Labels

Monday, July 10, 2017

අඩු වැඩ ගෙනෙයි හිත සුව ( කරණීය මෙත්ත සූත්‍රයෙන් )

අප්පකිච්ච’ ගුණය නම් ස්වල්ප වූ වැඩ ඇති බවය. එනම් අල්පකෘත්‍ය බවය. නිවනට බාධා ගෙන දෙන සංකීර්ණ වැඩ කටයුතුවලින් දුරු වී ස්වල්ප වූ කාර්යන්හි නියුතු වීමය. දේපළ පරිහරණය, සමිති සමාගම් නිලතල හෙබවීම, නඩු හබ, විහාර ආරාම තැනීම ආදී භික්ෂු ජීවිතයට අදාළ නොවන ක්‍රියාදාමයන් හි නිරත වීමෙන් භික්ෂූන් වහන්සේගේ ජීවිතය සංකීර්ණ වේ. ඒවායේ බර කරට ගත් විට මහණ දම් පිරීමට ඇති කාලය ස්වල්පය.

ගිහියාට ද එය පොදුය. එකිනෙකට සම්බන්ධයක් නැති, කෙළවරක් නැති, විවේකයක් නැති, තෘප්තියක් නොවන වැඩ රාශියකට යොමු වූ විට මනස අවුල් වේ. සිත සැහැල්ලු වන්නේ සරල වූ තරමටය. ඉටුකළ යුතු වගකීම්, යුතුකම් අත්හැරීම හෝ පැහැර හැරීම ඉන් අදහස් නොවේ. තෝරාගත් නිවැරැදි ධාර්මික කාර්යයන්හි නිරත වීම කළ යුතු වේ.
කම්මාරාමථා, භස්සාරාමථා ඝණ සංඝණිකා රාමථා නින්දා රාමථා යන ඇලීම්වලින් භික්ෂූන් වහන්සේ දුරස් විය යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. මේ කරුණු ගිහියාට ද වැදදගත් ය.
‘කම්මාරාමථා’ නම් නොයෙක් කාර්යයන්හි නිරතවිමය. සරලව කියනවා නම් වැඩ වැඩි කර ගැනීමය. වැඩ වැඩිවන විට ඒවායේ පිළිවෙළක් නැත. නිවැරැදි බවක් නැත.
අසාර්ථකය. සමහර අය ඉක්මනින් ධනවත් වන්නට සිතාගෙන බොහෝ ව්‍යාපාර අරඹති. එකකට එකක් සම්බන්ධ නැති වැඩ පටලවා ගනිති. ලාභ ලබමියි සිතා පාඩු විඳිති. අවසන සියල්ල අවුල් ජාලයක්ව අසාර්ථක කර ගනිති. මේ එක් නිදර්ශනයක් පමණි. වැඩක් අරඹා අවසන් වනතුරු ඒ පිළිබඳ සොයා බැලීම, අඩුපාඩු සැකසීම, කාලය කැප කිරීම, වෙහෙස වීම අත්‍යවශ්‍යය. අවුල් වූ මනසින් එවැනි වගකීමක් දැරිය නොහැකිය. සිත සැහැල්ලු වන්නට විවේකයද අවැසිය.
පලතුරු ගොඩක් දැක ආශාවෙන් ඒ සියල්ල දෑතට ගන්නට කළ උත්සාහයක් සිහිපත් කරන්න. සමබර බව ගිලිහී සියල්ල බිම විසිරී ගිය සැටි ඔබගේ මතකයට හැඟෙනු ඇති. දෝතට ගත යුතු වන්නේ ඊට හසුවන පමණට මිස වැඩිවන තරමට නොවේ.
‘භස්සාරාමථා’ යනු නිතර කතාවේ ඇලීමය. වැඩි කතාව කාලය කා දැමීමකි. ‘මිතභාණී’ යනු බුදු දහමේ ඉගැන්වෙන වැදගත් වචනයකි. තමන්ටත්, අනුන්ටත් වැඩ ඇති යහපත් ඵලදායී දේ පමණක් කතා කළ යුතු ය. දෙතිස් කතාවෙන් කල් ගෙවීම වටිනා කාලය විනාශ කර ගැනීමකි. වැඩ කටයුතුවලට බාධාවකි. එක් අවස්ථාවක මාධ්‍යවේදියෙක් ජපන් ජාතිකයෙකුගෙන්. “ඔබගේ රට ඉක්මනින් දියුණු වුණේ කෙසේද?” යි ඇසුවේ ය.
ඔහු දුන් පිළිතුරේ වුයේ කරුණු තුනකි. මගේ රටේ මිනිසුන් රටට ආදරය කරනවා. වෙලාවට වැඩ කරනවා. වැඩ කරන වෙලාවට වැඩ කරනවා යනුවෙනි. සිතන්න දවසක් අවසානයේ කතාවට පමණක් ඔබගේ කාලය මොන තරම් වැය වුණාද? ඒ නිසාම මොනතරම් වැඩ අතපසු වුණාද? කාලසටහනකට, වෙලාවට වැඩ කරන්නට පුරුදු වන්න. බාධා ගොඩ ගසා නොගන්න. කරන දෙය නිවැරැදිව ඉටු කරන්න පුරුදු වන්න.
‘නින්දාරාමථා’ නම් නින්දට පුරුදු වීමය. උදෑසන අට නවය වන තුරු නිදා ගන්නා තරුණ දරුවෝ මොන තරම් සිටිනවාද? මේ යන ගමන පරිහානියට මිස දියුණුවට නොවන බව තේරුම් ගන්නා විට ඔවුන්ට තමන් විසින් විනාශ කරන ලද, ගෙවුණ කාලය ඇතුන් ලවාවත් අද්දවා ගත නොහැකිය. දිනකට පැය හත හටක නින්ද නිරෝගී ජීවිතයකට ප්‍රමාණවත් ය.
නින්දට වැඩි කාලයක් ගෙව්වේ නම් ජීවිකාවක් කරන්නට කාලය සොයා ගන්නේ කෙසේද? සුළු කාලයකින් වැඩි වැඩක් කරන්නට යාම අවුල් ජාලාවකට මුලය. හිත නිරවුල් වූ විට අන්‍යයන් සමඟ ද ගැටලුය. සතුට පළා යන්නේ ය. ජීවිතය අතෘප්තිකරය. මේ නිසා වැඩ අඩු කරගෙන, කළ යුතු දේ හොඳට කිරීමට අධිටන් කරගන්න. මානසික සුවය, සතුට, සැහැල්ලු බව ලැබෙනු ඇත.



කරගොඩ උයන්ගොඩ 
මෛත්‍රීමූර්ති මහා නා හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් අවඅටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූනි 17 වන සෙනසුරාදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment