බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරය සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකුට වඩා වෙනස් වූ මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකකින් සමන්විතයි.එසේ වුවද, බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව ප්‍රමුඛස්ථානය හිමි වන්නේ මනුෂ්‍යයෙකුගේ ශරීර ලක්ෂණවලට වඩා ඔහු විසින් සමාජයට කරනු ලබන ක්‍රියාකාරකම් වල වැදගත්කම අනුව බවයි. වක්කලී තරුණයා බුදුරජාණන් වහන්සේගේ ශරීර ලක්ෂණ නිසාම උන්වහන්සේ ළඟ මහණදම් පුරන්නට කැමැත්ත පළ කළා. එම කැමැත්ත නිසාම වක්කලී තරුණයා මහණදම් පුරමින් බුදුරජාණන් වහන්සේගේ රූප ස්්වභාවය බලමින් උන්වහන්සේ සමීපයෙහිම වැඩ වාසය කළා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයෙහි පිහිටා තිබෙන මහා පුරුෂ ලක්ෂණ තිස් දෙක පිළිබඳව ලක්ඛන සූත්‍රයෙහි කරුණු සඳහන් වෙයි.
ඉධ භික්ඛවේ මහාපුරිසො
සුපපතිට්ඨිත පාදො
හෝති යම්පි භික්ඛවේ මහා පුරිසො සුපපතිට්ඨිතපාදො හෝති
ඉධම්පි භික්ඛවෙ මහා පුරිසස්ස
මහා පුරිස ලක්ඛණං භවාති
බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයෙහි පිහිටා තිබුණ පළමු වන මහා පුරුෂ ලක්ෂණය නම්,
1. මනාව පිහිටි පා ඇති බවයි.
සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකු පය බිම තබන අවස්ථාවෙහි යටි පතුලෙහි කොටසක් පමණක් පොළොවට ස්පර්ශ වෙයි. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල සම්පූර්ණ කොටසම මහ පොළොවෙහි ස්පර්ශ වෙයි.එය බුද්ධ ශරීරයෙහි පැවතුන මහා පුරුෂ ලක්ෂණයක් වෙයි. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකුගේ යටිපතුල සම්පූර්ණයෙන්ම මහ පොළොවෙහි ස්පර්ශ වන්නේ නැහැ.
2. යටිපතුලෙහි චක්‍ර සටහන් පිහිටා ඇති බව
බුදුරජාණන් වහන්සේගේ පාදවල යටිපතුල් යුවළෙහි මඟුල් ළකුණු කිහිපයක් සහිතව චක්‍ර සටහන් යුවළක් පිහිටා ඇති බව සඳහන් වෙයි. එය තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි පැවැති මහා පුරුෂ ලක්ෂණයක් වෙයි.
3. දිග්වූ විලුඹක් ඇති බව
තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි පාදයෙහි විලුඹ අන්‍ය පුද්ගලයන්ට වඩා තරමක් දිගට පිහිටා තිබෙන නිසාම උන්වහන්සේගේ ශරීරයට නව පෙනුමක් එක්කරයි. විශේෂත්වයකින් බැලුවිට පමණක් එය දක්නට ලැබෙනවා මිස එය පෙනෙන්නට ලැබෙන්නේ නැහැ.
4. දිග්වූද, එකසමාන වූද ඇඟිලි ඇති බව
අතක ඇඟිලි පහ පස් ආකාරයකට පිහිටා තිබෙන අතර එය පෘතග්ජන පුද්ගලයන්ගේ අත්පාවල ඇඟිලි ඒ ඒ ඇඟිල්ලට අනන්‍යවූ අයුරින් පිහිටා තිබෙයි. බුදුරජාණන් වහන්සේගේ අත්පාවල ඇඟිලි පිහිටා ඇත්තේ අග සිහින්ව සමානව එක හා සමාන දිග ඇඟිලි ලෙසයි.
5. මෘදු මොළොක් අත්පා ඇති බව
බුදුරජාණන් වහන්සේගේ අත්පා පිහිටා තිබෙන්නේ තරුණ පුද්ගලයෙකුගේ අත්පා පිහිටා තිබෙන ආකාරයට නිසාම උන්වහන්සේගේ ශරීර ශක්තිය සහ පෙනුම ප්‍රභාෂ්වර වෙයි. නමුත් සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන්ගේ වයසත් සමඟ අත්පාවල ස්වභාවය වෙනස් වෙයි.
6. සමානව පිහිටි අත්පා ඇති බව
සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන්ගේ අත්පාවල මුල අග යන සන්ධි ස්ථාන එක පෙළට සමානව පිහිටන්නේ නැත.තථාගතයන් වහන්සේගේ අත්පාවල අග මුල යන සන්ධි ස්ථාන එක පෙළට සමානව පිහිටා ඇත.
7. පහසු පා ඇති බව
බුදුරජාණන් වහන්සේ මඟ වඩින විට ඉදිරියෙන් සිටින පුද්ගලයෙකුටත් පිටුපස සිටින පුද්ගලයෙකුටත් උන්වහන්සේගේ යටි පතුල දක්නට ලැබෙයි. තථාගතයන් වහන්සේගේ පාදයෙහි ගොප් ඇටය පිහිටි විලාසය එයට හේතුව වෙයි. නමුත් සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකු ඇවිදගෙන යන විට ඉදිරියෙන් සිටිින පුද්ගලයෙකුට පාදයෙහි යටි පතුල පෙනෙන්නේ නැත.
8. මනාව පිහිටි කෙණ්ඩා ඇති බව
පාදය ආරම්භ වන ඉහළ කොටස කෙණ්ඩා හෙවත් ජංඝා නමින් හඳුන්වයි. තථාගතයන් වහන්සේගේ ජංඝා කොටස සුලක්ෂණව පිහිටා තිබෙයි. සාමාන්‍ය පුද්ගලයෙකුගේ පාදයේ ඉහළ කොටස එවැනි ආකාරයෙන් පිහිටන්නේ නැහැ.
9. නොනැමී දණහිස පිරිමැදිය හැකි බව
බුදුරජාණන් වහන්සේට නොනැමී දණහිස ස්පර්ශ කළ හැකිය. බුදුරජාණන් වහන්සේගේ දෑත් දිග්ව පිහිටා තිබීම බව නොසැලකිය යුතුයි. බුද්ධ ශරීරය සුලක්ෂණව පිහිටා තිබීම එයට හේතුව බව සඳහන් වෙයි. නමුත් සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකු හිටගෙන සිටින විට තමන්ගේ අතින් දණහිස අතගෑමේදී නොනැමී එය කළ නොහැකි වෙයි.
10. පුරුෂ ව්‍යන්ජනය වැසී තිබිම
තථාගතයන් වහන්සේගේ පුරුෂ ව්‍යන්ජනය පිහිටා තිබෙන්නේ සාමාන්‍ය මිනිස් සිරුරක පුරුෂ නිමිත්ත පිහිටා තිබෙන ආකාරයට නොවෙයි. එම පිහිටීම සුවිශේෂත්වයකින් යුක්ත වෙයි. ඇතුන්ගේ සහ ගවයන්ගේ මෙන් බාහිරට විද්‍යාමාන නොවන ආකාරයෙන් ශරීරය තුළට සැඟව පිහිටා තිබෙයි.
11. ස්වර්ණ පැහැ ඇති දේහය
යම් පුද්ගලයෙකු දුටු විට එකවරම අදහාගැනීමට නොහැකි තරමට බුදුරජාණන් වහන්සේගේ සමස්ත බුද්ධ ශරීරයෙහිම වෙනසක් දැකිය හැකි වෙයි. රුවන් ප්‍රතිමාවක් මෙන් ප්‍රභාස්වරව ප්‍රභාමත් පෙණුමකින් යුක්ත වෙයි.
12. මනා සිනිඳු සම
තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි සම සිනිඳුව සියුම්ව පවතින නිසාම දූවිලි නොතැවරෙයි. නෙළුම් පතට වැටෙන දිය බිඳ එහි නොරඳන සේ තථාගත ශරීරයට පැමිණෙන දූවිලි නොඇළී ඉවත් වෙයි. ඒ හේතුව නිසාම තථාගතයන් වහන්සේගේ සිරුර සැම විටම පවිත්‍රව පවතී. උන්වහන්සේ ස්නානය කරනු ලබන්නේද ශරීරය සිහිල් කිරීම සඳහා පමණයි.
13. රෝමකූප තනි තනිවම පිහිටා ඇත.
බුදුුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයෙහි ලෝම කූප එක ලෝම කූපයක එක ලෝම ගසක් බැගින් පිහිටමින් ලෝම ශරීරය පුරා පිහිටා තිබෙයි. පෘතග්ජන පුද්ගලයෙකුගේ ශරීරයෙහි පිහිටා තිබෙන ලෝම ප්‍රමාණයටම ලෝම කූප හට ගන්නේ නැහැ.
14. මනාව පිහිටි ලෝම ඇති බව
තථාගතයන් වහන්සේගේ සිරුර පුරාම පවතින ලෝම කිසියම් ක්‍රමික රටාවකට අනුව පිහිටා තිබෙයි. එම ලෝම සියල්ලම දකුණට කරකැවී රෝම කූපයේ අග කෙළවර උඩ අතට හැරී සිටින ආකාරයෙන් පිහිටා තිබෙයි. බුදුරජාණන් වහන්සේට පමණක්ම විශේෂ වූ ලක්ෂණයක් වෙයි. සාමාන්‍ය පුද්ගල සිරුරෙහි ඇතිවන ලෝම ක්‍රමානුකූල රටාවකට පිහිටා නැහැ.
15. සෘජු සිරුරක් ඇති බව .
බුදුරජාණන් වහන්සේගේ සිරුර සෘජුව පිහිටා තිබෙයි. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයාගේ ශරීරය පිටි පැත්තට නැමී හෝ ඉදිරියට නැමී පවතින ස්වභාවයක් දක්නට ලැබෙයි. තථාගත සිරුරෙහි එවැනි ස්වභාවයක් දක්නට නොලැබෙයි.
16. සත්තුස්ද ලකුණ ඇති බව
බුදුරජාණන් වහන්සේගේ සිරුරෙහි සත්තුස්සදෝ ලක්ෂණය දක්නට ලැබෙයි. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකුගේ ශරීරයෙහි පිටි අත් දෙක පිටි දෙපතුල් උරහිස් දෙක යන ස්ථානාවල අස්ථි පෑදී ඇති බව දක්නට ලැබෙයි. තථාගත සිරුරෙහි එවැනි ස්වභාවයක් දක්නට නොලැබෙයි.
17. පිරුණු සිරුරක් ඇති බව
බුදුරජාණන් වහන්සේගේ සිරුර සිංහයාගේ ශරීරයෙහි ඉදිරිපස පෙනුම මෙන් පරිපූර්ණ ස්වභාවයක් පෙන්නුම් කරයි. සිංහයාගේ ශරීරයෙහි ඉදිරිපස පෙනුම සම්පුර්ණ වන අතර පිටිපස පෙනුම අසම්පූර්ණ ස්වභාවයක් පෙන්නුම් කරයි.
18. ච්න්තන්න රංසෝ
සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකුගේ සිරුර පිහිටා තිබෙන ආකාරය දෙස බලන විට පිට මැදින් වල ගැසීමක්ද සහිතව පිට දෙපැත්තට බෙදී පවතී. බුදුරජාණන් වහන්සේගේ සිරුර පිට මසින් පිරී දෙකට නොබෙදී සමානව පිහිටා තිබෙන බව දක්නට ලැබෙයි.
19. නිග්‍රෝධ පරිමණ්ඩල සිරුරක් ඇති බව
බුදුරජාණන් වහන්සේගේ සිරුර නුග ගසකට සමාන කරයි. නුග ගස උසෙහි ප්‍රමාණයට පුළුල් වීම නුග ගසට අනන්‍ය ලක්ෂණයක් වෙයි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයද එබඳු ආකරයක් පෙන්නුම් කරයි. බුදුරජාණන් වහන්සේගේ සිරුරේ උස යම් පමණ නම් බඹයක්ද, උස එපමණම වෙයි. සාමාන්‍ය පෘතග්ජන මිනිසුන්ගේ සිරුරෙහි එවැනි ස්වභාවයකින් පිහිටන්නේ නැත.
20. ගෙල මනාව පිහිටා ඇති බව
බුදුරජාණන් වහන්සේගේ ගෙල රන්කළසක කරසේ වටවී පිහිටා ඇති බවක් පෙන්නුම් කරයි. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන්ගේ් ගෙල දිගය. ඇතැම් විට වක් වී පිහිටයි. පුළුල්වී පිහටයි. කතාබහ කරන විට ගෙළෙහි නහර ඉස්මතු වෙයි. කටහඬ මිහිරිව ඇසෙන්නේ නැත. නමුත් තථාගතයන් වහන්සේගේ ගෙලෙහි විශේෂත්වයක් දැකිය හැකි වෙයි.
21. මනාරස රස නහර පිහිටා ඇති බව
බුදුරජාණන් වහන්සේගේ සිරුරෙහි රස නහර සියුම්ව පිහිටා තිබෙයි. තල ඇටයක් පමණ කුඩා ආහාරයක් ගනු ලැබුවත් ශරීරය පුරාම ගමන් කරන්නේ එම නිසයි. තථාගතයන් වහන්සේට කුඩා ආහාරයකින් පවා යැපීමට හැකි වන්නේ එම ලක්ෂණය නිසයි. සාමාන්‍ය පෘතග්ජන සිරුරක එවැනි ආකාරයෙන් රස නහර පිහිටන්නේ නැත.
22. හණුව මනාව පිහිටා ඇති බව
බුදුරජාණන් වහන්සේගේ උඩ යට හණු දෙකම සම්පූර්ණව පුරහඳ මෙන් පිරී පවතින බව දක්නට ලැබෙයි. සිංහයාගේ යටි හක්ක සම්පූර්ණ වුවත්,උඩු හක්ක අංගසම්පූර්ණ පෙනුමක් දක්නට නොලැබෙයි. සාමාන්‍ය මිනිසුන්ගේ එවැනි ස්වභාවයක් දක්නට නොලැබෙයි. එයද මහා පුරුෂ ලක්ෂණයකි.
23. දත් සතළිහක් ඇති බව
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි එක් හණුවක දත් විස්ස බැගින් හණු සම්පූර්ණවන ආකාරයෙන් දත් හතළිහක් පිහිටයි.සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන්ගේ හණුවල දත් විසිඅටක් තිහක් වැනි ප්‍රමාණයක් පිහිටමින් අංගසම්පුර්ණ බවක් පෙන්නුම් නොකරයි.
24. දත්දෙපළ සමානව පිහිටා ඇති බව
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි දත් හතළිහක් සමානව පිහිටා තිබෙයි.සාමාන්‍ය පෘතග්ජන මිනිසුන්ගේ කටෙහි දත් විවිධාකාරයෙන් අසමානව පිහිටයි.
25. දත් අතර විවර නැති බවයි.
බුදුරජාණන් වහන්සේගේ ශි‍්‍ර මුඛයෙහි දත් අතර විවර දක්නට නොලැබෙයි. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන්ගේ දත් අතර විවර ස්වභාවයක් දක්නට ලැබෙයි.
26. සිරි දළදා මනාව පිහිටා ඇති බව
දාඨා යනුවෙන් හඳුන්වනු ලබන තොල් කෙළවර පිහිටා ඇති දන්තයන් හතරෙන් සියුම් කිරණක් විහිදෙයි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවෙහිදීත් සිනහසෙන අවස්ථාවෙහිදීත් දක්නට ලැබෙන බව සඳහන් වෙයි. එය මහා පුරුෂ ලක්ෂණයකි.
27. දිග දිවක් ඇති බව
බුදුරජාණන් වහන්සේගේ දිව දිග්ව, පුළුල්ව , මෘදුව ,සමව,පිහිටි නිසාම මිහිරි හඬක් පවතියි. තථාගතයන් වහන්සේගේ දිවෙන් නාස්පුඩු මෙන්ම කන් සිදුරු පිරිමැදිය හැකි වෙයි. නමුත් සාමාන්‍ය පෘතග්ජනයන්ට දිව ගණව හෝ කුඩාව පිහිටා තිබීම නිසාම පිරිසුදු ලෙස වචන උච්චාරණය කළ නොහැකි වෙයි.
28. බ්‍රහ්මස්වර
බුදුරජාණන් වහන්සේගේ හඬ ඉමිහිරි රිද්ම ලක්ෂණ අටකින් සමන්විත වෙයි. තථාගතයන් වහන්සේ ධර්මය දේශනා කරන අවස්ථාවෙහි එම ලක්ෂණය හඬෙහි දක්නට ලැබෙයි. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකු කතා කරන හඬෙහි ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයක් බුදුරජාණන් වහන්සේගේ හඬෙහි දක්නට ලැබෙයි.
29. මනාව පිහිටි ඇස් ඇති බව
බුදුරජාණන් වහන්සේගේ නෙත් සුවිශේෂී පෙනුමකින් යුක්ත වන නිසාම බැලු පුද්ගලයෙකුට නැවත හැරී බැලීමට සිතෙන ආකාරයට සිත්ගන්නා සුළුවෙයි. සාමාන්‍ය පුද්ගලයෙකුගේ නෙත්වල එබඳු ස්වභාවයක් දක්නට නොලැබෙයි.
30. ප්‍රසන්න ඇස් ඇති බව
තථාගතයන් වහන්සේගේ නෙත් රස පද්‍යයෙන් යුක්ත වෙයි. සාමාන්‍ය පුද්ගලයන්ගේ ඇස් එවැනි ආකාරයෙන් මනාව පිහිටන්නේ නැත. විවිධාකාර ස්වරූපයෙන් හැඩයෙහි වෙනස්කම් ඇතිව පිහිටයි.
31. ඌර්ණ රෝම ඇති බව
බුදුරජාණන් වහනසේගේ සිරුරෙහි මහා පුරුෂ ලක්ෂණයක් ලෙස දෙබැම සහ නළල මැද දකුණට කැරකුණ ආකාරයෙන් පිහිටා තිබෙන ඌර්ණ රෝම ලක්ෂණය දක්නට ලැබෙයි.
32. නළල් තළ මනාව පිහිටා ඇති බව
නළල වසා දෙකන් දක්වා සුවිශේෂී පිහිටීමක් බුද්ධ ශරීරහෙි දක්නට ලැබෙයි.
බුදුරජාණන් වහන්සේගේ පෙර පුණ්‍ය මහිමය නිසා තථාගත ශ්‍රී ශරීරයෙහි දෙතිස් මහා පුරුෂ ලක්ෂණවලින් ශෝභාමත් වෙයි. ඒ අසිරිමත් බුදුසිරුරෙහි ස්වභාවය වෙයි.
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වෙසක් පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මැයි 10 වන බදාදා වන බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment