එදා ඇසළ පුරපසළොස්වක පෝය දවස. මීට හරියටම වසර දෙදහස් හයසිය තුනකට පෙර බරණැස ඉසිපතනාරාමයේ මිගදාය නම් වූ පුණ්‍ය භූමියේ එක් පසෙකින් සැඳෑ හිරු අවරට බැසයන මොහොත. අනෙක් පසින් ඇසළ සඳ අහස් ගැබට නැඟී එන මොහොත. බුද්ධගයා ශුද්ධ භූමියේ සිට සතියක් පුරාවට පා ගමනින් ලෝකවාසී සකල සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් කාරුණික තථාගතයන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් විශිෂ්ට වූ ආර්ය සත්‍යය පස්වග තවුසන් උදෙසා දේශනා කරන්නට මිගදා මිහිකත සනසවමින් වඩිනා මොහොත. ශාන්ති නායකයන්ගේ ප්‍රථම ධර්ම දේශනාව හෙවත් උතුම් ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කිරීමට වඩිනා සොඳුරු මොහොත ඇසළ පසළොස්වක පෝය දා සන්ධ්‍යා භාගයේදී උදා වුණා.
‘වරුණ’ සහ ‘අසී’ යන ගංගා දෙකට මැදිව නිර්මාණය කරන ලද වාරාණසී නම් වූ ‘බාරාණසී’ නමින් ප්‍රකට බරණැස් නුවර මුවන්ට අභය දානය දෙන ලද තැනක් නිසා ‘මිගදාය’ නමින් හැඳින්වුණ සෘෂිවරුන් බිමට බැස්ස තැන නිසා ‘ඉසිපතන’ නමින් නම් වුණ ශුද්ධ භූමිය උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව හෙවත් “ධම්මචක්කප්පවත්තන” සූත්‍රය පැවැත් වූ පින්බිමයි. ‘ධම්ම’ යනු ‘ධර්මයයි’. ‘චක්ක’ යනු ‘රෝදයයි’. ‘පවත්තන’ යනු ‘ඉදිරියට පෙරළා යැවීමයි’. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දහම් පණිවුඩය ප්‍රථම වතාවට ජනතාව වෙතට පෙරළා හළ සූත්‍රය නිසා මෙය ධම්මචක්කප්පවත්තන යන නමින් හැඳින්වෙනවා. මිගදායෙහි රැස්ව සිටි පස්වග තවුසන් අමතා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ මේ විශ්මිත අනාවරණය ප්‍රථම වතාවට හෙළි කළා.
පින්වත් මහණෙනි, නිවන් මඟ සොයා යන අය විසින් අනුගමනය නොකළ යුතු අන්ත දෙකකි. ඒ තම ශරීරයට අධික ලෙස සැප දීම හෙවත් ‘කාමසුඛල්ලිකානු’ යෝගය සහ තම ශරීරයට අතිශයින් ම දුක් දීම හෙවත් ‘අත්තකිලමථානු’ යෝගයයි. ශරීරයට සැපදීම නිසා ඇලී ම ද, දුක්දීම නිසා ගැටීමද ඇති වෙනවා. මේ සිතිවිලි දෙකම සත්‍යාවබෝධයට බාධාවක්. ඒ බව වටහා ගත් සිදුහත් බෝසතාණෝ එම අන්ත දෙකම අත්හැර මැදුම් පිළිවෙත හෙවත් කිසිවක, නොඇළී, නො ගැටී කටයුතු කිරීමේ මානසිකත්වය දියුණු කළා. මේ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය බුද්ධිමත් ජනතාවගේ නුවණැස විවර කරන්නට හේතුවන (චක්ඛුකරණී) දැනුම වැඩි කරන්නට හේතු වෙන (ඤාණකරණී) ගැඹුරු දැනුමට හේතුවෙන (අභිඤ්ඤාය) මනා අවබෝධයට උපකාරි වෙන (සම්බෝධාය) නිවනට හේතු වෙන (නිබ්බාණාය) එකක් බව වටහා ගත් මහ බෝසතාණන් වහන්සේ එමග අනුගමනය කොට සත්‍යාවබෝධයට අවශ්‍ය මඟ සලසා ගත් බව පස්වග මහණුන්ට මෙහිදී පැවැසුවා. එසේම තමන් වහන්සේ චතුරාර්ය සත්‍යය වටහා ගත් ආකාරය පැහැදිලි කළා. දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය හා මාර්ග සත්‍යය යන ආර්ය සත්‍ය හතර තමන් වහන්සේ විසින් වටහා ගත් බවත්, ඒවා වටහා ගත්තේ සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ යන ඤාණ තුනකින් යුතුව බවත්, ඒ වට තුනෙන් දොළොස් ආකාරයට ආර්ය සත්‍යය තේරුම් ගත් බවත්, එය කිසිඳු ගුරුවරයෙකුගේ උපදේශයෙන් තොරව වටහා ගත් බවත් පැහැදිලි කළා. මේ සම්බන්ධයෙන් තමන් වහන්සේට නුවණැස පහළ වුණ බවත් (චක්ඛුං උදපාදි) දැනුම පහළ වුණු බවත්, (ඤාණං උදපාදි) ප්‍රඥාව පහළ වුණු බවත්, (පඤ්ඤා උදපාදි) විද්‍යාව පහළ වුණු බවත් (විජ්ජා උදපාදි) මෝහන්ධකාරය නසා ප්‍රඥා ලෝකය පහළ වුණු බවත් (ආලෝකෝ උදපාදී) බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන්ට වදාළා. මේ සියලු ඤාණයන් තමන් වහන්සේ උපදවා ගත්තේ පෙර කිසිදු ගුරුවරයෙකුගෙන් නොඇසු විරූ දහමක් ලෙසින් බවත්, තමන් වහන්සේගේම නුවණින් මේවා අවබෝධ කර ගත් බවත් වදාළා. තමන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය ප්‍රකාශ කොට සිටියත්, බුදුවෙන්නට නම් ශරීරයට දුක් දිය යුතුමය යන අදහසේ සිටි පස්වග තවුසන් මැදුම් පිළිවෙතින් බුද්ධත්වය ලැබූ බව පිළිගැනීමට මැලි වුණා. එහිදී බුදුරජාණන් වහන්සේ සත්‍යයේ පිහිටා තමන් වහන්සේ මීට පෙර “මම බුදු වුණෙමි” යැයි පවසා ඇද්දැයි පස්වග තවුසන්ගෙන් විමසා සිටියා. එසේ සිදු නොවුණු බව පස්වග තවුසන් පවසද්දී තථාගතයන් වහන්සේ තමන් වහන්සේ දැන් එබඳු ප්‍රකාශයක් කරන්නේ සැබවින්ම තමන් එම තත්ත්වයට පත්වී ඇති නිසා බවත්, බුද්ධත්වය සැඟවිය නොහැකි බවත්, මේ අවසන් උපත බවත්, මින් මතු උපතක් නොමැති බවත් පස්වග තවුසන්ට වදාළා. උන්වහන්සේ වදාළ දේ ශ්‍රද්ධාවෙන් පිළිගෙන ඒ දෙස සිහිනුවණින් බැලූ කොණ්ඩඤ්ඤ තාපසතුමාට මේ ලෝකයේ හට ගන්නා සුළු යමක් වේද ඒ සියල්ල නැසෙන සුළුය යන උතුම් අවබෝධය ඇතිවුණා. සියලු සංස්කාරයන්ගේ අනිත්‍යතාව වටහා ගන්නවාත් සමගින් සක්කාය දිට්ඨිය, විචිකිච්චා, සීලබ්බතපරාමාස යන සංයෝජන ධර්ම පහව ගියා. දහම් ඇස පහළ වුණා.(ධම්මචක්ඛුං උදපාදි) කොණ්ඩඤ්ඤ තාපසතුමා සෝවාන් ඵලයට පත් වුණා. බුදුරජාණන්වහන්සේ මේ අසිරිමත් දම් දෙසුම පවත්වා අවසන කොණ්ඩඤ්ඤ තාපසතුමා සෝවන් වනවාත් සමගින් ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් බිහි වුණා. බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් ලොව පහළ වුණා.
කොණ්ඩඤ්ඤ තාපසතුමා සෝතාපත්ති ඵලයෙහි පිහිටනවා දුටු තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ හදවතෙහි නැඟුණ නිරාමිස සතුට උදානයක් ලෙසින් ‘අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ. අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ’ (කොණ්ඩඤ්ඤට වැටහුණා. කොණ්ඩඤ්ඤට වැටහුණා) යනුවෙන් උදාන වාක්‍ය ප්‍රකාශ කළා.
මේ අසිරිමත් අවස්ථාවේ දම්සක් පැවැතුම් සුතුර ශ්‍රවණය කිරීමට එහි පැමිණ සිටි බූමාටු දෙවියන් අතිශයින්ම සතුටට පත්ව සාධුනාද පැවැත්වූවා. ලොව ප්‍රථම වතාවට බරණැස ඉසිපතනාරාමයේ මිගදායෙන් මේ විශ්වය සිසාරා සාධු නාදය පැන නැංඟා. සතුටින් ඉපිළ ගිය දෙවියන් මේ භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතනාරාමයේ මිගදායේදී උතුම් වූ ධර්මචක්‍රය ලොව වෙසෙන අන් කිසිම ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ කිසිවෙකුට හෝ මෙය මෙසේ නොවේ යැයි කියා ආපස්සට පෙරළිය නොහැකි වන සේ ඉතා මැනවින් පෙරළා හැරියා යැයි පවසමින් සාධු නාද පැවැත්වූවා.
එම බූමාටු දෙවියන්ගේ සාධු නාද හඬ අසා අනුපිළිවෙළින් චාතුර්මහාරාජික, තාවතිංස, යාම, තුසිත, නිම්මාණරතී, පරනිම්මිතවසවත්තී යන දෙව්ලොව දෙවියන් සාධු නාද පැවැත්වූවා. ඉන්පසු බ්‍රහ්මපාරිසජ්ජ බ‍්‍රහ්ම ලෝකයේ සිට අකණිට්ඨ යන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයන්ද අනුපිළිවෙලින් සාධු නාද හඬ පැවැත්වූවා.
එදා බරණැස ඉසිපතනාරාමයේ මිගදායෙන් නැඟී ඒ සාධු නාද හඬ මුළු මහත් දස දහසක් ලෝක ධාතුවම කම්පා කරවමින් විශ්වය පුරාම පැතිරී ගියා. එම මොහොතේ දස දහසක් ලෝක ධාතුවම තදින් කම්පා වුණා. සෙලවී ගියා. සියලු දෙවියන්ගේ ආලෝක ධාරාවන් පරයා යන අප්‍රමාණ වූ ආලෝක ධාරාවක් මුළු ලෝක ධාතුව තුළම පැතිරි ගියා. එම අවස්ථාවේ නැවත බුදුරජාණන් වහන්සේ කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේට සත්‍යය අවබෝධ වූ බව ප්‍රකාශ කරමින් උදානය පළ කොට සිටියා. එතැන් පටන් කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ හඳුන්වන තැන්වලදී ප්‍රථම වතාවට සත්‍යය අවබෝධ කරගත් ආර්ය ශ්‍රාවකයා නිසා උන්වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ යනුවෙන් යෙදීම සිදුවුණා.මේ උතුම් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තථාගතයන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සේම, ලොව ප්‍රථම වතාවට ආර්ය ශ්‍රාවකයා බිහිකළ, දහම් ඇස පහළ කළ, අවිද්‍යාව නැති කළ සූත්‍රයයි. විද්‍යාව පහළ කළ සූත්‍රයයි. ප්‍රඥා ලෝකය පහළ කළ සූත්‍රයයි. තෙරුවන් පහළ කළ සූත්‍රයයි. සාධු නාදය ලොව පහළ කළ සූත්‍රයයි. අද දක්වා ලොව වසන පින් කැමැති දෙවියන් අසන්නට පි‍්‍රය කරන සූත්‍රයයි. එනිසා නිරන්තරයෙන්ම මේ සූත්‍රය තම නිවෙස්වල සජ්ඣායනා කිරීමෙන් හෝ සජ්ඣායනා කරවා ගැනීමෙන් ඔබටත් විශාල ආශිර්වාදයක්, යහපතක් උදාවෙනු නො අනුමානය.
No comments:
Post a Comment