Labels

Thursday, June 8, 2017

බෞද්ධයා විසින් මිථ්‍යා විශ්වාස බැහැර කළ යුතුවේ

බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩවෙසෙන සමයෙහි මිථ්‍යා දෘෂ්ටියෙහි පිහිටි එක්තරා බමුණෙක් අරබයා මෙම ජාතක කථාව දේශනා කළහ. රජගහ නුවර වසන්නාවූ එක්තරා ධනවත් බමුණෙක් දුටු දෙය හා ඇසූ දෙය මංගල යැයි විශ්වාස කළේය. දිනක් ඔහු සතු අගනා වස්ත්‍ර යුගලක් මීයන් විසින් කන ලදි.
මෙය දැනගත් බමුණා අතිශය කලබලයට පත්ව මීයන් විසින් කන ලද එවැනි වස්ත්‍ර යුගලක් තම නිවසේ තිබීමෙන් මහත් විපතක් වන්නේ යැයි විශ්වාස කොට එය කිසිවිවෙකුටත් දුනහොත් එම තැනැත්තාටද අයහපතක් සිදුවන්නේ යැයි කල්පනා කොට තම පුතු කැඳවා වස්ත්‍ර යුගලය අතින් ස්පර්ශ නොකොට දණ්ඩක ආධාරයෙන් අමුසොහොනට ගෙන ගොස් දමන මෙන් දන්වා සිටියේය.
මහා කරුණා සමාපත්තියට සමවැදුණු බුදුරජාණන් වහන්සේ මෙම මිථ්‍යාදෘෂ්ටික බමුණා හා ඔහුගේ පුතුගේ ක්‍රියාව දැක ඔවුන් මිථ්‍යාදෘෂ්ටියෙන් මුදවනු අටියෙන් සොහොන බලා වැඩම කළහ. තම පියාගේ ඉල්ලීම පරිදි මීයන් විසින් කන ලද වස්ත්‍රය දණ්ඩක අමුණා අමු සොහොනට ගෙන යන පුතු දුටු බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් සියලු පුවත් දැනගෙන එම වස්ත්‍ර යුග්මය තමන්වහන්සේට සුදුසු යැයි දන්වා ඉල්ලාගත් සේක. බමුණු පුත්‍රයා නිවසට ගොස් සිදුවූ සියල්ල තම පියාට දැන්වීය. මෙය ඇසීමෙන් කලබලයට පත් බමුණු පියා මීයන් කෑ වස්ත්‍රය යම් හෙයකින් බුදුරදුන් විසින් පරිහරණය කළහොත් එයින් උන්වහන්සේට අයහපතක් සිදුවන අතරම වේළුවනාරාමයත් විනාශ වෙයි, එසේ වුවහොත් තමන්ට මහත් අපකීර්තියක් ඇතිවිය හැකියැයි සළකා සිවුරු පිණිස වෙනත් වස්ත්‍ර රැසක් ගෙන බුදුරදුන් හමු වීමට ගියේය. තම පුතු සමඟ වේළුවනාරාමයට ගිය බමුණා බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියේ මීයන් විසින් කන ලද අවමංගල සම්මත වස්ත්‍ර යුග්මය බැහැර කොට තමන් විසින් ගෙන එන ලද අභිනව වස්ත්‍ර පිළිගන්නා ලෙසයි. බමුණාගේ ඉල්ලිම ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ, ඔබ මේ ආත්මයේදී පමණක් නොව පෙර ආත්මයේත් මෙබඳු මිථ්‍යා දෘෂ්ටික අදහස්වලින් යුක්තව වාසය කළේ යැයි දක්වා අතීත කථාව ගෙනහැර දැක්වූ සේක.
අතීතයේ රජගහ නුවර ධාර්මික නම් සතර සංග්‍රහ වස්තුවෙන් රට පාලනය කළ රජ කෙනෙකු වාසය කළේය. එකල්හී අප මහබෝසතාණන් වහන්සේ බ්‍රාහ්මණ මහාසාර කුලයක ඉපිද කාමයෙහි ආදීනව දැක සෘෂි ප්‍රවජ්‍යාවෙන් පැවිදිව වන වාසීව වෙසෙන්නේ, එක් දිනෙක නගරයට පැමිණ රජුගේ මගුල් උයනෙහි වාසය කළේය. පසු දින පිඬු සිඟා යන බෝසත් තාපසතුමා කෙරෙහි පැහැදුණු රජු තම මඟුල් උයනේම වාසය කරන්නැයි දන්වා අවශ්‍ය පහසුකම් සැළසීය. එක් දිනක් එනුවර වැසි දූෂ්‍ය ලක්ෂණ නම් බමුණෙක් මීයන් කෑ වස්ත්‍ර යුගලක් ගෙනගොස් අමුසොහොනෙහි දැමීය. මෙතැන් සිට කථාව වර්තමාන කථාව හා සමාන වේ. පෙර කථාවෙහි එන පරිදිම බමුණා ගොස් තාපසයන්ගෙන් ඉල්ලා සිටියේ එම වස්ත්‍ර පරිහරණයෙන් වළකින ලෙසයි. එයට පිළිතුරු දුන් තාපස තුමා “බමුණානෙනි ඇසූ දුටු දෙය ගන්ධ රස ස්ඵර්ශ වශයෙන් වටහාගත යුතුයි.
ඒවා මංගල යැයි සැළකීම වැරදිය. මෙබඳු දෘෂ්ටි බුදු, පසේ බුදු, මහ රහත් උතුමන් විසින් බැහැර කරන ලද්දේ වෙයි. එබැවින් නුවණැත්තන් විසින් මෙබඳු දුර් ලබ්ධි බැහැර කළ යුතුය.” යනුවෙන් සාවද්‍ය දෘෂ්ටියේ නිස්සාරත්වය පෙන්වා දුන්නේය. අතීත කථාව පැහැදිලි කළ බුදුරජාණන් වහන්සේ “බමුණාණෙනි ක්‍ෂීණාශ්‍රවයෝ දෘෂ්ට මංගල ශ්‍රැත මංගල යනා දී වූ චන්ද්‍ර ග්‍රහණ සූර්ය ග්‍රහණ අසනිපාත උල්කාපාත වස්ත්‍ර ලක්ෂණ ආයුධ ලක්ෂණ යනාදි ඉෂ්ඨානිෂ්ඨ දෙකෙහි මධ්‍යස්ථ ආකාරයෙන් පවත්නාහ” යනුවෙන් දේශනා කොට ජාතක කථාව නිමවා වදාළහ. මිථ්‍යා පිළිගැනීම් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමේ අර්ථ ශූන්‍ය බව පෙන්වාදීම මෙම ජාතකයේ අරමුණ වී තිබේ. ජාතක කථාවෙහි එන ආකාරයේ මිථ්‍යා විශ්වාස පිළිගන්නා අය පෙර මෙන්ම වර්තමානයේ ද බහුලව දක්නට ලැබේ. මෙම විශ්වාස දැඩි ලෙස ගන්නා පුද්ගලයන් එක් අතකින් තමන්ගේ වැඩ අතපසු කරන අතර අනෙක් අයටද බාධා පමුණුවයි. කපුටන්ගේ කෑ ගැසීම, නරියන්ගේ උඩු බිරීම, සූණන් ඇඟට වැටීම ආදිය පදනම් කරගත් මිථ්‍යා විශ්වාස සමූහයක් මිනිසුන් අතර පවතී.
එහෙත් ඒවායේ මූලයන් සොයාගිය විට එයින් අප හිතන ආකාරයේ අයහපතක් සිදු නොවේ. ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් දියුණු තාක්ෂණය උපයෝගීකරගනිමින් විධිමත් ලෙස නිර්මාණය කළ ගොඩනැගිලි කිසිදු විචාරයකින් තොරව ඇතැම් මිථ්‍යා විශ්වාස අනුව වෙනස් කිරීමට යාමෙන් තම ධනය මෙන්ම කාලයත් විනාශකර ගත් එසේම ඒවා පදනම් කරගෙන පවුලේ සාමාජිකයන් සමඟ අර්බුද ඇතිකරගත් පුද්ගලයන් පිළිබඳ කොතෙකුත් අසන්නට ලැබේ. මෙම විශ්වාස මත පිහිටා වැඩ කල් දැමීම මෙන්ම අතපසු කිරීම ද අනුවණ පුරුද්දකි. එය දියුණුවට බාධාවක් වේ. නිවසින් පිටවන විට අසන්නට හා දකින්නට ලැබෙන දෑ අනුව සුබාසුබ තීරණය කිරීම කොතරම් අනුවණද යන්න ධර්මයට අනුව කල්පනා කරන විට පැහැදිලි වේ. පංච ඉන්ද්‍රියන්ට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන අරමුණු ගෝචර වේ. එම අරමුණු පිළිබඳ හඹා ගොස් ඒවා සුබාසුබ වශයෙන් ගෙන ඒ අනුව ජීවිතය හා එහි වැදගත් අවස්ථා තීරණය කීරීම නිශ්ඵල වූවක්ය යන්න ජාතක කථාවෙහි එන බෝසත් තාපසයාගේ ප්‍රකාශනයෙන් පැහැදිලි වේ. මේ අදහස තවදුරටත් මංගල සූත්‍රයට පසුබිම් වූ නිදානයෙන් පැහැදිලි වේ. මංගල සූත්‍ර අට්ඨකථාවෙහි දැක්වෙන පරිදි මංගල සම්මත දුටු දෙය (දිට්ඨ මංගල), මංගල සම්මත ඇසූ දෙය (සුත), මංගල සම්මත ගන්ධ රස ස්ඵර්ශ ආදිය (මුත මංගල) මංගල යනුවෙන් පිළිගත් අතර ඒ පිළිබඳ මිනිසුන් අතර පමණක් නොව දෙවියන් අතර වාද විවාද ඇති වූ බව සඳහන් වේ. අනතුරුව එක්තරා දෙවියෙක් බුදුරදුන් හමුවට ගොස් මංගල සම්මත දෑ කවරේදැයි විමසීය.
බුදුරජාණන් වහන්සේ දෙලොව යහපත පිණිස හේතුවන සදාචාරාත්මක ප්‍රතිපත්ති තිස් අටක් ඔහුට පැහැදිලි කර තිබේ. බෞද්ධ ඉගැන්වීම අනුව මංගල යනුවෙන් සළකන්නේ මෙම යහපත් සදාචාර ප්‍රතිපත්ති සමූහය මිස වෙනත් බාහිර වස්තුවක් හෝ පුද්ගලයෙක් නැතහොත් සතෙක් නොවේ. ඒ අනුව එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම දෙලොවින්ම සෞභාග්‍ය ඇතිකර ගැනීමට හේතුවන බව නිසැකය. මංගල සූත්‍රයේ අන්තර්ගතයට අනුව ජීවිතයේ සෞභාග්‍ය තීරණය වන්නේ බාහිර වස්තුවක්, පුද්ගලයෙක්, සතෙක් හෝ වෙනත් දෙයක් මත නොවේ. අභ්‍යන්තර මානසික පාරිශුද්ධත්වය ඇතිකරගනිමින් කායික හා වාචසික වශයෙන් යහපත් ක්‍රියාවල නිරත විමෙන්ය භෞතික හා අධ්‍යාත්මික දියුණුව ඇතිවන්නේ. මෙම ජාතක කථාවේ එන ඉහතින් උපුටා දැක් වූ බෝසත් තාපසයාගේ ප්‍රකාශය හා බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගැඹුරින් විශ්ලේෂණය කළ විට මිථ්‍යා විශ්වාස පිළිබඳ බෞද්ධ ස්ථාවරය පැහැදිලි වේ. බෝසත් තාපස තුමාගේ ඉගැන්වීම අනුව මෙබඳු මිථ්‍යා අදහස් බුදු, පසේ බුදු, මහ රහත් උතුමන් විසින් දුර්ලබ්දි යැයි සළකා බැහැර කොට තිබේ. එබැවින් තෙරුවන් සරණ ගිය නුවණැති බෞද්ධයා මෙවැනි අදහස් නොපිළිගත යුතුවේ. තමා පිළිනොගත්තත් තමා වටා සිටින ඇතැම් පුද්ගලයන්ගේ එවැනි මිථ්‍යා අදහස් ඉවත් කිරීම පහසු විය නොහැකිය.

එවැනි අවස්ථාවලදී මධ්‍යස්ථ විය යුතුය යැයි බුදුරදුන්ගේ ඉහත අනුශාසනයෙන් පැහැදිලි වේ. ලොව සියල්ල සිදුවන්නේ හේතුඵල දහමට අනුව බවත් එසේම පුද්ගලයා විසින් සිදුකරනු ලබන කුශලාකුශල කර්මවලට අනුරූපව විපාක විඳීමට සිදුවන බවත් දකින බෞද්ධයෙකුට මිථ්‍යා අදහස් හා විශ්වාස කිසිසේත්ම අදාළ නොවේ. බුද්ධ වචනය අනුව සදාචාරාත්මක වශයෙන් අනුගමනය කරනු ලබන යහපත් ප්‍රතිපත්තිය උතුම්ම මංගල්‍ය ලෙස පිළිගන්නා හෙයින් මිථ්‍යා අදහස් හා විශ්වාස බැහැර කොට පවින් හා අකුසලයෙන් වැළකීම සියලු අර්ථ සිද්ධිය හා සෞභාග්‍ය උදකරගැනීමේ ඒකායන මාර්ගය වේ.


කොළඹ විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත 
උඩුහාවර ආනන්ද හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ බක් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 26 වන බදාදා  දින   බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment