ලාභෝ අලාභෝ, අයසෝ යසෝච, නින්දා පසංසාච සුඛංච දුක්ඛං ඒතේ අනිත්‍යා මනුදේසු ධම්මා අසස්සතා විපරිනාම ධම්මා.”
ලාභයද අලාභයද, පරිවාර ජනයා ඇතිවීමද, නැතිවීමද, නින්දාවද, ස්තුතියද, සැපයද, දුකද යන මේ කරුණු අට ලෝක ධර්ම ලෙස සඳහන් කරනවා. මේ ලෝක ධර්මයෝ මිනිසුන් කෙරෙහි අනිත්‍ය වූ ධර්මතාවයක්. ඒ වගේම ස්ථිර නොවූ ධර්මතාවයක්. පෙරලෙන සුළු ධර්මතාවයක්. ඒ ඉහත ගාථාවේ අදහසයි.
ලොවුතුරා බුදුරජාණන් වහන්සේට මෙන්ම පසේ බුදුරජාණන් වහන්සේටත්, මහරහතන් වහන්සේටත් මේ ධර්මතාවය පවතිනවා. නමුත් උන්වහන්සේලාගේ සීලාදි ගුණ මහිමය නිසා එයින් වෙන්ව ජීවත්වීමට පුළුවන්කම තිබෙනවා. මේ අෂ්ටලෝක ධර්මය රෝදයක් මෙන් කැරකෙනවා කාටත් පොදුයි. යම්කිසි කෙනෙක් බොහෝ වස්තුව ලබා පොහොසත්ව සිට තව කලකදී තිබූ වස්තුව හීන වී දුප්පත් වෙනවා. දුප්පත්ව අපහසුවෙන් කාලය ගත කරන්නාට වස්තුව ලැබෙන කාලයක් ඇතිවෙනවා. එකල්හි ඔහු පොහොසතෙකු වෙනවා. මේ ආකාරයට දුක,සැප දෙක පෙරළෙනවා. ලෝකයෙහි තථාගත ධර්මය දැනගත්, තථාගත ධර්මය ඇසුරු කරන පුද්ගලයෝ මෙන්ම ධර්මය නොදත් ධර්මයෙන් ඈත්ව ජීවත්වන පුද්ගලයෝ වශයෙන් සමාජයේ කණ්ඩායම් දෙකක් සිටිනවා.
මේ කණ්ඩායම් දෙකෙන් ධර්මය නොදත් ධර්මයෙන් ඈත්ව වෙසෙන පුද්ගලයෝ මේ ලෝක ධර්මයන්ගේ පෙරලීමෙන් මහත් සේ විපර්යාසයට පත් වෙනවා. ධර්මය දැනගෙන ධර්මය ඇසුරු කරගෙන ධර්මානුකූලව ජීවත්වෙන උත්තමයා ලෝක ධර්මය පෙරලෙන විටත් තමන්ගේ සිත වෙනස්කර ගන්නේ නැහැ. පෙරලා ගන්නෙත් නැහැ. ඔවුන්ගේ සිත් පෙරලුණත් ඒ අවස්ථාවේදී වුවත් ආත්මාර්ථකාමිත්ය පරාර්ථකාමීත්වය සිඳින සේ දෙලොව නැසෙන සේ සිත පෙරලා ගන්නේ නැහැ.
අට ලෝ දහම අතරින් ප්‍රශංසාව දරුවෙකුට පන්ති කාමරයේදීද ගුරුවරයාගෙන් ලැබිය හැකියි. ඒ දරුවා ප්‍රශංසාවෙන් උද්දාමයට පත් වුණොත්, එහි ඔහුගේ යථා ස්වභාවය තේරුම් නොගත්තොත් එය ජීවිත කාලයටම බලපාන්නට පුළුවනි. ප්‍රශංසාව අනතිමානීව පිළිගැනීමට තමන්ගේ මනස සකස්කර ගත යුතු වෙනවා. කෙනෙක් ප්‍රශංසා ලැබෙන්න ලැබෙන්න හොඳින් මේරු වී කරලක් මෙන් නැමෙන්න ඕන. බොල් වී කරල නොනැමී පවතිනවා. එයින් කියවෙන්නේ ඒ කරලේ හිස් බවයි. එනිසා අප කවුරුත් තමන්ගේ ජීවිත කතාව තුළදී ස්තුති, ප්‍රශංසා නම්බුනාම ලැබෙන විට වී කරලක් මෙන් විය යුතුයි. අනතිමානි විය යුතුයි. ඒ අනතිමානි බව ප්‍රශංසා ලැබීමෙන් තව තවත් දියුණු කරගත යුතු වෙනවා. කල්‍යාණ ශ්‍රාවකයා ප්‍රශංසා ලැබුණාට එයින් උද්දාමයට පත්නොවී ඉවසීමෙන් කටයුතු කරනවා. ධර්මය දන්න සද්පුරුෂයා සැප ඇති කල්හි මෙන්ම දුක ඇති කල්හිත් මනස උපේක්ෂා සහගතව තබා ගැනීමට උත්සහාවන්ත වෙනවා. ප්‍රශංසා ලැබෙන විටද කම්පා නොවී සිටීමට ආර්ය ශ්‍රාවකයා ධර්මානුකූල වෙනවා. මේ අෂ්ටලෝක ධර්ම අතර ප්‍රශංසා යනු ස්තුති, නම්බුව, පදවි තානාන්තර ආදි විවිධ දෑ සලකන්නට පුළුවනි.
බුදුදහමට අනුව අෂ්ටලෝක ධර්මයන්ගෙන් කම්පා නොවීමට සිත් ඇතිකර ගැනීම පුද්ගලයාගේ දෙලොව දියුණුවට හේතුවන බව මංගල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළා. “පුට්ඨස්ස ලෝකධම්මෙහි චිත්තං යස්ස න කම්පති” මෙයින් කියවෙන්නේ අටලෝ දහමෙන් කම්පා නොවීමට සිත් පහළ කරගත හැකි අය දියුණු වන බවයි.
මේ සමාජ තක්ෂලාවේ ජීවත්වෙන විට විවිධ අයට විවිධ ප්‍රශංසා ලැබෙන්න පුළුවනි. ඒ ප්‍රශංසා ලැබෙන විට එහි අනිත්‍යතාව සිහිපත් කරන්නට දක්ෂ විය යුතුයි. ප්‍රශංසාවද තාවකාලිකයි. ප්‍රශංසාවද අනිත්‍යයි. ප්‍රශංසාවද පෙරළෙන සුළුයි. මේ ආදී වශයෙන් සලකා බලා තමන්ගේ සිත ප්‍රශංසාවෙන් පෙරළෙන්නට ඉඩ නොදී මධ්‍යස්ථව පවත්වා ගැනීමට අපගේ මානසිකත්වය දියුණුකරගත යුතු වෙනවා. එනිසා විවිධ ආකාරයෙන් විවිධ ප්‍රශංසා ඔබගේ ජීවිතයට ගලාගෙන එන්නට පුළුවන්. ඒ ප්‍රශංසා තුළින් ඔබ බැබළෙන්නට නොදී ඒ තුළින් ජීවිතයට ආදර්ශයක් ලබාදීමයි කළයුතු වන්නේ. ස්තුති, ප්‍රශංසා, තානාන්තර ලැබෙන තරමට අනතිමානි ගුණයන්ගෙන් පරිපූර්ණ විය යුතුයි. ඒ නිසා ප්‍රශංසාව තමන්ගේ ජීවිතයට ලැබෙන ආභරණයක් ලෙස සලකා එයින් උද්දාමයට පත්නොවී රටට, ජාතියට, ආගමට සේවාවක් කළහැකිය.
ප්‍රශංසාවේ අනිත්‍යතාව අවබෝධ නොකරගෙන එය සදාකාලිකයි සිතා කටයුතු කරයිනම් එය ඔහුගේ අභාග්‍යයක්. ඔහු තුළ තිබෙන කරුණාව,දයාව, අනුකම්පාව, කළගුණ සැලකීම, යුතුකම් ඉටුකිරීම ආදි සාරධර්ම ඔහු වෙතින් ගිලිහී යන අවස්ථාද දකින්නට ලැබෙනවා.
එනිසා අටලෝ දහමේ එන ප්‍රශංසාව අනිත්‍ය වී යන ආකාරය සිහි කරන්නේ නම් ඔහුට මේ ධර්ම මාර්ගයට පිවිසිය හැකියි.
රත්මලානේ ශ්‍රී රත්නාරාමය
බොරැලැස්ගමුව සිරි සෝනුත්තර
විහාරය යන උභය විහාරාධිපති
සූරියගොඩ සිරිධම්ම නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළ අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 16 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment