සත්‍ය ගවේෂකයෙකු වශයෙන් සිද්ධාර්ථ බෝධි සත්ත්වයන් වහන්සේ තුළ පැවැති පර්යේෂණාත්මක ගතිලක්ෂණ සහ තීක්ෂණ ඥානය, විශේෂ ගතිගුණවලින් පරිපූර්ණ වූවක් බව අරියපරියේසන සූත්‍රය, මහාසීහනාද සූත්‍රය, වීමංසක සූත්‍රය ආදී දේශනාවලින් පැහැදිලි වේ.
ඇසළ මස පසළොස්වක දින ගිහිගෙය අත්හැර දමා අභිනිෂ්ක්‍රමණය කළ සිද්ධාර්ථ තාපසයාණෝ විමුක්ති ගවේෂකයෙකු බවට පත්වූහ. ආලාර කාලාම, උද්දකරාම පුත්ත තවුසන් වෙත ගිය සිදුහත් තවුසාණන්ට, ඔවුන් දත් සියල්ල ඉගෙනීමට ගතවූයේ කෙටි කාලයකි. ගුරුවරයා විසින් කියන ලද දෙය ඇසූ පමණින්ම සියල්ල මතක තබා ගැනීමට හැකියාවක් සිදුහත් තවුසාණන්ට තිබුණි.
ආලාරකාලාම තවුසාගේ දහම උගත් සිදුහත් තවුසාණෝ මෙසේ සිතූහ. ‘ආලාර කාලාම තවුසා, මේ ධර්මය හුදෙක් ඇදහීම් පමණකින්, තමන් විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කරගෙන ඊට පැමිණ, මේ ධර්මය දැනගෙන වාසය කරමියැ’යි නොකියයි. ඒකාන්තයෙන් ම, ආලාර කාලාම මේ ධර්මය දැනගෙන ඊට පැමිණ වාසය කරන්නේ ය.’ යනුවෙනි. පසුව සිදුහත් තාපසයාණෝ, ආලාර කාලාම ළඟට ගොස් මෙසේ විමසුවේය. ‘ආලාර කාලාමයෙනි, ඔබ කොපමණකින් මේ ධර්මය දැන එයට පැමිණ වාසය කරන්නෙහිද?’ එවිට ආලාර කාලාම මෙසේ පිළිතුරු දුන්නේ ය. ‘මම ආකිඤ්චඤ්ඤායතනය ලබාගෙන වාසය කරමියැ’යි යනුවෙනි. අනතුරුව සිදුහත් තවුසාණෝ මෙසේ කල්පනා කළහ. ‘ශ්‍රද්ධාව ඇත්තේ ආලාර කාලාම තවුසාට පමණක් නොවේ. මටත් ශ්‍රද්ධාව ඇත. ආලාර කාලාම තවුසාට මෙන්ම මටත් වීර්යයත්, සතියත්, සමාධියත්, ප්‍රඥාවත් ඇත. එනිසා මටත් ආලාර කාලාම තවුසා ලැබූ ආකාසානඤ්චායතනය ලබන්න පුළුවන්. ඒ සඳහා මා උත්සාහ කළ යුතු ය. ‘නොබෝ දිනකින් ම සිදුහත් තවුසාණෝ ආකාසානඤ්චායතනය ලැබූහ. පසු ව උද්දකරාමපුත්ත තවුසා වෙතට ගිය සිදුහත් තාපසයාණෝ ඒ තවුසාගෙන් ද ධර්මය ඉගෙන, නේවසඤ්ඤා නාසඤ්ඤායතනය ලබාගත්හ. එයත් තමා සොයන විමුක්තිය නොවන බව අවබෝධ කරගත් සිදුහත් තවුසාණෝ ‘කිංකුසල ගවේසී, කිංසච්චගවේසී’ ව (කුසලය කුමක්ද? සත්‍ය කුමක්දැ’යි සොයමින්) තැනින් තැන ඇවිදින අතර උරුවේලාවේ සේනානි නම් නියම්ගමට පැමිණියහ. එහි නේරඤ්ජා නදිය අසල බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ යට වැඩසිටිමින් ‘ඉපදීමක්, වයසටයාමක්, ලෙඩවීමක්, මරණයක් නැති මෝක්ෂය ලබන්නේ කෙසේදැයි? සිතමින් සත්‍ය ගවේෂී වූහ.
‘මම නැවත ඉපදීම ස්වභාව කොට ඇත්තෙක් වෙමි. නැවත නැවත ඉපදීමේ ආදීනව මම දනිමි. වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම ස්වභාවය කොට ඇති මම, වයසටයාමේ, ලෙඩවීමේ, මරණයේ ආදීනව දනිමි. ඉපදීමක්, වයසටයාමක්, ලෙඩවීමක්, මරණයක් නැති උතුම් වූ නිවන සෙවිය යුතු ය. මෙසේ කෙලෙස් තවන වීර්යයෙන් භාවනානුයෝගී වූ සිදුහත් තවුසාණන්ගේ සිත සමාධිගත වී නේවසඤ්ඤා නාසඤ්ඤායතනය දක්වා සියුම් විය. තමා ලබාගෙන ඇති රූපාරූප ධ්‍යාන පිළිබඳවත් උපාදානයක් (අල්ලා ගැනීමක්) නැතිව, සඤ්ඤා සහ වේදනා චෛතසික දෙකත් නිරුද්ධ කරන ලදී. සිත නිදහස් විය. චෛතසිකයන්ගෙන් වෙන් වූ පිරිසුදු සිත, ප්‍රභාස්වර වූ, පුදුම ශක්තියකින් යුක්ත වූ එකක් බවට පත්විය. ලෝකයේ ඇති පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඤාණය පහළ විය. සියලු ම කෙලෙසුන්ගෙන් සිත නිදහස් බව අවබෝධ විය.
සියලුම සතුන් විඳින ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී සියලු දුක්වල ස්වභාවයත්, ඒ දුක් ඇතිවීමට හේතුත්, දුක් නැති කිරීමෙන් නිවන් ලැබිය හැකි බවත්, ඒ සඳහා ඇති එකම මාර්ගය නම්, මධ්‍යම ප්‍රතිපදාව බවත් අවබෝධ කරගත්හ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක
මහාචාර්ය
කෝන්ගස්තැන්නේ ආනන්ද නාහිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වෙසක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මැයි 18 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment