අයං වස්සාන කාලෝ’ මේ වස්සාන කාලයයි. සම්බුද්ධ ශාසනය ආරම්භයේ වස්සාන කාලයක, බරණැස් නුවර වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ප්‍රථම මංගල ධර්ම දේශනාව ඇසළ පුන් පොහෝ දිනයක සිදු කළා. උන්වහන්සේ ප්‍රථම වස් කාලය පංච වග්ගීය භික්ෂූන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේ හැට එක්නමක් සමඟින් බරණැස් නුවර මුවන්ගේ අභය භූමිය වන මිගදායේ ගත කළා.
මෙසේ ඇරැඹුණු සුපින්බර වස්සාන කාලයේ සම්මා සම්බුදු හිමියන් හතළිස් පස් වසක් විවිධ ගම් දනව්වල වැඩ විසුවා. ජේතවනාරාමයේ විසිපස් වසක් වැඩ හිඳ වස් කාල දහනවයක් ගත කළා. මේ කාල පරිච්ඡේදයේ දඹදිව දැවැන්ත වර්ෂාවන් ඇද හැළුණා. මේ නිසා අන්‍ය ආගමිකයන් මෙන්ම සතා සිවුපාවුන් පවා තමන්ගේ වාසස්ථාන තුළ වාසය කළා. සම්බුදුපියාණන් වහන්සේ ද , භික්ෂූන් වහන්සේට වෙහෙර විහාරස්ථානවල වැඩ සිටිමින් බණ භාවනාවෙන් වස්සාන කාලය ගත කරන්නැ’යි අනුදැන වදාළා. ඒ නීතිය අදටත් සුරකිමින් භික්ෂූන් වහන්සේ වස් සමාදන්වීම සිදු කරනවා.
ගමන් බිමන් අවම කර නිදහස් ජීවිතයට ගෞරව බහුමානයෙන් වස්සාන ශික්ෂාව ආරක්ෂා කර ගත යුතුයි. ගමනක් වඩින විට මා දින හතක් ඇතුළත වඩින්නෙමි’යි අදහසින් පිටවී දිනහතක් ඇතුළත නැවත ආරාමයට වැඩම කළොත් වස් කැඩෙන්නේ නැහැ. මේ තෙමස වස් අවසානයේ කඨින චීවර පූජාවෙන් භික්ෂූන් වහන්සේට පිදුම් ලබන්න භාග්‍ය ලැබෙයි. මේ සඳහා තම තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන පින වස්සාන කාලයේ දියුණු කරන්නට අධිෂ්ඨාන තබා ගත යුතුයි.
දාන, ශීල, භාවනා ත්‍රිවිධ පින්කම්වල යෙදී ශීල , සමාධි , ප්‍රඥා වැඩෙනසේ කටයුතු කළ යුතුයි. තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන උතුම් පින්දහම් දියුණුව මෙලොව පරලොව දෙලොවටම සුවදායකයි. සංසාර ගමනටත් සැපදායකයි. නිර්වාණය අවබෝධ කරන්නට වාසනාව ලැබෙයි. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය ආදී සතර සත්‍ය අවබෝධයට උත්සාහයෙන් වැඩ කටයුතු සිදු කළ යුතුයි. සද්ධා, වීර්යය, සති, සමාධි, ඥාන වැඩෙන සේ ,බෝධි පාක්ෂික ධර්ම වැඩෙන ලෙස කටයුතු කිරීමෙන් ලැබෙන පින බොහොම ප්‍රභලයි.
බුදු සසුනේ ආරම්භය ඇසළ පුන් පොහෝ දවසක සිදු වුණා. බුද්ධරත්නය , ධම්මරත්නය පහළ වුණේ බුද්ධගයාවෙහිදියි. සංඝරත්නය පහළ වුණේ බරණැස් නුවර ඉසිපතනාරාමයෙහිදියි. මෙසේ ආරම්භ කළ බුද්ධ, ධම්ම, සංඝ ත්‍රිවිධ රත්නය නොහොත් තේවාචික සරණ යාම අද දක්වාම නිබඳව ගලා ආවා.
ලොවේ සෑම රටකම තිබෙන විහාරස්ථාන රැසක බණ, භාවනා කටයුතු ව්‍යාප්තව බුදු දහම ලොවේ ශීඝ්‍රයෙන් පැතිරෙනවා. බුදු දහම අවිහිංසාවාදී ධර්මයක් මෙන්ම පංච ශීලය රැකිය යුතු දහමක්. ඒ නිසා ඥානවන්තයෝ ප්‍රිය මනාප කරන මේ සුමධුර දහමට ගරු බුහුමන් කරමින් සුරක්ෂිතව දියුණු කරනවා.
එසේනම් වස්සාන කාලයේ ශීල, සමාධි,ප්‍රඥා සාර්ථකව වැඩෙන සේ කටයුතු කරන්න, උදේ සවස බුදුන් නැමැඳ, බණ, භාවනා වැඩිය යුතුයි. වැඩි වශයෙන් බවුන් වැඩිය යුතු සුවිශේෂී කාලපරිච්ඡේදය වන්නේ වස්සාන කාලයයි. ඒ පින්බර කාලය අපි මෙසේ අර්ථවත් කර ගනිමු.
පසුගිය ලිපි පෙළින් සඳහන් කළේ ලෝකයටම මෙත් වැඩීමයි. එය තවත් දිශා වශයෙන් ඉදිරියට දියුණු කළ යුතුයි. නැගෙනහිර දිශාවෙහි සියලු සත්ත්වයෝ, සියලු ප්‍රාණීහු , සියලු භූතයෝ, සියලු පුද්ගලයෝ, සියලු ආත්ම භාව ඇත්තෝ, සියලු ස්ත්‍රීහු, සියලු පුරුෂයෝ , සියලු ආර්යයයෝ, සියලු අනාර්යයෝ එකක් පාසාම වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා සියලු දෙවියෝ, සියලු මනුෂ්‍යයෝ, සියලු දුක්ඛිත සත්ත්වයෝ, වෛර නොවෙත්වා, තරහ නොවෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා යනුවෙන් මෙත් වඩන්න. මෙසේ නැගෙනහිර, දකුණු, බටහිර, උතුරු,දිශාවලටත් නැගෙනහිර අනු දිශාව, දකුණු අනු දිශාව, බටහිර අනු දිශාව, උතුරු අනු දිශාව, උඩ දිශාව, යට දිශාව ආදී දිශා දහයට මෙත් වඩන්න
එක දිශාවකට සත්ත්ව කොට්ඨාශ දහයම යොමු කර එකක් පාසාම ඉහත අයුරින් මෙත් වඩන්න. මෙසේ දිශා දහයටම සත්ත්ව කොට්ඨාශ දොළහම යොමු කර මෙත් වඩන්න. මෛත්‍රී භාවනාව දිශා ක්‍රමය දක්වා දියුණු කර අවසානයේ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා යනුවෙන් සියවර, දහස්වර, දසදහස්වර මෙනෙහි කරන්න. එවිට දිශා වශයෙන් ලෝකයට පමණක් නොවෙයි අනන්ත ලෝකවලටම මෛත්‍රිය පැතිරුවා වෙයි.
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළ පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 08 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment