සසර ගමනේ සැබෑ ස්වභාවය අපට මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව සිතා ගන්නටවත් බැහැ. ඒ අප පෙර ගත කළ ජීවිත දැකීමේ නුවණක් නොමැති නිසා. නමුත් ධර්මය මනාකොට ඉගෙනගත් ශ්‍රාවකයාට තථාගත ශ්‍රී සද්ධර්මය නුවණින් විමසීම තුළින් සසරේ බියකරුබව ගැන අදහසක් ඇති කර ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ ශ්‍රාවකයා ගිමන නිවීමට නුග රුක් සෙවණට පැමිණියා වගේ, පිපාසයට පැන් ලැබුණා වගේ, සොඳුරු හැඟීමක් බුදු සසුන වෙත පැමිණීමෙන් ඇතිවෙනවා. බුදු සසුන විවෘත වන්නේ කුසීතයන්ට නොව උත්සාහය ඇති, වීර්යවන්තයින්ට පමණයි.
සතර සතිපට්ඨානයෙහි බොහෝ තැනකම වාගේ ‘අතාපී සම්පජානෝ සතීමා” යන පාඨය සඳහන්ව තිබෙනවා.මෙහි ‘අතාපී’ යන වචනයෙන් අදහස් වන්නේ කෙලෙස් තවන වීර්යයි. සතර සම්මප්පධාන වීර්යය තුළ මුළුමනින්ම ප්‍රකාශ වන්නේ වීර්යය ගැනයි. සතර සෘද්ධිපාද තුළ, වීර්ය සෘද්ධිපාදය දකින්නට ලැබෙනවා. පංච ඉන්ද්‍රිය තුළ වීරිය ඉන්ද්‍රිය දකින්න ලැබෙනවා. පංච බල අතර වීරිය බලය දකින්න ලැබෙනවා. සප්ත බෝජ්ඣංග අතරේ වීර්යය සම්බෝජ්ඣංගය සඳහන් වන අතර, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි වීර්ය ගැන සඳහන් වන්නේ “සම්මා වායාමය” ලෙසයි. එසේ නම් ඔබට පැහැදිලි වන්නට ඇති බුද්ධ ශාසනයක කෙතරම් තැනක් වීර්යය උදෙසා තිබෙනවාද කියා.
ධර්මය තුළ සම්මා වායාමය ලෙස හඳුන්වන්නේ අකුසල් දුරු කිරීමේ සහ කුසල් දහම් දියුණු කර ගැනීමේ මානසික වීර්ය යි. එය කොටස් හතරකින් යුක්ත වනවා. එනම්,
නූපන් අකුසල් නූපදවා සිටීමේ වීර්යය
මෙහිදී සසර දුකින් නිදහස් වනු කැමැති ශ්‍රාවකයා තමා තුළ හට නො ගන්නා වූ ළාමක වූ රාග, ද්වේශ, මෝහ මුල් වීමෙන් ඇතිවන අකුසල ධර්මයන් හටනොගැනීම පිණිස කැමැත්ත උපදවා ගනියි. වෑයම් කරයි. උත්සාහය ඇති කරගනියි. සිත දැඩිකොට ගනියි. බලවත් වීර්යයක් යොදවයි.
මෙම නූපන් අකුසල් නූපදවා සිටීමේ වීර්ය ගැන ලස්සන කථාවක් බණ කථා අතර තිබෙනවා. බොහෝමයක් ඉස්සර තෙරුවන් සරණ ගිය ගමේ උපාසකයෙක් දර කපන්න සිතාගෙන පොරෝ කෙටියක් අරගෙන කැලයට ගියා. මේ පුද්ගලයා ධනයෙන් දුප්පතා වුණාට ශාසන ප්‍රතිපදාවෙන් බොහෝම පොහොසත්. කැලේ ඇවිදගෙන යද්දී වැරැදීමකින් දරණ ලාගෙන සිටි මහා පිඹුරෙකුගේ දරණේ මැදින් මේ තැනැත්තා කකුල තිබ්බා. එකපාරම පිඹුරා මේ උපාසකගේ කකුල තදින් සපා කාගෙන වෙලා ගත්තා. දැන් ඉතින් උපාසක පිඹුරාගේ වෙලීම ලිහාගන්න දඟලනවා. පිඹුරා උපාසකව වෙලා ගන්න දඟලනවා. කෙසේ නමුත් ටික වෙලාවකින් මේ උපාසක බොහොම වෙහෙසට පත්වුණා. පිඹුරා කිටිකිටියේ කකුල වෙලාගෙන. ඒ වෙලාවේ උපාසකගේ අතට අහුවුණා තමා දර කපන්න ගෙනා පොරෝ කෙටිය. ලේසියෙන් ම පුළුවන් පිඹුරා දෙකට තුනට කපා දමන්න. උපාසකතුමා එසේ නොකර පොරව ඈතට වීසි කළා. එසේ කළේ වේදනාව වැඩිවෙන විට ඉවසගන්න බැරි වුණොත් ජීවිත ආසාව ඇතිවී වීරිය හීන වී පිඹුරා කපා දමන්න සිිතෙයි කියා. බලන්න එය නූපන් අකුසල් නුපදවා ගන්න කළ වීර්යයක්. දහමට දිවි පුදා සීලය රකින්න අදිටන් කිරීමේ පුණ්‍ය මහිමයට පොරව ඈතට වීසි කරනවාත් සමඟම පිඹුරා උපාසක අතහැරියා.
උපන් අකුසල් දුරු කිරීමේ වීරිය
තමා තුළ හටගෙන තිබෙන්නා වූ රාග, ද්වේශ, මෝහ මුල් වීමෙන් ඇති වූ අකුසල් ධර්මයන් ප්‍රහීණ කර ගැනීම පිණිස කැමැත්ත උපදවාගනී. වෑයම් කරයි. සිත දැඩි කොට ගනී. බලවත් වීර්යයක් යොදවයි.
රාජදත්ත නම් තෙරුන් වහන්සේ අකුසල් දුරු කළ අයුරු තේරුම් ගන්නට උදාහරණයක් මෙසේ සඳහන් වෙනවා. දිනක් රාජදත්ත තෙරුන් අමු සොහොනට වැඩම කළවිට දැක ගන්නට ලැබුණේ සොහොනේ අතහැර දමා තිබෙන ස්ත්‍රියකගේ මළ සිරුරක්. ඒ මළ කුණ පුරා පනුවන් පිරී ඉතිරි එය කා දමමින් තිබුණා. සාමාන්‍යයෙන් කෙනෙකුට එබඳු මළකුණක් දුටුවිට ඇතිවෙන්නේ පිළිකුළක්. නමුත් රාජදත්ත තෙරුන්ට සිදුවූයේ් ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. උන්වහන්සේට රාගය හට ගත්තා.
ඒ මොහොතේම තම සිතේ හටගත් පාපී සිතිවිලි ගැන උන්වහන්සේ සිහිය උපදවා ගත්තා. ඒ පාපී අකුසලය දුරු කිරීම පිණිස සිතේ අධිෂ්ඨානයක් වීර්යයක් ඇතිකර ගත්තා. එතැනින් ඉවත් වුණ. උන්වහන්සේ ඉතා හොඳින් සිහිනුවණ පිහිටුවාගෙන භාවනාවට වාඩිවුණා. ඒ තෙරුන් තුළ යෝනිසෝමනසිකාරය ඇතිවුණා. නොබෝ වෙලාවකින් තම සිතේ හටගත් සියලු අකුසල් දුරුකොට අරහත්වය සාක්ෂාත් කරන්න උන්වහන්සේට හැකි වුණා.
නූපන් කුසල් ඉපදවීමේ වීරිය
තමා තුළ හට නොගත්තා වූ සීල, සමාධි. ප්‍රඥා ආදී කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස (ඡන්දං ජනේති) කැමැත්ත උපදවා ගනියි. (වායාමති) වෑයම් කරයි. (වීරියං ආරමති) උත්සාහය ඇතිකර ගනී (චිත්තං පග්ගණ්හාති) සිත දැඩි කොට ගනියි. (පදහති) බලවත් වීර්යයක් යොදවයි.
මෙම වීර්ය නිසා සසරට වැටුණු සත්වයාට සසර දුකින් අත්මිදීම පිණිස වාසනාව උදාවෙයි.
උපන් කුසල් පවත්වා ගැනීමේ වීර්යය
තමා තුළ හට ගෙන තිබෙන්නා වූ සීල, සමාධි, ප්‍රඥා ආදි කුසල් ධර්මයන් නොපිරිහී පවත්වා ගැනීම පිණිස වැඩි වැඩියෙන් ඇති කර ගැනීම පිණිස, බලවත්ව ඇති කර ගැනීම පිණිස කැමැත්තක් , වෑයමක්, උත්සාහයක්, අධිෂ්ඨානයක්, වීරියක් ඇතිකර ගනියි.
අප දන්නවා සමහර පිරිස් තමා මෙතෙක් කළ වැරැදි අතහැර සිල්පද රැකීමට පටන් ගන්නවා. ටික දවසයි. තව සමහරු භාවනා කරන්න පටන් ගන්නවා. ටික දිනකින් අත හරිනවා. නමුත් මෙහි කියන්නේ එසේ දියුණු කිරීමට පටන්ගත් කුසල් දහම් පිරිහීමට නොදී දිගටම පවත්වාගෙන යෑමට ඇති වීර්යය පිළිබඳවයි.
සම්මා වායාමයෙන් තොරව අපට කුසල් දහම් දියුණු කිරීමට හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සම්මා වායාමයෙන් යුතු වූ ආර්ය ශ්‍රාවකයා අකුසල් දුරු කරයි. කුසල වඩයි. වැරැදි දේ දුරු කරයි. නිවැරැදි දේ පුරුදු කරයි. සද්ධර්මයෙන් යුතු ජීවිතයක් පරිහරණය කරයි යනුවෙන්. ඒ වගේම මේ සම්මා වායාමය සසර දුකෙන් මිදීමේ ගමනට උපස්ථම්භක් වන බව, උපකාරයක් වනබව නාගසේන මහරහතන් වහන්සේ මිළිඳු රාජ ප්‍රශ්නයේදී මිළිඳු රජු අරභයා ඒනිසා බුදු සසුනේ මහානීය වස්තුවක් වන ඒ උතුම් වීර්යය හෙවත් සම්මා වායාමය වූ සුන්දර වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි ගමන් කොට සසර දුකින් එතෙර වීමට අප සැමටම ශක්තිය ලැබේවා.
No comments:
Post a Comment