Labels

Saturday, June 10, 2017

භද්දාකාපිලානි මහරහත්තෙරණින් වහන්සේ

"ලෝකයෙහි ආදීනව දැක අපි දෙදෙනම පැවිදිවී දුරුකළ ආශ්‍රව ඇතිව දැමුණු ඉඳුරන් ඇතිව සිහිල්වීමු. නිවුණෙමු. '
පාරමිතා පිරූ යහපත් බිරිඳක හා ස්වාමියකු ලෙසින් කුසල් වඩා අන්තිම ආත්මභාවයේ දී මහරහත් භූමිය උරුමකරගත් භද්දාකාපිලානි මහ රහත් තෙරණින් වහන්සේ පිළිබඳව සිත පහදවා ගනිමු. භික්ෂුණිත්වය කෙරෙහි විශ්වාසයක් ඇති කර ගනිමු.
අප ගෞතම බුදුපියාණන් වහන්සේ පහළ වූ සමයෙහි සිට කල්ප සියක් දහසකට පෙර පහළ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සමයෙහි දී හංසවතී නුවර මහා ධන භෝග සම්පත් ඇති සිටුවරයාගේ ප්‍රිය බිරිඳ වූයේ ඇයයි.
සත්පුරුෂ වූ මෙම සිටුවරයා පිරිවරජනයා සහිතව බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් ධර්මය ඇසීමට සැලැස්වීය.
බුදුරජාණන් වහන්සේ එක්තරා ශ්‍රාවකයන් වහන්සේ නමකට ධුතාංගවාදින් අතරින් අගතනතුරු ලබාදෙන අවස්ථාව දැක තමන් ද ප්‍රාර්ථනයෙන් සත් දිනක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේට දන් දී දෙපා වැඳ ඒ තනතුර පැතුවේය. අනාගතයෙහි ලද හැකි බව දැන පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩසිටින තාක්කල් සිවුපසයෙන් උපස්ථාන කළේය.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පිරිනිවී කල්හි නෑ හිතමිතුරන් රැස්කරවා යොදුනක් පමණ උස ස්ථූපයක් කළහ. රන්මුවා ස්ථූපයක් වූ ඒ වටා හත්දහසක් භාජන රත්න හතෙන් සාදා තැන්පත් කළහ.රනින් කළ සුවඳතෙල් පිරවූ පහන් දැල්වූහ.රනින් කළ හත්දහසක් පිරුණු කළ තැන්පත් කළේය. වාසල් දොරටු හතරෙහි රනින් කළ තොරණ හතරක් ඉදිකළ අතරම කොඩිපතාකාදිය සවිකරන ලදී. සිටුවරයා දිවි ඇති තෙක් පුද පූජා කොට මහා සංඝයාට දන් පැන් පූජා කරන ලදී. මේ ආකාරයට සිටුවරයා පින් කරන අතරේ ඇයද බොහෝ සෙයින් දායක වූවාය. අනතුරුව මරණින් මතු දෙව්ලොව, මිනිස් ලොව ඉපිද සසරෙහි සැරිසරා විපස්සි බුදුරජාණන් වහන්සේ පහළ වූ සමයෙහි බන්ධුමතී නුවර බ්‍රාහ්මණයෙක්ව ඔහු උපත ලබා ඔහුගේ පි‍්‍රය බිරිඳ වී ඇය උපත ලැබුවාය.
ජනතාව මැද හිඳ අමා සැප දෙන බණ අසා පැහැදුණු බමුණා සළුවක් පිදුවේය. සළුව පිදූ පින ඇයට අනුමෝදන්වන ලෙස දැන්වීය. එහිදී සළුව පිදූ පින ඇය ඇඳිලි බැඳ අනුමෝදන් වූවාය. එම ආත්මභාවයෙන් චුතව බරණැස් නුවර රජුව උපත ලැබු ඔහුගේ පි‍්‍රය බිරිඳ වූයේ ඇයයි. සැමියා කෙරෙහි හිතකාමී වූ ඇය කටයුතු කළ අතර සියලු පින්කම් සඳහා අතහිත දුන්නාය. දිනක පිඬු පිණිස හැසිරෙන පසේ බුදුරජාණන් වහන්සේලා අටනමක් දැක පිණ්ඩපාතය දානය පිළිගැන්වූහ. එයින් පසු දනකට ඇරැයුම් කොට රුවන් මඩුවක් තනා සියක් රියන් රන්වියනක් සවිකළේය. මෙලෙස පින්කම් කොට මරණින් පසු බරණැස්නුවර කෙළෙඹිකුලයක සොහොයුරන්ගෙන් වැඩිමහල් සොහොයුරාගේ බිරිඳ වූවාය.
පසේ බුදුවරයන් වහන්සේලා උදෙසා දන් පුදා පාත්‍රය ගෙන සුවඳ දියෙන් සෝදා පහන් සිතින් ගිතෙල් හා හකුරුවලින් පාත්‍රය පුරවා උන්වහන්සේට පිළිගැන්වූවාය. බුදුරජාණන් වහන්සේ වෙත පිදූ මෙම දානබලයෙන් සුරූපි වූවාය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සධාතුක ධාතු තැන්පත් චෛත්‍යයෙහි රන්ගඩොලක් තැබුවාය. එම ගඩොල සියලු සුගන්ධයන්ගෙන් සුවඳවත් කරවා පිදුවාය.
රත්රන් පාත්‍ර හත්දහසක් තනවා ඒවා මුව විට දක්වා ගිතෙලින් පුරවා තබා බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සිහිකරවා පහන් පේළි හතක් දැල්වූවාය. එම පිනෙහි ආනිසංස ලෙසින් පසු කලෙක කාසි රටේ සුමිත්ත නම් තැනැත්තාගේ බිරිඳ වූවාය. පි‍්‍රය බිරිඳකව වාසය කළාය. ස්වාමියා පසේ බුදුරජාණන් වහන්සේ නමකට ඝන වෙළුමක් පිදුවේය. එහිද කොටස්කාරියක වු ඇය එම පින් අනුමෝදන් වී නැවතත් කාසි රටේ කෝලිය ජාතියෙහි උපන්නාය. පන්සියයක් කෝලියවරුන් පන්සියයක් පසේබුදුරජාණන් වහන්සේලා පන්සිය නමකට උපස්ථාන කිරීමට සහභාගි වූවාය. තුන්මසක් පුරාවට ඇප උපස්ථාන කොට පාසිවුරු පිදුවාය. සුමිත්ත නමැත්තා හෙවත් ඇයගේ ස්වාමියාගේ සියලු පින් අනුමෝදනා වූවාය.
එයින් චුතවී නන්ද නම් රජුගේ අගමෙහෙසිය වූවාය. එහිදී සියලු සැප සම්පත් විඳිමින් ඇය ජීවිතය ගත කළාය. පන්සියයක් පසේ බුදුරජාණන් වහන්සේලා දෙදෙනාම උපස්ථාන කළෝය. උන්වහන්සේලා පිරිනිවන් පානා තෙක් රජ උයනෙහි වස් වස්වා සත්කාර කළහ. පන්සියයක් පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් සෑය කරවා දෙදෙනාම පැවිදිවූවෝය. දෙදෙනාම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, සතර බ්‍රහ්ම විහරණයන් වඩා බ්‍රහ්ම ලෝකයෙහි උපත ලැබූහ.
අනතුරුව අප ගෞතම බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ කල්හි ඇය මද්ද ජනපදයෙහි සාගලනුවර කපිල බ්‍රාහ්මණයාගේ සහ සුචිමතී මවගේ දියණියව උපත ලැබුවාය. කාශ්‍යප කෝසිගොත්ත බ්‍රාහ්මණයාගේ සහ සුමනදේවි මවගේ පුතුව පිප්ඵලී ගෝත්‍රයෙහි උපත ලැබීය. එකල ඇගේ පියා කාමය අතැහැර සිටි කාශ්‍යපට ඇය විවාහ කර දුන්නේය.
කාශ්‍යප තරුණයා දිනක කපුටන්, ආදින් පණුවන් කන ආකාරය දැක සංවේගයට පැමිණියේය. ඇය අව්වේ වේලීමට අතුරා තිබෙන තලවල ඇහිඳ කන පණුවන් දැක සංවේගයට පත්වූවාය. දෙදෙනාගේ සසර බැඳීම ඉතාම දීර්ඝය.
එම සංවේගයෙන් කාශ්‍යප තරුණයා පැවිදි වූ කළ භද්දා කාපිලානි තරුණියද මහා ප්‍රජාපතීගෝතමී තෙරණිය සමීපයෙහි පැවිදි වූවාය. පැවිදිව මේ ලොවෙහි තිබෙන්නාවූ පි‍්‍රයතම වචනය අර්හත්භාවය ලබන්නට ඕ තොමෝ භාග්‍යවන්තියක වූවාය. රහත් බවට පැමිණ පුබ්බේනිවාසානුස්සසති ඥානයෙන් කෝටිප්‍රාප්ත වුවාය. ආර්ය සංඝයා මධ්‍යයෙහි භික්ෂුණින් පිළිවෙලින් තනතුරුවල තබන අවස්ථාවක් උදා වූ කල පෙර විසූ කඳපිළිවෙල සිහිකරන්නවුන් අතර අගතනතුරෙහි තබාලීය. ඕ තොමෝ එක් දිනක මහකසුප් තෙරණුවන්ගේ ගුණ කීර්තිය මුල්කොට තමන් වහන්සේ සැපත් අර්හත්භූමිය පිළිබඳව උදන් අනන්නට වූවාය.
සන්සුන් මනස් ඇති බුද්ධ පුත්‍රවූ ඒ කාශ්‍යප තෙමේ රහත්බව ලැබ පෙර විසූ කඳපිළිවෙල සිහිකළේය. ඇතිවීම හා නැතිවීම දකියි.
එහෙයින් ඉපදීම නිම කළේය. අභිඥාව ලබාගත්තේය. මේ ත්‍රිවිද්‍යාව හේතුකොට ගෙන බ්‍රාහ්මණයා (කාශ්‍යප මහරහතන් වහන්සේ) ත්‍රිවිද්‍යාව දත්තෙක් වේ.
එසේම භද්දාකාපිලානිද මරණය නිමකර ත්‍රිවිද්‍යාව අවබෝධ කළ හෙයින් බල සෙනඟ සහිත මාරයා පරදවා දැන් අවසාන සිරුර දරයි.
ලෝකයෙහි ආදීනව දැක අපි දෙදෙනම පැවිදිවී දුරුකළ ආශ්‍රව ඇතිව දැමුණු ඉඳුරන් ඇතිව සිහිල්වීමු. නිවුණෙමු.

මේ ආකාරයට අනන්ත භව සංසාරයෙහි ස්වාමියා, බිරිඳව, පාරමී දම් පුරා කාශ්‍යප, මහරහතන් වහන්සේ භද්දාකාපිලානි මහරහත් තෙරණින් වහන්සේ ලෙස ලොවට පහළ වී සඳහටම ඝොරතර කටුක සංසාර සාගරයෙන් එතෙරවූහ. දෙදෙනා වහන්සේ, දෙදෙනා වහන්සේට කල්‍යාණ මිත්‍ර වූහ. සද්පුරුෂ වූහ. එවන් වූ උත්තම උතුමෝ මහත්වූ අස්වැසිල්ලකි. කරන ලද දාන පාරමී ශක්තිය අපමණ රැක්කා වූ ශීලස්කන්ධය අපමණය. වැඩුවාවූ භාවනා සිත අපමණය. ලද්දාවූ නිවුනු සිතක මනහරත්වය අපමණය. එවන් වූ අර්හත් සිතක, විරාගී සිතක, නිවුනු සිතක ස්පර්ශය ලබන්නට අපහට ශක්තියක්ම වේවා වීර්යක්ම වේවා!



මොරගොල්ලාගම 
උපසමා සිල්මාතාව


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මැයි 03 වන බදාදා දින   බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment