සැවත් නුවර වැසි එක්තරා සිටුවරයෙකුගේ පුතෙකු තම පියාගෙන් දියුණු වීම සඳහා අවශ්‍ය උපාය කවරේදැයි විමසීය. පුතුගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අපොහොසත් වූ සිටුවරයා ඔහු කැටුව බුදුරජාණන් වහන්සේ හමුවීම සඳහා ජේතවනාරාමය බලා ගියේය. බුදුරදුන් බැහැදුටු සිටුවරයා තම පුතු විසින් අසන ලද පැනය උන්වහන්සේට ඉදිරිපත් කළේය. මෙම දරුවා පෙර ආත්මයෙත් මෙසේම දියුණුවට උපාය විමසී යැයි දක්වා අත්ථස්සද්වාර ජාතකය දේශනා කළ සේක. අතීතයේ බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ සිටුවරයෙකු වී උපන්නහ. එම සිටුවරයාගේ පුතණුවන් තම පියා වෙත ගොස් යහපත අයහපත පිණිස හේතුවන උපාය කවරේදැයි විමසා සිටියේය.
පුතුගේ ප්‍රශ්නය ගැන සාවධාන වූ සිටුවරයා යහපත හා අයහපත පිණිස හේතුවන කරුණු හයක් ඔහුට පෙන්වා දුන්නේය. ඒ අනුව නීරෝගී බව, සිල්වත් බව, වැඩිහිටියන්ගේ උපදෙස් පිළිපැදීම, බහුශ්‍රැත බව, ධර්මානුකූල වීම, මානසික උද්‍යෝගය හා උනන්දුව යන කරුණු හය දියුණුවට හේතුවන උපාය යැයි පැහැදිලි කළේය. ජාතක කථාවේ අන්තර්ගතය අනුව එහි එන කරුණු හය දියුණුවට හේතුවන හෙයින් එය දියුණුවේ දොරටුව (අත්ථස්සද්වාර) යනුවෙන් නම්කර තිබේ. දියුණුව පිණිස හේතුවන කරුණු එකිනෙකින් විමසා බැලීමෙන් එහි සර්වකාලීන අගය වටහාගත හැකිය. නූතන අර්ථයෙන් ගත් විට එයින් සෞඛ්‍ය, විනය, විශේෂඥ දැනුම, උගත්කම, නීතිගරුක බව හා කායික හා මානසික උනන්දුව අදහස් වේ. ආරෝග්‍ය හෙවත් නීරෝගී බව දියුණුවේ පළමු දොරටුවයි. එබැවින් එය උතුම්ම ලාභය ලෙස නම්කර තිබේ (ආරෝග්‍ය පරමාලාභා). බුදුසමයට අනුව රෝග ඇතිවීමේ හේතු සතරකි. එනම් ඇතැම් රෝග ඍතු විපර්යාස නිසාත් (උතුපරිණාමජා) විෂම පැවත්ම නිසාත් (විසමපරිහාරජා) විවිධ උපක්‍රම නිසාත් (ඔපක්කමිකා) කර්ම විපාක නිසාත් (කම්මවිපාකජා) ඇති වේ. කෙනෙකුට වැළඳෙන රෝග අතරින් ඇතැම් රෝග නිට්ඨාවටම සුව කළ හැකි වුවද ඇතැම් ඒවා එසේ කළ නොහැකිය. වෛද්‍ය විද්‍යාව අනුව පිළිකා වැනි ඇතැම් රෝග සුවකළ නොහැකිය. විචාරයකින් තොරව ආහාර පාන ගැනීමත් ශාරීරික ව්‍යායාම නොලැබීමත් දුම් හා මත්ද්‍රව්‍ය භාවිතයත් රෝගී බවට හේතු වී තිබේ. දුම්පානයෙන් හා මතින් වැළකී ආහාරයෙහි පමණ දැන නිසි ව්‍යායාමයන්හී නිරත වීමෙන් නීරෝගී ජිවිතයක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය උපදෙස් රැසක් බුදුදහමෙහි ඇතුළත් වේ. දියුණුවේ පළමු දොරටුව වන නීරෝගීකම නොමැති තැන කිසි වෙකුටත් ජීවිතයේ ඉදිරියක් අපේක්ෂා කළ නොහැකිය. එවැනි රෝගීන්ට සිදුවන්නේ තමා උපයන සියලුම ධනය ඒ වෙනුවෙන් වැය කිරිමටයි.
සිල්වත් බව හෙවත් හැදියාව දියුණුවේ දෙවන දොරටුවයි. කායික හා වාචසික ශික්ෂණය කෙනෙකුගේ අභිවෘද්ධිය පිණිස හේතුවේ. කෙනෙකු සිල්වත් වන තරමට ම ඔහු ධනවතෙක් ද වන බව බුදුසමයේ පිළිගැනීමයි (සීලවන්තො ධනවන්තො හොති). සිඟාලෝවාද සූත්‍රයේ එන ධන විනාශයේ දොරටු සය ගැන අවධානය යොමු කිරිමෙන් මෙම කරුණ මැනවින් වටහාගත හැකිවේ. දුශ්ශීල ස්ත්‍රියක් හෝ පුරුෂයෙන් ආධිපත්‍ය දරන ආයතනය පිරිහීමට පත් වේ. ඉන්ද්‍රිය දමනය ඇතිකර ගැනීම ආර්ථික, අධ්‍යාපනික හා අධ්‍යාත්මික ආදී සෑම දියුණුවකටම පදනම වේ. පරිණත වැඩිහිටියන්ගේ හා විශේෂඥයන්ගේ උපදෙස් ලබාගැනීම දියුණුවේ තෙවන දොරටුවයි.
බුදුසමයට අනුව වයෝ වෘද්ධ, ඤාණ වෘද්ධ, ශීල වෘද්ධ, තපෝ වෘද්ධ, ගුණෝ වෘද්ධ යනුවෙන් වැඩිහිටියන් වර්ග පහකි. මේ සියල්ලන්ගේම උපදෙස් හා අත්දැකීම් රාජ්‍ය පාලකයාගේ සිට සාමාන්‍ය පුද්ගලයා දක්වා අවශ්‍ය වේ. වුද්ධාපචායනය හෙවත් වැඩිහිටියන්ට ගරු කිරීම මෙන්ම ඔවුන්ගේ උපදෙස් හා අත්දැකීම් ලබාගැනීමෙන් පෞද්ගලික ජීවිතය මෙන්ම වෘත්තීය ජිවිතය ද සාර්ථක කරගත හැකිවේ. වැඩිහිටියන්ගේ උපදෙස් නොසළකා කටයුතු කිරීමෙන් තම ජිවිතය අසාර්ථක කරගත් පුද්ගලයන් පිළිබඳ වාර්තා කොතෙකුත් අසන්නට ලැබේ. දෙමාපියන් ගුරුවරුන් ආදී වැඩිහිටියන්ගේ උපදෙස් පිළිගත යුත්තේ ඔවුන් අත්දැකීම් අතින් පරිණත වූවන් හෙයින්ය.
දියුණුවේ සිව්වන දොරටුව බහුශ්‍රැත බවයි. පැරණි භාරතයේ දැනුම ලබාගත්තේ සවන් දීමෙන්ය. බොහෝ දෑ අසා ඇති බව බුහුශ්‍රැත යන්නෙන් අදහස් වේ. එකල දැනුම ලබාගත් ප්‍රධාන මාධ්‍ය ශ්‍රවණේන්ද්‍රියයි. මෙනිසා දේශකයන් මෙන්ම ශ්‍රාවකයන් ද දක්නට ලැබුණි. වර්තමානයේ දැනුම ලබා ගැනීම සඳහා බහුවිධ මාධ්‍ය දක්නට ලැබේ. ඇසීමෙන් පමණක් නොව කියවීමෙන්ද දැනුම ලබාගත හැකි වේ. ඒ අනුව ශ්‍රාවකයන් මෙන්ම පාඨකයන් ද දක්නට ලැබේ. පොත්පත් මෙන්ම සමාජයත් නිවැරදිව කියවීමෙන් දැනුම ලබාගත හැකි වේ. කවර ක්‍රමයකින් හෝ ලබාගත් දැනුම සාර්ථක ජීවිතයකට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සපයයි. කවර වෘත්තියක නිරත වුවද එයට අදාළ දැනුම සාර්ථකත්වය සඳහා උපයෝගී වේ. සමාජය හා ලෝකය පිළිබඳ දැනුම අත්පත්කරගත් පමණටම සාර්ථක අයෙකු බවට පත්විය හැකි වේ.
ධර්මානුකූල වීම දියුණුවේ පස්වන දොරටුවයි. දැහැමි වීම යනුවෙන් අදහස් වන්නේ නීතිය යුක්තිය හා සදාචාරයට අනුගතව කටයුතු කිරීමයි. නීතිවිරෝධී සමාජ විරෝධි චර්යාවන්ගෙන් බැහැර වී නීතිගරුක පුරවැසියෙකු හා සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම එක් අතකින් තම දියුණුව පිණිස හේතුවන අතර අනෙක් අතින් සමාජයේ යහපැවැත්මට අනුබල දීමක් වේ. නීතිය හා සදාචාරය නොසළකා කටයුතු කරන්නාගේ ජීවිතය බොහෝදුරට අවසන් වන්නේ සිරගත වීමෙන් හෝ අකාලයේ ජීවිතයෙන් සමුගැනීමෙන්ය. ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නාට ධර්මයෙන්ම ආරක්ෂාවක් සැළසෙන බව බුදුසමයේ ඉගැන්වීමයි (ධම්මොහවේ රක්ඛති ධම්මචාරී).
දියුණුවේ සයවන දොරටුව මානසික උද්‍යෝගයයි. වැඩ කිරීමට මෙන්ම දියුණුව අත්පත්කරගැනීමෙහිලා මානසික වශයෙන් උනන්දුවක් ඇති නොවීම පරිහානියට කරුණක් වේ. දියුණුව පිණිස ඉවහල්වන මුල් කරුණු පහ සම්පූර්ණව පැවතියත් ඒ අනුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය මානසික උනන්දුව නොමැති නම් සාර්ථකත්වය කරා ගමන් කළ නොහැකිය. සිත අධෛර්යමත් කෙරෙන විවිධ මානසික දුර්වලතා මැනවින් හඳුනාගනිමින් සිත ශක්තිමත් කෙරෙන අදහස් හා සංකල්පවලින් මනස පුරවා ගැනීම මානසික උද්‍යෝගය ඇතිකර ගැනීමට මග වේ. සිත ශක්තිමත් කෙරෙන මානසික උද්‍යෝගය ඇතිකෙරෙන වැඩ කිරීමට පොළඹවන කලණ මිතුරන් මෙන්ම යෝග්‍ය පරිසරයක් තෝරාගැනීම මේ සඳහා අත්‍යවශ්‍ය වේ. අත්ථස්සද්වාර ජාතකයේ එන කරුණු පෞද්ගලික මට්ටමෙන් පමණක් නොව ආයතන මට්ටමෙන් ද ක්‍රියාවට නැංවිය හැකි වේ. ව්‍යාපාර සාර්ථකත්වය උදෙසා මෙම උපදෙස් හය බෙහෙවින් අදාළවේ. ආයතනික මට්ටමෙන් සළකා බැලීමේදී එම කරුණු හය සේව්‍ය සේවක දෙපක්ෂයේ නීරෝගී බව, කාර්යමණ්ඩලය සතු විනයගරුක බව, විශේෂඥයන්ගේ උපදෙස් පිළිගැනීම, ව්‍යාපාරය පිළිබඳ පවතින දැනුම හා වෘත්තීය නිපුණතාව, නීතිගරුක බව හා වැඩ කිරීමේ උනන්දුව සාර්ථක ව්‍යාපාරයක් සඳහා හේතුවේ. මෙම උපදෙස් රටක පාලකයාගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා දියුණුව අපේක්ෂා කරන ලොකු කඩා කවරෙකුට වුව කිසිදු භේදයකින් තොරව අදාළ කරගත හැකිවේ. අත්ථස්සද්වාර ජාතකය වර්තමාන ධනාත්මක චින්තනය පිළිබඳ ඉගැන්වීම් අභිබවා සිටින බව එහි අන්තර්ගත උපදෙස්වලින් සනාථ වේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මැයි 03 වන බදාදා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment