ෂයක් සතුරන් පරදවා දිනන තැනැත්තා උතුම් නොවේ. එකම පුද්ගලයෙකු වූ තමන් දිනා ගන්නා තැනැත්තේ සියලු සටන් දිනූ ජයග්‍රහකයා වේ.
මෙයින් පැහැදිලි වන්නේ තමන් දිනා ගැනීම වැදගත් බවයි. එනම් තම සිත, කය, වචනය තුළින් තමනට, අනුනට, මෙලොවට පරලොවට සිදුවන අයහපත් දේවල්වලින් මිදීමත්, හොඳ දේවල් කිරීමට තිදොර යොමු කිරීමත්ය. පුද්ගල සංතානය ස්වභාවයෙන්ම අකුසල් සිතිවිලිවලින් අනූනය. පුහුදුන් ස්වභාවය එසේ වුවද කෙනෙකුට හැකියාව උත්සාහය ඇත්නම් අකුසල් සිතිවිලි යටපත් කොටගෙන කුසල් සිතුවිලි ඉස්මතු කර ගැනීමට පුළුවන. දිනුමක් ලැබීමෙන් පසු ඕනෑම කෙනෙකු එම සතුට කුමන හෝ ආකාරයකින් පිට කිරීමක් සිදුවනු ඇත.
බොහෝ පුහුදුන් සත්වයින් එම සතුට හඬනඟා, කෑගසා, ඔල්වරසන් දී ආදී විවිධ ක්‍රම ඔස්සේ ප්‍රකාශ කරනු ඇත. සමහර පිරිස් එම සතුට භුක්ති විඳීමට විවිධ, අයහපත් ක්‍රමද භාවිතා කරනු ඇත. පුහුදුන් සත්වයින්ගේ දිනුම වන්නේ එදිනෙදා ජීවන ප්‍රශ්නය විසඳා ගැනීමෙන් ලබන තෘප්තියකි. මව්පිය, දූ දරු, ස්වාමි භාර්යා ආදී පිරිස් නිවෙස් තුළ ජීවත් වීමේදී ඔවුන් ඔවුන්ගේම ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාවත් වෙති. ආහාර පාන, ඇඳුම් පැළඳුම්, බේත් හේත්, ගෙවල් දොරවල් ආදී අවශ්‍යතා සපුරා ගැනීමට ද විශාල තරගයක නියැලෙනු ඇත.
ලෝකයේ විවිධ දිනුම් ලබපු පුද්ගලයින් අතරින් ශ්‍රේෂ්ඨතම, උතුම්ම, උසස්ම ඉහළම දිනුම ලබා ගත්තේ බුදුන් වහන්සේය. උන්වහන්සේ ඒ බව සිංහ නාදව ලොවට ප්‍රකාශ කළහ. බුදුරදුන් දම්සක් දෙසීමට ඉසිපතනාරාමයට වඩිද්දී අතරමඟදී හමු වූ උපක ආජීවකයා උන්වහන්සේ කාගේ ශිෂ්‍යයෙක් දැයි විචාළ කල්හි “තමන්ම ධර්මය අවබෝධ කරගෙන වෙන කෙනෙකු ගුරු කරන්නේ කුමටද? මට ගුරුවරයෙක් නැත. මට සමානයෙක් තුන්ලොවෙහිම නැතැ”යි අභීත සිංහ නාද කළ සේක. මා තුන්ලොවෙහිම අසමාන කෙනෙකැයි කීමෙන් උන්වහන්සේ එදා තමන්ගේ හැඟීම් අනුනට වහල් බවට පත්කරන පහත් දීන දේශකයන් උපහාසයට ලක්කළ සේක. මිනිසෙකුගේ නියම අවබෝධයට සමාන කළ හැකි නුවණක් තුන්ලොවම නැත යනු එහි සැඟවී තිබුණ අර්ථයයි.
බුදුරදුන් එදා ඇසතු මූලයේ දී අප්‍රමාණ වූ කාලයක් මුළුල්ලේ පාරමිතාවන් පිරීමේ ප්‍රතිඵලය නම් බුද්ධත්වයයි. ඒ ලද ජයග්‍රහණය, නැත්නම් දිනුම තුන්ලොව කිසිවෙකු නොලැබූ දිනුමකි. එම හේතුවෙන් ඉන් ලද සතුට බුදුරජාණන් වහන්සේ පී‍්‍රති වාක්‍යයකින් ප්‍රකාශ කළ සේක.

“පංචස්කන්ධය නැමති ගෙය සාදන වඩුවා සොයමින් මෙතෙක් කල් සසර සැරි සැරුයෙමි. යළි ඉපදීම දුකකි. තණ්හා නැමැති වඩුව, මා විසින් තා දක්නා දන්දෙහිය. නැවත තා මට ආත්ම භාවය නැමැති ගෙය නොසාදන්නෙහිය. කෙලෙස් පරාළ බිඳ දමන ලදී. අවිද්‍යා කැණිමඩල සිද දමන ලදී. මාගේ සිත නිවනට පැමිණියේ ය. තණ්හාව නැති වී ගියේ ය. යනු ඒ පී‍්‍රති වාක්‍යය යි.
ලොව්තුරා බුදුරදුන් පැවැත් වූ එම පී‍්‍රති වාක්‍යය (සිංහ නාදය) තුන්ලොව කිසිවෙකුටත් පැවැත්විය නොහැකි වුවද සාමාන්‍ය පුහුදුන් වැසියාට ද සිත දිනීමේ සුළු සුළු පී‍්‍රති ඝෝෂා සිදු කළ හැකිය. එවැනි පී‍්‍රති ඝෝෂාවක් බුදුන් කල කිහිප දෙනෙකුන් අතින් සිදු විය. ඒ අතර චුල්ලේකසාටක බමුණාගේ කතා පුවත ඉතා වැදගත් වේ. එම කතා පුවත සාමාන්‍ය සත්ත්වයාට සිත ශක්තිමත් කොටගෙන දන් දීම් ආදී උතුම් ක්‍රියා සිදු කිරීමට ඉතා වැදගත් බැවින් එම කතාපුවත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.
බුදුන් කල චුල්ලේකසාටක නමින් බමුණෙක් විය. ඔහුට හා ඔහුගේ බැමිණියට තිබුණේ එකම සළුවකි. නිවසින් පිටත්ව යෑමේදී දෙදෙනාගෙන් එක්කෙනෙකු පමණක් යනු ඇත. දෙව්රම් වෙහෙර බුදු හිමි ධර්ම දේශනා කරන කල්හි චුල්ලේකසාටක බමුණාද බණ ඇසීමට ගියේ ය. පසුව බණ අවසන් වූ කල්හි පිළිගැන්වීමට කිසිවකුත් නොවන හෙයින් තම උතුරු සලුව පූජා කිරීමට සිතුවද පළමු වතාවේ එම සිතුවිල්ල යටපත් විය. දෙවන වරද බුදුරදුන්ට උතුරු සළුව පිදීමට සිතුවද එවරද එම සිතුවිල්ල යටහත් විය. තෙවෙනි වර දහසක් ආසා කෙලෙස් මැඩ සිය පොරෝණය බුදුනට පුදා මා දිනීය. මා දිනීය යයි මහ හඬින් කීය. පිරිස් අතර හුන් කොසොල් රජු එය අසා විශ්මයට පැමිණ එය පිරික්සවා බමුණාණන් කෙරෙහි සතුටුව ඇත්, අස් ආදී නොයෙක් දෙයින් බමුණාට සත්කාර කොට දුගී බැව් දුරු කළේ ය.
අධ්‍යාත්මික දිනීම තුළ ලෞකික දිනීමද සිදු වේ. එම බමුණාටද සිදු වූයේ එවැන්නකි. සිත සකස් කොට ගෙන තමා සතු සුළු දෙයක් හෝ තුනුරුවන් උදෙසා පූජා කිරීමේ අනුසස් මෙලොවදීම සාංදුෂ්ඨික වශයෙන් විපාක දුන් ආකාරය පැහැදිලි වේ. පසිඳුරන්ගෙන් එහාට ගිය සිත තුළ ඇති ක්ලේෂ ධර්ම යටපත් කිරීමත් දිනීමක් වුවද එය ස්ථිර දිනීමක් නොවනු ඇත. නමුදු පුහුදුන් සත්වයාට ඊළඟ ආත්ම භාවයන් යහපත් කර ගැනීම සඳහා එය තරමක් දුරට ඉහල් වේ. සැබෑම දිනුම නම් සසරින් මිදීමය.බුදු, පසේ බුදු, මහරහතුන් වහන්සේලා එම දිනුම ලැබුවෝ වෙති. සෝවන්, සකෘදගාමී, අනාගාමී, අර්හත් යන මාර්ග හා ඵල වලට පත්වීම හා ඒවා වෙනුවෙන් උත්සාහ කිරීමද සංසාරික ජයග්‍රහණය ලැබීමේ එක් ප්‍රතිඵලයකි. එබැවින් සාංසාරික විමුක්තිය නම් වූ එම සැබෑ දිනීම ලැබීම උදෙසා ඒ සඳහා පාරමිතාවක් වූ දස පුණ්‍ය ක්‍රියා ආදිය පිරීමට සිත අද අදම ශක්තිමත් කර ගැනීම ඉතා වැදගත් වන්නේ ය.



අවුලේගම රණවනයාගම බමුණුගෙදර 
ශ්‍රී සදහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානාධිපති 
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ 
නියෝජ්‍ය පරිවෙනාධිපති 
ගලගෙදර රතනවංස හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වෙසක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මැයි 18 වන බ්‍රහස්පතින්දා   බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment