Labels

Saturday, June 10, 2017

කළගුණ සැලකූ ගිජු ලිහිණියා

බරණැස් නුවර බ්‍රහ්මදත්ත නමින් රජ කෙනෙක් සිටියා. එකල අප මහ බෝසතාණන් වහන්සේ ගිජු ලිහිණියෙක් වී ඉපදී එක් පර්වතයක වාසය කළා. මේ ගිජු ලිහිණියාගේ මව්පියන් හොඳටම වයසයි. ඔවුන් දෙදෙනා ආදරයෙන් රැකබලා ගෙන දුර ඈතට නොයා ගිජු ලිහිණියා ඒ සමීපයේම කල් ගෙව්වා. දවසක් මහා වර්ෂාවක් ඇද හැළුණා. වැස්සට තෙමුණු ලිහිණියාගේ පියාපත් තෙමුණා. තෙමුණු පියාපත් බරට බිම ඇද වැටුණු ලිහිණියා පියාඹන්නට නොහැකිව කඳු පාමුල වැටී සිටියා.
එදා දිය කෙළියට ගොස් ආපසු එමින් සිටි බරණැස් සිටුතුමා බිම වැටී පියාපත් ගසන අසරණ ලිහිණියා දුටුවා. ‘අනේ අසරණ සතා’ සිටුතුමා ගිජු ලිහිණියා දෝතට ගත්තා. වහා නිවසට ගොස් ගිනි ගොඩක් ගසා ලිහිණියාට උණුසුම දුන්නා. උණුසුම් රෙදි කඩකින් පියාපත් තැවුවා.

වැහි තුරන් වූ පසු ගිජු ලිහිණියා ගිජ්ජකූට පර්වතයට ආවා. පුතා නැති සොවින් අම්මයි තාත්තයි බොහොම දුකින් කල් ගෙව්වේ. ‘මෙපමණ කලක් පුතු කොහේ ගියාද?’ අම්මයි තාත්තයි ඇසුවා. නෑදෑයොත් ඇසුවා.
ගිජු ලිහිණියා තමන් මුහුණ දුන් කරදරය ගැන විස්තර කළා. බරණැස් සිටුතුමා මට සැලකුවේ දරුවෙකුට වගෙයි. අපිත් එතුමාට ප්‍රති උපකාර කරන්නට ඕනෑ. රත්‍රන් පළඳනා, සළු පිළි දුටු තැන ඒවා ගෙන ගොස් සිටුතුමාට දෙන්නට ඕනෑ. ලිහිණියා නෑදෑයින්ටත් යහළුවන්ටත් කිව්වා.
අනෙක් ලිහිණියෝ ද ඒ අදහස අනුමත කර වීථියක යද්දී රත්තරන් පළඳනාවන් දුටු තැන එය ගෙනගොස් බරණැස් සිටාණන්ගේ නිවසේ දමා ආවා. මේ ආකාරයෙන් රන් හා සළු පිළි බරණැස් සිටු නිවසට ලැබෙද්දී, ගිජු ලිහිණියන් තමන්ගේ වස්තුව ගෙනයන බවට මිනිසුන් රජුට පැමිණිලි කළා. “හොඳයි ගිජු ලිහිණියෙක් ඒවා රැගෙන යන විටෙකදී අල්ලාගෙන ගෙන එන්න. රජ්ජුරුවෝ අණ කළා.”
මිනිසුන් තැන තැන උගුල් අටවා තැබුවා. ගිජු ලිහිණියාද මව්පියන්ට ආහාර සොයමින් විත් උගුලෙහි අසුවුණා. මිනිසුන් ගිජුලිහිණියා රජු වෙත ගෙන ගියා. මේ පුවත අසා බරණැස් සිටානන්ද රාජ මාළිගාවට ගියා. රජු ගිජු ලිහිණියා දෙස බලා,
“ඔබ මිනිසුන්ගේ සම්පත් ගෙන යන බවට චෝදනා කරනවා. එය ඇත්තක්ද?” ඇසුවා.
“එසේය ස්වාමිනි”
“කාට දෙන්නද ඒ සම්පත් අරගෙන යන්නේ”
“අපට හිරිහැර වුණු විටෙක මේ සිටාණන් බොහෝ උපකාර කළා. එයට ප්‍රතිඋපකාර ලෙස දෙන්නට සම්පත් ගෙන ගියා” ගිජු ලිහිණියා කිව්වා.
“සිටුවර, මේ කතාව ඇත්තක්ද? ගිජුලිහිණියා ඔබට සම්පත් ගෙන දුන්නාද?
“එසේය ස්වාමීනි, මම ගිජුලිහිණියා බේරා ගත් නිසා එයට කෘතගුණ සලකන්නට එවන් සම්පත් මා නිවසට දමා ගියා. මා ඒ සියල්ල අයිතිකාරයින්ට දෙන්නම්. ගිජුලිහිණියා නිදහස් කර යවන්න. බරණැස් සිටාණන් පැවසුවා.
රජු ගිජුලිහිණියා නිදහස් කළා. සතකු තුළ තිබූ වටිනා ගුණාංග ගැන රජු බොහෝ පැහැදීමට පත් වුණා. ඒ වගේම අනුන්ගේ දේ නොවිමසා ගැනීමේ වරද පෙන්වා දුන්නා. බරණැස් සිටුතුමා තමන් ලැබූ සම්පත් අයිතිකරුවන්ට බෙදා දුන්නා. දුවේ, පුතේ, මේ කතාවෙන් ජීවිතයට එකතු කරගන්න කොයිතරම් ආදර්ශ තිබෙනවද? තමන්ට උදවු කළ කෙනෙක් කවදාවත් අමතක කරන්න එපා. හැකි විදියට තමන්ට උදව් කළ පුද්ගලයාට යහපත් ලෙස උදවු කරන්නට පුරුදු වෙන්න ඕනෑ. තමන්ට අවශ්‍ය දේ කරගත් පසු ඒ පුද්ගලයා නොසලකා හැරීම මිනිස්කමට සුදුසු නෑ.
බුද්ධ චරිතය දෙස බලන්න. උන්වහන්සේට බුදුවීමට සෙවන දුන් බෝධීන් වහන්සේ දෙස ඇසිපිය නොහෙලා බලා සිටිමින් කෘතගුණ සැලකුවා. දරුවනේ ඔබ දන්නවද? බුදුහාමුදුරුවෝ ඒ විදිහට බෝධීන් වහන්සේ මුල වැඩ සිටිමින් ඇසිපිය නොහෙළා බලා සිටියේ ඇයි කියලා. උන්වහන්සේ අව්වෙන් වැස්සෙන් ආරක්ෂා කළ නිසා තමයි ඒ විදිහට කෘතගුණ සැලකුවේ.
ඊළඟට කළගුණ සැලකීම මනාව පිළිබිඹු වන අවස්ථාවක් තමයි දුෂ්කර ක්‍රියා කරන සමයේ තමන්ට උපස්ථාන කළ පස්වග මහණුන් සොයා ගෙන ගොස් උන්වහන්සේලාට ධර්මය දේශනා කිරීම. බලන්න දුවේ, පුතේ, තමන්ට අපහසු කාලයේ තමන්ට උවටැන් කළ අයට ප්‍රතිඋපකාර කළ ආකාරය. අවුරුදු ගණනක් ගියත් තමන්ට කළ උදව් අමතක කරන්න හොඳ නැහැ.
ඒ වගේම මහා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ පිරිනිවන් පෑම ගැන බුදුරජාණන් වහන්සේට පවසා ආපසු යද්දී බුදුරජාණන් වහන්සේත් ඇය පිටුපසින් ගමන් කළා. පුංචි ඔබ දන්නවාද? ඒ ඇයි කියලා. තමන්ගේ අම්මා නැති වුණ පසු තමන් හදා ගත්තේ සුළු මව වූ මහාප්‍රජාපතී ගෝතමී දේවියයි. ඉතින් එයට කළගුණ සැලකීමක් වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ එලෙස කළේ.

දුවේ, පුතේ මේ වගේ ආදර්ශමත් සිදුවීම් බුද්ධ චරිතය පුරාම තිබෙනවා. ඉතින් මේ පුංචි දරුවොත් මේ කතා ආදර්ශයට ගෙන යහපත් දරුවන් වේවි කියා මම හිතනවා.


කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරවාසී, 
ශාස්ත්‍රපති, පණ්ඩිත, 
විතාරන්දෙණියේ මේධානන්ද හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මැයි 03 වන බදාදා දින   බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment