Labels

Sunday, June 4, 2017

රජෝ හරණං’ හෙවත් ගත සිත වැකුණු කුණු දුරලමු

සිවුරු හැරයාමට පිටත් වූ චුල්ලපන්ථක හාමුදුරුවන්ට විහාර දොරටුව අසල දී මුණ ගැසුණේ බුදුරජාණන් වහන්සේය. ‘ඔබ පැවිදි වූයේ කවුරු වෙනුවෙන්දැ’යි බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක හාමුදුරුවන්ගෙන් විමසූ විට උන්වහන්සේ පිළිතුරු දුන්නේ, ‘භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්’ කියාය.
‘මා වෙනුවෙන් පැවිදි වූ අයෙකු අනුන්ගේ නියමයෙන් උපැවිදි වීම නුසුදුසුය’.යනුවෙන් වදාළ බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක හාමුදුරුවන් කැඳවාගෙන ගොස් භාවනා කිරීම පිණිස කමටහනක් දුන්සේක. එම කමටහන නම් සුදුරෙදි කඩකි. රෙදිකඩ අතක් මත තබාගෙන අනිත් අතින් පිරිමදින ලෙස උන්වහන්සේ චුල්ලපන්ථක හාමුදුරුවන්ට උපදෙස් දුන් සේක. එසේ පිරිමදින ගමන් “රජෝහරණං” යනුවෙන් සිහිපත් කරන ලෙසද උන්වහන්සේ වදාළ සේක.

චුල්ලපන්ථක හාමුදුරුවෝද බුදුරජාණන් වහන්සේ දෙසූ ලෙස එක් අතක් මත රෙදි කඩ තබාගෙන අනිත් අතින් එය පිරිමදිමින් ‘රජෝ හරණං’ යනුවෙන් කිය කියා සිටි සේක, නොබෝ වේලාවකින් අර සුදු රෙදිකඩ ක්‍රමයෙන් දුර්වර්ණ වන හැටි දුටුවෝය. තම ශරීරයේ තිබෙන කුණපයන් නිසා ඉතා පිරිසුදු සුදෝසුදු වස්ත්‍රයක් පවා අපිරිසුදු වන ආකාරය දුටු චුල්ලපන්ථක හාමුදුරුවෝ ශරිරයේ තිබෙන අපවිත්‍ර ස්වභාවය මෙනෙහි කරන්නට වූහ. එයින් උන්වහන්සේ වඩ වඩාත් භාවනාවටම යොමු වූ සේක. ප්‍රතිඵලය වූයේ ශරීරයේ පවතින දෙතිස් කුණුපයන් පිළිබඳ ලැබූ අවබෝධය තුළින් එහි තිබෙන ජරා ස්වභාවය වටහා ගැනීමත්, පංචස්කන්ධය අපවිත්‍ර වනවා සේම සිත කෙලෙස් මලින් අපවිත්‍ර වන බැවින් වහ වහා පිරිසුදු කරගත යුතු බවත් උන්වහන්සේට වැටහීමයි. මෙම භාවනාව මැනවින් වැඩීම නිසා චුල්ලපන්ථක හාමුදුරුවෝ නොබෝ වේලාවකින් රහත් මාර්ගඵල ප්‍රත්‍යක්ෂ කළහ. ‘රජෝහරණං’ යන පදය ප්‍රධාන තේරුම් දෙකක් ඇති ඉතා ගැඹුරු ආගමික අර්ථයකින් යුක්ත වූවකි. ‘රජස්’ යනු අපිරිසුදු කුණුපයන් ය. එසේම කෙලෙස් වලටද ‘රජස්’ යනුවෙන් කියනු ලැබේ. ‘හරණං’ යනු දුරු කිරීමයි. මේ අනුව ශරීරයෙන් පිටවන කුණුපයන් දුරු කිරීම හෝ සිතේ තිබෙන කෙලෙස් දුරු කිරීම, ‘රජෝහරණං’ යනුවෙන් කීමට පිළිවන.
අද සමාජයේ බොහෝ දෙනා කායික පිරිසුදු බව බොහෝ සේ අගය කරන බව අප දන්නා කාරණයකි. කායික පිරිසුදුකම සඳහා ඒ අය වෙහෙසෙන අතර වඩාත් උනන්දු වන්නේ කායික පිරිසුදුකම පවත්වාගෙන යාම තුළින් යහපත ළඟා කර ගැනීමය. නමුත් මනස අපවිත්‍රකරන කෙලෙස් ධර්ම පිළිබඳව වැඩි අවධානයක් නොදක්වන බව ඉතා පැහැදිලි ය. සිතේ පවතින්නා වූ ලෝභ, ද්වේශ හා මෝහ යන කෙලෙස් කහට සිත තුළ බැඳී සිත අපිරිසුදු කරන බැවින් අප උත්සාහ කළ යුතු වන්නේ සිත පිරිසුදු කරගැනීමටය. සිත පිරිසුදු වන්නේ ඉහත සඳහන් කළ ලෝභ, ද්වේශ හා මෝහ යන කෙලෙස් මළ දුරු කිරීමෙන් පමණි. බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක හාමුදුරුවන්ට දෙන ලද භාවනා කමටහන අන් කවරදාටත් වඩා වර්තමානයේ ජීවත්වන අයට ඉතාමත්ම ප්‍රයෝජනවත්, ප්‍රායෝගික පුහුණුවක් බව කීමට පුළුවන. ඒ මන්ද යත් අද වන විට ලෝකවාසී සත්වයා විවිධ දියුණු වෛද්‍ය ක්‍රමවේද භාවිත කරමින් ශරීරයේ පවත්නා ජරාවට පත්වීමේ ස්වභාවය යටපත් කිරීමට නිරර්ථක උත්සාහයක යෙදී සිටින බව දක්නට ලැබෙන හෙයින් ශරීරයේ පවතින අප්‍රසන්න කුණුප ස්වභාවය තේරුම් ගැනීමට මේ අසුභ භාවනාව බොහෝ සේ ඉවහල් වේ.
උදාහරණ ලෙස ගතහොත් අප අඳින ඇඳුම් කොයිතරම් නම් අපවිත්‍ර වනවාද? නමුත් එය සාමාන්‍ය ස්වභාවයක් ලෙස සලකා නිතර නිතර ඇඳුම් පිරිසුදු කිරීම තුළින් අප්‍රසන්නතාව දුරු කිරීමට සියලු දෙනා උත්සාහ ගනිති. නමුත් ඒ උත්සාහය හුදෙක් තාවකාලික වූවක් බව කවුරුත් දන්නා නමුත් අපිරිසුදු කය පිළිකෙව් කිරීමට කිසිවෙකු උත්සාහ කරන්නේ නැත. මේ නිසා ශරීරය පිළිබද සත්‍යතාව අවබෝධ වන්නේද නැත. මේ නිසා සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීමට උත්සාහවත් වන සියලුදෙනා කළ යුත්තේ මෙම ශරීරය නිසා ඇතිවන පිළිකුල් ස්වභාවය මනාව මෙනෙහි කරමින් මනස අපිරිසුදු කරන කෙලෙස් කසට දුරු කිරීමට උත්සාහ කිරීමය. චුල්ලපන්ථක හාමුදුරුවන් වහන්සේ සිතේ තිබෙන කෙලෙස් කසට දුරු කළේ ශාරීරික අපවිත්‍රතාව පිළිබඳ මෙනෙහි කිරීමෙනි. ඒ නිසා සිත අපිරිසුදු කරන කෙලෙස් කසට හඳුනාගැනීමට අප උත්සාහවත් විය යුතුය. සුදු වස්ත්‍රයක් නිතර නිතර ශරීරය සමඟ ස්පර්ශ වීමෙන් අපිරිසුදු වන්නේ යම්සේද කෙලෙස් භරිත සිත සමඟ හැසිරෙන සිතුවිලි ද අකුසල් මූලික ඒවා නිසා අතිශයින්ම අපිරිසුදු බව අප තේරුම් ගත යුතුය.ලෝභය,ද්වේශය හා මෝහය නමැති අපිරිසුදු මූලයන් මේ සිතුවිලි අපවිත්‍ර කරමින් අප සසරට ඇද දමයි. මේ නිසා අප කළ යුත්තේ සසරට ඇද දමන මෙම අකුසල් මුල් සිඳ දැමීමය. බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක හිමියන්ට එම කමටහනින් පෙන්වා දෙන ලද්දේ එසේ අපිරිසුදු අකුසල් මුල් නිසා සිතුවිලිද අපිරිසුදු වන බැවින් එයින් පිරිසුදු වීමට උත්සාහ කරන මාර්ගයයි.
මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද? ධර්මාවබෝධය යනු දහම් පතපොත කටපාඩම් කර ගැනීම හෝ බණපොත තේරුම් ගැනීම පමණක්ම නොවන බවය. එය ඉතා ගැඹුරු, තමා විසින්ම අත්දැකිය යුතු ප්‍රත්‍යක්ෂ කාරණයක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක. වර්තමාන සමාජයට අවශ්‍ය වන්නේ අනිත්‍ය සඟවමින් ලෞකික තෘප්තියක් කරා දුවගෙන යන මෙම තණ්හා භරිත ආකල්ප දුරු කිරීමට අවශ්‍ය මාර්ගය පැහැදිලි කර ගැනීමයි.ඒ නිසා තමා ඉතා ආසාවෙන් රැක බලා ගන්නා ශරීරය තුළින්ම ඒ සත්‍යය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට උත්සාහවත්වීම වඩාත් ප්‍රායෝගික කටයුත්තකි. අද සමාජයේ බොහෝ දෙනා බලාපොරොත්තු කඩවීම නිසා හෝ අපේක්ෂා භංගත්වයට පත්වීම නිසා තම ජීවිත පවා නැතිකර ගැනීමට උත්සාහ කරති. නමුත් එබඳු භංගත්වයට පත්වු පුද්ගලයන්ට තම ශරීරයේ පවත්නා අස්ථීර හා කුණුප ස්වභාවය තේරුම් කරදීමට හැකි නම් ඒ බොහෝ දෙනා නිරායාසයෙන්ම මේ සත්‍ය ධර්මතාව අවබෝධකරගෙන නිවනට අවතීර්ණ වන බව ප්‍රකාශ කළ යුතුය.
එදා බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක හාමුදුරුවන් වහන්සේට රජෝහරණ කර්ම ස්ථානයෙන් පෙන්වා දුන් ගත හා සිත වැකුණු කුණු දුරලීමේ මාර්ගය අදටද ප්‍රායෝගිකව වැඩිය හැකි බැවින් මේ උතුම් වෙසක් පොහෝදා ගත සිත රැඳී රජස් දුරලීම පිණිස අපිදු උත්සුක වෙමු.


අලුතැපොල ගණේකන්ද 
පුරාණ රජමහා විහාරාධිපති 
කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, 
ආචාර්ය රාජකීය පණ්ඩිත, 
නැදලගමුවේ ධම්මදින්න හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වෙසක් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මැයි 25 වන බ්‍රහස්පතින්දා දින   බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment