Labels

Sunday, June 11, 2017

මේ දුකදැයි සිහියෙන් බලන්න


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ..... 'සතර අපායෙන් මිදෙමු' - 22 කොටස

වනගත ආරණ්‍යවල හුදකලා වනවාසී කුටිවල වැඩසිටින ස්‌වාමීන් වහන්සේලා ගත කරන්නේ සමහරවිට දුෂ්කර ජීවිතයකි. මෙය සටහන් තබන වේලාවේ භික්‍ෂුව වැඩසිටින්නේ රුහුණු ප්‍රදේශයේ වනගත ආරණ්‍යයකය. මේ වන විට මාස කිහිපයකින් මෙහෙට වැසි නැහැ. පරිභෝජනයට ගන්න තිබෙන වැව් දෙකම හිඳිලා.

ඔබ ඔය සුරතල්කරන්නේ සතර අපායයි

'සතර අපායෙන් මිදෙමු' - 21 කොටස

තාම ලෙන්ගතුභාවයෙන් සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර නම් ජලභීතිකාවත්, මැලේරියා, බරවා, වැනි රෝගවත් නොවේ. ඒවා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් සුවපත් විය හැකිය. සතුන් ඇති කිරීමෙන් සිදුවන්නා වූ භයානකම අනතුර ගැන ඔබ අවධානයෙන් සිටිය යුතුය. 

අහෝ! තිරිසන් අපාය

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...  'සතර අපායෙන් මිදෙමු' - 20 කොටස

පිංවත් ඔබේ දෑස්‌ ඉදිරියේ ජීවත්වන තිරිසන් සතුන් සතර අපායේ කොටස්‌ කරුවන්. සතර අපායෙන් එකක්‌ තමයි තිරිසන් ලෝකය. තිරිසන් ලෝකය සත්වයාට බොහෝම දුක්‌දෙන ස්‌ථානයක්‌. මේ සෑම තිරිසන් සතෙකුම පෙර භවයක මනුෂ්‍ය ජීවිතයක්‌ ගතකර සිදු කරගත් කාය, වචී, මනෝ අකුසලයන් හේතුවෙන් තිරිසන් ලෝකයට වැටුනු අය. මරණ බිය, කාමය, වෛරය, කුසගින්න තිරිසන් සතුන්ගේ ජීවිතයයි.

මේ මුළු ලෝකයම ඔහුට කමටහනක්‌ වූ මෙවලමකි

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ 'සතර අපායෙන් මිදෙමු' - 19 කොටස

භික්‍ෂුවට මතකයි, භික්‍ෂුව උපසම්පදා විනය කර්මයට සහභාගීවී පැමිණි පසු ආරණ්‍යයේ වැඩ සිටි සාමනේර හිමිනමක්‌ විමසුවා 'ඔබ වහන්සේ ඊයේ උපසම්පදා වුණානේ. දැන් ඔබ වහන්සේ ලොක්‌කෙක්‌ නේද?' කියලා. ඒ දරුවා උපසම්පදාව කියන අර්ථය දුටු චිත්‍රයයි ඒ ප්‍රකාශකළේ. ඒ මොහොතේ භික්‍ෂුව කිව්වේ 'දරුවෝ, උපසම්පදා පිංකමෙන් පස්‌සේ මම තව කුඩා වුණා' ය කියලයි. සරළ වුණාය කියලයි. නිහතමානී වුණාය කියලයි. උපසම්පදා විනය කර්මයෙන් පස්‌සේ මට වෙච්චි දෙයයි මම ප්‍රකාශ කළේ. ඒත්, ඒ දරුවා ඒක තේරුම් ගත්තේ නැහැ. ශීලය තුළට යන්න යන්න ඔහු නිවෙනවා. එය ශීලයේ ආශ්චර්යයක්‌. සිsල්පද රකිනවාය කියන්නේ ජීවිතයට පහසුවක්‌මයි. භික්‍ෂුව මේ මොහොතේ ඉන්න සරළ භාවය ශීලයේ ඵලයක්‌. මෙතනට එන කෙනා අවබෝධයෙන් දන්නවා තමා තුළ විකුණන්නවත්, විකිණෙන්නවත් දෙයක්‌ නොමැති බව.

මේ අවුරුද්දේ ඔබත් මෙතැනට එන්න

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....  ( නව වසරට ධාර්මික ප්‍රවේශයක්‌ සඳහා කෙරෙන ආරාධනය II)

'පිංවත් ඔබත් මෙතැනට එන්න' කියලා කියපුවාහම ඔබට හිතෙන්න පුළුවන් කොතැනටද මේ එන්න කියන්නෙ කියලා. භික්‍ෂුව ඔබට මේ එන්න කියන්නේ ලෝකයේ සුන්දරම තැනට. මෙතන ඔබේ තැනකුත් නොවේ. ඔබේ නොවන තැනකුත් නොවේ. මේ මොහොතේ විවේකය ලබන තැනයි. හෙට මෙතැනින් නික්‌ම යායුතුයි. ආපසු හැරී බැලීමක්‌ නැත.

Saturday, June 10, 2017

කෙලෙස් නසන බලධර්ම

ඒ තථාගත බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙකි. දිනක් එහි වැඩම කළ සාරිපුත්ත මහරහතන් වහන්සේට උන්වහන්සේ ඛිණාසමබල සූත්‍රය දේශනා කළ සේක. එහිදී සාරිපුත්ත මහ රහතන් වහන්සේගෙන් යම් බලයන්ගෙන් යුතු වූ රහතන් වහන්සේ නමක් මා ගේ ආශ්‍රවයෝ ගෙවී ගියහ’යි, ආශ්‍රවයන්ගේ නැතිවීම ස්ථිර කළේද? ඒ රහතන් වහන්සේ ගේ ආශ්‍රවයන් ගෙවීමට, ක්ෂය කිරීමට හේතු වූ බලධර්මයෝ කොතෙක් වේද?යි විමසූහ. එහිදී සැරියුත් මහ රහතන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්හ.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, “මේ ශාසනයෙහි රහතන් වහන්සේ අනිත්‍ය වශයෙන් සියලු සංස්කාර ධර්මයෝ තත්ත්වූ පරිද්දෙන් දකින්නෝය.

සිවු මහා ගංගාවෝ මහ සයුරට ගලා ආ කල එකම ලවණ රසයයි

බුදුරදුන් දෙව්රම් වෙහෙරෙ වෙසෙන සමයෙහි තමා හුවා දක්වමින් අනුන් හෙලා දුටු එක්තර ආඩම්බරකාරී භික්ෂූන් වහන්සේ නමක් අරභයා මෙම ජාතක කථාව දේශනා කරන ලදි. දෙව්රම් වෙහෙර වැසි එක්තරා භික්ෂූන් වහන්සේ නමක් “ඇවැත්නි අපගේ ජාතිය හා සමාන ජාතියක් නැත, අපගේ ගෝත්‍රය හා සමාන ගෝත්‍රයක් නැත, අපගේ දැසි දස් කම්කරුවෝ පවා ඇල් සහලේ බත් සහ මත්ස්‍ය මාංස අනුභව කෙරෙති, කසී සළු අදිති, කසී රට සුවඳ විලවුන් ගල්වති, අපි මහණ වූ හෙයින් මෙබඳු රූක්ෂ භෝජන අනුභව කරම්හ, රූක්ෂ වූ සිවුරු පරිහරණය කරම්හ” යනුවෙන් ස්ථවිර නවක මධ්‍යමක භික්ෂූන් ඉදිරියෙහි තම මහන්තත්වය ප්‍රකාශ කරමින් ජාත්‍යාදි වශයෙන් අන්‍යයන්ට නින්දාකරමින් වාසය කළේය.

කළගුණ සැලකූ ගිජු ලිහිණියා

බරණැස් නුවර බ්‍රහ්මදත්ත නමින් රජ කෙනෙක් සිටියා. එකල අප මහ බෝසතාණන් වහන්සේ ගිජු ලිහිණියෙක් වී ඉපදී එක් පර්වතයක වාසය කළා. මේ ගිජු ලිහිණියාගේ මව්පියන් හොඳටම වයසයි. ඔවුන් දෙදෙනා ආදරයෙන් රැකබලා ගෙන දුර ඈතට නොයා ගිජු ලිහිණියා ඒ සමීපයේම කල් ගෙව්වා. දවසක් මහා වර්ෂාවක් ඇද හැළුණා. වැස්සට තෙමුණු ලිහිණියාගේ පියාපත් තෙමුණා. තෙමුණු පියාපත් බරට බිම ඇද වැටුණු ලිහිණියා පියාඹන්නට නොහැකිව කඳු පාමුල වැටී සිටියා.
එදා දිය කෙළියට ගොස් ආපසු එමින් සිටි බරණැස් සිටුතුමා බිම වැටී පියාපත් ගසන අසරණ ලිහිණියා දුටුවා. ‘අනේ අසරණ සතා’ සිටුතුමා ගිජු ලිහිණියා දෝතට ගත්තා. වහා නිවසට ගොස් ගිනි ගොඩක් ගසා ලිහිණියාට උණුසුම දුන්නා. උණුසුම් රෙදි කඩකින් පියාපත් තැවුවා.

භද්දාකාපිලානි මහරහත්තෙරණින් වහන්සේ

"ලෝකයෙහි ආදීනව දැක අපි දෙදෙනම පැවිදිවී දුරුකළ ආශ්‍රව ඇතිව දැමුණු ඉඳුරන් ඇතිව සිහිල්වීමු. නිවුණෙමු. '
පාරමිතා පිරූ යහපත් බිරිඳක හා ස්වාමියකු ලෙසින් කුසල් වඩා අන්තිම ආත්මභාවයේ දී මහරහත් භූමිය උරුමකරගත් භද්දාකාපිලානි මහ රහත් තෙරණින් වහන්සේ පිළිබඳව සිත පහදවා ගනිමු. භික්ෂුණිත්වය කෙරෙහි විශ්වාසයක් ඇති කර ගනිමු.
අප ගෞතම බුදුපියාණන් වහන්සේ පහළ වූ සමයෙහි සිට කල්ප සියක් දහසකට පෙර පහළ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සමයෙහි දී හංසවතී නුවර මහා ධන භෝග සම්පත් ඇති සිටුවරයාගේ ප්‍රිය බිරිඳ වූයේ ඇයයි.

ඤාණ ශක්තියයි ජීවිත ජය ගැන්මයි

යම් කෙනෙක් විපතකට පත් වූ විට, ඊට මුහුණ දෙන්නේ යම් සේද? එමඟින් ඔහුගේ හෝ ඇයගේ ඤාණ ශක්තිය තේරුම් ගත හැකි වන්නේ ය. සාමාන්‍ය ලෝ වැසියා සැපතේ දී උදම්වන අතර විපතේ දී දුකට පත්වේ. එහෙත් මනා වූ ඤාණ ශක්තියක් ඇති, අත්දැකීම් ඇති සද්පුරුෂයා සැපතේ දී උපේක්ෂාවට පත්වේ. දුකේ දී, විපතේ දී ධෛර්යවන්තව, වීර්යවන්තව, උත්සාහයෙන්, අධිෂ්ඨානයෙන් යුතුව ඊට මුහුණ දේ.
සමහර අය උගතුන්, ඤාණවන්තයන් ලෙස සමාජයේ පෙනී සිටිති. එහෙත් ඒ ඇතැමෙක් ජීවිතයට මුහුණ දෙන්නට නොදනිති. දුකක්, විපතක්, කරදරයක් සිදු වූ විටක හඬා වැළපී සමහර විට අන් අයට ද නින්දා, අපහාස කරති. තමන්ගේ මුළු ජීවිතයම කඩා වැටුණා යැයි පවසමින් මහත් අඳුරකට වැටුණා සේ දුකකට ම පත්වෙති. පිරිහීමට ම යති. එවැනි පුද්ගලයාගේ ඤාණ ශක්තිය ඉතාම දුර්වලය.

දැන දැන බොරුකීම චිත්ත දියුණුවට බාධාවක්

ජීවිතයට බොහෝ සෙයින් උපකාරි වන දෙයක් සත්‍ය කතා කිරීම. අද ඇතැම් දෙනෙකුට බොරු කීමට කිසිදු බයක් හෝ ලජ්ජාවක් නැහැ. බොරු කීමට බයක්, ලජ්ජාවක් නොමැති නිසාම බොහෝ දෙනෙක් බොරු කියනවා. නමුත් ඒ තුළින් අපේ ජීවිතයට සිදුවන හානිය බොහෝ බරපතල බව කිසිවෙකුටත් පෙනෙන්නේ නැහැ. සත්‍යවාදී නොවීම හේතු කරගෙන අපගේ ජීවිත අභ්‍යන්තරය තුළ සිදුවන පරිහානිය කෙබඳු දැයි මජ්ක්‍ධිම නිකායේ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට පෙන්වා වදාළා.
දිනක් තථාගතයන් වහන්සේ රාහුල ස්වාමින් වහන්සේ බැහැ දැකීමට අම්බලට්ඨිකා කියන අඹ වනයට වැඩියා. රාහුල ස්වාමින් වහන්සේ දුටුවා තමන්ගේ කුටිය දෙසට තථාගතයන් වහන්සේ වඩින අයුරු. ඉතින් උන්වහන්සේ ඉක්මනින් ආසනයක් පනවා පා සෝදන්න වතුර බඳුනක් පිළියෙල කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කර ඒ ආසනයේ වැඩ හිඳ පා දෝවනය කළා. පා දෝවනය කරන්න වතුර ගත් භාජනයේ පැන් ස්වල්පයක් ඉතිරි වී තිබුණා. රාහුල ස්වාමින් වහන්සේ පැමිණ බුදුරජාණන් වහන්සේට වන්දනා කොට පැත්තකින් වාඩි වුණා.

Friday, June 9, 2017

සුරාපානය මදයට ප්‍රමාදයට හේතුවෙයි

මදයට ප්‍රමාදයට හේතුවන්නා වූ රහමෙර හෙවත් මද්‍යසාර භාවිතා කිරීම සුරාපාන අකුසල කර්ම වෙයි. එය සිදුවන්නේ කය මුල්කර ගෙනයි. මෙය ප්‍රධාන වශයෙන්ම කාය මිථ්‍යාචාරයට උපකාරි වන අතර, එය ගිහි පැවිදි ඛේදයකින් තොරව සැමටම අහිත ක්‍රියාවක් සේ සළකා ඉන් වැළැක්වීමට කටයුතු කර ඇත.
ගිහියන්ට පන්සිල්, අටසිල් සහ ගිහි දස සිල්වලින්ද, සාමණේර ස්වාමින් වහන්සේට සාමණේර දසසිල් වලින්ද, උපසම්පදා භික්ෂූන්ට පනස් එක් වැනි පාචිත්තිය සිල් පදයෙන්ද සුරාපානය තහනම් කොට ඇත. පාචිත්තිය යනු ප්‍රබල සිල් පදයක් නොවූවත්, එවන් සිල්පදයකින් හෝ භික්ෂූන්ට සුරාපානය තහනම් වෙයි. මෙම තහනම බෞද්ධ සමාජයේ පමණක් ක්‍රියාත්මක වූවක් නොවේ. බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළද සුරාපානය තහනම් ක්‍රියාවකි. බ්‍රාහ්මණ දහමට අනුව බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය වෛශ්‍ය යන අයට සුරාපානය කළ නොහැකිය. එය ශුද්‍රයන්ට පමණක් සීමා වූ පහත් ක්‍රියාවක් ලෙස බමුණු දහම පවා සලකයි. එය සියලු ආගම්වලින් ප්‍රතික්ෂේප කර ඇත.

ලෝකයේ ධර්ම ප්‍රචාරයට හොඳම අවස්ථාවක්

මෙවර වෙසක් උත්සවය විශේෂත්වයකින් සැමරීමට රජය කටයුතු සූදානම් කරමින් සිටී. බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරමින් උන්වහන්සේගේ අනුගාමික පිරිස සමරන උත්සවය වෙසක් උත්සවය යි.සිද්ධාර්ථකුමාරෝත්පත්තිය, බුදුවු බුද්ධෝ්ත්පත්තිය , මහා පරිනිර්වාණය යන තෙමඟුල සමරන උළෙල සෑම අවුරුද්දකම බෞද්ධයන් උත්සවාකාරයෙන් සමරන ස්වභාවයක් දක්නට ලැබෙයි. පුද්ගලික වශයෙන්ද, ග්‍රාමීය වශයෙන්ද,නාගරික වශයෙන්ද, රාජ්‍ය මට්ටමින්ද වෙසක් උත්සවය සමරන ස්වභාවය දක්නට ලැබෙයි. බුදුරජාණන් වහන්සේ මෙම සමාජයට බිහිවුණ විශිෂ්ටතම දාර්ශනික ආගමික නායකයෙක් ලෙස සැළකේ.ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අනුගාමික පිරිස්, උතුම් වූ ශ්‍රී සද්ධර්මය පිළිබඳ වැටහීමක් ඇති පිරිස් සහ එබඳු වැටහීමක් නැති පිරිස් සියලු දෙනාම ඇති හැකි ආකාරයෙන් මෙම උත්සවය සමරයි. එම නිසා මෙම උත්සවය අපේ බෞද්ධ සමාජයෙහි ජීවත්වන සෑම දෙනාගේම හදවත් තුළ පවතින උත්සවයක්.

මෙවර එම උත්සවය ජාතික මට්ටමින්, ජාත්ත්‍යන්තර මට්ටමින් පවත්වන්නට කටයුතු සූදානම් කර තිබීමත් ඉතා වැදගත් කාරණාවක් ලෙස සිහිපත් කළ යුතුයි.

සදහම් දැනුම

ප්‍රශ්නය -
පංච සීලයෙහි දෙවැනි ශික්ෂාපදය ‘අදත්තාදාන’ නමින් හැඳින්වෙන පාපක්‍රියාවකි. අදින්නාදාන යන පාලි වැකියෙහි එන පරිදි අදින්න යනු නො දුන් යන අර්ථයයි. නොදුන් දෙයක් ගැනීම පාපිෂ්ට ක්‍රියාවක් මෙන්ම සදාචාර බවින් තොර අසීලාචාර ක්‍රියාවකි. ‘දීයතීති’ දානං ‘දීම’ පරිත්‍යාගය, පිනකි. එය සදාචාර සද්ගුණයකි. මෙම සද්ගුණය පිළිබඳව පෙළ දහමෙහි විචිත්‍ර වූ දේශනා ඇතුළත් ව ඇත. ආමිස දාන ප්‍රතිපත්ති දාන ධර්ම දාන සප්පුරිස දාන ආදී වශයෙන් විවිධ වූ විස්තර ඇතුළත්ව ඇත. මේවා අතරින් එක්තැනක බුදුරජාණන් වහන්සේ ජළංග සමන්නාගතා දක්ඛිණා යනුවෙන් සුවිශේෂ වූ දානමය පුණ්‍ය ක්‍රියාවක් සඳහන් කරයි. එය පැහැදිලි කරන්න.

මේ පින්බර මොහොතේ ලබමු සැනසුම මෙලෙසේ


ආනාපානසති භාවනාව කවුරුත් දියුණු කළ යුතුයි. මෙය අනුන්ට නෙමෙයි, තමන්ගේ දියුණුවටයි. අසංවර වූ සිත සංවර කරගැනීමට , සිතේ පහළවෙන පවිටු චේතනා ඉවත් කරන්න, කුසල චේතනා දියුණු කරන්න, ප්‍රඥා පාරමිතා සම්පූර්ණ කරන්න සුවිශේෂී වූ මේ උතුම් භාවනාව පිළිබඳ ධර්මයේ මෙසේ සඳහන් වෙයි.
භාවනාව යනු සිතේ වැඩීමයි. සිතේ දියුණුවයි. තප්පරයෙන් තප්පරය සිතේ දියුණුවයි. නමුත්, ධ්‍යාන නැවත වෙනස් වෙයි. ලෝභ, ද්වේශ, මෝහ ආදී අරමුණු නිසා ධ්‍යානයන් විනාශයට පත් වෙයි.

විශ්ව බලය ඉක්මවූ බුද්ධ බලය

විශ්වයේ ක්‍රියාකාරීත්වය විටෙක හිතකරය. තවත් විටෙක අහිතකරය. මේ නිසා හොඳ නරක යන එකිනෙකට ප්‍රතිවිරුද්ධාකාර බලශක්ති දෙකක් විද්‍යමාන වේ. චින්තනයක් හා ජීවයක් ඇති සත්වයාට එය හොඳින් දැනෙන අතර චින්තනයෙන් එය හඳුනා ගන්නා මිනිසා කර්මය වශයෙන් වෙන්කොට එයටම හේතුඵල ධර්මතාවයක් සම්බන්ධ කොට පවත්නා ස්වභාවයෙන් සත්ව යන නාමයෙන් පෙන්වාදී ඇත.
අප බුදුරජාණන් වහන්සේ මෙම විශ්ව ශක්තිය හොඳින් හඳුනාගැනීමට එහි ඇති තත්ත්ව ස්වභාවයම උපයෝගී කරගෙන සුවිශේෂ චින්තන ශක්තියක් උපදවා ගත්සේක. ආගමික වශයෙන්, දාර්ශනික වශයෙන් මෙන්ම විද්‍යාත්මක වශයෙන්ද සංකල්ප නිපදවාගත් සෙසු අයගේ අදහස් නිර්මාණ වාදයට හා ආත්ම වාදයට අයත් වීම නිසා චින්තන ශක්තිය සීමා සහිත විය.
විශ්ව පැවැත්ම කුළ කරන නිර්මාණය විශ්ව ශක්තියට අදාළ නොවන බැවින් සත්ත්වයාගේ හොඳ නරක දෙකට එයින් අල්ප මාත්‍රයකුදු ප්‍රයෝජනයක් බලපෑමක් නොවේ.

Thursday, June 8, 2017

බෞද්ධයා විසින් මිථ්‍යා විශ්වාස බැහැර කළ යුතුවේ

බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩවෙසෙන සමයෙහි මිථ්‍යා දෘෂ්ටියෙහි පිහිටි එක්තරා බමුණෙක් අරබයා මෙම ජාතක කථාව දේශනා කළහ. රජගහ නුවර වසන්නාවූ එක්තරා ධනවත් බමුණෙක් දුටු දෙය හා ඇසූ දෙය මංගල යැයි විශ්වාස කළේය. දිනක් ඔහු සතු අගනා වස්ත්‍ර යුගලක් මීයන් විසින් කන ලදි.
මෙය දැනගත් බමුණා අතිශය කලබලයට පත්ව මීයන් විසින් කන ලද එවැනි වස්ත්‍ර යුගලක් තම නිවසේ තිබීමෙන් මහත් විපතක් වන්නේ යැයි විශ්වාස කොට එය කිසිවිවෙකුටත් දුනහොත් එම තැනැත්තාටද අයහපතක් සිදුවන්නේ යැයි කල්පනා කොට තම පුතු කැඳවා වස්ත්‍ර යුගලය අතින් ස්පර්ශ නොකොට දණ්ඩක ආධාරයෙන් අමුසොහොනට ගෙන ගොස් දමන මෙන් දන්වා සිටියේය.

නාස්තිකාර නොවන බොදු සැරසිලි

ශ්‍රී ලංකාවේ බෞද්ධයන් විසින් වෙසක් උත්සවය සමරනු ලබන්නේ ආගමික උත්සවයක් වශයෙන් පමණක් නොවෙයි.ඔවුන් අලුත් අවුරුදු උත්සවය සමරා නිම වු පසු බොහෝ විට මාසයකටත් අඩු කාලයක් තුළ එළඹෙන වෙසක් උත්සවය ආගමික වශයෙන්ම පමණක් සමරනවා නම්, ආගමික ඇවතුම් පැවතුම් වලින්ම එය සැමරීමට ඉඩ තිබුණි. ඒත් සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයන් බහුතරයක් ආගමික භාවයෙන්ද, ඊට අමතරව විනෝදාශ්වාද ස්වරූපයෙන්ද, සැරසීමට උත්සාහ කරයි. වෙසක් සැරසිලි සඳහා වැඩි අගයක් ලැබීමට එය හේතුවක් වෙයි.වෙසක් සැරසිලි භාණ්ඩ අලෙවිය සඳහා වන වෙළෙඳ පොළක් නිර්මාණ වී තිබෙන ආකාරය දක්නට ලැබෙයි. වෙසක් උත්සවයක් සැමරීෙමිදී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍ය වෙයි.
වෙසක් උත්සවය බුදුහාමුදුරුවන්ගේ උපත ,බුද්ධත්වය ,පිරිනිවීම, සමරන උත්සවයක් .

සකසා දුන් දේ සැපතට මුල් වේ

" යම් දෙයක් සාංඝිකව පූජා කරන්නේ නම් එය ඉහළම පින්ගෙන දෙන්නකි.එහිදී අප දන්දෙන්නේ අතීත වර්තමාන අනාගත පිරිසකට නොව ඔවුන්ගේ ගුණදහම් උදෙසායි. උතුම් සඟ ගුණ සිහිකරමින් ඒ ගුණයන් වෙනුවෙන් දන් දීමයි කළ යුත්තේ. ඉන් ලැබෙන ආනිසංසය ඉතා විශාලයි."
දානය යනු දීමයි. තමන් සතු දෙයක් අන්සතු කරදීම මින් අදහස් කරයි. අද අප රටේ බෞද්ධයන්ට ඉතා හුරුපුරුදු ජනපි‍්‍රයම පින්කම දානයයි. දාන, ශීල භාවනා යනුවෙන් සම්බුද්ධ ශාසනයෙහි උතුම් පින්කම් තුනක් නම් කොට ඇතත් අපේ බෞද්ධයා වැඩිපුරම නැඹුරු වී ඇත්තේ දානයටයි. එහෙත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා දානමය පිනට වඩා පව් සිදුකරගන්නා බව පෙනී යයි. සමාජයට පෙනෙන ලෙසත් සමහරවිට වෙනත් ආත්මාර්ථකාමී අදහසකින් සමහරු දන් දෙති. ඒවා දානමය පින්කම් ගණයට ඇතුළත් කරගත නොහැකිය.

දියුණුවේදොරටු සය

සැවත් නුවර වැසි එක්තරා සිටුවරයෙකුගේ පුතෙකු තම පියාගෙන් දියුණු වීම සඳහා අවශ්‍ය උපාය කවරේදැයි විමසීය. පුතුගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අපොහොසත් වූ සිටුවරයා ඔහු කැටුව බුදුරජාණන් වහන්සේ හමුවීම සඳහා ජේතවනාරාමය බලා ගියේය. බුදුරදුන් බැහැදුටු සිටුවරයා තම පුතු විසින් අසන ලද පැනය උන්වහන්සේට ඉදිරිපත් කළේය. මෙම දරුවා පෙර ආත්මයෙත් මෙසේම දියුණුවට උපාය විමසී යැයි දක්වා අත්ථස්සද්වාර ජාතකය දේශනා කළ සේක. අතීතයේ බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝසතාණන් වහන්සේ සිටුවරයෙකු වී උපන්නහ. එම සිටුවරයාගේ පුතණුවන් තම පියා වෙත ගොස් යහපත අයහපත පිණිස හේතුවන උපාය කවරේදැයි විමසා සිටියේය.

සිතිවිලි නිවැරැදිව හඳුනාගන්න

තරුණ ජීවිතය ගත කරන දරුවන් සැළකිල්ලට ගත යුතු කාරණා පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ආර්ථික සාධකය ඉතාම වැදගත් බවත්, ඒක නාම කිං යනුවෙන් විමසූ විට සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා යනුවෙන් වදාරා තිබීමෙන් එය ප්‍රධාන බව හැඟෙයි. සියලු සත්ත්වයෝ ආහාරයෙන් යැපෙන බවත්,එහිදී භෞතික ආහාර මෙන්ම මානසික ආහාරත් වැදගත්වන බව අවධාරණය වෙයි.
ආර්ථික සුරක්ෂිතභාවය ඇතිකර ගන්නේ නැතිනම් සෙසු අභියෝග ජයගැනීමේ හැකියාව මග හැරී යයි. ඔබ ආර්ථික මය වශයෙන් පහළ මට්ටමක සිටිනවා නම්, අනෙක් පුද්ගලයන් දෙස උපේක්ෂාවෙන් බැලීමේ හැකියාව නැතිකම නිසා ආර්ථිකමය වශයෙන් පොහොසත් පුද්ගලයෙකෙªගේ හැකියාව අගය කිරීම සඳහා නිරාමිස සිතිවිලි පහළ වන්නේ නැහැ. සාර්ථක පුද්ගලයෙකු වුවහොත් පමණක් අනෙකාගේ සාර්ථකත්වය දරාගැනීමේ හැකියාව ලැබෙයි.

යහපතම සිතට පහදා දිය යුතුයි

සිතෙහි ස්වභාවය හඳුනාගැනීම ජීවත්වීෙමිදී වැදගත් වෙයි. අත් දෙකක් තිබුණත් ඇඟිලි දහයක් තිබුණත් එක සිතක් තිබෙන ආකාරයට ශරීරය නිර්මාණය වෙයි. අඩුවෙන් තිබෙන දේ වැඩිපුර පරිස්සමින් හා අඩුවෙන් පරිහරණය කිරීම ක්‍රමය වෙයි. වැඩිපුර තිබෙන අංගයන් ගෙන් එකක් නැතිව ගියත් ,අනෙකුත් අංගයක් පරිහරණය කළ හැකියි.
ප්‍රමාණය අඩුවෙන් තිබෙන විට ප්‍රවේසම් කරන ප්‍රමාණය වැඩියි. උදාහරණයක් වශයෙන් මසකට ලැබෙන වැටුප අඩු නම්, එම මුදලෙහි අරපරිස්සම වැඩිවෙයි. එක සිතක් තිබෙන නිසාම අරපරිස්සමෙන් වැඩ කළ යුතු බව බුදු දහමෙහි සඳහන් වෙයි. තමන්ගේ සිත අරපරිස්සමින්, හරිම අවබෝධයෙන් හරිම කල්පනාවෙන් පාවිච්චි කළ යුතු බව බණ පොතෙහි උගන්වයි. සිත රෝගී වූ විට නිරෝගී කර ගැනීමට සිදුවන්නේත් සිතෙන් සිතීමෙන්මයි. ඒ සඳහා වෙනත් උදවුකරුවන් නැහැ. ශරීරයේ සෙසු කොටස් තුවාලවූ විට බෙහෙත් දැමීමට පිරිස් සිටියත්, සිත තුවාල වූ අවස්ථාවල අරමුණුවලින්ම සිත සිතා සිත හදාගත යුතුයි.

සුදුසු තැන ලැබෙන නුසුදුසු තැන නොලැබෙන පින

කුසලයට බරව ජීවත්වන මිනිසුන්ට සතර අපාය කියන්නේ හරියට මහගෙදර වගේ. වැඩබිමට, කාර්යාලයට, නගරයට හෝ තමන්ගේ සේවාව සිදු කරන සේවා ස්ථානයට ගිය පසු අප සවස් වෙනකොට කෙලෙස ද ඉක්මනට ගෙදර යන්නේ කියලා කල්පනා කරනවා. ඒ වගේ කෙලෙස් සහිතව අකුසලයෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයින්ට නිරතුරුවම සතර අපායේ දොරවල් ඇරී තිබෙනවා.
ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව බලපාන කෙනෙක් මිය පරලොව ගිය පසු ඒ අය සඳහා කළ යුත්තේ කුමක්ද? අපි අනුමෝදන් කරන පින් අනුමෝදන් වෙනවාද නැද්ද යන සිතුවිලි ඔබ සිත තුළ නිරන්තරයෙන්ම ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා බොහෝමයක් අඩංගු නිකාය ග්‍රන්ථයක් ලෙස සංයුත්ත නිකාය හදුන්වන්න පුළුවන්.

Wednesday, June 7, 2017

සොහොනක් නොවී උයනක් වීම


සොහොනක් දැක ඇති වන්නේ සංවේගාත්මක සිතිවිලිය. උයනක් කෙරේ ඇතිවන්නේ ප්‍රසාදාත්මක සිතිවිලිය. ඒ පිළිබඳව ඔබට මනා වූ අත්දැකීම් ඇත. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ‘සීවට්ඨිකා’ සූත්‍ර දේශනාව ඇසුරු කොටගෙන සොහොනක් නොවී උයනක් වීමේ ධර්ම පරියාය විමසමු.
භාග්‍යවතුන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසමින් භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කළහ. ‘මහණෙනි, සීවට්ඨිකයෙහි හෙවත් සොහොනේ ආදීනව පහකි. අපවිත්‍රය, දුගඳය, බිය සහිතය, දරුණු අමනුෂ්‍යයන්ට වාසස්ථානයක්ය, බොහෝ දෙනාගේ වැලපීම් සහිතය. සොහොනකට උපමා කොට ඇති පුද්ගලයාගේ ද (සීවථිකූපම) එවැනිම ආදීනව හෙවත් ගති ලක්ෂණ වේ.

අසන දකින දේ නුවණින් හඳුනා ගන්න

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සුම්භ රට දේසක නම් නියම් ගමෙහි වැඩ වාසය කරන කාලයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් අමතා මෙම තේලපත්ත (තෙල් පාත්‍රය) ජාතකය දේශනා කොට වදාළහ. භාවනාව කෙරෙහි උනන්දු වූ භික්ෂූන් වහන්සේලා පිරිසකට කර්මස්ථාන දේශනා කොට අප්‍රමාදීව මහණ දම් පුරන්නැයි අනුශාසනා කළ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය දමනය ඇති කරගන්නේ කෙසේද? යන්න උපමාවකින් පැහැදිලි කළහ.
එක්තරා රූමත් ජනපද කල්‍යාණියක් නෘත්‍ය හා ගීත ගායනයෙන් ජන පද වාසීන් පිනවන්නී ය. එම රූමත් ජනපද කල්‍යාණිය නැටුම් හා ගායනය පටන්ගත් කල්හී බොහෝ ජනපද වාසීහු ඈ වටා එක්රොක් වී විනෝද වූහ. එක් දිනක් එම ජනපදය අයත් රාජ්‍යයෙහි රජු තමා යටතේ සිටින සිරකරුවෙකු කැඳවීය.

සිත පහදවා දුන් දානයේ අනුසස්

දන් පිළිගැන්වීමේ අනුසස් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දෙසූ දහම් අසා පැහැදුණු දඹදිව් වැසියෝ සිත් පහදවා ගෙන ගේ මිදුලෙහි පැන් සකසා තැබූහ. ශ්‍රමණ, බ්‍රාහ්මණයින්ට, දුගී මගී යාචකාදීන්ට හැකි පමණින් දන් පිළිගැන්වූහ. පන්සිල් සුරැකූහ. මේ අතර එක් ශ්‍රද්ධාවන්ත කුල දුවක් වූවාය. දිනක් සතර ඉරියව් පැහැදීම් ඇති, පිඬු පිණිස වඩින තෙරුන් වහන්සේ නමක් දුටු ඈ මහත් සේ පී‍්‍රති වූවාය. උන්වහන්සේ නිවෙසට පමුනුවා පසඟ පිහිටුවා වැඳ වැටුණාය. දොහොත් මුදුන් තබා වැඳ වැටුණාය. අසුනක් සකසා ඒ මත රන්වන් සිනිදු වස්ත්‍ර අතුරා පිළිගැන්වූවාය. තෙරුන් වහන්සේ එහි වැඩ සිටියහ.
“මා වෙත වැඩම කර සිටින්නේ උතුම් පින් කෙතකි” ඇය තව තවත් සිත පහදවා ගත්තීය. ඇති හැකි පමණින් ආහාරමය දානයක්ද පිදුවාය. විජිනිපතක් ගෙන පවන් සැලුවාය.

පහසුවෙන් පෝෂණය වීම ( කරණීය මෙත්ත සූත්‍රයෙන්: )

අහසේ සිටින කුරුල්ලෙකුට ඇත්තේ පියාපත් බර පමණි. සැහැල්ලුය. භික්ෂූන් වහන්සේ ද කුරුල්ලෙකු මෙන් සැහැල්ලු විය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. උන්වහන්සේ පහසුවෙන් පෝෂණය කළ හැකි විය යුතු ය. ‘සුභරෝ ගුණය නම් එයයි. දායකයන් පිරිනමන ප්‍රණීත හෝ නීරස හෝ යම් ආහාරයකින් සෑහීමට පත් විය හැකි නම්, පහසුවෙන් පෝෂණය කළ හැකිනම් උන්වහන්සේ සුභර ගුණයෙන් යුතු ය. භික්ෂූන් වහන්සේ බහු භාණ්ඩික නම්, එනම් බොහෝ දේ පරිහරණය කරන කෙනෙක් නම් සුභර ගුණයෙන් තොරය. එය නිර්වාණ ගාමී මාර්ගයට බාධාවකි.
භික්ෂූන් වහන්සේට මෙන්ම ගිහි ජීවිතයටද සුභර ගුණය ඉතා වැදගත් ය. චාම් දිවියක් ගෙවන පුද්ගලයාට ජීවිතයේ නැති බැරි අවස්ථාවන්හි මුහුණ දෙන්නට සිදුවන අඩුපාඩුකම්වලට පහසුවෙන් ඔරොත්තු දීමට හැකියාව ලැබේ. පොල් සම්බලයක් සමඟ බත් ටිකක් ආහාරයට ගැනීමෙන් වුව සෑහීමට පත් වීමට හැකිවේ.

අවසන් හුස්ම පොද දක්වා...

පුරාණ ආචාර්යන් වහන්සේ ආනාපාන සති භාවනාව සඳහා ගණන් කිරීමේ ක්‍රමයක් හඳුන්වා දී තිබෙයි. හුස්ම වාර එකේ සිට පහක් ගණන් කර නැවත එකේ සිට හය දක්වාත්, එකේ සිට හත දක්වාත්, එකේ සිට අට දක්වාත්, එකේ සිට නවය දක්වාත්, එකේ සිට දහය දක්වාත් වාර හයක් එක හුස්මක්වත් අමතක නොවන සේ ගණනකට භාවිතා කරන්න. ආශ්වාස ප්‍රශ්වාස මොහොතේ ගණන් කිරීමේ ක්‍රමය නිවැරැදිනම් ආනාපාන සතිය ප්‍රගුණ කිරීම පහසුය. ගණන වැරදුණොත් නැවත මුලටම පැමිණ කීප වරක් හෝ ගණන් කිරීමේ ක්‍රමය නිවැරැදිව ආනාපාන සතිය වැඩිය යුතුයි.

සද්ධර්ම අවබෝධයට බාහිර උපකාරක අංග

පසුගිය වෙසක් පුන් පොහොය එළඹීමත් සමඟ ශ්‍රී බුද්ධ වර්ෂ 2561 උදා වූ බව අප කවුරුත් දන්නවා. තවත් ආකාරයකින් කියනවා නම් ශාඛ්‍යමුණි තථාගත අරහත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා දැන් අවුරුදු 2561 ක් වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් බොහෝ කාලයක් ගත වුවද ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අදටත් අපට අසන්නට ලැබෙනවා. එය අපේ වාසනාව නොවේද? සසර දුකික් එතෙර වීමට උන්වහන්සේ අපට මුල, මැද, අග සුන්දර ධර්මයක් දේශනා කොට වදාළා. ඒ මගෙහි ගමන් කරන කවුරු වුවද දුක් විඳින සසර ගමන නවතා දමනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා මේ ධර්ම මාර්ගයේ ගමන් කරන ශ්‍රැතවත් ශ්‍රාවකයාට ධර්මය අවබෝධ කිරීම පිණිස බාහිරින් උපකාරක අංග දෙකක් ලැබිය යුතු බව. එනම් කල්‍යාණ මිත්‍ර සේවනය සහ, ශ්‍රී සද්ධර්මය ශ්‍රවණයයි. කල්‍යාණ මිත්‍රයෙකුගෙන් අපට ලැබිය යුත්තේ ශ්‍රී සද්ධර්මය යි. අනෙක් අතට ශ්‍රී සද්ධර්මය අපට මනාකොට අසන්නට ලැබෙන්නේ කාගෙන්ද ඔහු අපේ කල්‍යාණ මිත‍්‍රයා වෙනවා.
දිනක් බුදුරජාණන් වහන්සේගෙන් රන් කරුවෙකුගේ පුතෙක් වූ “චුන්ද” අසා සිටියේ මේ ලෝකයේ ශ්‍රමණයෝ කොතෙක් සිටිත්ද? යන්නයි. මේ පැනයට පිළිතුරු වශයෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ

මෛත්‍රී භාවනාව


අහං අවේරෝ හෝමී – මම වෛර නැත්තෙක් වෙම්වා
අභ්‍යාපජ්ජෝ හෝමි – තරහ නැත්තෙක් වෙම්වා
අනීඝෝ හෝමි - ඉරිසියා නැත්තෙක් වෙම්වා
සුඛී අත්තානං පරිහරාමි - සුවසේ ජීවත් වෙම්වා
අහං විය මය්හං - මා මෙන් ම මාගේ
ආචරි උපජ්ඣායා - ආචාර්ය උපාධ්‍යායෝ ද
මාතා පිතරෝ - මව් පියවරුද
හිත සත්තා - හිතවත් සත්වයෝ ද
මජ්ඣත්තික සත්තා - මධ්‍යස්ථ සත්වයෝද
වේරී සත්තා - වෛරී සත්වයෝද
අවේරා හොන්තු - වෛර නැත්තෝ වෙත්වා
අභ්‍යාපජ්ජා හොන්තු -තරහ නැත්තෝ වෙත්වා
අනීඝා හොන්තු – ඉරිසියා නැත්තෝ වෙත්වා
දුක්ඛා මුඤ්චන්තු – දුකින් අත් මිදෙත්වා
යථාලද්ධ සම්පත්තියෝ - ලද සම්පතින්
මාවි ගච්ඡන්තු - නො පිරිහෙත්වා
කම්මස්සකා - කාර්ය ස්වකීය දෑ කර ගත්තාහුය
ඉමස්මිං විහාරේ - මේ විහාරයේ සිටින
ඉමස්මිං ගෝචරගාමේ - මේ ගොදුරු ගමෙහි සිටින
ඉමස්මිං නගරයේ - මේ නගරයෙහි සිටින
ඉමස්මිං ලංකාදීපේ - මේ ලක්දිවෙහි සිටින

රෝගීන් අතර නිරෝගී වෙමු


“සුසුඛං වත ජීවාම – ආතුරෙසු අනාතුරා
ආතුරෙසු මනුස්සේසු - විහරාම අනාතුරා”
ධම්ම පදය - සුඛ වග්ගය

කෙලෙස් වසඟයට පත් නොවෙමු. කෙලෙස් වෛරස්වලින් රෝගී නොවෙමු. අපිරිසුදු නොවෙමු. මානසිකව නිරෝගී වෙමු. අපි කෙලෙස් රෝගීන් අතර මනසින් නිරෝගී මිනිසුන් ලෙස ඒකාන්තයෙන්ම සුවෙන් සැපෙන් ජීවත් වෙමු.
බුදුරදුන් මෙම ගාථාව දේශනා කළේ ශාක්‍ය හා කෝලිය වංශිකයන් අතර ඇති වූ ගැටුමක් සමථකරණය සඳහා ය. මේ දෙපාර්ශ්වයම බුදුරදුන්ගේ ඥාතීහුය. ඔවුහු අක්කර සිය ගණන් කෙත් වතු වගා කළහ. ඒ සඳහා අවශ්‍ය ජලය ලබා ගත්තේ රෝහිණී නදියෙනි. ජලය ලබා ගැනීමේදී දෙපිරිස අතර වරින් වර ගැටුම්කාරී අවස්ථා ඇතිවිණ. එම ගැටුම් සුහද ව සමගියෙන් සමථයකට පත්කර ගැනීමට ඒ කිසිවෙකුත් උනන්දු වූයේ නැත. මේ නිසා එම ගැටුම් දුර දිග යාමෙන් එක් අවස්ථාවක දෙපිරිස ගඟ දෙපස ඔවුනොවුන්ට එරෙහිව අවි දරමින් ඉතා ප්‍රචණ්ඩකාරී අරගලයකට සූදානම් වූහ. මෙය සැල වූ බුදුරදුන් එහි වැඩම කර, ගඟ මැද අහසෙහි දිස්ව ඔවුන් ඇමතූහ.

Sunday, June 4, 2017

අත් නොහළ යුතු උත්සාහය

කැපකිරීම, උනන්දුව, උත්සහාය ආදී සියලු පදයන්ගෙන් කියවෙන්නේ දහමේ පෙන්වා දෙනු ලබන ‘වායාම’ හෙවත් වෑයම යන අර්ථයමය. මෙලොව කැපකිරීමකින් තොරව කිසිදු දෙයක් ලබාගත නොහැකිය. සෑම කාර්යයක් උදෙසාම කැපකිරීම හෙවත් වෑයම යෙදිය යුතුම ය. ලෞකික වූත්, ලෝකෝත්තර වූත් අරමුණු උදෙසාද එසේමය. කර්මය යනු ක්‍රියාවයි. එය ප්‍රධාන වශයෙන්.
කුසල කර්ම , අකුසල කර්ම කියා කොටස් දෙක කට බෙදා දැක්විය හැකිය. මෙම ක්‍රියා දෙකම සිදුකිරීමට අවැසි වන්නේද ඉහතින් දක්වන ලද වායාමයි. එහෙත් එම ක්‍රියාවන්ට යොදන වෑයම එකක් නොව දෙකකි. එනම් කුසල කර්ම සඳහා යොදන වායාම සම්මා වායාම හෙවත් යහපත් වෑයමයි.
අකුසල කර්ම සඳහා යොදන වායාමය, මිච්ඡා වායාම හෙවත් අයහපත් වෑයමයි. මෙයට අමතරව පින, යහපත, සුබ, හොඳ නිවැරදි සුසිරිත් යන හැම කාර්යක් සඳහාම යෙදිය යුත්තේ ද සම්මා වායාම වන අතර පව, අයහපත අසුබ, නරක, වරද දුසිරිත් යන හැම කාර්යයකටම යෙදිය යුත්තේ ද මිච්ඡා වායාම බව පැහැදිලිය. මෙකී දෙකොටසටම අවශ්‍ය වන්නේ කැපකිරීමයි. එම කැපකිරීම් හමුවේ ලැබෙන ප්‍රතිවිපාකද එලෙසින්ම දෙයාකාරය.

රජෝ හරණං’ හෙවත් ගත සිත වැකුණු කුණු දුරලමු

සිවුරු හැරයාමට පිටත් වූ චුල්ලපන්ථක හාමුදුරුවන්ට විහාර දොරටුව අසල දී මුණ ගැසුණේ බුදුරජාණන් වහන්සේය. ‘ඔබ පැවිදි වූයේ කවුරු වෙනුවෙන්දැ’යි බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක හාමුදුරුවන්ගෙන් විමසූ විට උන්වහන්සේ පිළිතුරු දුන්නේ, ‘භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්’ කියාය.
‘මා වෙනුවෙන් පැවිදි වූ අයෙකු අනුන්ගේ නියමයෙන් උපැවිදි වීම නුසුදුසුය’.යනුවෙන් වදාළ බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක හාමුදුරුවන් කැඳවාගෙන ගොස් භාවනා කිරීම පිණිස කමටහනක් දුන්සේක. එම කමටහන නම් සුදුරෙදි කඩකි. රෙදිකඩ අතක් මත තබාගෙන අනිත් අතින් පිරිමදින ලෙස උන්වහන්සේ චුල්ලපන්ථක හාමුදුරුවන්ට උපදෙස් දුන් සේක. එසේ පිරිමදින ගමන් “රජෝහරණං” යනුවෙන් සිහිපත් කරන ලෙසද උන්වහන්සේ වදාළ සේක.

සැබෑ සතුට (කරණීය මෙත්ත සූත්‍රයෙන්)

‘සන්තුස්සකෝච’ නම් ලද දෙයින් සතුටු වීමයි. එනම් ලැබුණු දෙයින් සෑහීමට පත් වීමය. සන්තුස්සකෝ ගුණය විශේෂයෙන් භික්ෂූන් වහන්සේ උදෙසා දේශනා කරන ලද්දකි. කෙලෙස් අඩුකර ගැනීමට මඟ පෙන්වීමකි. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව් පසය ලැබෙන ආකාරයෙන්, සැලසෙන ආකාරයෙන් සතුටු වී පරිභෝජනය කළයුතු බව ඉන් අදහස් වේ. එනම් කොයි විදිහෙන් ලැබුණ ද පිළිගත යුතු බවයි. රසය, අඩුපාඩු, ප්‍රමාණය මැන බැලීම අනවශ්‍යය. භික්ෂූන් වහන්සේගේ ජීවිතය ආසාවන් පසුපස දුවන, අතෘප්තිමත් ජීවිතයක් නොවේ.

ජීවිතය දකින්න

තථාගත බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් මෙසේ ප්‍රශ්න කරති. මහණෙනි, නුඹලා විසින් බොහෝ කාලයක් දුක් විඳින ලදී. ඒ කුමක් නිසා දැයි සිතන්නේද? මේ දීර්ඝව පවතින සසරෙහි සැරිසරන විට අමනාපයක් හා එක්වීමෙන් හා මනාපයන්ගෙන් වෙන්වන විට නොවේද? එවිට නුඹලා හඬන වැළපෙන විට වැගිරූ කඳුළු සිව් මහා සාගරයෙහි ජලයට වඩා වැඩිවේද?
ස්වාමීන් වහන්සේලා මෙසේ පිළිතුරු දෙති. “භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය අවබෝධ කර ගතිමු. දිගු කලක් මුළුල්ලේ පවතින සසරෙහි අවිද්‍යාවෙන් වැසී, තෘෂ්ණාවෙන් බැඳී අමනාපයන් හා එක්වීමෙන් ද මනාපයන්ගෙන් වෙන්වීමෙන් ද හඬමින් හා වැළපෙමින් වැගිරූ කඳුළු සිව්මහා සාගරයෙහි ජලයට වඩා වැඩිය.”

මහරහත් මිහිඳු මා හිමි දැක්ම


ශ්‍රී ලංකාව බොහෝ රටවලට සාපේක්ෂව සංස්කෘතිකව වෙනස් රාජ්‍යයකි. එහි බහුතර සිංහලයන්ද, බෞද්ධයන්ද සමඟ සෙසු ජාතීහුද වෙසෙන බව නොරහසකි. එහෙත් මේ සියලු ශ්‍රී ලාංකිකයෝ එකම සංස්කෘතියකට අයත් වෙති . මෙකී එකම සංස්කෘතියකට අයත්වීම නිසාම ශ්‍රී ලංකාව තුළ බොහෝ අර්බුද පැන නොනැඟී පැවතිණි. එකී සංස්කෘතිය ක්‍රමයෙන් තුවාලවීමේ ප්‍රතිඵලයක් වශයෙන් වර්ගවාදී සිතිවිලි ක්‍රියාත්මකව යම් යම් අර්බුද රෙටි පැන නැඟි බවද අපි දනිමු.
තිස්වසරක යුද්ධයකින් පීඩාවට පත් සමාජයක් සිතිය යුත්තේ එකී යුද්ධයට පෙර ශ්‍රී ලාංකේය සමාජයෙහි තිබූ සංහිඳියාව පැවතුණේ කෙසේද? යන්නයි. ඊට ලැබෙන පිළිතුර විය යුත්තේ මිහිඳු මහරහතන් වහන්සේගේ චින්තනය හා දැක්ම සමාජගතව තිබූ නිසා වෙනි යන්නයි. මිහිඳු මහරහතන් වහන්සේ් වඩින්නට පෙරාතුව ශ්‍රී ලංකාවේ විසූයේ ම්ලේච්ඡ ජන සමාජයක්ය යන්න කල්පිතයකි. නූතන අනාවරණය වීම් අනුව, ශ්‍රී ලාංකේය ආදී සමාජය මිහිඳු මහරහතන් වහන්සේට පෙරද ශික්ෂිත හා බොහෝ දියුණු සමාජ ලක්ෂණවලින් සමන්විත සමාජයක්ව පැවති බව දත යුතුයි.යක්ෂ, නාග, ගෝත්‍ර වැනි සමාජ ගෝත්‍රික සමාජ නොවූ බවත්,

දැහැමි ජීවිතයකට ඇරඹුමක්

එක කලෙක මිනිසුන් කණ්ඩායමක් වෙළෙදාම සඳහා නැව් නැග පිටත්ව ගියහ. නොසිතූ අවස්ථාවක කුණාටුවකට හසුවී නැව ගිලෙන්නට විය.ඉන් එක් තරුණයකු දුෂ්කරතා මැද ගොඩ බිමකට ළගාවිය. තමා සතු සියලු ධනය අහිමි විය. කුසට ආහාරයක් නැත. ගතට වස්ත්‍රයක්ද නැත. මෙම තරුණයා කෙසේ හෝ ජීවිතය ආරම්භ කළ යුතු යැයි කල්පනා කළේය.
ගස්වල පොතු පට්ටා උපයෝගී කොට කෝටු කැබලි වලින් ඇඳුමක් සකස් කර ගත්තේය. ටික දුරක් එන විට මෙම තරුණයාට මැටි භාජනයක් ලැබුණේය. එය සුරතට ගෙන ටික දුරක් ගමන් කරන විට මිනිස් ජනාවාසයක් දක්නට ලැබුණි. මේ අපූරු තැනැත්තා විටෙක දෙවියකු යැයි ඒ ගම්වැසි සමහරු ඇදහූහ. ඇතැම්හු තාපසයකු යැයි ද රහතන් වහන්සේ නමක් යැයි ද විශ්වාස කළහ. ලීවලින් සකස් කර ගන්නා ලද වස්ත්‍රයක් නිසා ඔහු දාරුචිරිය නමින් ප්‍රසිද්ධියට පත් විය. කලක් ගත විය. මිනිසුන්ගේ ගෞරවය වැඩි විය. නමුත් සත්‍ය එය නොවේ. මේ බව වටහා ගත් , මීට පෙර, ආත්ම භවයක යහළුවෙක් එක් රුකක දෙවියෙක් වී වාසය කළේය. ඒ දේවතාවා දාරුචිරියගෙන් මෙසේ ප්‍රශ්න කළේය.
ඔබ කවුද?

සැබෑ දිනීම


පාසල් ළමයෙක් සාමාන්‍ය පෙළ, උසස් පෙළ ආදී විභාගයන් සඳහා ලබා ගන්නා ලද ජයග්‍රහණය නො අනුමානව හිතට දැනෙනු ඇත. ක්‍රීඩා කරන අය තනිව හෝ සමූහයක් වශයෙන් විවිධ තරගවලින් දිනුම ලබන්නේ නම් එතුළින් ලොකු සතුටක් දැනෙනු ඇත. එය දිනීමෙන් ලැබෙන සතුට අඟවන අවස්ථාවකි. අද සමාජයේ බොහෝ දෙනෙක් දිනීම ලබන්නේ සම්පත් හා දිනීමකි. අද පවතින තරඟකාරී රටාවත් සමඟ සියල්ලෝම එකිනෙකා පරයා දිනීමට උත්සාවත් වෙති.
එම හේතුවෙන් විවිධ ගැටලු ප්‍රශ්නවලට සත්වයාට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවී ඇත. කෙනෙක් තව කෙනෙකුට නොදෙවෙනි වන සේ රැල්ලට හසු වූවන් සේ වතුර යයි සිතා මිරිඟුව පසු පස හඹායන මුව පෝතකයන් සේ මංමුලා වී ඇත. නමුදු බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ සැබෑ දිනීම වන්නේ තමන් දිනීම බවය. ධම්ම පදයේ සහස්ස වග්ගය තුළින් බුදුහිමි පෙන්වා දෙන්නේ ආත්මය දිනීම පිළිබඳවයි.

Saturday, June 3, 2017

යන එන දන - මන පිනවන වා-රිය පල - බුදු පිළිමය

තුන් ලොවක් ලස්සන කළ අසාමාන්‍ය රූප ශෝභාවකින් යුතු බුදුරදුන් නිරූපනය කිරීම සඳහා නිර්මිත බුද්ධ රූපය ලස්සනම රූපය වන්නේ එමගින් පිළිබිඹුවන බාහිර අංගලක්ෂණ සලකාගෙන ම නොවේ. එමගින් නිරූපනය වන අභ්‍යන්තරික ගතිලක්ෂණ සාවධානව සළකා බැලීමෙන් පසුව ය."
ලෝකයේ ලස්සනම මනුෂ්‍යයා කවුරුද යනුවෙන් ඇසුවොත් දිය හැකි නිවැරදිම පිළිතුර වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ ය යන්නයි. ලස්සන යන වචනයට අයත්වන සුප්‍රකට තේරුම වන්නේ චිත්තාකර්ශනීය, මනබැඳ ගන්නා සුළු යනාදී ආකල්පයන් ය. එහෙත් යම් පුද්ගලයෙකු හා බැඳුනු නියම ලස්සන විමසා බලන්නට එවැනි සරල කාරණාවක් ප්‍රමාණවත් වන්නේ නැත. චිත්තාකර්ශනීය යැයි කියා ගන්නා ඇතැම් පුද්ගල රූප දෙස තවටිකක් විමසුම් සහිතව බලන විට පෙනී යන්නේ ඒ ඒ රූප වෙතින් යම් යම් අවලස්සන සියුම් ලෙස මතුවී එන ආකාරය යි.

කරුණාවේ හා ප්‍රඥාවේ ජීවමාන ප්‍රතිමූර්තිය

කරුණාවේ හා ප්‍රඥාවේ ජීවමාන ප්‍රතිමූර්තිය වූ තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාශය අශ්‍රැතවත් පෘතග්ජන ස්වභාවයේ සිටින කවරෙකුට වූව ද පහසුවෙන් විස්තර කළ නොහැකිය. අවම වශයෙන් එය මාර්ගඵල අවබෝධය ලැබූ උතුමෙක්වත් දේශනා කළ යුතුය. පැහැදිලි කළ යුතුමය.
තථාගත බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කළ ධර්ම පරියාය අපට මෙසේ විස්තර කර ගත හැකිය. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන වශයෙන් ධර්මය දේශනා කිරීමේ දී දේශනා සූත්‍රයට අනුව කාරණා වශයෙන් කොටස් දෙකක් වශයෙන් එනම්, දෙයාකාරයකට දේශනා කළ සේක.
එනම් පාපය ලාමක වශයෙන් බලන්න. එය පළමු ධර්ම දේශනා ආකාරයයි. පාපය ලාමක වශයෙන් දැක එහි කළකිරෙන්න නොඇලෙන්න, මිදෙන්න. එය දෙවැනි ධර්ම දේශනා ආකාරයයි. ප්‍රධාන වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ දහම් මඟ එසේ දකින්නේ මේ ආකාරයෙනුයි. සියලු සත්ත්වයන් කෙරෙහි අනුකම්පා කරන සුළු වූ තථාගත බුදුරජාණන් වහන්සේ කාරණා වශයෙන් එනම් වාර වශයෙන් පවත්නා වූ ඒ දේශනාවන් බලන්න. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මයෝ දෙදෙනෙක් එසේ දේශනා කළා යනුවෙනුයි.

ජීවන ගමනට බාධා කරන අතිමානය ( කරණීය මෙත්ත සූත්‍රයෙන්)

නිරහංකාර සිනහව ප්‍රසන්නය. සිත් ගන්නේ ය. ඔවුනොවුන් අතර සුහදත්වයක් ඇති කරන්නේ ය. සිනහ වෙන්නට නොදන්නෝද වෙති. සිතා මතා සිනහව යටපත් කරගත්තෝ ද වෙති. ඒ බොහෝ විට මානයෙන් යුතු පුද්ගලයන් ය. මානය යනු මැනීමය. උඩඟු සිතින්, තමන් ගැන වඩාත් ඉහළින් සිතීම අතිමානයයි. මානය නැත්තෙකු වීම අනතිමානයයි. මානය සම්පූර්ණයෙන් නැති කළා යන්න ඉන් අදහස් නොවේ. අනතිමානී පුද්ගලයා කෙරෙහි යම් තරමකට මානය තිබේ. එහෙත් අනවශ්‍ය ලෙස වඩා ඉහළින් සිතන්නේ නැත. ‘නිහතමානී’ වන්නේ, මානය සම්පූර්ණයෙන් දුරු කළා වන්නේ නික්ලේශී උතුමෙකු පමණි. එනම් නිර්වාණය පසක් කළ උතුම් පුද්ගලයෙකු පමණි. පෘථග්ජන පුද්ගලයකුට නිහතමානී යන යෙදුම භාවිත කළ නොහැකි ය.

සන්සුන් සිතකට ...

සෝණ හාමුදුරුවෝ ඉතා සියුමැලි , මුදු මොළොක් ස්වභාවයෙන් යුක්ත ජීවිතයක් ගත කළ හාමුදුරු කෙනෙක්. එක් කලෙක සීත වනයට වැඩම කළ උන්වහන්සේ ‘සක්මන් භාවනාව’ පුරුදු පුහුණු කළා. සක්මන් භාවනාව කියන්නේ ඇවිදින විට සිහිය පිහිටුවා ගැනීමයි.

දිගින් දිගටම භාවනාවේ යෙදුණත් සෝණ හාමුදුරුවන්ට කිසිම මාර්ගඵලයකට පත්වෙන්නට හැකි වුණේ නෑ. චිත්ත සමාධියක් ඇති වුණෙත් නෑ. එහෙත් උත්සාහය අත් නොහළ උන්වහන්සේ මොනතරම් සක්මන් භාවනාවේ යෙදුනාද කියනවා නම් දෙපා පැළී ලේ ගලන්නට පටන් ගත්තා. දෙපයින් සක්මන් කිරීම නවතා දණගාමින් සක්මන් කරන්නට පටන් ගත්තා. දෙදණත් පැළී රුධිරය ගලා ගියා. මේ විදිහට මොන තරම් උත්සාහ කළත් සෝණ හාමුදුරුවන්ට තමන්ගේ අරමුණට ළඟා වෙන්නට හැකි වුණේ නෑ.

‘මම මොනතරම් උට්ඨාන වීර්යයෙන් වැඩ කළත් බලාපොරාත්තු ඉටු කරන්නට බැරි වුණා.’එසේ සිතමින් සෝණ හාමුදුරුවන් සිවුරු හැර නැවත ගිහිගෙදරට යන්නට කල්පනා කළා. මේ අවස්ථාවේ රජගහ නුවර ගිජු කුළු පව්වේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ පරචිත්ත විජානන ඥානයෙන් සෝණ හාමුදුරුවන්ගේ අදහස දැන ඉතා වේගයෙන් සීත වනයට වැඩම කළා.
“හැබෑද සෝණ, ඔබට මෙවැනි සිතක් පහළ වුණා නේද?”
බුදු හිමියන් විසින් උන්වහන්සේගෙන් ප්‍රශ්න කරනු ලැබුවා.සෝණ හිමියෝ බොහොම අවංකයි. බොරු කියන්නේ නෑ. ඒ නිසා පැකිළීමක් නැතිව “එහෙමයි බුදුරජාණන් වහන්ස” යනුවෙන් පිළිතුරු දුන්නා.

බුදු සිරුරෙහි අසිරිය

බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරය සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකුට වඩා වෙනස් වූ මහා පුරුෂ ලක්ෂණ තිස් දෙකකින් සමන්විතයි.එසේ වුවද, බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව ප්‍රමුඛස්ථානය හිමි වන්නේ මනුෂ්‍යයෙකුගේ ශරීර ලක්ෂණවලට වඩා ඔහු විසින් සමාජයට කරනු ලබන ක්‍රියාකාරකම් වල වැදගත්කම අනුව බවයි. වක්කලී තරුණයා බුදුරජාණන් වහන්සේගේ ශරීර ලක්ෂණ නිසාම උන්වහන්සේ ළඟ මහණදම් පුරන්නට කැමැත්ත පළ කළා. එම කැමැත්ත නිසාම වක්කලී තරුණයා මහණදම් පුරමින් බුදුරජාණන් වහන්සේගේ රූප ස්්වභාවය බලමින් උන්වහන්සේ සමීපයෙහිම වැඩ වාසය කළා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයෙහි පිහිටා තිබෙන මහා පුරුෂ ලක්ෂණ තිස් දෙක පිළිබඳව ලක්ඛන සූත්‍රයෙහි කරුණු සඳහන් වෙයි.

ඉධ භික්ඛවේ මහාපුරිසො
සුපපතිට්ඨිත පාදො
හෝති යම්පි භික්ඛවේ මහා පුරිසො සුපපතිට්ඨිතපාදො හෝති
ඉධම්පි භික්ඛවෙ මහා පුරිසස්ස
මහා පුරිස ලක්ඛණං භවාති

බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරයෙහි පිහිටා තිබුණ පළමු වන මහා පුරුෂ ලක්ෂණය නම්,
1. මනාව පිහිටි පා ඇති බවයි.
සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකු පය බිම තබන අවස්ථාවෙහි යටි පතුලෙහි කොටසක් පමණක් පොළොවට ස්පර්ශ වෙයි. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල සම්පූර්ණ කොටසම මහ පොළොවෙහි ස්පර්ශ වෙයි.එය බුද්ධ ශරීරයෙහි පැවතුන මහා පුරුෂ ලක්ෂණයක් වෙයි. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙකුගේ යටිපතුල සම්පූර්ණයෙන්ම මහ පොළොවෙහි ස්පර්ශ වන්නේ නැහැ.
2. යටිපතුලෙහි චක්‍ර සටහන් පිහිටා ඇති බව
බුදුරජාණන් වහන්සේගේ පාදවල යටිපතුල් යුවළෙහි මඟුල් ළකුණු කිහිපයක් සහිතව චක්‍ර සටහන් යුවළක් පිහිටා ඇති බව සඳහන් වෙයි. එය තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි පැවැති මහා පුරුෂ ලක්ෂණයක් වෙයි.

සත්‍ය ගවේෂී වූහ...


සත්‍ය ගවේෂකයෙකු වශයෙන් සිද්ධාර්ථ බෝධි සත්ත්වයන් වහන්සේ තුළ පැවැති පර්යේෂණාත්මක ගතිලක්ෂණ සහ තීක්ෂණ ඥානය, විශේෂ ගතිගුණවලින් පරිපූර්ණ වූවක් බව අරියපරියේසන සූත්‍රය, මහාසීහනාද සූත්‍රය, වීමංසක සූත්‍රය ආදී දේශනාවලින් පැහැදිලි වේ.
ඇසළ මස පසළොස්වක දින ගිහිගෙය අත්හැර දමා අභිනිෂ්ක්‍රමණය කළ සිද්ධාර්ථ තාපසයාණෝ විමුක්ති ගවේෂකයෙකු බවට පත්වූහ. ආලාර කාලාම, උද්දකරාම පුත්ත තවුසන් වෙත ගිය සිදුහත් තවුසාණන්ට, ඔවුන් දත් සියල්ල ඉගෙනීමට ගතවූයේ කෙටි කාලයකි. ගුරුවරයා විසින් කියන ලද දෙය ඇසූ පමණින්ම සියල්ල මතක තබා ගැනීමට හැකියාවක් සිදුහත් තවුසාණන්ට තිබුණි.

අවසන් බුදු වදන

වෙසක් පුර පසළොස්වක පොහොය සමස්ත ලෝකවාසී ජනතාවට සුවිශේෂී දවසක් වෙයි. බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය හෙවත් මහ බෝසතාණන් වහන්සේගේ උප්පත්තිය නොහොත් අවසාන උපත සිදුවූ සුවිශේෂී දවසයි. එසේම, බෝසතාණන් වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණයෙන් පසුව ලොවුතුරා බුද්ධත්වයට පත්වුණ අසිරිමත් දවසයි. ආයු සංස්ඛාර අතහැර පරිනිර්වාණයට වැඩම කළ අවස්ථාවයි.
බුදුරජාණන් වහන්සේගේ ආරම්භක දේශනය ‘අනේක ජාති සංසාරං’ ගාථාවෙන් ආරම්භ කර ‘ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතෙන න සේවි තබ්බා’ පදයෙන් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී ආරම්භ කළා.

Sunday, May 28, 2017

සතුටින් ජීවත් වෙන්න නම් යහපත් සිතුවිලි ඇතිකරගන්න

දෙහදක් එකතු වන මේ මංගල මල් සමයේ ජීවිතයට කොයිතරම් නම් දේවල් එකතුකර ගන්න තියෙනවාද? අද සදහම් සෙවණ තුළින් මේ පිළිබඳ දහම් දෙසුම අමරපුර නිකායේ අමරපුර පාර්ශ්වයේ මහානායක අග්‍රමහා පණ්ඩිත,පූජ්‍යපාද කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේගෙනි. 
වර්තමානයේ අලුතින් යුග දිවියට ඇතුළුවන තරුණ පරම්පරාවේ ජීවිතවල ප්‍රශ්න වැඩියි. සමහර අය කියනවා මම අවුරුදු හතක් තිස්සේ යාළුවෙලා හිටපු කෙනාගෙ හැටි දැනගත්තෙ කසාද බැඳලා ගිහින් සතියෙන් කියලා. තවත් සමහර තරුණ පිරිමි ළමයි කියනවා මම අවුරුදු දහයක් දොළහක් ආදරය කළේ මේ ගෑනු ළමයට ද කියලා හිතුණේ පවුල් ජීවිතය ගත කරන්න අරගත්තට පස්සෙ කියලා. මේ හැම කතාවෙම සත්‍යයක් තියෙනවා. ඒ මොකද ආදරය කරන කාලසීමාවයි පවුල් ජීවිතය ගත කරන කාලසීමාවයි අතර ලොකු වෙනස් තියෙනවා.
ආදරය කරන කාලේ ඔය ඇත්තන්ගෙ ජීවිතය වෙන්නෙ පුංචි පරාසයක්.

Saturday, May 27, 2017

සතර ආකාර උතුම් පැවතුම්

 ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් කළ ධර්මානුශාසනාවක් ඇසුරිනි
මානුෂීය ධර්ම ලෙස පුරුදු පුහුණු කර ගත හැකි සතර ආකාර උතුම් පැවතුම් ‘සිව් බඹ විහරණ’ ලෙස සම්බුදු දහමේ ඉගැන්වෙනවා. ඒ පැවතුම් අතර ‘මෙත්තා’ හෙවත් මෛත්‍රිය යන්න අපට හුරු පුරුදු වචනයක්.එහෙත් ,හිතන තරම් පහසුවෙන් පුරුදු පුහුණු කළ නොහැකි ගුණයක්.
මෛත්‍රි ගුණයෙහි ඇල්මක් නෑ. බැඳීමක් නෑ. පිරිසුදුයි. ‘සියලු සත්ත්වයෝ සුවපත් වේවා!යි කියන විට අපි සියලු සතුන් කෙරෙහි ඇළෙන්නේ නෑ. පේ‍්‍රමයෙන් බැඳීමක් නෑ. එසේ නොඇළුණු සිතින් අනුන්ගේ සැනසීම ප්‍රාර්ථනා කරන විට අපේ සිතත් සැනසෙනවා. නිරෝගී වෙනවා.
අන් දුකේදී සිත කම්පාවීම කරුණාවයි. දුකෙන් මුදවා ගැනීමට තිබෙන ඕනෑකමයි. ‘මුදිතා’ නම් මොළොක් බවයි.

Friday, May 19, 2017

භූ චලන ගැන බුදුවදනක්‌

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලු ලෝකවාසී ජනතාව වෙනුවෙන් මෙත් කරුණායෙන් අවුරුදු අසූවක්‌ පමණ වැඩ වාසය කොට අවසානයේ චාපාල චෛත්‍යයෙහි (ආරාමයෙහි) වැඩවසන සමයේ උන්වහන්සේ මනා සිහිනුවණින් යුතුව ආයුසංස්‌කාරක අත්හළ සේක. එවිටම මහා භූමි චලනයක්‌ ඇති විය. ආනන්ද තෙරුන් බුදුන් වහන්සේ වෙත පැමිණ භූමි චලනයක්‌ ඇතිවීමට හේතු විමසීය.
"අටඨ ඛො ඉමෙ ආනන්ද හේතු..." මහා භූමි චලනයක්‌ ඇතිවීමට හේතු අටකි. යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනය ආරම්භ කළ සේක.

සියළු බුදුරජාණන් වහන්සේලාට නොවෙනස්වන කරැණු

1. වැඩ වසන්නේ එකම ස්ථානයක පිහිටියාවූ බෝධි පර්යංකයක වීම.
2. පළමු ධර්ම දේශනාව දේශනා කරන්නේ ඉසිපතනයෙහි මිගදායේ වීම.
3. දිව්‍ය ලෝකයට වැඩම කොට නැවත මිනිස් ලොවට වැඩම කරන්නේ සංකස්ස නගරයට වීම.
4. ජේතවනාරාමය නම් සුවඳ කුටිය ගන්ධ කුටිය එකම සිථානයක පිහිටා තිබීම.


සියළු බුදුරජාණන් වහන්සේලාට අසමානවන කරැණු...

Saturday, May 13, 2017

අසංඛත වූ නිවන නොතිබෙන්නට...

සත්ත්වයන්ගේ සිත් සතන් තුළින් ශෝක හුල් උදුරා දමන උත්තම ශල්‍ය වෛද්‍යවරයාණන් වහන්සේ ලෙස තුන්ලොවේ ගුණරාව පැතිර ගියේ අපගේ සම්බුදුරජාණන් වහන්සේ ගැනයි. එක්‌දිනක්‌ සම්බුදුහිමියන් සම්මුඛ වීමට පැමිණි තැනැත්තෙක්‌ උන්වහන්සේගෙන් මෙසේ විමසා සිටියා. ''මේ වේගයෙන් ගලායන සංසාරය නවතින්නේ කොතැනකද? ඇවිද ඇවිද යන සංසාර ගමන නවතින්නේ කොතැනකද? නාමයත්, රූපයත් ඉතිරි නැතිව නිරුද්ධ වන්නේ කොතැනද? යනුවෙනි.

සසර ගමනින් නිදහස්‌ නොවූ කෙනකු නම් මෙබඳු පැනයක්‌ කෙසේ විසඳන්නේද? එහෙත් ලෝ තතු මනාව දුටු අනාවරණ වූ ප්‍රඥ ඇති සම්බුදු හිමියෝ ඉහතින් විමසූ පැනයට මෙසේ පිළිතුරු දේශනාකොට වදාළ සේක.