Labels

Thursday, June 8, 2017

නාස්තිකාර නොවන බොදු සැරසිලි

ශ්‍රී ලංකාවේ බෞද්ධයන් විසින් වෙසක් උත්සවය සමරනු ලබන්නේ ආගමික උත්සවයක් වශයෙන් පමණක් නොවෙයි.ඔවුන් අලුත් අවුරුදු උත්සවය සමරා නිම වු පසු බොහෝ විට මාසයකටත් අඩු කාලයක් තුළ එළඹෙන වෙසක් උත්සවය ආගමික වශයෙන්ම පමණක් සමරනවා නම්, ආගමික ඇවතුම් පැවතුම් වලින්ම එය සැමරීමට ඉඩ තිබුණි. ඒත් සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයන් බහුතරයක් ආගමික භාවයෙන්ද, ඊට අමතරව විනෝදාශ්වාද ස්වරූපයෙන්ද, සැරසීමට උත්සාහ කරයි. වෙසක් සැරසිලි සඳහා වැඩි අගයක් ලැබීමට එය හේතුවක් වෙයි.වෙසක් සැරසිලි භාණ්ඩ අලෙවිය සඳහා වන වෙළෙඳ පොළක් නිර්මාණ වී තිබෙන ආකාරය දක්නට ලැබෙයි. වෙසක් උත්සවයක් සැමරීෙමිදී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍ය වෙයි.
වෙසක් උත්සවය බුදුහාමුදුරුවන්ගේ උපත ,බුද්ධත්වය ,පිරිනිවීම, සමරන උත්සවයක් .
එය පිරිපුන් ලාංකේය නොවන , පිරිපුන් බෞද්ධ උත්සවයක්. බුදුපියාණන් වහන්සේ නිරර්ථක දේ පිටු දැක්ක දේශකයාණන් වහන්සේ නමක්. උන්වහන්සේගේ දේශනා වල කිසිදු ස්ථානයක නාස්තිය නොපිළිගෙන තිබීම පමණක් නොවෙයි, උන්වහන්සේ නාස්තිය කිහිප තැනක නොකළ යුත්තක් ලෙස දේශනා කර තිබෙනවා. වරක් බිමට වැටුනු එළඟි තෙල් ස්වල්පයක් පුලුන් පොදකට රැගෙන ආරක්ෂිතව තැබූ සිටුකුමාරිකාවක් පිළිබඳ පැමිණිල්ලක් එම සිටු කුමාරිකාවගේ සේවිකාව විසින් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරනු ලැබුවා. ඈ එම සිටු කුමාරිකාව ඉතාම ලෝබ තැනැත්තියක් බවට බුදුරජාණන් වහන්සේට හඳුන්වා දුන්නා. එළඟිතෙල් නාස්තිකරන්නේ නැති තත්ත්වයට වඩා එය ලෝබකමක් වශයෙන් ඇය හඳුනාගෙන තිබුණා. බුදුපියාණන් වහන්සේ ලෝබකම සහ නාස්තිය අතර වෙනස පැහැදිලි කළා.ලෝබකම යනු සම්පත් තියාගෙන භුක්ති නොවිඳ සිටීම බවත්, තිබෙන සම්පත් සැකසුරුවම් කමින් පරිපාලනයෙන් කළමනාකරණය කොට භුක්ති විඳීම ලෝබකම නොවන බවත් බුදුපියාණන් වහන්සේ සඳහන් කළා. ඒ අනුව බලාගෙන යන විට බුදුහාමුදුරුවන්ගේ දේශනාවෙහි එන එම කාරණාව වෙසක් උත්සවයත් සමඟ අර්ථ සම්පන්න වන්නේ කෙසේද?
විශේෂයෙන්ම ලෝකයම සමරන වෙසක් උත්සවය ශ්‍රී ලාංකේයයන් වශයෙන් අප පිළිපදින්නේ කෙසේද?එක තොරණක් සඳහා පුවක් ගස් සියයක් පමණ කැපීමට නියමිතව තිබෙනවා. පුවක් ගස්වලින් තොරණ බැඳීම සාමාන්‍ය සිරිතක් බවට පත්වුණ ජාතියක් වශයෙන්, ඔවුන් එක තොරණක් සඳහා පුවක් ගස් සියයක් කපන්නේ නම්,තොරණ පන්සියයක් පමණ බැඳ තිබුණ හොත්, පුවක් ගස් පනස් දහසක් කැපීමට සිදුවෙයි. ඒ වගේම වෙසක් උත්සවයට පසුව එළඹෙන පොසොන් උත්සවයට අනුරාධපුර, මධ්‍යම, උතුරු මැද පළාත්වල පොසොන් උත්සවයටද , පුවක් ගස් පනස් දහසක් පමණ කැපීමට නියමිතව තිබෙනවා. මේ අනුව වසරකට කපන ලද පුවක් ගස් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වෙයි. අඩුම වශයෙන් එක් පුවක් ගසකින් පුවක් ගෙඩි දාහක් ලබාගැනීමේ හැකියාව තිබේ නම්,දාහේ ගොඩවල් ලක්ෂයක් නාස්ති කළා වෙයි. අද වන විට ශ්‍රී ලංකා මුදලින් පුවක් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් හතරයි පනහක් පමණ වෙයි. අප අවුරුද්දට පුවක් ගස් කැපීමෙන් නාස්තිකරන සම්පත්වල මූල්‍යමය වටිනාකම ලක්ෂ හාරදහසකට අධික බව මෙයින් පෙනී යයි. පුවක් ගසක් කැපූ විට ඒ පුවක් ගස වෙසක් තොරණකට හෝ කූඩුවකට පාවිච්චි කළ හොත් එකී තොරණ හෝ කූඩුව දින අටකට වඩා ප්‍රදර්ශනය වන්නේ නැහැ. පුවක් ගසක ආයු කාලය ඊට වඩා බොහොම වැඩියි. වසර ගණනාවක් පුවක් සපයමින් තිබෙන පුවක් ගස කපාදමන්න තරමටම අවිඤ්ඤාණික හා නාස්තිකාර ජාතියක් නිර්මාණය වුණේ කෙසේද? බුදු සසුන ලංකාවට රැගෙන විත් දේශනා කළ දහමෙහි කිසිදු තැනක එවැනි සංස්කෘතිකාංගයන් වෙනුවෙන් නාස්තියක් කළ යුතු බව සඳහන් නොවුණත් බෞද්ධයන් ඒ සඳහා පෙළඹුනේ කෙසේද?මේ නිසා එම සැරසිලි හා නිර්මාණ සඳහා වෙනත් විකල්පයකට යාම වැදගත්ය. ලංකාවට පැමිණි පිටරැටියන් හෝ ලංකාවෙහි එක්තරා නාමයකින් හඳුන්වනු ලබන සුවඳ විලවුන් සහ බෙහෙත් නිපදවන පුවක් දේශීය ධන සංචිතයට ධනය ඒකරාශී කරන විදේශ විනිමය උපයන අපනයන ද්‍රව්‍යයක් වශයෙන් හඳුනා නොගැනීමට තරම් බෞද්ධයා මුග්ධ වුයේ කෙසේද? යන කාරණාව පැහැදිලි නැහැ.
පිරිත් මණ්ඩපවල පුවක් මල් එල්වා තිබෙන ආකාරය දක්නට පුළුවන්. පිරිත් මණ්ඩපය යනුවෙන් හඳුන්වනු ලබන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලද ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව සංකේතවත් කරන අවස්ථාවකට. .සාමාන්‍යයෙන් පිරිත් මණ්ඩපයක ධම්මචක්ක සූත්‍රය රාත්‍රී දොළහට සජ්ක්‍ධායනා කරනු ලබයි.සර්වරාත්‍රික පිරිත යනු ධම්ම චක්ක දේශනාව මැදිකරගත් ආශිර්වාදාත්මක දේශනාවක් බව හැඟෙයි. එම සර්ව රාත්‍රික පිරිත් දේශනාවට මණ්ඩපයක් නිර්මාණය වන්නේ එකී සර්ව රාත්‍රික පිරිත් දේශනාවේ මැද කියවෙන ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව පවත්වන ලද ඉසිපතනයේ මිගදාය නම්න් හඳුන්වන ඉතාමත් ලස්සන මනස්කාන්ත වනාන්තරය ප්‍රතිරූපණය කිරීම සංකේතවත් කිරීම සඳහායි. වනාන්තරයක ස්වභාවය නම්. ඒ අනුව එම මණ්ඩපයෙහි නා දලු, නුග දලු, පුවක් දලු වැනි දලු එල්ලනු ලබයි. නමුත් කවර නම්, සාධාරණයක් හේතු කොටගෙන වනාන්තරයක පුවක් මල් එල්ලෙන බවට සිතිය හැකිද?එම නිසා පුවක් මල පිරිත් මණ්ඩපයක අලංකාරයක් වශයෙන් භාවිත කිරීම විනාශ කිරීම සඳහා යොදන ලද ප්‍රයෝගකාරී පුරුද්දක් ලෙස මිස අර්ථ සම්පන්න වැඩක් ලෙස හඳුනා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. වෙසක් සමරන ශ්‍රී ලාංකේය බොදු බැතිමතුන් තේරුම් ගත යුතු වන්නේ බුදු පියාණන් වහන්සේගේ දේශනාවෙහි කිසිම තැනක මෙබඳු නාස්තිකාර වැඩ වලට ඉඩක් නොමැති බවයි. පිරිත් මණ්ඩපයක් පිරිත් කරන ලද පිරිත් පැන් අලුත් කළයකට දමා එය සුදු පිරුවටයකින් වැසූ පසු කවර නම්, අර්ථයකින් ඔවුන් පොල් මලක් එයට එකතු කරනවාද ? යනුවෙන් කිසිවෙක් කල්පනා කරනු ලබන්නේ නැහැ.එක පොල් මලක් යනු පොල් ගෙඩි සියයක් ලැබෙන නාස්ති කිරීමක් මිස, එයින් කිසිදු ශාන්තියක් වන්නේ නැහැ. අප ආගමික කටයුතුවලදී ගොක් කොළ පාවිච්චි කරනවා. ගොක් කොළයක් යනු තවත් පොල් ගසක කොළයක් වෙයි. එක් ගොබයක් කැපූ විට පොල් ගස වසරකින් බාල වෙනවා පමණක් නොවෙයි පොල් ගසක ගොබයකින් පසු එන පොල් මල ද නවතී.
නාස්තිකාර කාරණා නිරන්තරයෙන්ම බුදු දහම විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් පවත්වන වෙසක් සැරසිලි අතරට විදුලි බුබුළු වලින් අලංකාර කරන ලද කිසිදු ආකාරයේ සංස්කෘතිකභාවයක් නැති සැරසිලිද , අපාය සංදර්ශන වැනි මිනිසුන් දරුවන් බිය ගන්වන සුළු ආකෘතීන්ද, වෙස්මුහුණු පැළඳීම් වැනි වෙසක් සැරසිලි වෙසක් දිනයට අපට දක්නට ලැබෙයි. බුදුපියාණන් වහන්සේගේ පින්තූරය විකෘති කරන වෙසක් පත්ද,බුදුපියාණන් වහන්සේගේ පූජනීය උත්සවය අපහාසයට ලක් කරන වේදිකා නාට්‍ය හා ෙවිදිකා ප්‍රසංගද දක්නට ලැබෙයි. ඒ පිළිබඳ විරෝධයන් සෑම වසරකම ඉදිරිපත් කෙරුණමුත් ඒවා සෑම වසරකම පාලනය කිරීමට නොහැකි තරමටම ජන ජීවිතයට කා වැදී තිබෙයි.
දන්සැල් වලින් ආහාර ලබාගෙන ලෙඩ වූ නිසා දන්සැල් සඳහා කිසියම් ආකාරයක විරෝධයක්ද පැන නැඟී තිබුණා. දන්සැල් සංස්කෘතිය ලෝකයේ කිසිදු රටක නැති ශ්‍රී ලාංකේය බෞද්යන්ට පමණක් උරුමවූ චාරිත්‍රයක්. එය වඩාත් නිවැරැදි කිරීම මිස එය නින්දාවට අපහාසයට හෝ ඒවා වහාම නවතා දැමීමට ක්‍රියා කිරීමට තරම් ඉක්මන් නොවිය යුතුයි.
එකී කාරණා වෙසක් උත්සවය සැමරීමේදී සළකා බැලිය යුතු කරුණු ලෙස සඳහන් කළ යුතුව තිබෙනවා.

බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය,සංඝ ගෞරවය ඇතිවන ආමිස පූජාවන් පමණක් වෙසක් උත්සවය සැමරීම සඳහා කටයුතු කිරීම අවශ්‍ය වෙයි.






කැලණිය විශ්ව විද්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය 
ඉඳුරාගාරේ ධම්මරතන හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ වෙසක් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මැයි 03 වන බදාදා  දින   බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment