Labels

Saturday, June 10, 2017

කෙලෙස් නසන බලධර්ම

ඒ තථාගත බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙකි. දිනක් එහි වැඩම කළ සාරිපුත්ත මහරහතන් වහන්සේට උන්වහන්සේ ඛිණාසමබල සූත්‍රය දේශනා කළ සේක. එහිදී සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් යම් බලයන්ගෙන් යුතු වූ රහතන් වහන්සේ නමක් මා ගේ ආශ්‍රවයෝ ගෙවී ගියහ’යි, ආශ්‍රවයන්ගේ නැතිවීම ස්ථිර කළේද? ඒ රහතන් වහන්සේ ගේ ආශ්‍රවයන් ගෙවීමට, ක්ෂය කිරීමට හේතු වූ බලධර්මයෝ කොතෙක් වේද?යි විමසූහ. එහිදී සැරියුත් මහ රහතන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, “මේ ශාසනයෙහි රහතන් වහන්සේ අනිත්‍ය වශයෙන් සියලු සංස්කාර ධර්මයෝ තත්ත්වූ පරිද්දෙන් දකින්නෝය.
කාමයන්ගේ, ආදීනව, කාමයෝ අඟුරුවළක් ආදි උපමාවලින් තත්ත්වූ පරිද්දෙන්, මනා නුවණින් දකින්නෝය. උන්වහන්සේගේ සිත විවේකයට නැඹුරු වූයේ වෙති. නිවනට අවනත වූයේ, නිවනට බරවූයේ වෙති. කෙලෙසුන්ගෙන් දුරු වූයේ වෙති. සතර සතිපට්ඨානය වඩනා ලද්දෙක් වන උන්වහන්සේ පඤ්ච ඉන්ද්‍රියෝ මැනවින් වැඩූ අය වෙති. සතර ඍද්ධි පාදයෝ වැඩු වෝ වෙති. සප්ත බොජ්ඣංග ධර්මයෝ වැඩුවෝද වෙති. ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩනා ලද්දෝ වෙති” යනුවෙනි.
මෙහිදී වැඩිය යුතු හා වැඩූ බල ධර්මයෝ මොනවාදැයි සූත්‍ර දේශනාව ඇසුරෙන් විමසා බැලිය යුතුය. ඒවා යම් පමණකින් හෝ වැඩීම යනු කෙලෙස් මල නැති කිරීමේ මඟට බැසගත් ආර්ය ශ්‍රාවකයෙකු බවට පත්වීමේ දොර විවර කරගත් අයෙක් බවට පත්වීමය.
පළවෙනි බල ධර්මය නම්, කෙලෙස් නැසූ භික්ෂුව සියලු සංස්කාර ධර්මයෝ ලෙස ඒවූ අයුරින්ම නුවණින් දකියි. එනම් සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම වන හෙයින්ද තාවකාලික වන හෙයින්ද, විනාශ වන හෙයින්ද, මිදෙන හෙයින්ද, අස්ථිර වන හෙයින්ද විපරිනාම ධර්ම හෙයින්ද, අසාරක හෙයින්ද, විභව හෙයින්ද, සංඛත හෙයින්ද, මරණ ධර්ම හෙයින්ද යනාදී කාරණා නිසා අනිත්‍යයි කියති. සංඛත යනු හේතුඵල ධර්මයන්ගෙන් හටගත් සියලු ධර්මයන්ය. කෙටියෙන් පවසනවා නම් නාම රූපයයි සම්මත පඤ්චස්කන්ධය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය, මෙය යථානුරූපිව දැන ගැනීම, දැක ගැනීම අවබෝධ කර ගැනීම බල ධර්මයකි. ඒ බල ධර්මය අවබෝධ කරගත් තැනැත්තා කෙලෙස් ප්‍රහීණය කළ රහතන් වහන්සේ නමකි.
දෙවෙනි බල ධර්මය ලෙස හඳුන්වන්නේ කාමයන්ගේ ආදීනව දැකීමය. කාම වස්තුන් අල්ප ආශ්වාද සහිත බවත්, බොහෝ දුක්ගෙනදෙන බවත්, බොහෝ වෙහෙසට පත්කරන බවත්, බොහෝ ආදීනව ගෙන දෙන බවත් සිතීමය. එහි ආදීනව උපමා දහයකින් ගෙන හැර දක්වා ඇත. එමගින් එහි නිසරු බව මොනවට පැහැදිලි කරයි. ඒ උපමාවන් කිහිපයක් මෙසේ හඳුන්වා දිය හැකිය. “අට්ඨිකංඛලුපමා කාමා” එනම් මස් ලේ නැති ඇට බලු ලෙව කන්නේ –කුස් පිරුමක් ඵලයක් නොලබන්නේ, යනුවෙන් කාමයේ විඳීය යුතු, රසයක්, ප්‍රතිඵලයක් නොමැති බව සිතීමය.
‘මාංසපේසුමා කාමා’ – එනම් කාම වස්තුන් ගිජුලිහිණියෙකු රැගෙන පියාඹන මස්වැදැල්ලකට සමානය. එම මස් වැදැල්ල ඩැහැගෙන යන අතරතුරදී වෙනත් ගිජුලිහිණියකු එය ගසා ගෙන යයි. කාම වස්තුන්ද අනුන්, අතට පත්වෙන, ස්වභාවය බහුල කොට ඇති බව සිතීමය. කාම වස්තුන් ණයට ඉල්ලාගත් දෙයක් මෙනි. ඉල්ලා ගත් දෙයෙහි තමාට ස්ථිර අයිතියක් නොමැත.
එමෙන්ම කාම වස්තුන්ද ආපසු දීමේ පොරොන්දුව මත ඉල්ලා ගත් දෙයක් ලෙස සිතීමය.
’සුපිනුපමා කාමා’ එනම් කාම වස්තුන් සිහිනයක් බඳුය. සිහිනයක සැබෑ සත්තතාවක් නොමැත. කාම වස්තූන් සිහිනයෙන් භුක්ති විඳීමේදී ආශ්වාදජනකය. එහෙත් එය අවදිවූ පසු මායාවකි. අවිද්‍යා නින්දෙන් නිදන්නා දකින හීන ආශ්වාද ජනකය. ප්‍රඥා ලෝකයෙන් පිබිදුන කල කාමාස්වාදය සැබැවින්ම සිහිනයෙන් දුටු කාමාස්වාදයක් මෙන් සිතීමය. කාම වස්තුන් කඩු මුවහතකට උපමා කොට ඇත. අනෙකුත් ආයුධ මිනිසාගේ ප්‍රයෝජනයට යොදා ගත්තද, කඩු මුවහත යොදාගන්නේ පුද්ගලයා කපා කොටා විනාශ කර දැමීමක් ලෙස බව සිතීමය. කාම වස්තුන් මස්ලොඹුවකට උපමා කොට ඇත. මස් ලොඹුව මතුපිට පිහිපහරක් නොවැදුන තැනක් තැන. එමෙන්ම කාම වස්තුන් වූ කලී හැම විටම පීඩාගෙන දෙන්නක් බව සිතීමය. කාම වස්තුන් සර්ප හිසකට උපමා කොට ඇත. සර්පයාගේ විෂ දළ ඇත්තේ හිස කොටසට අයත් මුඛයේය. සර්ප හිස පුද්ගලයාට විපතක් ගෙන දෙන්නාක් මෙන් සිතීමය.
මෙයින් පැහැදිලි වන්නේ ලෞකික වශයෙන් විඳින කවර සැපතක් වුවද කෙළවර වන්නේ දුකකින් ම වන බවය. මෙය තේරුම්ගත් පුද්ගලයා කාම වස්තුන්ගෙන් ඈත්වෙයි. කෙලෙස් මලින් මිදුන තැනැත්තා අවේදයිත සුඛයට පත්වූවෙකි. රහතන් වහන්සේලා විඳින්නේ අවේදයිත සැපයකි. මෙය රහතන් වහන්සේලා වැඩූ බලයකි.
මීළඟට තෙවෙනි බලධර්ම වන්නේ සිත විවේකයට නැමීමය. එවැනි සිත විවේකයට අවනත වී ඇත. විවේකයට බර වී ඇත. ඒ විවේකයෙහිද, පඤ්ච කාමයෙන් තොරවීම හෙවත් අතහැරීම තුළින්ද සතුටු වෙයි. එවැනි සතුටුවන්නා ආශ්‍රව ධර්මයන් නැසු අයෙකි. ආසව රහිත වූවෙකි. මෙයද රහතුන් තුළ පවත්නා බල ධර්මයකි.
සිව්වැනි බල ධර්මය වන්නේ සතර සතිපට්ඨානය වැඩු අයෙක් වීමය. ඒ සතර සතිපට්ඨානය නම් කායානුපස්සනාව හෙවත් කය අනුව බැලීමය. වේදනානුසපස්සනාව හෙවත් වේදනාව අනුව බැලීමය. චිත්තානුපස්සනාව හෙවත් සිත අනුව බැලීමය. ධම්මානුපස්සනාව හෙවත් නීවරණ ආදී අකුසල ධර්මවල සිට කුසල ධර්ම අනුව බැලීමයි. මෙහි අනුපස්සනාව යනු අනුව බැලීමය. හෙවත් අනුව මෙනෙහි කිරීමය.
පස්වෙනි බල ධර්මය වන්නේ සතර ඍද්ධි පාදය වැඩීමය. එනම් ඍද්ධියට පාදක වන ධර්ම කරුණුය. ඒවා නම් ඡන්ද, චිත්ත, විරිය, විමංසා යන සතරයි. මේවා එකක් එකක්ගෙන අධිපති කොට ගෙන ඍද්ධිපාද ධර්ම වැඩිය යුතුයි. මෙහි ඡන්දය යනු කුසල ඡන්දයත් විරියත් එක්ක සම්ප්‍රයුක්ත වීමෙන් ඍද්ධි පාද වැඩෙයි. සමාධියෙන් යුතු වීර්යයෙන් තමා සිතු පැතූ සම්පත් පමුණුවා ගැනීමට ඍද්ධි පාද වැඩෙයි. සමාධියෙන් යුක්ත වූ ප්‍රඥාව මුල්කොට ගෙන තමා සිතු පැතූ දේ පමුණුවා ගැනීමට ඍද්ධි පාද වැඩෙයි. මෙසේ ඍද්ධි පාද වැඩූ තැනැත්තා කෙලෙස් නැසූ අයෙකි. රහත් වූවෙකි.
හය වෙනි බල ධර්මය වන්නේ පඤ්ච ඉන්ද්‍රියයි. ඉන්ද්‍රිය නාමයෙන් හඳුන්වන්නේ ඉසුරුමත් බව යන අරුතිනි. සිත පහදවා ගැනීමට මුල්වන ධර්මතාවයට සද්ධින්ද්‍රයි යන නමත් සිතට රුකුල් දීමේ ප්‍රධානත්වය දරන නිසා විරිය ඉන්ද්‍රිය ලෙසත්, සිත කුසල් අරමුණ ගෙනදීමේ ප්‍රධානත්වය ගන්නා සිහිය සති ඉන්ද්‍රිය නමිනුත්, එමෙන්ම සිතේ තැන්පත් බව නැතිනම් සිත එකඟ කර ගැනීම ප්‍රධාන බැවින් සමාධි ඉන්ද්‍රිය නමිනුත්, සිතට තත්වාකාරයෙන් අවබෝධය ලබාදීමට ප්‍රධානත්වය දරන බැවින් ප්‍රඥා ඉන්ද්‍රිය නමිනුත් හඳුන්වයි. ලෝකෝත්තර ධර්මයන් අවබෝධ කර ගැනීමට ඉවහල් වන ධර්මයන් ලෙසද මේවා හඳුන්වා දිය හැකිය. මෙය වැඩු පුද්ගලයා කෙලෙස් මල පහකළ ක්ෂිණාශ්‍රාවකයෙකි.
සත්වෙනි බල ධර්මය ලෙස හඳුන්වා ඇත්තේ සත්ත බොජ්ඣංගයෝයි, ලෝකෝත්තර මාර්ග ඥානය ඇති කර ගැනීමට හෙවත් සත්‍යාවබෝධයට උපකාරවන ධර්ම හත මෙනමින් හඳුන්වයි. මෙහි බෝධිය යනු සතර මාර්ග ඥානය, සෝවාන් මාර්ග ඥාන සකෘදාගාමී මාර්ග ඥාන, අනාගාමි මාර්ග ඥාන අරහත් මාර්ග ඥාන යන සතරට කියන නමයි. එමෙන්ම සර්වඥයන් වහන්සේ හැඳින්වෙන්නේද බෝධිය යන නමිනුයි. බෝධි අංගයෝ නම් සතර මාර්ග ඥානයයි. සර්වඥයන් වහන්සේගේ අවබෝධයට අංගත්වයෙන් උපකාරිවූ බැවින්ද බෝධි අංග හෙවත් බොජ්ඣංග නම් වේ. ඒ බොජ්ඣංගයෝ නම් සති, ධම්ම විචය, විරිය, පිති, පස්සද්ධි, සමාධි, උපෙක්ඛා යන සතයි. මේ සියල්ල මාර්ග ඵල නිවන් පිණිසම හේතුවන්නේය. මේ බල ධර්මයන් වැඩු පුද්ගලයා ක්ෂිණාශ්‍රාවකයෙකි.

අටවෙනි බල ධර්මය වන්නේ අරි අටැඟි මගයි. අරි යනු බුදු පසේබුදු, මහරහතන් වහන්සේලාට කියන නමයි. ඒ ආර්යන් වහන්සේලා විසින් සේවනය කළ මාර්ගය අරි අටැඟි මගයි. ඒවා නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව සම්මා වායාම , සම්මා සති, සම්මා සමාධි වශයෙනි. මෙහි සම්මා වාචා, සම්මා කම්මන්ත , සම්මා ආජිවය ශීල ශික්ෂාවටද සම්මාවායාම, සම්මා සති, සම්මා සමාධි යන තුන සමාධි ශික්ෂාවටද සම්මා දිට්ඨි සම්මා සංකප්ප යන අංග දෙක ප්‍රඥා ශික්ෂාවටද අයත්වේ. මේවා ත්‍රිවිධ ශික්ෂාවෝ නමින් හඳුන්වයි. ශික්ෂා යනු ශික්ෂණය හෙවත් සංවරයයි. ඒ සංචරණයාගේ අවසානය විමුක්තියයි. මේ අරි අටැඟි සමඟ සම්මා ඥාන, සම්මා විමුක්තියද ඇතිවූ විට සේක පුද්ගලයෙක් හෙවත් රහතන් වහන්සේ නමක් බවට පත්වේ. ස්වාමීනි, ඛීණාසම මහණ තෙමේ තමා මේ බල අටින් යුක්ත වූ නිසා ආසව ක්ෂය වී ඇතැයි අවබෝධ වු සේකැයි තථාගතයන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කළහ.

කෝට්ටේ කොටුබැම්මපාරේ
ශ්‍රී සුනේත්‍රාරාමාධිපති ශාස්ත්‍රපති 
ඇලිකේවෙල සීලානන්ද නාහිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ ‍බක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 අප්‍රේල් 19 වන බදාදා වන බදාදා දින   බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment