Labels

Thursday, June 8, 2017

සුදුසු තැන ලැබෙන නුසුදුසු තැන නොලැබෙන පින

කුසලයට බරව ජීවත්වන මිනිසුන්ට සතර අපාය කියන්නේ හරියට මහගෙදර වගේ. වැඩබිමට, කාර්යාලයට, නගරයට හෝ තමන්ගේ සේවාව සිදු කරන සේවා ස්ථානයට ගිය පසු අප සවස් වෙනකොට කෙලෙස ද ඉක්මනට ගෙදර යන්නේ කියලා කල්පනා කරනවා. ඒ වගේ කෙලෙස් සහිතව අකුසලයෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයින්ට නිරතුරුවම සතර අපායේ දොරවල් ඇරී තිබෙනවා.
ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව බලපාන කෙනෙක් මිය පරලොව ගිය පසු ඒ අය සඳහා කළ යුත්තේ කුමක්ද? අපි අනුමෝදන් කරන පින් අනුමෝදන් වෙනවාද නැද්ද යන සිතුවිලි ඔබ සිත තුළ නිරන්තරයෙන්ම ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා බොහෝමයක් අඩංගු නිකාය ග්‍රන්ථයක් ලෙස සංයුත්ත නිකාය හදුන්වන්න පුළුවන්.

මෙම සංයුත්ත නිකයේ චුති සංයුත්තයේ අන්තර්ගත වෙනවා මනුෂ්‍ය චුති සූත්‍රය, ප්‍රේත චුති සූත්‍රය, නිරය චුති සූත්‍රය, දිව්‍ය චුති සූත්‍රය ආදි වශයෙන් සූත්‍ර බොහෝමයක්. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් මුලු මහත් විශ්වය දෙස බලා කෙනෙක් මිය පරලොව ගිය පසු කිනම් ස්ථානයක කුමන ආකාරයකට උපත සිදුවනවාද කියන කාරණාව උක්ත සූත්‍රය ආශ්‍රයෙන් දේශනා කරනවා. දවසක් බුදුහාමුදුරුවෝ පොළොවේ තිබෙන පස් ස්වල්පයක් තමන්ගේ දකුණු ශ්‍රී හස්තයේ නිය සිලට ගෙන භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා “මහණෙනි, මාගේ නිය සිලුවේ තිබෙන පස් ද, මේ මහ පොළොවේ තිබෙන පස් ද, ප්‍රමාණයෙන් වැඩි” කියලා. භික්ෂූන් වහන්සේලා පිළිවදන් දෙනවා “බුදුරජාණන් වහන්ස, පොළොවේ තිබෙන පස්වල ප්‍රමාණය වැඩියි” කියලා. “මහණෙනි, මගේ නිය සිල තුළ තිබෙන පස් ප්‍රමාණය වගෙයි මිය යන අය, මනුසත් බව හා සුගති ආත්ම භාවයන්ට පත්වන්නේ. මහපොළොවේ තිබෙන පස් හා සමව අතිවිශාල පිරිසක් මිය ගොස් දුගතියෙහි උප්පත්තිය ලබන බව බුදුහාමුරුවෝ මනුෂ්‍ය චුති සූත්‍රයේ දී දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කෙලෙස් සහිත අකුසලයට බරව ජීවත්වන මිනිසුන් හට සතර අපාය කියන්නේ හරියට මහගෙදර වගේ කියලා. අපි අපේ වැඩබිමට, කාර්යාලයට, නගරයට හෝ තමන් තමන්ගේ සේවාව සිදු කරන සේවා ස්ථානයට ගිය පසු සවස් වෙනකොට කෙලෙස ද ඉක්මනට ගෙදර යන්නේ කියලා කල්පනා කරනවා. ඒ වගේ තමයි කෙලෙස් සහිතව අකුසලයෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයින්හට නිරතුරුවම සතර අපායේ දොරවල් ඇරිලා තිබෙන්නේ. එම නිසා අපට පෙනෙන්නේ අපි මේ ගත කරන්නේ සතර අපායට බර වූ ජීවිත. අඩුම තරමේ ඔබ සෝතාපන්න තත්වයටවත් පත් වි නොමැතිනම් නිරය ආදී වූ සතර අපායක ගැටිමට අවශ්‍ය ආශ්‍රව ඔබ චිත්ත අභ්‍යන්තරයෙහි තිබෙනවා.
බුදුරජාණන් වහන්සේගෙන් දිනක් ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයා අහනවා “බුදුරජාණන් වහන්ස, කෙනෙක් මිය ගිය පසු අප අනුමෝදන් කරන පින්අනුමෝදන් වෙනවද නැද්ද” කියලා. එවිට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා සුදුසු තැන දී ලැබෙනවා, නුසුදුසු තැන දී ලැබෙන්නේ නෑ. එවිට මෙම බ්‍රාහ්මණයා බුදුන් වහන්සේගෙන් අහනවා පින් ලබා ගතහැකි තැන කුමක්ද? පින් ලබාගත නොහැකි තැන කුමක්ද යනුවෙන්. බුදුන් වහන්සේ මෙම බමුණාට පින් ලබාගත හැකි හා නොහැකි ස්ථාන පිළිබඳව පැහැදිලි කරලා දෙනවා. අපි හිතමු අපි මිය ගොස් දුගතියට නැතහොත් නරක තිරිසන් ප්‍රේත අසුර යන සතර අපායේ ඉපදුනොත් මෙම අනුමෝදන් කරනු ලබන පින් අනුමෝදන් විමේ හැකියාවක් නැහැ. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාර, මිථ්‍යාදෘෂ්ටිය ආදී දරුණු අකුසල කර්ම කරන අය ඒකාන්තයෙන්ම උප්පත්තිය ලබන්නේ සතර අපායෙමයි. නිරයේ ඉපදුනු කෙනෙකුට ඔබ කෙසේ පින් අනුමෝදනන් කළත් ඒ පින් අනුමෝදන් විමේ හැකියාවක් නැහැ. ඔහුට එලෙස පින් අනුමෝදන් කරනවා ද යනුවෙන්වත් දැනීමක් නැහැ. නිරයේ එහා මෙහා දුවමින්, වද වේදනා විඳීන්න සිද්ධ වෙනවා.මහ පොළොව භූ තට්ටු තුනක් හතරක් පමණ යටට යන විට දක්නට ලැබෙන්නේ ලෝදිය යි. මෙම ලෝදිය සක්‍රිය විම තුළින් ගිනි කඳුවල ලාවා ලෙස පිටවෙනවා. මෙහි නිරි සතෙක් වෙලා ඉපදුනොත් නිරයේ උපාදානය කරගෙන මිය පරලොව යනවා හැර පින් අනුමෝදන් විමේ හැකියාවක් නැහැ. කෙනෙක් මරණ මංචකයේ දී, කරන ලද අකුසල කර්මයක් බලවත් වීම හේතුවෙන් තිරිසන් ලෝකයේ උපදින්නට පුළුවන්. එම තිරිසන් සත්වයින් හට කෙතරම් විශාල පින්කම් කොට පින් අනුමෝදන් කළත් පින් අනුමෝදන් විමේ හැකියාවක් නැහැ. ඔබ දෙන පින් අනුමෝදන් විමේ හැකියාව පවතින්නේ ප්‍රේත ලෝකයේ පරදත්තූපජීවි යන ආත්ම භාවයේ ඉපදුනොත් පමණයි. එනම් අනුන් දෙන පිනෙන් යැපෙන යන අර්ථයයි. ඔබ දැන් මදක් ඔබේ සිතින් විමසා බලන්න. ඔබේ ජීවිතය කෙතරම් අවිනිශ්චිත ද කියන වග. අප සද්ධානුසාරි ධම්මානුසාරි හෝ අවම වශයෙන් සෝතාපන්න ඵලයටවත් පත් නොවුනහොත් මරණින් මතු සතර අපායේ උපදින ප්‍රවණතාවය වැඩියි. එම නිසා සමාජයේ ජීවත්වන විට නොමැරෙන මිනිසුන් ලෙස නොව මැරෙන මිනිසුන් ලෙස සිතා කටයුතු කළ යුතු වෙනවා.


සාරිපුත්ත ජාතික අධ්‍යාපන 
විද්‍යා පීඨයේ 
තණමල්විල රාහුල හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූනි 01 වන බ‍්‍රහස්පතින්දා  දින   බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment