Labels

Saturday, June 10, 2017

ඤාණ ශක්තියයි ජීවිත ජය ගැන්මයි

යම් කෙනෙක් විපතකට පත් වූ විට, ඊට මුහුණ දෙන්නේ යම් සේද? එමඟින් ඔහුගේ හෝ ඇයගේ ඤාණ ශක්තිය තේරුම් ගත හැකි වන්නේ ය. සාමාන්‍ය ලෝ වැසියා සැපතේ දී උදම්වන අතර විපතේ දී දුකට පත්වේ. එහෙත් මනා වූ ඤාණ ශක්තියක් ඇති, අත්දැකීම් ඇති සද්පුරුෂයා සැපතේ දී උපේක්ෂාවට පත්වේ. දුකේ දී, විපතේ දී ධෛර්යවන්තව, වීර්යවන්තව, උත්සාහයෙන්, අධිෂ්ඨානයෙන් යුතුව ඊට මුහුණ දේ.
සමහර අය උගතුන්, ඤාණවන්තයන් ලෙස සමාජයේ පෙනී සිටිති. එහෙත් ඒ ඇතැමෙක් ජීවිතයට මුහුණ දෙන්නට නොදනිති. දුකක්, විපතක්, කරදරයක් සිදු වූ විටක හඬා වැළපී සමහර විට අන් අයට ද නින්දා, අපහාස කරති. තමන්ගේ මුළු ජීවිතයම කඩා වැටුණා යැයි පවසමින් මහත් අඳුරකට වැටුණා සේ දුකකට ම පත්වෙති. පිරිහීමට ම යති. එවැනි පුද්ගලයාගේ ඤාණ ශක්තිය ඉතාම දුර්වලය.

සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයට අයත් ‘සත්ත ජටිල’ සූත්‍ර දේශනාවේ දී බුදුරජාණන් වහන්සේ පසේනදී කොසොල් රජතුමාට දේශනා කොට වදාළේ පුද්ගලයකුගේ ඤාණ ශක්තිය කෙබඳුද? යන්න විපතක දී හඳුනාගත හැකි බවය. එය ද දීර්ඝ කාලයකදීය. කෙටි කාලයකින් නොවේ. එය ද මෙනෙහි කරන්නාටය. මෙනෙහි නොකරන්නාට නොවේ. නුවණැත්තාටය. අනුවණයාට නොවේ යනුවෙනි. ඉහත සඳහන් කළ ලෙස එවැනි පුද්ගලයා හඳුනාගත හැකි බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

‘වණ්ණුපත’ ජාතක කතාවේ සඳහන් වන අයුරෙන් බෝධි සත්ත්වයන් වහන්සේ ගැල් පන්සියයක් සහ පිරිස සමඟ වෙළෙඳාමේ ගියහ. ඒ මහා කාන්තාරයක් මැදිනි. මහකතර අතරමඟ ජලය සියල්ල නිමවිය. ජීවිතය නැතිවෙන තරමට මහත් විපතකට පත්විය. එම අවස්ථාවේ දී නුවණින් කල්පනාකොට ඤාණ ශක්තිය අනුව එම කාන්තාරයේ තැනින් තැන ඇවිද මතු වී තිබූ තෘණ ගසක් දැක එයට හේතුව එහි යට ජලය කෙසේ හෝ පැවතිය හැකි යැයි සිතා, බොහෝ සේ ධෛර්යයෙන් පොළොව හාරා මතු වූ ගලක් සිඳ ජලය ලබා සැනසී, කාන්තාරයෙන් නිදහස්ව ජීවිතය ජයගත් ආකාරය අපට මෙනෙහි කළ හැකිය.
කාන්තාරයකදී කෙසේ නම් ජලය සොයන්නද? වැලි මිරිකා ජලය සොයාගත හැකි දැයි යනු සාමාන්‍ය මිනිසුන්ගේ අදහසයි. එහෙත් ඤාණශක්තිය ඇත්තාට වැලි නොව මහා කළුගල් සිඳ ජලය ලබාගත හැකි බව, එනම් ජීවිතය ජයගත හැකි බව, මහා විපත්වලින් අත්මිදිය හැකි බව මෙවැනි කතා ඔස්සේ ඉතා පැහැදිලිවේ. මේ නිසා මොනතරම් උගතෙක්, අත්දැකීම් බහුල වැඩිහිටියෙක්, ඤාණවන්තයෙක් ලෙස පෙනී සිටියත්, විපතක දී යම් කෙනෙක් ක්‍රියා කරන ආකාරය අනුවම ඔහු හෝ ඇය ඤාණවන්තයෙක් දැයි දැකගත හැකිය. එය ද දීර්ඝ කාලයක් ඇසුරු කිරීමකින් පසුය. කෙටි කාලයකින් නොවේ. එය ද දැනගන්නට නම් මෙනෙහි කළ යුතුවේ. මෙනෙහි නොකරන්නාට එය වැටහෙන්නේ නැත. නුවණැත්තා විසින් ඉක්මනින්ම එය තේරුම් ගනී. දුෂ්ප්‍රාඥ පුද්ගලයාට එයත් වැටහෙන්නේ නැත.
අප භාග්‍යවතුන් වහන්සේ මෙසේ ද දේශනා කළහ. මහ රජ සාකච්ඡාවෙන් නුවණ දැනගත යුතුය. එයත් දීර්ඝ කාලයකිනි. කෙටි කාලයකින් ද නොවේ. මෙනෙහි කරන්නාට පමණය. මෙනෙහි නො කරන්නාට ද එය වැටහෙන්නේ නැත. එසේ ම නුවණැත්තාට වැටහේ. ඥාන හීනයාට නොවැටහේ.
සාකච්ඡා කරන විට යම් පුද්ගලයකුගේ නුවණේ ස්වභාවය මැනවින් තේරුම්ගත හැකිය. යම් වූ ද කරුණක් පිළිබඳව, තීරණයක් පිළිබඳව සාකච්ඡා කරන විට ඒ ඒ පුද්ගලයාගේ නුවණ පිළිබඳව අවබෝධ කර ගත හැකිය. යම් ගැටලුවක් ඇති වූ විට අසවල් පුද්ගලයා හා සමඟ සාකච්ඡා කරමු යැයි පවසන්නේ මේ නිසාය. තවත් තැනක කුමන ගැටලුවක් ඇති වූව ද “අනේ ඒ පුද්ගලයා සමඟ නම් සාකච්ඡා කිරීමේ තේරුමක් නැහැ. ඔහු හොඳ – නරක හෝ යම් ක්‍රියාවක ඵලයක් පිළිබඳව හෝ විපාකයක් පිළිබඳව හෝ වැටහෙන කෙනෙක් නොවෙයි”. යනුවෙන් අදහස් පළ කරන අවස්ථා ඇත. කිසියම් වූ අරමුණක් පිළිබඳව අතීත, වර්තමාන, අනාගත යන කාලත්‍රයටම ගළපාගෙන, හොඳ – නරක තේරුම්ගත්, සිදුවිය හැකි නරක ආදීනවයන්ගෙන් ඈත් වී, සිදුවිය හැකි යහපත් වූ ආදීනව, ප්‍රතිඵල ලබා ගත හැකි, ප්‍රශ්නයකට විසඳුමක් සොයා ගත හැකි පුද්ගලයකු සමඟ සාකච්ඡා කළ යුතුවේ. යම් කෙනෙකුගේ නුවණ දැන ගැනීමට නම් සාකච්ඡා කිරීමම අවශ්‍ය බවයි. එයින් අදහස් වන්නේ එයත් දීර්ඝ කාලයක් ඇසුරු කිරීමෙනි. කාලයක් පුරා සාකච්ඡා කිරීම තුළින් ඒ පුද්ගලයා නුවණැත්තෙක් බව වැටහේ. ඔහුට ඕනෑම කරුණක් මැනවින් වටහාගත හැකිවේ. ප්‍රශ්නයක් දෙස බලන ආකාරය, සිතන ආකාරය, අසන ආකාරය ඉතාම ඤාණවන්තය. ‘හොඳ – නරක මැනවින් තේරුම්ගෙන නිවැරැදි ලෙස විසඳුමක් ලබන්නට නම් මේ අය ඇසුරු කළ යුතුය. ඔහු හෝ ඇය නුවණැත්තෙක්ය යන අදහස සාකච්ඡාවෙන් තේරුම් ගත හැකිය. එය මෙනෙහි කරන්නෙකුට ප්‍රඥාවන්තයකුට මනාව වැටහෙන්නේය” යැයි භාග්‍යවතුන් වහන්සේ පසේ නදී කොසොල් රජතුමාට පෙන්වා දුන්හ.
එවිට පසේ නදී කොසොල් රජු ‘භාග්‍යවතුන් වහන්ස, එය ආශ්චර්යයකි. එය අද්භූතය’ සඳහන් කළහ. එවිට බුදුරජාණන් වහන්සේ මහ රජ ගිහි වූ කම්සැප විඳින නුඹ විසින් මෙය දුක සේ දත යුතුය. නුවණැත්තන් පමණයි. නුවණ නැත්තන්ට මෙය වැටහෙන්නේ නැත’යි. භාග්‍යවතුන් වහන්සේ එම අදහස් පෙළ මැනවින් දේශනා කළහ. දූවිලි කිළිටි සෝදා හැර ස්නානය කර, සුවඳ විලවුන් ගල්වා, නළලේ තිලක තබා සැරසී කෙස් රැවුල් බා සුදුවස්ත්‍ර හැඳගෙන පංචකාම ගුණයෙන් පිරිපුන්ව ජීවත්වන බොහෝ අය වෙති. එහෙත් ඒ හැම කෙනෙකුගේ ම හදවතේ සැබෑ ස්වභාවය, පවිත්‍ර බව තේරුම් ගන්නට නම් ඉහත සඳහන් කළ ආකාරයෙන් ම කාලයක් පුරා නුවණින් විමසා බලා මෙනෙහි කරමින් ම දැන ගත යුතුය.

“නවණ්න රූපේන නරො සුජානො
න විස්සසෙ ඉත්තර දස්සනේන
සුසඤ්ඤතානං හි වියඤ්ජනේන
අසඤ්ඤතානං හි වියඤ්ජනේන
අසඤ්ඤතා ලෝකමිමං ඛරන්ති”

මිනිස් තෙමේ රූප සටහනින් මැනවින් නොදැක හැකිය. ස්වල්ප මාත්‍ර දර්ශනයෙන් නො අදහන්නේ ය. එය එසේමයි. සංඥම නැත්තෝ මනා සංඥම ඇත්තන්ගේ පරිබාහිර ලක්ෂණයෙන් යුක්තව මෙලොව හැසිරෙති. ඇතුළත අපිරිසුදු වූ පිටත ශෝභන වූ ඇතැම් කෙනෙක් ස්වර්ණ ප්‍රතිරූප එනම් රත්තරං ගාන ලද, මැටියෙන් කරන ලද කුණ්ඩලාභරණයක් මෙන්ද? කියන අදහසයයි.
මේ පොදුවේ සියලු දෙනාට ම වගේ ම තරුණ පරපුරටත්, ඉගෙන ගන්නා දරුවන්ටත්, විවාහයන්ට පත්වන්නට බලාපොරොත්තු වන සියලු දෙනාටමත් අපූර්ව අදහස් පෙළකි.

තරුණ වයසේ දී සිතිවිලිවල ඇතිවන ආවේග නිසා, කෙනෙකුගේ වචනය ඇඳුම, පැළඳුම, මතුපිට පෙනුම නිසා රැවටී නොයෙක් ආකාරයෙන් තමාගේ ජීවිතයත් විනාශ ස්වභාවයට පත්විය හැකිය. මේ නිසා කිසිවිටකවත් දුටු පමණින් වචනයට ඇහුම්කන් දුන් පමණින්, බාහිර පෙනුමෙන් පමණක් කෙනෙක් අවිශ්වාස නොකොට, එමෙන් ම මහත් සේ විශ්වාස නොකොට කාලයක් ඇසුරු කළ යුතුය. එනම් කල්පනාකාරීව කටයුතු කළ යුතුය.
යම් තරුණයෙකුට, තරුණියකට ඉගෙන ගන්නා වයසේ කෙනෙකුට, විවාහ ජීවිතයට පත්වෙන්නට බලාපොරොත්තුවෙන අයෙකුට පවා තම මව්පියන්ගෙන්, වැඩිහිටියන්ගෙන් ආදර්ශ හා අත්දැකීම් පිළිබඳව මනාකොට විමසා බැලිය හැකිය. දුටු පමණින් අදහස් නොදී, විශ්වාස කොට තමාගේ මුළු ජීවිතයම ඔවුනොවුන්ට පවරා නොගෙන අත්දැකීම් ඇති වැඩිහිටියන් හා මව්පියන් සමඟ සාකච්ඡා කරන්න. ඔවුන්ගේ අවවාද හා අනුශාසනා ලබන්න. එහෙත් තවදුරටත් හැකිතාක් දුරට කල්ගෙන මනා කොට සොයා බලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් නුවණින් ම පරික්ෂා කොට කටයුතු කළ යුතුය. ජීවිතය පිළිබඳව තීරණ ගත යුතුවන්නේ මේ ලෙසය.

මෙලෙස ධර්ම මාර්ගයේ ගමන් කිරීමෙන්, කල්‍යාණවන්ත ආශ්‍රයක් ජීවිතයකට එකතු කර ගැනීමෙන් ජීවිතය ජයගත හැකිය. සසර ගමනේ මිදීම දක්වා ම එම අවස්ථාව දියුණු කරගත යුතුය.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මැයි 03 වන බදාදා දින   බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment