කෙතරම් දේශනයන් ශ්‍රවණය කරනු ලැබුවත්, එම කරුණු වටහා ගැනීමට නොහැකිවන බාධකය මාන්නාධික බවයි. නෙළුම් කොළය මත ජලය නොරැඳෙන්නාසේ ද පිරුණු බඳුනකට වතුර වත්කළාට ඵලක් නැතුවා සේද මාන්නාධික මනස ක්‍රියාකරයි.
සෙන් කතාවකට අනුව සෙන් ගුරුවරයෙකුගේ ඥානය පිළිබඳව බටහිර ලෝකය පුරා ප්‍රචලිත වීමත් සමඟම බටහිර මහා පඬිවරයෙකු සෙන් ගුරුතුමා සොයා පැමිණෙයි. ආසියාතික මැද පෙරදිග මහ ගුරුතුමන්ලා අප තරම් දාර්ශනිකයන් වෙන්නේ කොහොමද? මම ඔහු දණගස්වා එන්නම් යනුවෙන් බටහිර පඬිවරයාද ප්‍රකාශ කරයි. ගුරුතුමා විසින් සාදන ලද තේ භාජනය රැගෙන බටහිර පඬිවරයා ඉදිරියට පැමිණෙන සෙන් ගුරුතුමා භාජනය පිරෙන තෙක් තේ වත්කරයි. භාජනය පිරී ඉතිරී පීරිසියෙන් ඉවතට හැලී යන තෙක් තේ වක්කරමින් සිටින අවස්ථාවෙහි ඔබ මහා බුද්ධිමත් උගත් පඬිවරයෙකු බවට මම සිතාගෙන සිටියාට ඔබ තේ ටිකක් වත්කරගන්න දන්නේ නැහැනෙ. තේ දෝරගලමින් අපතේ යන ආකාරය තේරෙන්නේ නැද්ද?
ඔබත් සමඟ කතා කිරීමත් එවැනි ඵලක් නැති කාර්යයක්.ඔබතුමා මෙම ස්ථානයට පැමිණුනේම ඔබතුමා බොහෝ දේ දන්නවා කියා සිතාගෙන.අදට තේ ටිකක් පානය කරමින් ගිහින් වෙනත් දවසක පැමිණෙන්න. යනුවෙන් මාන්නාධික පුද්ගලයාට කෙතරම් පැහැදිලි කිරීම් සිදුකළත්, දේශනයන් ශ්‍රවණය කළත් ,ඇති ඵලක් නැහැ.සියලු දේ අපතේ යයි. අපේ රටේ මිනිසුන් බණ අසන තරමට ඔවුන් නිවැරැදි නොවීමට මාන්නාධික බවත් එක් හේතුවක්.
අප ඉගෙන ගෙන තිබෙන කාරණා තරමට අප වෙනස් නොවෙන්න එවැනි හේතු බලපානවා. තණ්හා මාන දිට්ඨි යන සංයෝජන රහත් වෙන තුරු පැවතුණත් අඩුම වශයෙන් ඔබ අනතිමානි පුද්ගලයෙකුවත් විය යුතුයි.ඔබ කතා කරන්න. මම අසාගෙන සිටින්නම්. වරදක් වූ විට සමාවන්න යනුවෙන් ප්‍රකාශ කරන්න , ලස්සන දෙයක් ලස්සන බව අගය කරන්න ඔබගේ මාන්නය අඩුකර ගත යුතුයි. ඔබගේ මාන්නය අඩු නොවන තාක් ඔබ නිවැරැදි පුද්ගලයෙකු වන්නේ නැහැ.
සැකය හෙවත් ශ්‍රද්ධාව නොමැතිකම හතරවන කාරණාවයි. අතීතයේ මිනිසුන් අප තරම් ධර්ම දේශනා ශ්‍රවණය නොකළත්, ඔවුන් ළඟ ශ්‍රද්ධාව තිබුණා. වර්තමානය වන විට ශ්‍රද්ධාව නැතිව ධර්මය ශ්‍රවණය කරන නිසාම ධර්මය අවබෝධ වන්නේ නැහැ. සැකය තබාගෙන ධර්මය ශ්‍රවණය කළාට ඇති ඵලක් නැහැ.ධර්මය වැටහීමට ශ්‍රද්ධාව තිබිය යුතුයි. ශ්‍රද්ධාව ඔබ බහුශ්‍රැතයෙකු බවට පත්කරයි. ශ්‍රද්ධාව ඔබට බොහෝ කාරණා වටහා දෙයි.පැරැණි මිනිසුන් ශ්‍රද්ධාවන්තයන් වූ නිසාම ඔවුන් ධාර්මික මිනිසුන් වුණා. බහුශ්‍රැතවීමට පවතින බාධාවන් ලෙස දේශකයාට ද්වේෂ කිරීමත්, දේශනයට ද්වේෂ කිරීමත්, මාන්නාධිකබවත්, ශ්‍රද්ධාව නොමැතිකමත් , කර්ම විපාක බලවත්වීමත් දැක්විය හැකියි.
බහුශ්‍රැත වීම යනු කටපාඩම් ඇති පුද්ගලයෙකු නොවෙයි. එවැනි පිරිස් බුදු සමය තුළ ඕනෑතරම් සිටි බව සඳහන් වෙයි. සුත්‍ර,විනය,අභිධර්ම දැන ගත්තත්, අභ්‍යන්තරයෙහි පැවතුණ හිස් බව නිසාම ත්‍රිපිටකධාරී හිස් භික්ෂුව යනුවෙන් බුදුරජාණන් වහන්සේ ඇතැම් භික්ෂූන්වහන්සේලාට ආමන්ත්‍රණය කරනු ලැබුවා. මහා ප්‍රඥාවන්තයන් අතර අගතනතුරු ලැබිය යුත්තේ ආනන්ද හාමුදුරුවන් වුවත්, කට පාඩම් තිබෙන, දැනුම තිබෙන, මතක තිබෙන, භික්ෂුන් වහන්සේලා අතර අගතනතුරු ලබද්දි, සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතර අගතනතුර ලැබුවා. ආනන්ද හාමුදුරුවන් සූත්‍ර පිටකයත් ,අසූහාර දහසක් ධර්මස්කන්ධයත් මතකයෙහි රඳවා සිටියත්, එම සැම තත්ත්වයක්ම උන්වහන්සේගේ අවබෝධය බවට පත්ව තිබුණේ නැහැ.වචන දෙකක් ශ්‍රවණය කළ සැරියුත් මහතෙරුන් වහන්සේට අසුහාර දහසක් ධර්මස්කන්ධයම අවබෝධ වුණා. යේ ධම්මා හේතුªපභවා තේසං හේතු තථාගතෝ ආහ. යන ගාම්භීර පද පේළි දෙක ශ්‍රවණය වූ විට සෝතාපන්න වුණා.අවබෝධය යනු දැනුම නොවන බව අවබෝධ කර ගත යුතුයි. එතැනට ගමන් කිරීමට සංසාරික පුහුණුවක් තිබීම අවශ්‍ය වෙයි. සිප්පංච හෙවත් හැකියාවන් දියුණු කරගැනීම අවශ්‍ය වෙයි. පුද්ගලයෙකු බහුශ්‍රැත වූ පමණින් එම පුද්ගලයාට හෝ එම පුද්ගලයාගෙන් සමාජයට හෝ ලැබිය යුතු උපරිම ඵලය ලැබෙන්නේ නැහැ. දැනුම වගේම කුසලතාවයත් තිබීම අවශ්‍යයි. පසේ බුදුරජාණන් වහන්සේත්, ලොව්තුරා බුදුරජාණන් වහන්සේත්් අතර වෙනස අපට දැනෙන්නේද එවැනි ආකාරයටයි. පසේ බුදුරජාණන් වහන්සේට හොඳ අවබෝධයක් තිබුණත්,හැකියාවන් අඩුයි. සංසාරයේ පුහුණුවෙලා නොතිබුණ නිසාම අනෙකාට සන්නිවේදනය කිරීමේ දුර්වලතා පැවතුණ බව එයින් වැටහෙයි. එම නිසා දැනුම වගේම ඔබගේ විෂය පථයට අදාළ වන කුසලතා හෙවත් හැකියාවන් ඔබ තුළ උපරිමයෙන් දියුණු කරගත යුතුයි. යමි හැකියාවක් ඔහු සතුව පවතී නම්, එයම ඔහුගේ දැනුම වැඩි කරගැනීමට උපකාරී වෙයි. එයම පෙරළා ඔහුගේ ආකල්ප පැත්ත වර්ධනය කරගැනීමට උපකාර වෙයි.කිසියම් හැකියාවක් නොමැති පුද්ගලයෙකු එය දියුණු කළේ නැත්නම්, තමන්ට නොහැකිය යන මනෝභාවයන් තමා තුළ ගොඩනැඟෙයි. එම හීනමානය භයානක තත්ත්වයක්.එම හීනමානයෙන් පටන් ගෙන ඊර්ෂ්‍යාව බවට ප්‍රක්ෂේපණය වීමට පටන් ගනී. අනෙකාගේ ජීවිතවලට බලපෑම් එල්ල කරයි. නොහැකියාව පුද්ගලයෙකු තුළ නොවැඩිය යුතුයි. ගායනයද , නර්තනයද, යන්න වැදගත් නැතත් කුමක් හෝ හැකියාවක් වර්ධනය කර ගත යුතුයි. සංසාරය පුරා පුහුණුකළ දේ ඔබ සංසාරයෙන් රැගෙන පැමිණි විවිධ කුසලතාවයන් වෙයි. තමන් අඛණ්ඩව පුහුණු කරන දේ තමාගේ විඤ්ඤාණ දහරාවට එකතු වෙයි. පුබ්බේච කත පුඤ්ඤතා මතුවීමට නම්, පතිරූප දේශ වාසෝච තිබිය යුතුයි. නිවැරැදි පරිසරය ගොඩනැඟුන විගස එය අවදි වෙයි.දරුවන් තුළ පවතින කුසලතාවයන් මතු කිරීමට අම්මා තාත්තා ගුරුවරයා දක්ෂ විය යුතුයි. ගෙදර බුදුන් අම්මා යනුවෙන් කටට පැමිණි විගස ප්‍රකාශ නොකළ යුතුයි. එසේ ආමන්ත්‍රණය කිරීම සෑම දෙනාටම ප්‍රායෝගික නැහැ. මහපොළොෙවි පය ගසාගෙන සිටින නිවැරැදි අම්මා තාත්තා විය යුතුයි. දෙමව්පියන් තුළ කුසලතා වර්ධනය කරගන්නා අතර දරුවන් තුළද කුසලතා වර්ධනය කිරීමට දෙමව්පියන් කටයුතු කළ යුතුයි.
විනයෝච සුසික්ඛිතෝ හෙවත් ආකල්ප හොඳින් වර්ධනය කර ගත යුතුයි. මෙත්තා හෙවත් මෛත්‍රිය පදනම විය යුතුයි. අනෙකාට මෙත් වැඩිවීමට නම්,තමා තමාට මිත්‍රශීලී විය යුතුයි. තමා තමාට ආදරය කරමින් වටිනාකමක් දිය යුතුයි. තමාගේ ජීවිතයට අර්ථයක් දිය යුතුයි. අපගේ ජීවිතයට නිරෝගිකම ලබාදීම සුවපත්භාවය ලබාදීම කළ යුතුයි .තමන් සාර්ථක නම්, අනෙකාට සුවපත්භාවය ප්‍රාර්ථනා කළ හැකියි.
සෙසු ලෝකයාට මෙත්තා දියුණු කිරීමට තමන් මෙත් සිත දියුණු කරගෙන අනෙක් පිරිස තමන්ගේ මට්ටමට ගැනීමට මිතුරු සිතින් ජීවත් විය යුතුයි. කරුණාවන්තකම දියුණු කරගත යුතුයි. කරුණාවන්තකම ප්‍රායෝගිකව නිවස තුළින් දියුණු කළ යුතුයි.නිවස තුළ ලස්සන වචන පාවිච්චි කිරීමට,වැඩිහිටියන්ට කාරුණිකව සැලකීමට ඉගැන්වීමත් සිදුකිරීම ක්‍රියාත්මක කරුණාවයි. ක්‍රියාත්මක කරුණාව දරුවන් තුළ වර්ධනය කළ යුතුවා සේම අප තුළද වර්ධනය කර ගත යුතුයි., තමන්ට වඩා කරුණාවන්ත සිතක් නැත්නම්, කවදාවත් අනෙකාට උපකාර කළ නොහැකියි.තමා තුළ කරුණාවන්තකම ගොඩනැඟීමත් සමඟ අනෙකාගේ සියලු දුර්වලකම් සහ ප්‍රබලකම් උහුලාගත හැකි වෙයි.
හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජුනි 23 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment