Labels

Wednesday, July 12, 2017

සදහම් දැනුම


ප්‍රශ්නය
ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි සඳහන් වන පරිදි පරලොව මනුෂ්‍යයාගේ ජීවිතය සැපවත් කර ගන්නා ක්‍රමය පැහැදිලි කරන්න.

පිළිතුර
පරලොව හිත සුව පිණිස පවත්නා ධර්මයෝ සතර දෙනෙක් වෙති. එනම්
1. සද්ධා සම්පදා 2. සීල සම්පදා 3. ත්‍යාග සම්පදා, 4. ප්‍රඥා සම්පදා යන මේවාය.

ප්‍රශ්නය
“අජද්ධු මාරිතං” මෙය ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි එන ධර්ම පාඨයකි. ධර්මානුකූලව පැහැදිලි කරන්න.



පිළිතුර
සම්පත් අනුභව නොකොට මරණයට පත්වන තැනැත්තා “අජද්ධු මාරික” නම් වෙයි. අනාථ මරණය යන නමින් ද මෙය හඳුන්වයි.


ප්‍රශ්නය
සිත පිරිසුදු ව තබාගෙන කරන හැම ක්‍රියාවක්ම කුසල් බව ධර්මය හැදෑරීමෙහි දී අප ඉගෙන ගෙන තිබේ. එසේ නම් පිරිසුදු සිතක ස්වභාවය පිළිබඳව ධර්ම විවරණයක් කරන්න.


පිළිතුර
ධම්මපද ධර්ම ග්‍රන්ථයෙහි එන ‘මනසා චේ පදුට්ඨෙන මනසා චෙ පසන්තේන’ යන පාඨ දෙක කෙරෙහිත් අවධානය යොමු කරන්න. පදුට්ඨෙන හා පසන්නෙන යන පද දෙකෙන් ගම්‍ය වන්නේ අපිරිසුදු හා පිරිසුදු සිතක ස්වභාවයයි. ‘භවාංග චිත්ත’ යයි නම් කරන භවයාගේ නොසිඳ පැවැත්මට හේතුවන සිත පිරිසුදුය.
මඩ බොර නැති ප්‍රසන්න පිළියක් සේ පිරිසුදුය. මේ පිරිසුදු සිත ඇස්,කන්, නාස ආදී වූ දොරටු මගින් ඇද බැඳ ගන්නා අරමුණු නිසා උපදනා ලෝහ, ද්වේශ, මෝහ ආදී වූ කෙලෙසුන්ගෙන් අපිරිසුදු වේ. ‘පභස්සර මිදං භික්ඛවේ චිත්තං තං බො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපකිලිට්ඨං’ ආදී දේශනාවට අනුව වඩාත් පැහැදිලි වනු ඇත.


ප්‍රශ්නය
මෙහි පහත සඳහන් වන්නේ ධම්මපද ග්‍රන්ථයෙන් උපුටාගත් ගාථා ධර්මයකි. අදහස කෙටියෙන් පැහැදිලි කර ධර්මානුකූල විවරණයක් සපයන්න. “සුභානුපස්සිං විහරන්තං ඉන්ද්‍රයෙසු අසංවුතං භොජනම්හි අමත්තඤ්ඤං කුසීතං හීන විරියං තං වෙ පසහති මාරො වාතො රුක්ඛං ව දුබ්බලං”

පිළිතුර
රූපාදී වූ අරමුණු ශුභයි දකිමින් වාසය කරන ඇස්, කන් නාසාදී වු ඉඳුරන්හි සංවර නැති අහරෙහි දී පමණ නොදත් අලස වූ වීර්ය රහිත ඒ පුද්ගලයා දුබල රුකක් සුළඟින් උදුරා දමන්නාක් මෙන් මරු වසඟයට යේ.
සුභානුපස්සිං විහරන්තං පුහුදුන් මිනිසුන් විසින් දිවා රෑ දෙක්හි ශුභ වශයෙන් දකින සිතන අරමුණු සයෙක් වේ.
රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යනුවෙන් ඒ සය නාමිකව සඳහන් වෙයි.

මේ රූපාදී අරමුණු දුබල මිනිසෙකු සැරයටියක ආධාරයෙන් එල්බගන්නා සේ චිත්ත, චෛතසික ධර්මයන්හි එල්බගනු ලැබෙයි. ඒවාට අරමුණු යැයි කියන්නේ ඒ නිසා ය.




ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජුනි 23 වන  සිකුරාදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment