තථාගත බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් මෙසේ ප්‍රශ්න කරති. මහණෙනි, නුඹලා විසින් බොහෝ කාලයක් දුක් විඳින ලදී. ඒ කුමක් නිසා දැයි සිතන්නේද? මේ දීර්ඝව පවතින සසරෙහි සැරිසරන විට අමනාපයක් හා එක්වීමෙන් හා මනාපයන්ගෙන් වෙන්වන විට නොවේද? එවිට නුඹලා හඬන වැළපෙන විට වැගිරූ කඳුළු සිව් මහා සාගරයෙහි ජලයට වඩා වැඩිවේද?
ස්වාමීන් වහන්සේලා මෙසේ පිළිතුරු දෙති. “භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අවබෝධ කර ගතිමු. දිගු කලක් මුළුල්ලේ පවතින සසරෙහි අවිද්‍යාවෙන් වැසී, තෘෂ්ණාවෙන් බැඳී අමනාපයන් හා එක්වීමෙන් ද මනාපයන්ගෙන් වෙන්වීමෙන් ද හඬමින් හා වැළපෙමින් වැගිරූ කඳුළු සිව්මහා සාගරයෙහි ජලයට වඩා වැඩිය.”
තථාගත බුදුරජාණන් වහන්සේ තව දුරටත් පැහැදිලි කරමින් දේශනා කළේ, ‘මහණෙනි, නුඹලා දීර්ඝ කාලයක් මව්වරුන් මියයෑම නිසා දුක්වින්දහ. එසේ මනාපයන්ගෙන් වෙන්වීම නම් වූ මව වෙන්වීම නිසා හඬන වැළපෙන විට වැගිරූ කඳුළු සිව් මහා සාගරයෙහි ජලයට වඩා වැඩිය. නුඹලා විසින් බොහෝ කාලයක් පියවරුන් මිය යෑම නිසා, දුක් විඳින ලදී. සොහොයුරා මියයෑම නිසා ද, සොහොයුරිය මියයෑම නිසා ද, පුතා මියයෑම නිසාද, දුව මියයෑම නිසාද, බොහෝ දුක් වින්දාහ. එමෙන් ම ඥාතීන්ගේ වියෝවීමේදී ද, භෝග විනාශයේදී ද, රෝග ව්‍යසනවලදී ද බොහෝ දුක් වින්දාහ. එහි දී නුඹලාගෙන් වැගිරුණු කඳුළු ඉතාම වැඩිය. සමාන කිරීමේ දී සිව්මහා සාගරයෙහි ජලය මදිය. ඒ කවර හේතුවක් නිසාද? මේ සසර අග මුල නොපෙනෙන නිසාය. මහණෙනි, එහෙයින් සියලු සංස්කාරයන්හි කළකිරෙන්නට නිසිමය. නොඇලෙන්නට නිසිමය. සසරින් මිදෙන්නට නිසිමය.
අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ
පුබ්බාකෝටි න පඤ්ඤායති
අවිජ්ජා නීවරානං සත්තානං
තණ්හා සංයෝජනානං
සන්ධාවතං සංඝරතං දීඝරත්තං වෝ භික්ඛවේ
දුක්ඛං පච්චනුභූතුං
මහණෙනි, මෙම සසර බොහෝ දීර්ඝය. එබැවින් අවිද්‍යාවෙන් වැසී තෘෂ්ණාවෙන් බැඳී සසරෙහි ගමන් කරන සත්වයන්ගේ පූර්ණ සීමාවක් හෝ මූලාරම්භයක් නොපෙනේ.
තථාගත භාග්‍යවතුන් වහන්සේ විසින් සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තයේ සඳහන් අස්සු සූත්‍රයේ ප්‍රථම සදහම් සිතිවිලි පෙළයි මෙලෙස දේශනා කරනු ලැබුවේ.
මෙම උතුම් සූත්‍ර දේශනාව තුළින් සසරෙහි ඇති බියකරු බව හා දුකින් පිරුණු බව මැනවින් පැහැදිලි වෙයි. මෙහි දී මතුකොට පෙන්වා දේශනා කරනු ලැබුවේ පණ ඇති හෝ පණ නැති ප්‍රිය වස්තූන්ගෙන් වෙන්වීමේ දී විඳි හා විඳින දුක පිළිබඳවය. ඔබ හා අප සෑම අයෙකුටම මෙම විපරිණාම දුක්ඛය පිළිබඳ සැබෑ අත්දැකීම් ඇත. අපගේ මතකයේ රඳා පවතින්නේ ද මේ ජීවිතයේ ලද ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක්ඛයන්ය. තථාගත බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කරගත් චුතුපපාත හා පුබ්බෙනිවාසානුස්සති ඥානයන්ගෙන් සසර ගමනේ පවත්නා යථා ස්වභාවය කරුණාවෙන් දේශනා කරන ලදහ. තමන් වහන්සේගේ මෙන්ම සියලු සත්ත්වයන්ගේ චුති හා උපත් පිළිබඳව බුදුරජාණෝ නුවණින් දුටු සේක. මව, පියා සොහොයුරා සොහොයුරිය, පුතා හා දුව ආදී ප්‍රියයන්ගෙන් වෙන්වන විට හා ප්‍රිය වස්තූන්ගෙන් ඈත්වන විට හඬා වැළපී වැගිරූ කඳුළු සිව්මහා සාගරයේ ජල කඳටත් වැඩිවන බව වදාළේ එම නුවණිනි. දීර්ඝ සසර ගමන ම ඔබට මෙනෙහි කරන්නට අපහසු වූවත් මේ ජීවිතයේ ඉහත සඳහන් කළ කුමක් හෝ කවරෙකුගේ හෝ වෙන්වීමෙන් විඳි දුකක් පිළිබඳව මෙනෙහි කරන්නට පුළුවනිද?
තථාගත බුදුරජාණන් වහන්සේ දවස ස්වාමියා, දරුවන්, මව්පියන්, සොහොයුරා මිය යාමෙන් ශෝකයට පත්ව සිහි විකල්වී ඇවිද ගිය පටාචාරාවන්ගේ දුකින් පිරුණු හදවත හා කඳුළින් පිරුණු දෙනෙත් ඔබට තේරුම් ගන්නට පුළුවන්ද? මියගිය පුතුගේ සිරුර උර මත හොවාගෙන හඬමින් බෙහෙත් සොයා ඇවිද ගිය සොවින් පිරුණු කිසා ගෝතමියගේ සිත ඔබට තේරුම් ගන්නට පුළුවන්ද? මිනිබිරියක් මිය යාම නිසා මහා දහවල කෙහෙවලු කඩාගෙන තෙතබරිතව සොවින් යුතුව බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි විශාඛාවන්ගේ කතාව සිහිගන්වන්නට හැකිද? මුණුපුරා වූ පුංචි රාහුල පැවිදි වූ විට වේදනාවට පත්ව පැමිණ මව්පියන්ගෙන් අවසර නැතිව දරුවන් පැවිදි කරන්නට එපා යැයි සුදොවුන් රජුන් බුදුරදුන් හමුවෙහි පැවසූ අයුරු ද, සත් වසරක් පුරා තම පුතා දැක ගන්නට බැරිව සොවින් පෙලී දුක්විඳි කුමාර කාශ්‍යප මෙහෙණිය පිළිබඳව ද මෙහි දී සිහිපත් කරමු.
භෝග ව්‍යසනයේ දී දුක්වී ශෝකයෙන් හඬමින් සිටි පිරිස කොපමණ නම් වෙත්ද? ලෙඩ දුක් ඉදිරියේ දුකට පත්ව හඬමින් සිටින පිරිස් කොපමණ නම් වෙත්ද? යම් විටෙක සුව කිරීමට අපහසු රෝගාබාධයන්ට පත් වී එපමණක් නොව අපමණ ශාරීරික වේදනා විඳින දහස් ගණනාවක් අප අතරම ජීවත් නොවේදැයි සිතා බලන්න. රෝහලකට ගිය ඔබ සහ මා මේ පිළිබඳ කොයිතරම් නම් අත්දැකීම් ලබා ඇත්ද? ‘අනේ මෙහෙම නම් දුක් විඳිමින් මොකට ජීවත් වන්නේ ද?’ යැයි පවසමින් ‘මට නම් මෙහෙම ජීවත් වෙලා වැඩක් නැහැ. මෙයට වඩා හොඳයි මිය යන එක යැයි පවසන සිතිවිලි පිළිබඳව ඔබටත් අත්දැකීම් තිබේද? වෙනදා අපිරිසුදු යමක් දුටු විට පිළිකුලෙන් නාසය වසා ගත්තත් ව්‍යාදීන් ඉදිරියේ තමාගේ ම මල මුත්‍රා මත වැතිරී අසරණව සිටින විට ඇස් දෙකෙන් පමණක් නොව හදවතින් ද හඬන හැඩුම් වගුරන කඳුළු කොපමණ නම් වෙත්ද?
තථාගත බුදුරජාණන් වහන්සේ විිසින් දේශනා කළ ‘අස්සු සූත්‍රයේ’ ගැබ් වී ඇති උතුම් දහම් කරුණු අපගේ ම ජීවිතය, පවුල් පරිසරය හා අවට වටපිටාව හා සමඟින් ගළපා බලා නුවණින් අවබෝධ කරගන්නට උත්සාහවත් වෙමු.
තිණිමානී භික්ඛවේ සංඛතස්ස සංඛත ලක්ඛණානි, කතමානිතිණි? උප්පාදකෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, ඨිතය අඤ්ඤතත්ථං පඤ්ඤායති’ සංස්කාරා වස්තුන්හි ලක්ෂණ තුනක් දක්නට ලැබේ. හට ගැනීම, විනාශය හා ජීවත්වන්නන්ගේ වෙනස්වීමයි.
එසේ නම් සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක සෑම වස්තුවකගේ යථා ස්වභාවය නම් ඇතිවී බිඳී විනාශ වී යාමයි. මව, පියා, සොහොයුරා, සොහොයුරිය, පුතා, දුව, ස්වාමියා, බිරිඳ හෝ කවර නම් ප්‍රිය කෙනෙක් වූව ද මෙම සංස්කාර නම් වූ වචනයට අයත්ය. අවිඤ්ඤාණක වස්තූන් වූ ගේ දොර ධන ධාන්‍ය ආදී සියලු වස්තූන් ද මෙම සංස්කාර නම් වූ වචනයට අයත්ය. අවිද්‍යාව නම් මෙම සංස්කාර වස්තුන්හි ඇති හටගෙන, බිඳී, විනාශයට යාම නම් ධර්මතාවය නොදැනීමයි. අවබෝධ නොකර ගැනෙන හා නුවණින් ද සමාධියෙන් ද නොදැකීමයි. මෙම අවබෝධයෙන් නොදැකීම නම් වූ අවිද්‍යාව නිසා රූප ආදී අරමුණු ඇස ආදී ඉන්ද්‍රියන්ගෙන් ‘මගේ, මගේ, මමය, මමය, මගේ ආත්මයයි. ජීවිතයයි’ කියමින්, ‘ඇලෙයි, බැඳෙයි, එම වස්තුන් හෙවත් අරමුණුවල වෙනස්වීමේ දී හා අමනාපයේ දී ගැටෙයි. එනම් ද්වේශයට පත්වෙයි. වෛරයට හා ක්‍රෝධයට පත්වෙයි. එකක් ගිලිහී යන විට තව වස්තුවක් හා ඉන්ද්‍රියන්ගෙන් ඇලෙයි. බැඳෙයි. නැවතත් ලෝභය හා ද්වේශය හටගනී. ඇතිවී, බිඳී, විනාශයට පත්වන ස්වභාවය සෑම වස්තුවක උරුමයෙන් ගැබ්ව පැවතීම නුවණින් නොදක්නා වූ නිසා මෝහය විසින් සත්වයා සසරෙහි දුක්දෙමින්, හඬවමින්, රිදවමින් රැගෙන යයි. තෘෂ්ණාවෙන් බැඳී ඇතැයි පවසන ලද්දේ ද මෙම ස්වභාවයයි. මේ අයුරින් තෘෂ්ණාව නිසා අනන්ත සසරෙහි සිවුමහ සයුරන්ටත් වඩා හැඬුවා නම්, එය නතර කරන්නට තථාගත බුදුරජාණන් වහන්සේ දෙසූ දහමට ප්‍රතිපත්තියෙන් ම සමීප වෙමු.
බත්තරමුල්ල
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
පුබ්බාකෝටි න පඤ්ඤායති
අවිජ්ජා නීවරානං සත්තානං
තණ්හා සංයෝජනානං
සන්ධාවතං සංඝරතං දීඝරත්තං වෝ භික්ඛවේ
දුක්ඛං පච්චනුභූතුං
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි
No comments:
Post a Comment