Labels

Sunday, June 11, 2017

මේ දුකදැයි සිහියෙන් බලන්න


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ..... 'සතර අපායෙන් මිදෙමු' - 22 කොටස

වනගත ආරණ්‍යවල හුදකලා වනවාසී කුටිවල වැඩසිටින ස්‌වාමීන් වහන්සේලා ගත කරන්නේ සමහරවිට දුෂ්කර ජීවිතයකි. මෙය සටහන් තබන වේලාවේ භික්‍ෂුව වැඩසිටින්නේ රුහුණු ප්‍රදේශයේ වනගත ආරණ්‍යයකය. මේ වන විට මාස කිහිපයකින් මෙහෙට වැසි නැහැ. පරිභෝජනයට ගන්න තිබෙන වැව් දෙකම හිඳිලා.
ඒ හිඳීගිය වැවේ ඇති සුළු වතුර ප්‍රමාණයේ අලින් නානවා, සත්තු වතුර බොනවා, කිඹුල්ලුත් බැසගෙන ඉන්නවා. ලුණු ගතිය වැඩිනිසා මාළුත් මැරිල උඩ පාවෙනවා. ඒ කියන්නේ දිනෙන් දින හිඳෙන සීමිත ජල ප්‍රමාණයට අපවිත්‍ර දෑ මිශ්‍රවෙනව වැඩියි. මෙම ජලය තමයි 'පිල්ටර්' කරල සැවොම වළඳන්නේ. ඒ උනත් මේ ජලය පිරිසිදුයි. අපුලක්‌ දැනෙන්නේ නැහැ. සමහර වියළි කලාපයේ ආරණ්‍යවල ජලය හිඟ නිසා ශාරීරික අවශ්‍යතා සඳහාද ජලය සොයා ගන්නේ ගල් වලකින්, පොකුණකින්. බොහෝම තෘප්තියකින් තමයි පිංවත් ස්‌වාමීන් වහන්සේලා මෙහෙම, අවම පහසුකම් වලිනුත් තොරව තම නිවීමේ ප්‍රතිපදාවේ යෙදෙන්නේ. අපේ පිංවත් දායක මහත්වරුන් මෙවැනි භික්‍ෂුන්ගෙන් අසන ප්‍රශ්aණයක්‌ තමයි 'ඔබ වහන්සේලා කැලයට වෙලා දුක්‌විඳින්නේ ඇයි' කියලා. භික්‍ෂුවට තේරෙන්නෙ නැහැ ඇයි ඒ පිංවතුන් මෙහෙම අහන්නේ කියලා. කැලේ ජීවත්වන විට සතියකට වරක්‌ තමයි හිස රැවුල බාන්නේ. භික්‍ෂුව දරා සිටින්නේ දුඹුරු පාට චීවරය. වියළි පරිසරය නිසා ශරීරයේ වියළි ස්‌වභාවයක්‌ තමයි දරන්නේ. මේ ස්‌වභාවයන් දැක්‌කම ගිහි පිංවතුන් සිතනවා භික්‍ෂුන් වහන්සේලා දුක්‌විඳිනවා කියල.

එක්‌ අවස්‌ථාවක භික්‍ෂුවට මතකයි මිනිස්‌ වාසයෙන් හුඟාක්‌ ඈත ආරණ්‍යයක වැඩසිටියදී කුටියේ සිට දානයට පිංඩපාත ශාලාවට කැලය මැදින් වඩින විට වන්දනාවේ පැමිණි නඩයක පිංවත් වයස අවුරුදු දොළහක්‌ පමණ දැරියක්‌ පාත්‍රය එල්ලාගෙන පැමිණෙන භික්‍ෂුව දැකලා තමන්ගේ මවගෙන් අහනවා 'මොකෙද්ද අම්මේ ඒ කියලා' ඒ කියන්නේ 'අමුතු සතෙක්‌' හැටියට තමයි ඒ පිංවත් දැරිය භික්‍ෂුවව දැක්‌කේ. ඒ කථාව ඇසෙද්දී මට හරි නිරාමිස සතුටක්‌ දැනුණා. මට හිතුනා භික්‍ෂුව මේ ලෝකයට අයිති නැති කෙනෙක්‌ය කියලා. භික්‍ෂුව මේ ලෝකයේ හැමෝටම වඩා වෙනස්‌ කෙනෙක්‌ය කියලා. කොයිහැටි වෙතත් ඔබ කවදාකවත් භික්‍ෂුන් වහන්සේ නමකගෙන් එහෙම අසන්න එපා. එහෙම සිතන්න එපා. මොකද එය මේ ලෝකයේ තිබෙන ලොකුම මුසාවාදය වෙනවා. මෙය සටහන් තබන භික්‍ෂුව මොනම කටුක පරිසරයකදීවත් කවදාකවත් කැලයේ අසතුටින් ඉඳලා නැහැ. පිංවත් වනවාසී ස්‌වාමීන් වහන්සේලා බොහෝම තෘප්තියකින්, නිදහසකින්, හුදකලාවකින් තමයි කැලයේ නිවන් මග වඩන්නේ. දුකක්‌ කොතැනද මේ හුදකලාව තුළ. මෙතනදි පිංවත් ගිහිපිංවතුන් පටලවාගෙන තිබෙන්නේ දුක සහ සැපයේ ස්‌වභාවය. තමන් ගෙවල් දොරවල්, ඉඩකඩම්, දරුමල්ලන්, ඥාතීන්, නිලතල, තනතුරු වැනි මහා දුක්‌ ගොඩකට මැදිවෙලා. මේ සියල්ලෙන්ම මිදී නිදහස්‌ව නිස්‌සරණ ජීවිත ගත කරන භික්‍ෂුන් වහන්සේලාගෙන් පිංවතුන් අසනවා 'ඇයි දුක්‌ විඳින්නේ?' කියලා. අපි කිසිම දුකක්‌ විඳින්නේ නැහැ. බොහෝම සැනසිල්ලේ තමයි මෙහි ජීවත් වෙන්නේ. අතහැරීම තුළ භික්‍ෂුන් වහන්සේලා ලබන සැපය, සංහිඳීම පිංවත් ඔබලාට සිතාගන්නවත් සමහරවිට බැරිවෙයි. ඔබත් ජීවිතයේ බැඳීම් අඩු අයෙක්‌නම් ඔබට මේ සැපය දැනී ඇත. එසේ නොවුන අය භික්‍ෂුන් වහන්සේලා කෙරෙහි ආදරයෙන් ඉහත ප්‍රශ්ණය අහන්නේ. 

හැබැයි මෙයත් සටහන් කරන්න ඕනේ. වනවාසීව ආරණ්‍යගතව වැඩසිටියත් යමක්‌ කෙරෙහි තෘෂ්ණාවක්‌ ඇතිකරගෙනනම් ජීවත්වෙන්නේ ඒ ජීවිතවලටද සැපයක්‌ නැහැ. දුක තමයි තිබෙන්නේ. මොකද කැලයේ පරිසරයට, වනසතුනට, ඇළදොලට, පුරාවස්‌තුවලට තණ්‌හාවෙන් මේවාට ඇලිල මේවා සොයන්න, ගවේෂණය කරන්න, ආරක්‍ෂා කරන්න වෙහෙසෙන ස්‌වාමීන් වහන්සේලාත් වැඩ සිටින්න පුළුවන්. හැබැයි සැබෑ ආර්යඅෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරන ස්‌වාමීන් වහන්සේලාට කිසිම දුකක්‌ වනවාසී ජීවිතය තුළ නැහැ. 

ගිහි පිංවතුන් නිතරම තම වසඟයේ තබාගත නොහැකි ඇසත්, කනත්, නාසයත්, දිවත්, මනසත්, කයත් මගේ කරගෙන ඒවාට ආහාර සොයන්න වෙහෙසෙනවා. ඔබට දැනෙන්නේ නැහැ ඇසත් ඇසට දෙන ආහාරත් අනිත්‍යබව. අනෙක්‌ ආයතන පහත් එසේමයි. ඒවාට ලබාදෙන ආහාරත් අනිත්‍යවන දේවල්මයි. මේ නිසාම ඔබ නැවත නැවතත් වෙහෙසෙනවා මේවායේ කුස ගින්න නිවන්න. මේ ගින්දර අවුළුවන්නේ අධ්‍යාත්මික බාහිර රූප දෙකත් විඤ්ඤාණයත් හේතුවෙන් සකස්‌වෙන ඵස්‌සය නිසාමයි. මේ ඵස්‌සය වුනේ ගින්දරත් පිදුරුත් බව නොදැන ඔබ ඵස්‌සය හේතුවෙන් සකස්‌වුන වේදනාව මගේ කරගන්නවා. නමුත් ඔබ මගේ කරගෙන තිබෙන්නේ ගිනි ගොඩක්‌. ඔබ ඒ ගිනි ගොඩවල් නිසාම වර්තමානයේ තැවෙනවා, දුම්දමනවා, රත්වෙනවා, ගිනිගන්නවා. වර්තමානය කියලා සටහන් කරනවිටම ඒ සදහන්කළ වර්තමානය අතීතයට ගොස්‌ ඉවරයි. මේ අත්ඳකින්නේ රූපය අනිත්‍යභාවයට පත්වෙන වේගයයි. මේ වේගය පංචඋපාදානස්‌කන්ධයටම පොදුයි.මේ අනිත්‍ය ස්‌වභාවයේ යථාර්ථය තමයි වනවාසී භික්‍ෂුන් අත්දකින්නේ. මෙයින් අදහස්‌ වෙන්නෙ නැහැ වනවාසී භික්‍ෂුන්වහන්සේලා අන්ධ, ගොළු, බිහිරියි කියලා. උන්වහන්සේලා ආශ්වාදයේ කෙටිබව දැකලා, ආදීනවයේ දිගුබව වියරුබව දැකලා කාමයේ නිස්‌සරණයමයි සොයන්නේ. රූපයේ නිස්‌සරණයමයි සොයන්නේ. මෙතන තියෙන්නේ පලායාම නොවේ. මගහැරීම නොවේ. අවබෝධයෙන් අතහැරීමයි. අතහැරීමෙන් නිදහස්‌වීමයි.


මේ මොහොතේ භික්‍ෂුව අත්දැකීමට ලැබුණු සිද්ධියක්‌ මතක්‌වුණා. දිනක්‌ භික්‍ෂුව කැලයේ කුටියක සිට පිණ්‌ඩපාතය සොයා ගමට වඩින්නට පිටත්වුණා. හිමිදිරියේ කුටියෙන් එළියට බහිනවිට වැසිවසින ලකුණක්‌ පෙනෙන්ට තිබුණේ නැහැ. දැන් භික්‍ෂුව කුටියෙන් එළියට බැහැල කිලෝමීටර් දෙකක්‌ පමණ ඇවිදින් තිබෙනවා පිණ්‌ඩපාතය සොයන්න. කිලෝමීටර් කාලක්‌ යන්න හම්බවුනේ නැහැ කැලය මැදදිම මහා වැස්‌සක්‌ වසින්න පටන් ගත්තා. ලැබුණු අභියෝගයේදී භික්‍ෂුව අධිෂ්ඨානයක්‌ ඇතිකරගත්තා අනෝරා වැස්‌සක්‌ වැස්‌සද වැස්‌සෙන් මිදීමට සෙවනකට නොයනවා කියලා. දැන් වැස්‌සෙන් සිවුර, ශරීරය, පාත්‍රතවිකය හොඳටම තෙමිලා. ගෙවල් කිහිපයකට වැඩමකරලා අවශ්‍ය ආහාර සොයාගත්තා. සමහර දායක පිංවතුන් ඇසුවා හාමුදුරුවනේ කුඩයක්‌ දෙන්නද කියලා. සමහරු කුඩයක්‌ ඉහලලම දෙන්න උත්සහ කළා. භික්‍ෂුව ප්‍රකාශ කළා මහත්මයෝ එළියට බසිනවිට වැසි වසියි කියලා සිතුවේ නැති නිසා කුඩය ගෙනාවේ නැහැ. දැන් ඉතින් හොඳටම තෙමිල නිසා කුඩයක්‌ අවශ්‍ය නැහැ. මෙහෙමම කුටියට වඩිනවාය කියල. ඒත් ඒ සද්ධාවන්ත පිංවතුන්ට එය ලොකු දුකක්‌ වුනා. ඒ මොහොතේ වැස්‌සට තෙමී සිටි භික්‍ෂුව දුටුවානම් ඔබ සිතන්නේ අනේ මේ හාමුදුරුවෝ වුවමනාවෙන් දුක්‌විඳිනව කියල. ගෞරවණීය, වන්දනීය නායක ස්‌වාමීන් වහන්සේලා පවා සමහරවිට ප්‍රකාශ කරනවා කැලේට යන්නේ දුක්‌විඳින්නද කියලා. කැලේ වනවාසී ජීවිත දුකක්‌ නොවන්නේ කොහොමද කියල භික්‍ෂුව ඔබට පහදා දෙන්නම්. ඔබ දන්නවද බලාපොරොත්තු නොවු ආකාරයට කඩාවැටුණු මහ වැස්‌සෙ තෙමි තෙමි තෙත බරිත වෙලා වඩින භික්‍ෂුව මොනතරම් සන්හිඳීමකින්ද වඩින්නෙ කියලා. ඔබට දැන් ප්‍රශ්ණයක්‌ මතුවෙන්න පුළුවන් භික්‍ෂුවට මොළේ අමාරුවක්‌ද කියලා. ඇයි හාමුදුරුවො කියනවා වැස්‌සෙ හොඳටම තෙමිල වඩින්නේ සංහිඳීමකින් සැපයකින් කියලා. සත්‍යකින්ම එය ලෝකයේ ශේ්‍රෂ්ඨම සැපයක්‌ ආර්යයන් වහන්සේලා පමණක්‌. අත්විඳින සංහිඳීමක්‌. ලෝකයට හොරා ලබන සංහිඳීමක්‌ සැපයක්‌. නමුත් දෙවියන්, බ්‍රහ්මයන් පමණක්‌ දකිනා සැපයක්‌. ඔබ දන්නවාද භික්‍ෂුව එම සංහිඳීම සැපය ලබන්නේ කොහොමද කියලා. මහා වැස්‌සේ තෙතබරිත වෙච්ච ශරීරය සිවුර බාහිරින් පෙනුනද භික්‍ෂුවට ශරීරයේ එක රෝම කූපයකටවත් ශීතලක්‌ දැනුනෙ නැහැ. දැනෙන්නේ නැහැ. භික්‍ෂුවට වහිනවද තෙමිලද කියල තේරුමක්‌ නැහැ. ඇයි දන්නවද ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාල ප්‍රතිප්‍රදාවේ ආශ්චර්ය ප්‍රාතිහාර්යන් නිසා. භික්‍ෂුව කුටියෙන් පිටවෙලා වැස්‌ස පටන්ගත් මොහොතේම තේජෝ මනසිකාරයට සමවැදිලයි වැඩියේ. භික්‍ෂුqව මුළු ශරීරයේම තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය සිතෙන් වැඩිකරගන්නවා. හරියට දැඩි ලෙස උණෙන් පෙලෙන අයෙක්‌ වගේ ශරීරය එවිට උණුසුම් වෙනවා. මේ උණුසුමට වැස්‌ස කෙසේනම් දුකක්‌ දෙන්නද? මෙවැනි විටක වැස්‌ස නවත්වන්න කාටවත් බැහැ. එය ලෝක ස්‌වභාවයක්‌. ලෝක ස්‌වභාවයන් වළක්‌වන්න නිවන් මග වඩන්නන්ට බැහැ. නමුත් එම ස්‌වභාවයන් අවබෝධයෙන් හඳුනාගෙන ඒවායේ නොඇලී නොගැටී ඉන්න භික්‍ෂුවට පුළුවන් වෙන්න ඕනේ. ආර්යයන් වහන්සේ කියන්නේ වැස්‌සත් උෂ්ණත්වයත් ජයගත්ත කෙනෙක්‌. ලොව බලසම්පන්න පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන් විනිවිද දුටු කෙනෙක්‌. උන්වහන්සේලා දන්නවා සතරමහා ධාතුව තමන්ට අවශ්‍ය ආකාරයට ගලපාගන්න, පෙරලාගන්න. ඇයි සතරමහා ධාතුවේ ස්‌වභාවය අවබෝධකර අවසන් නිසා. නිරතුරුවම වෙනස්‌භාවයට පත්වෙන සතරමහා ධාතූන් ප්‍රඥාව අවබෝධය හමුවේ අසරණයෙක්‌මය. 

දැන් ඔබ මෙය ඔබේ ජීවිතයට ගලපාගන්න. වනවාසී භික්‍ෂුන් දුක්‌විඳින පිරිසක්‌ නොවේය කියල දැනගන්න. සැබෑ බුදුපුතුනට පුළුවන් අවශ්‍ය අවස්‌ථාවක තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය සිතින් වැඩිකර ශරීරය උණුසුම් කරන්න, ශරීරය ගිනි තබාගන්න, ශරීරය අළු දූවිලි හැටියට දකින්න. මුළු ලෝකයම තේජෝ ධාතුවෙන් ගිනිඅවුළුවා මුළු විශ්වයම, දස දිශාවම ගිනිගොඩක්‌, අළු ගොඩක්‌ ලෙස දකින්න. අනෙක්‌ ධාතූන්ද ඉහත ආකාරයට අවශ්‍ය අවස්‌ථාවේදී ක්‍රියාකාරීත්වය අඩු වැඩි කිරීමේ ශක්‌තිය ආර්යන් වහන්සේට තිබෙනවා. එම නිසා පිංවත් ඔබ නොදැනුවත්භාවය නිසා වනවාසී, ආරණ්‍යවාසී භික්‍ෂුන් දුක්‌විඳිනවාය කියනවානම් එය ලෝකයේ තිබෙන ලොකුම මුසාවාදය වනු ඇත. එම නිසා ඔබට වඩා දසමයකින් හරි ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ඉදිරියෙන් සිටින පන්සල් වේවා ආරණ්‍යය වේවා පැවිදි උතුමෙකුට සහතික දීමට ඔබ ඉක්‌මන් නොවන්න. එය ඔබලාගේ සැපය පිණිසම හේතුවෙනවා ඇත. පිංවත් ඔබලාද කළයුත්තේ සතරමහා ධාතුවේ ස්‌වභාවය අවබෝධයෙන් හඳුනාගෙන අධික ශීතලද දැඩි රශ්ණයක්‌ බවට පත්කළහැකි ඝණ දැඩි ස්‌වභාවය දියරයක්‌ බවට පත්කළහැකි ඇතිවෙමින් නැතිවෙන සිතේ හැකියාවන් දියුණුකළ ප්‍රඥාවෙන් හඳුනා ගැනීමය. 

මාර්ගය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇත. එම ධර්මය අත්දැකීමට අපි සැවොම පිංකර ඇත්තෙමු. මග වැඩු ගුරුවරයෙකුගේ, කළ්‍යාණ මිත්‍රයෙකුගේ ඇසුරකින් තොරව ඉහත ස්‌වභාවයන් ඔබ අත්දැකීමට ගියොත් කායික මානසික රෝගියෙක්‌ වීමේ ඉඩකඩ වර්තමාන සමාජයේ ඉතා වැඩිබව සිහිතබාගන්න. ඉහත සටහන තබන භික්‍ෂුවද කුඩයක්‌ පාවිච්චි නොකර වැස්‌සේ වැඩිය මුල්ම අවස්‌ථාව මෙන්ම අවසාන අවස්‌ථාවද එයම බව හොඳින් මතක තබාගන්න. ඊට හේතුව වුqයේද කුටියෙන් පිටවන මොහොතේ වැසි ලකුණු නොතිබුණු නිසාය. යම් හෙයකින් වැසි ලකුණු තිබුනානම් භික්‍ෂුව අනිවාර්යෙන්ම කුඩය සමගයි වඩින්නේ. මොකද මේ ආශ්චර්යමත් ප්‍රතිපදාවන් අවබෝධය ලබා අතහැරදැමීම සඳහා මිස ලෝකයාගෙන් ලකුණු ලබාගැනීමට නොවන නිසාය. තමා කවුද යනු අවබෝධයෙන් හඳුනාගත් පසු තමා තමාටද අතහැරෙනු ඇත. මන්ද තමා තුළද ඇත්තේ හේතුඵල ධර්මයන්ගෙන් සකස්‌වුවක්‌ මිස සත්වයෙක්‌ ඔහු නොදකින නිසාය. සෑම බුදුපුතෙකුම පන්සලක වැඩසිටියද, ආරණ්‍යයවාසීව වැඩසිටියද තෘෂ්ණාවෙන්, චන්ද රාගයෙන් යමක්‌ අල්ලා නොගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්නේ නම් උන්වහන්සේ ලබන්නේ සංහිඳීමක්‌මය, සැපයක්‌මය.


2013 පෙබරවාරි 03 වන ඉරිදා දින  දිවයින පුවත්පතෙහි පල වු ලිපියකි

No comments:

Post a Comment