නිරහංකාර සිනහව ප්‍රසන්නය. සිත් ගන්නේ ය. ඔවුනොවුන් අතර සුහදත්වයක් ඇති කරන්නේ ය. සිනහ වෙන්නට නොදන්නෝද වෙති. සිතා මතා සිනහව යටපත් කරගත්තෝ ද වෙති. ඒ බොහෝ විට මානයෙන් යුතු පුද්ගලයන් ය. මානය යනු මැනීමය. උඩඟු සිතින්, තමන් ගැන වඩාත් ඉහළින් සිතීම අතිමානයයි. මානය නැත්තෙකු වීම අනතිමානයයි. මානය සම්පූර්ණයෙන් නැති කළා යන්න ඉන් අදහස් නොවේ. අනතිමානී පුද්ගලයා කෙරෙහි යම් තරමකට මානය තිබේ. එහෙත් අනවශ්‍ය ලෙස වඩා ඉහළින් සිතන්නේ නැත. ‘නිහතමානී’ වන්නේ, මානය සම්පූර්ණයෙන් දුරු කළා වන්නේ නික්ලේශී උතුමෙකු පමණි. එනම් නිර්වාණය පසක් කළ උතුම් පුද්ගලයෙකු පමණි. පෘථග්ජන පුද්ගලයකුට නිහතමානී යන යෙදුම භාවිත කළ නොහැකි ය.
විශේෂයෙන් ප්‍රායෝගික ජීවිතයේ සැමියා, බිරිඳ, මවුපිය දූ දරුවන් ඇතුළු සමාජ සාමාජිකාවන් ඔවුනොවුන් මානයෙන් උදුම්මාගත් සිතින් කටයුතු කරන්නේ නම් එවැනි පවුලක, ගමක සමාජයක සුහදත්වයක්, සාමයක් සිතේ සහනශීලී බවක් ඇති වන්නේ නැත. සරලව කියනවා නම් ජීවත්වන්නට සුදුසු පරිසරයක් එහි ඇති වන්නේ නැත.
අපගේ ආයු කාලය ඉතා කෙටිය. අවුරුදු අසූවක් පමණවත් ඉක්මවන්නේ සුළු පිරිසකි. ඒ සුළු කාලයේත් තමන් ගැන මහා ඉහළින් සිතමින්, අනුන් පහත් කොට සිතනවා නම් ඒ තැනැත්තාට සමාජයෙන්, ගෞරවයක්, ආදරයක්, පිළිගැනීමක් ලැබෙන්නේ නැත. ඇතැම්විට මුහුණ ඉදිරියේ එවැනි පිළිගැනීමක් ලැබුණ ද ඒ ප්‍රසාද සිතින් නොවේ. එවැන්නෙක් මිය ගිය ද ගැරහීම මිස සමාජයෙන් හොඳක් අසන්නට ලැබෙන්නේ ද නැත.
ඇතැම් තරුණ දරුවෝ අති මානයෙන් සිතති. අම්මා, තාත්තා වැඩිහිටියන් මායිම් නොකරති. ඔවුන්ගේ අදහස් කෝපි කාලේ යැයි බැහැර කරති. එහෙත් දරුවනි, වයසින්, දැනුමෙන්, උගත්කමින්, ධනයෙන්, බලයෙන් ඉහළට යන තරමට අනතිමානී වෙන්නට පුරුදුවනවා නම් ජීවිතයට තවත් වටිනාකමක් එක්වේ. කිරි වැදෙන ගොයම් කරල දවසින් දවස බිමට බර වේ. ගහට බරක් නැත. මහා හුළඟක් හැමූවද හානියක් නැත. ඒ වගේ දේවල් ලැබෙන තරමට අනතිමානී වෙනවා නම්, ඒ ගුණාංගයම ජීවිතයේ ආරක්ෂකයක් බවට පත් වේ.
එමෙන්ම වැඩිහිටියන් තරුණ පරපුරට අවවාද දෙන්නේ අවුරුදු ගණනක් ජීවත්වීමෙන් ලද අත්දැකීම් ඇසුරිනි. ඔවුන් යහමඟ පෙන්වන්නේ, අවවාද දෙන්නේ අනාදරයකින්, හෝ තරහ සිතකින් නොවේ. වටිනා ජීවිත අඳුරට වැටේ යැයි බියෙනි. සමහර තරුණ දරුවන් එකම නිවහනේ සිටිය ද අම්මා තාත්තා සමඟ කතා බහක් නැත. ගෙදර වැඩිහිටියන් ගැන සැලකිල්ලක් නැත. ඔවුන් කරදරකාරී ලෙස සලකමින් යන එන තැනක් කියන්නේ නැත. මොහොතක් හොඳින් සිතා බැලුවේ නම් ඒ හැසිරීම නිසා හිතේ අවුල් වියවුල් මිස දෙපිරිසටම ලැබෙන සැනසීමක් නැත.
සමහරු මෙලෙස තරුණකම නිසා අතිමානය ඇති කරගන්නා අතර තවත් කෙනෙක් ජාතිය ඉහළින් සලකති. එය සමාජ සාමයට, සහජීවනයට, සමානාත්මතාවයට බාධාවකි. ඔවුනොවුන් අතර හෘදයාංගම බවක් වේ නම් සාකච්ඡාවෙන් විසඳාගත නොහැකි තරමට ප්‍රශ්න දුරදිග යන්නේ නැත. ඔවුනොවුන් සමඟ සුහදබව, විශ්වාසය නැති වූ තරමට සිත අවුල්ය. එවැනි සිතින් කරන වැඩ කටයුතුද අවුල්ය. ජීවිතයම පැටලිලිය.
තවත් කෙනෙක් මිල මුදල් නිසා අතිමානය ඇති කරගනිති. උගත්කම, රැකියාව, තාන්න මාන්න, නිලතල, යාන වාහන නිසා අනුන් පහත් කොට සිතමින් අතිමානයෙන් කටයුතු කරති. තවත් අය රූපය නිසා උඩඟු වෙති.
ධර්මයෙහි ‘මානාතිමාන’ යනුවෙන් හැඳින්වීමක් වේ. එවැන්නෝ මුලදී අන් අය තමන් හා සමකර සිතුවද පසුව වෙනස් වේ. ‘ඕ මාන’ යැයි කියන්නේ ජාති, කුල, ගෝත්‍ර ලෙස තමන් පහත් ලෙස සිතීමය. යටහත් පහත් යැයි තමන් ගැන තමන්ම මැන ගැනීම ය. කවර ලෙස වුවද අනවශ්‍ය ලෙස අතිමානය ඇති කර ගත්තේ නම් ඒ පුද්ගලයා මානසික රෝගියෙක් බවට පත්වන තරමට ඒ හැඟීම බලවත් වේ. එය ඇතැම්විට මවක් නැත, පියෙක් නැත, කර්මයක් නැත, කර්ම විපාකයක් නැත ආදී ලෙස සිතන මිථ්‍යා දෘෂ්ටියට වඩා බරපතලය. සෝවාන් වන විට මිථ්‍යා දෘෂ්ඨිය නැතිවී යයි. එහෙත් ක්‍රමයෙන් අඩුවනවා මිස මානය සම්පූර්ණයෙන් නැති වන්නේ නැත. නිවන් දකිනතුරුම මැනීම තිබේ.
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රී මූර්ති මහ නා හිමි
No comments:
Post a Comment