මදයට ප්‍රමාදයට හේතුවන්නා වූ රහමෙර හෙවත් මද්‍යසාර භාවිතා කිරීම සුරාපාන අකුසල කර්ම වෙයි. එය සිදුවන්නේ කය මුල්කර ගෙනයි. මෙය ප්‍රධාන වශයෙන්ම කාය මිථ්‍යාචාරයට උපකාරි වන අතර, එය ගිහි පැවිදි ඛේදයකින් තොරව සැමටම අහිත ක්‍රියාවක් සේ සළකා ඉන් වැළැක්වීමට කටයුතු කර ඇත.
ගිහියන්ට පන්සිල්, අටසිල් සහ ගිහි දස සිල්වලින්ද, සාමණේර ස්වාමින් වහන්සේට සාමණේර දසසිල් වලින්ද, උපසම්පදා භික්ෂූන්ට පනස් එක් වැනි පාචිත්තිය සිල් පදයෙන්ද සුරාපානය තහනම් කොට ඇත. පාචිත්තිය යනු ප්‍රබල සිල් පදයක් නොවූවත්, එවන් සිල්පදයකින් හෝ භික්ෂූන්ට සුරාපානය තහනම් වෙයි. මෙම තහනම බෞද්ධ සමාජයේ පමණක් ක්‍රියාත්මක වූවක් නොවේ. බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළද සුරාපානය තහනම් ක්‍රියාවකි. බ්‍රාහ්මණ දහමට අනුව බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය වෛශ්‍ය යන අයට සුරාපානය කළ නොහැකිය. එය ශුද්‍රයන්ට පමණක් සීමා වූ පහත් ක්‍රියාවක් ලෙස බමුණු දහම පවා සලකයි. එය සියලු ආගම්වලින් ප්‍රතික්ෂේප කර ඇත.
පන්සිල් අතර පස්වැනි සිල්පදය “සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී” සිල්පදය යි. මෙහි මජ්ජපමාදට්ඨානා යනුවෙන් විශේෂ වචන දෙකක් එකතු වී ඇත. මජ්ජ නම් මදයයි. පමා නම් ප්‍රමාදයයි. ඨාන නම් එයට හේතු වන කාරණාවයි. මදයට හා ප්‍රමාදයට හේතුවන සකල විධ මද්‍යසාරයෙන් වැළැකෙමි යන්න එම සිල් පදයෙහි අරුතයි. ඒ වගේමයි තමන් මත්වතුර නොබොන්නා සේම අන් අයට එය නොදීම ද කළයුතු වෙයි. තමා සුරා පානයෙන් වැළැකී තම නිවසට පැමිණෙන හිතවතුන්ට මත්පැන් වලින් සංග්‍රහ කිරීම බොහෝ නිවෙස් තුළ සිදු වන්නෙකි. නමුත් සිදුවිය යුත්තේ තමා මත්පැන් පානය නොකරන්නා සේ අන් අයටත් නොදී සිටීමයි. එවිට ඒ සිල්පදය රැකේ. යම් විශේෂ දිනකදී සුරාව දීමෙන් තම නෑදෑ හිතවතුන් වෙරිමතින් විකාර නැටුම්, ගැයුම් ආදියෙන් යුතුව විකෘති වූ මානසිකත්වයකින් කරන ආශිර්වාදයෙහි ඵලය කුමක්ද? මෙසේ අන් අයට මත්වතුර දීමෙන් වන්නේ සංසාරයේ කෙදිනක හෝ තමාටත් ලෝදිය උගුර උගුර හෝ බීමට සිදුවීමයි. තමන් වැරැද්දක් නො කරන්නේ නම් මම නොකරන වැරැදි දේ අන් අය ලවා හෝ නොකරමි යන දැඩි ප්‍රතිපත්තියෙන් සිටීමට වගබලා ගතයුතු වන්නේ ඒ නිසාය. එයින් විදහා පාන්නේ ඔහුගේ පෞරුෂත්වයයි.
ඒ වගේම මේ සිල්පදය බිඳගන්නා තවත් අවස්ථාවක් තිබේ. ඒ වෙරිමතින් නටන පුද්ගලයන් දැක සිනාසෙමින් එය ඒ කි‍්‍රයාව ආශ්වාදයෙන් වැළඳ ගැනීමයි. ඒ වගේම සැබෑ ලෝකයේ පමණක් නොව මාධ්‍ය වලින් පෙන්වන බීමත් රැඟුම් දැක අපි එය සතුටින් වින්දනය කරමු. ඒ ආශ්වාදය තුළින් සිදුවන්නේ ද මෙම සිල්පදයට හානි වීමයි. මෙම සිල්පදය පරිපුර්ණත්වයට නො පැමිණීමයි. බීමතින් දොඩවන මිනිසුන්ගේ විකාර කථා ඇසීමට ඇති ආශාව නිසා ඔවුන් තවත් දිරි ගන්වන අයද සිටියි. එයින් සිදුවන්නේ ද අර පුද්ගලයන් තව තවත් මත්වතුර පානය කිරීමයි. මෙවැනි දේ දැක සිනාසෙමින් ආශ්වාදයෙන් ඉවසා සිටීමද හොඳ දෙයක් නොවේ. මත්වීමට එක් වචනයකින් හෝ සහයෝගය දෙන, අනුමත කරන හෝ ඒවා ආශ්වාදයෙන් වැළඳගන්නා අය කවුරුත් සිල්පදය පරිපූර්ණත්වයට පත් කර ගන්නෝ නොවති.
මද්‍යසාර භාවිතයෙන් වැළකිය යුත්තේ එය ප්‍රධාන වශයෙන් මදයට හා ප්‍රමාදයට හේතුවන නිසාය. සාමාන්‍යයෙන් පන්සිල් විස්තර කරන විට සිල්පද හතරකට එය කඩ කළහොත් එයින් සිදුවන හානිය සිල් පදය තුළින්ම විස්තර කර නැත. උදාහරණයක් ලෙස පාණාතිපාතා සිල්පදය කඩ කිරීමෙන් සිදුවන හානිය පිළිබඳව එම සිල්පදය තුළින් දක්වා නැත. නමුත් සුරාපානයෙන් වැළකීමට බුදුදහම මිනිසුන්ට උපදෙස් දෙනුයේ එය කඩ කළහොත් සිදුවන හානිය පිළිබඳව අවධාරණය කරමිනි.
මදය යනු කායික මත්වීම හෙවත් කායික දුර්වලතාවය යි. ප්‍රමාදය යනු මානසිකව ඇතිවන දුර්වලතාවයයි. මද්‍යසාර භාවිතයෙන් සිත සහ කය යන දෙකම දුර්වල වෙනවා පමණක් නොව මොළයේ ඇති ශෛල විශාල ලෙස අඩපණ කිරීමට හේතු වෙයි. සුරාපානය නොකර සිටීමෙන් මිතුරන් අතරේ කොන් වෙයි, එය තමන්ට මදිපුංචිකමක් යැයි සිතන අයද සිටී. බේබදු මිතුරන් අතරේ තමන් කලක් රැක ගත් අභිමානය, පෞරුෂය මෙලෙස පාවා දෙන්නට සිදුවන්නේ තමන් තුළ එයට විරුද්ධව නැඟී සිටීමේ දක්ෂතාවය නැති බැවිනි. එය කිසිම අයුරකින් සාධාරණීකරණය කළ නොහැක. සතිය යනු සිහිය යි. සිහිය විකෘති කරන, එය මැඬ පවත්වන, සිහිය දුර්වල කරන, ප්‍රධානම බලවේගය සුරාපානයයි. ධර්ම මාර්ගයෙහි ගමන් කිරීමට අවශ්‍ය ප්‍රධාන ධර්මතාවය වන්නේ සතිය නොහොත් සිහියයි. ධර්ම මාර්ගයේ ගමන් කර නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට යමෙක් කැමැති නම් දියුණු කළ යුතු ප්‍රධාන ධර්මතාවය වන්නේ සතිය නොහොත් සති සම්බෝජ්ජඣංගයයි. සුරාපානය පහර එල්ල කරනුයේ එබඳු වූ සතියටයි. එවැන්නෝ නිවන් මාර්ගයෙන් බොහෝ ඈත් වූවෝ වෙති.
මෙහිදී සැලකිය යුතු කරුණ වන්නේ අනෙක් අකුසල කර්ම කිරීමේදී සිහිය නො පිරිහෙන බවයි. ඒවා මනාව දියුණු කිරීමට සිහිය අවශ්‍ය වෙයි. මෙහිදී සිහිය යනු සම්මා සතිය නොව සාමාන්‍ය සිහිය බව අප දැනගත යුතුය. සතිය තිබීම සාමාන්‍ය දෙයකි. සම්මා සතිය නම් කුසලය පිළිබඳව ඇති සිහිය වන අතර, අකුසලය පිළිබඳ දියුණු වන සිහිය මිච්ඡා සතිය වෙයි. සතෙකු මරණ විටද, කාමයේ වරදවා හැසිරෙන විට හෝ බොරු කියන විටද සිහිය තිබිය යුතු වේ. අකුසල් කර්ම කරනවිට සිහිය පිරිහෙන්නේ නැත. ඒවා සිදු කිරීමට මිච්ඡා සතියයි අවශ්‍ය වන්නේ. සම්මා සතිය සම්පූර්ණයෙන් නැතිකර දමා එක් විටම සිත සහ කය සහමුලින්ම දුර්වල කරන එකම අකුසල කර්මය සුරාපානය යි. සුරා ලෝලීත්වය අවසන් වන්නේ උන්මත්තක භාවයෙන් බව දැන එම කාර්යයෙහි වැළකීමට උත්සාහ කළයුතු බව බුද්ධ දේශනාවලදී අපට ඉගැන්වෙයි.
සුරාපානය හෙළා දැකීමට බුදුදහම උත්සුක වන ප්‍රධාන හේතු දෙකකි. තථාගතයන් වහන්සේ විසින් සුරාපානයෙන් වළකින ලෙස දක්වා ඇත්තේ එයින් ලෙඩ රෝග වැළඳෙන නිසාම නොව එය නිවන් මඟට බාධාවන් වන බැවිනි. එය බුදුදහමේ ඉගැන්වෙන විමුක්ති මාර්ගයෙහි ගමන් කිරීමට බෙහෙවින් ඉවහල් වන ජාගරියානුයෝගය (සිහිය දියුණු වන පරිදි නිදිවරා කටයුතු කිරීම) ප්‍රතික්ෂේප වේ. ත්‍රිවිද්‍යාවන් උපදවා ගැනීමට පුහුණු කළ යුතු චර්යාවන්, අනුගමනය කළ යුතු ධර්ම පසළොස්චරණ ධර්ම ලෙස හැඳින්වේ. ඒ පසළොස්චරණ ධර්ම අතරින් ජාගරියානු යෝගයට සහ භෝජනේමත්තංඤ්ඤුතා (ආහාරයේ පමණ දැන ගැනීම) යන කරුණු දෙකම සුරාපානය මඟින් දුර්වල වෙයි.
සුරාපානය කරන්නා මෙලොවදී යම් යම් විපත් කරදර වලට මුහුණ දී මරණින් මතු නරකයෙහි ඉපිද අනේක විධ වර්ෂ කෝටි සහස්‍රාදියක් පැසී එයින් මිදී කලාතුරකින් මිනිසත් බවක් ලබා ගත්තද, ඒ තැනැත්තා උප්පත්තියෙන්ම මන්ද බුද්ධිකයෙකු වෙයි. ජන්මයෙන්ම මන්ද බුද්ධිකයෙක් වූ විවිධ හේතුන් නිසා උන්මත්තකයෙකුගේ තත්ත්වයට පත්වේ. ගුණ හීනයෙකු වෙයි. ලජ්ජා නැති මිනිසෙක් වෙයි. දිළින්දෙක් වෙයි. හැම විටම ඤාාති ව්‍යසනාදි දුක්වලට මුහුණ දෙන්නෙක් වෙයි. ඤාතීන් භේද වී රණ්ඩු සරුවල්වලට ලක්ව පවුලේ සමගිය විනාශ වෙන තත්ත්වයට පත්වෙයි. විරූපී ශරීරයක් ඇත්තෙක් බවට පත්වෙයි. මේවා සුරාපානයේ ආදීනව වෙයි
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මැයි 03 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment