අටලෝ දහමෙහි මූලික වශයෙන් කරුණු අටක් විස්තර වෙනවා. එයින් හත්වැනි කාරණය තුළ සැපය විස්තර වෙනවා. මේ සැපය ලෞකික සහ ලෝකෝත්තර සැපය කියා කොටස් දෙකකට බෙදෙනවා.
අපේ සමාජයේ ලෝකෝත්තර සැපයට වඩා ලෞකික සැපයටයි. බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ. ආහාරපාන, ඇඳුම් පැළඳුම්, නිවාස ඇතුලු එදිනෙදා ජීවිතයේ පරිභෝජනය කරනු ලබන භෞතික සම්පත්වල ඒකරාශීත්වය භෞතික සැපය ලෙස සලකනවා. මේ කියන සැපය අපි බලාරොත්තු වන්නේ හුදෙක් ඉඳුරන් පිනවීම හරහා. ඔබ දන්නවා ඉන්ද්‍රියය පහක් තිබෙනවා. ඒ ඉන්දි‍්‍රයය පහ නිතර නිතර පිනවීමට අප උත්සාහ කරනවා.ඇස රූපයෙන්, කන ශබ්දයෙන්, නාසය ගද සුවඳින්, දිව රසයෙන්. කය පහස ආදී ලෙසින්. විඳීම් වලට සැපය කියා කියනවා. ජීවත් වෙනවා කියා අප කියන්නේ අර කියන අරමුණු පහෙන් ලබන පිනවීමයි. රැකියා, ව්‍යාපාර හෝ කර්මාන්ත කටයුතු, ගොවිතැන් ආදී අනේක විධි දෑ කරන්නේ ඉහත කී අරමුණු පහ පිනවීමටයි.

































