" යම් දෙයක් සාංඝිකව පූජා කරන්නේ නම් එය ඉහළම පින්ගෙන දෙන්නකි.එහිදී අප දන්දෙන්නේ අතීත වර්තමාන අනාගත පිරිසකට නොව ඔවුන්ගේ ගුණදහම් උදෙසායි. උතුම් සඟ ගුණ සිහිකරමින් ඒ ගුණයන් වෙනුවෙන් දන් දීමයි කළ යුත්තේ. ඉන් ලැබෙන ආනිසංසය ඉතා විශාලයි."
දානය යනු දීමයි. තමන් සතු දෙයක් අන්සතු කරදීම මින් අදහස් කරයි. අද අප රටේ බෞද්ධයන්ට ඉතා හුරුපුරුදු ජනපි‍්‍රයම පින්කම දානයයි. දාන, ශීල භාවනා යනුවෙන් සම්බුද්ධ ශාසනයෙහි උතුම් පින්කම් තුනක් නම් කොට ඇතත් අපේ බෞද්ධයා වැඩිපුරම නැඹුරු වී ඇත්තේ දානයටයි. එහෙත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා දානමය පිනට වඩා පව් සිදුකරගන්නා බව පෙනී යයි. සමාජයට පෙනෙන ලෙසත් සමහරවිට වෙනත් ආත්මාර්ථකාමී අදහසකින් සමහරු දන් දෙති. ඒවා දානමය පින්කම් ගණයට ඇතුළත් කරගත නොහැකිය.
දානය යනු තමා සතු දේ පරිත්‍යාග කිරීමේ චේතනාවය. එනම් දුන් පමණට දානමය කුසලයක් සිදුකර ගත්තා වන්නේ ද නැත. පරිත්‍යාගී සිතිවිලි අත්‍යවශ්‍යය. අත්හැරීමේ චේතනාව තිබිය යුතු ය. ඔබ යම් විටෙක දන් පිණිස දෙන්නේ ඇස්, කන්, නාසය, දිව, ශරීරය ආදී මනස පිනවන භෞතික වස්තූන් ය. ඒවා ආමිස දාන ලෙසද නම් කළ හැකි ය. වැදගත් වන්නේ එම දානයන්හිදී අත්හැරීමේ චේතනාව හෙවත් තෘෂ්ණාව යටපත් කිරීමේ සිතිවිලි ඇති කර ගැනීමයි.
ඒ අනුව දෙන දානයෙහි මේ අංශ දෙකෙන් දුන් දේ අනුව සැප සම්පත් ගෙන දීම න්‍යායකි. ‘දින්නං සුඛඵලං හොති’ යන්නෙන් නිර්වචනය කොට ඇත්තේ එම අදහසයයි. එවැනි දානය නිසා ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන ආනිශංස ලැබේ.
දුන් දේ අනුව විපාක ලැබෙන බව ‘යානදො සුඛදො හොති’ යාන වාහන පරිත්‍යාග කිරීමෙන් සැප සම්පත් ගෙන දේ. ‘දීපදො හොති චක්ඛුදො’ පහන් ආලෝකයෙන් දීප්තිමත් දෙනෙත් ලැබේ යන්නෙන් පැහැදිලි වේ. මෙලෙස සසර භෞතික සැප සම්පත් ලබාගෙන පංච ඉන්ද්‍රිය පිනවමින් සසර සැරිසරන්නේය. එහෙත් එයද සසර දුකකි. මේවා ප්‍රාර්ථනා කළ යුතු නැත. ඉල්ලා සිටිය යුතු නැත. හේතුඵල වශයෙන් ලැබෙන ප්‍රතිලාභය. එහෙත් මෙහිදී බෞද්ධයාගේ අරමුණ ඉටු වන්නේ අත්හැරීමේ චේතනාව ඇති කර ගැනීමෙනි. ලෝභය දුරු කිරීමෙනි. එය දිගින් දිගට පවත්වාගෙන ඒමෙන් සියලු කෙලෙස් දුරු කොට නිවන ලබා ගැනීමේ වාසනාව උදාකර ගත හැකිය. දානයෙහි ප්‍රධාන අරමුණ විය යුත්තේ ද එයයි.
දානය දෙන්නා දායකයා වන අතර දානය ලබන්නා ප්‍රතිග්‍රාහක නමින් හැඳින්වෙයි. මේ දෙපිරිසම දානයක් දීමේදීත් එය පිළිගැනීමේදීත් සැලකිලිමත් විය යුතු ය. ඉහත සඳහන් දානානිශංස සඳහා මේ දෙපිරිසගේම ලක්ෂණ කීපයක් ඇති විය යුතු යි. එයින් දායකයා තුන්සිත පහදවාගෙන දිය යුතු බව අවධාරණය කරයි. එනම් දානයක් දීමට පෙර සිතේ සතුට ඇති කරගත යුතුයි. මේ අවස්ථාව ඉතා වැදගත් වෙයි. දානය පිළිගන්වන විට සිතේ ප්‍රසාදය සතුට ඇතිවිය යුතු යි. කර්මය කර්මඵල විශ්වාසය සමඟ මේ චිත්තප්‍රසාදය මැද එම ක්‍රියාවෙහි යෙදිය යුතු ය. මේ දානමය පිනෙන් මේ මේ ප්‍රතිවිපාක ලැබෙනවාය යන සම්‍යග් විශ්වාසය තිබිය යුතු ය. ඉන්පසු දානය දී අවසානයෙහි ද සිත සතුටු කර ගත යුතු ය. බොහෝ දායකයින් මේ අපර චේතනා අවස්ථාවේ දී තම සිත පහදවා ගත නොහැකිව දානයෙහි පුංචි අඩුවක් ගැන සිතමින් සිත අසතුට ඇති කර ගනිති. තුන් සිත පහදා දන් දිය යුතු යයි සඳහන් කරන්නේ දායකයාගේ සිතෙහි මෙන්න මේ අවස්ථා තුනයි. එසේ සිත සකස් කර ගෙන දායකයා මේ පින්කමේ දී කටයුතු කිරීමට දක්ෂ වන්නේ නම් දෙන දානයෙහි නිසි ප්‍රතිඵල නෙළා ගත හැක. එසේම අද දන්දෙන බොහෝ අය මේ ගැන නොසිතති. දුන් දේ ගැන පසු තැවෙති. වියදම් ලැයිස්තු ගණනය කරති. මේ සියල්ල තුළින් පිනකට වඩා දායකයා පවට බර වී ඇති බව කිය යුතු ය. දායක පාර්ශ්වය සිත් සතුටින් දෙනවා සේම හොඳම දේ දීමට සමත් විය යුතු යි. එම දායකයා දානපති ගණයට ඇතුළත් වෙයි. තවත් සමහරු තමන් කනබොන විලස දන්දෙයි. එවැනි අය දාන සහායක නම් වෙයි. ඔහුගේද දානමය පින එතරම් සාර්ථක නැත. දාන දාස ගණයේ දායකයින් මේ අතර අනන්තවත් සිටිති. තමන් කන බොන දේට වඩා පහත් අයුරින් දීම දාන දාස නම් වෙයි. එසේම තමන්ට ප්‍රයෝජනයක් ගත නොහැකි දේ පරිත්‍යාගය ද මේ ගණයට වැටෙයි. එසේම දානයෙහි නිසි ප්‍රතිඵල ලැබීමට දායකයාද සිල්වත් වීම වැදගත් වෙයි. එසේම දෙන දාන උපකරණ ද දැහැමිව ලබාගත් දෙයක් විය යුතු ය. මේ අංග ද නිසි ආනිශංස සඳහා තිබිය යුතු ය.
ඊළඟ අංශය ප්‍රතිග්‍රාහක පක්ෂයයි. දීමනාව ලබන පිරිස සිල්වත් ගුණවත් වූ තරමට දෙන දායකයාට ආනිසංස වැඩිවෙයි. ඒ සඳහා මෙහි දී විතරාග, වීතදෝෂ, වීතමෝහ ආදී වශයෙන් දක්වන පරිදි රාග, දෝස, මෝහාදිය නැසූ මහරහතුන්ට දෙන දානයේ ආනිසංස වැඩියි. සකල ක්ලේෂයන් නැසූ බුදුවරුන්ට දීම ඊටත් වඩා ආනිසංසදායකයි. සැරියුත් මුගලන් වැනි මහ රහතන් වහන්සේ නමක් විසින් බුදුවරයෙකුට දන් දෙනු ලබන්නේ නම් ඉන් දානයේ ඉහළම පින ලැබිය හැකි ය. එහෙත් ඔබ අද දන් දෙන්නේ සාමාන්‍ය පෘතග්ජන පිරිසකටයි. වැඩිහිටියන්ට, ළමා නිවාසවලට දුගී මගී යාචකයින්ට, සතුන්ට දන් දෙන අතර ඒ ඒ හැම අවස්ථාවකම දාන චේතනාව වැදගත් වේ. අද පෘතග්ජන භික්ෂූන්ට දන් දෙන අතර එය මහත්ඵල ලැබිය හැකි අවස්ථාවකි. එම භික්ෂු පිරිස සිල්වත් යම්, ප්‍රතිපත්තියක් අනුගමනය කරන පිරිසක් වන අතර බුදු සසුනේ වීතරාගී මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන නියෝජිත පිරිසකි. එම පිරිස රාග දෝස මෝහ යන ක්ලේස ධර්ම ප්‍රහීණ කිරීමේ ක්‍රියාමාර්ගයේ ගමන් කරන පිරිසකි. එවැනි පිරිසකට දන්දීම ද මහත්ඵල මහානිසංස දායකය. සියල්ලටම වඩා යම් දෙයක් සාංඝිකව පූජා කරන්නේ නම් එය ඉහළම පින්ගෙන දෙන්නකි.එහිදී අප දන්දෙන්නේ අතීත වර්තමාන අනාගත පිරිසකට නොව ඔවුන්ගේ ගුණදහම් උදෙසායි. උතුම් සඟ ගුණ සිහිකරමින් ඒ ගුණයන් වෙනුවෙන් දන් දීමයි කළ යුත්තේ. ඉන් ලැබෙන ආනිසංසය ඉතා විශාලයි. මෙයම නිවනට පාදක වෙයි. අද සමහර අය හාමුදුරුවරු සංඛ්‍යාව සොයති. හිතවත් හාමුදුරුවරු පමණක් තම නිවසට වඩමවා ගනිති. ඒ දානයන් නිසා පිනක් අත් නොවන අතර පවට අකුසලයට ඉන් හිමිකම් ලබති.
එමනිසා පින්වත මෙවැනි සුදුසුකම් ඇතිකර ගෙන දන් දෙන්න දාන චේතනාව මුල්කර ගන්න. නිවන පාදක කරගන්න. එසේම දානය පිළිගන්නා ඔබ පුළුවන් තරම් සිල්වත් ගුණවත් වන්න. අග්ගික්ඛන්ධොපම සූත්‍රයට අනුව ඔබ මෛත්‍රී භාවනාව මොහොතක් හෝ කළා නම් එයම ඔබ අන් අයගේ දානය ලැබීමට සුදුස්සෙක් වීම සඳහා ප්‍රමාණවත් වෙයි. එහෙත් ප්‍රතිග්‍රාහකයා හැකි තරම් සිල්වත් ගුණවත් විය යුතු යි. පෙර දුගියාගේ දානය පිළිගැනීමට බවුන් වඩා රහත් භාවයට පත්වීමෙන් පසුව, එම දානය පිළිගැනීමට සුදුසුකම් ලැබූ බව බණ පොතේ සඳහන් වෙයි. ප්‍රතිග්‍රාහක ඔබ ද මේ ගැන අවධානය යොමු කර ණය කරුවෙකු නොවී කටයුතු කිරීමට උත්සුක වන්න. මේ සඳහා දායක ප්‍රතිග්‍රාහක ඔබට තිසරණ සරණින් ශක්තිය ලැබේවා.
බද්දෙගම මහගොඩ කන්ද ඉසිපතනාරාමවාසී
විශ්‍රාමික විදුහල්පති,
බද්දෙගම සමථමූල, මණ්ඩල සභාපති
ශාස්ත්‍රපති
බලගොඩ සිරිනිවාස හිමි
විශ්‍රාමික විදුහල්පති,
බද්දෙගම සමථමූල, මණ්ඩල සභාපති
ශාස්ත්‍රපති
බලගොඩ සිරිනිවාස හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මැයි 03 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment