තමාගේ ජීවිතයෙහි දියුණුවක් තිබිය යුතුවාසේම තමන් සෙසු පුද්ගලයන් වෙනුවෙන් පොදු සමාජය වෙනුවෙන් කළ යහපත් වැඩ කොටසක් තිබිය යුතුයි. එය බෞද්ධයෙකු සතු පළමුවෙනි අරමුණයි."
අපට කලින් ඉපදිලා අපට කලින් මිය පරලොව ගිය හෝ අපට පසුව ඉපදිලා අපට කලින් මිය පරලොව ගිය පුද්ගලයා සංසාර ගමනේ අපට නැවත, නැවත හමුවෙන බව බුදු දහමේ උගන්වයි. එය බුදු දහමේ ගැඹුරු දාර්ශනික ඉගැන්වීමක්. බෞද්ධයෙකු ලෙස උප්පත්තිය ලැබුවා වූ පුද්ගලයෙකුට අරමුණු දෙකක් තිබෙනවා. මේ ජීවිතයෙහි පවතින කෙටිකාලීන අරමුණු සහ දීර්ඝ කාලීන අරමුණු වශයෙන්. තමාගේ ජීවිතය සාර්ථක කරගනිමින් ජිවත්වීම එම පුද්ගලයාගේ යුතුකමක්.
ඇතැම් පුද්ගලයන් නීතිවිරෝධි කටයුතුවල නියැළෙමින් තමාගේ ජීවිතය නාස්තිකර ගත්තාට බෞද්ධයාට බුදු දහම තුළ හොඳ අරමුණක් ලබාදී තිබෙනවා.තමන්ගේ ජීවිතය ලස්සන කරගන්න, හැඩවැඩ කරගන්න තමන් උනන්දු විය යුතුයි. තමන්ගේ පෞරුෂය ගොඩනඟා ගැනීමට තමන් උනන්දු විය යුතුයි. එම උනන්දුව අතහිත පරහිත වශයෙන් කොටස් දෙකකට බෙදෙයි. තමාගේ ජීවිතයෙහි දියුණුවක් තිබිය යුතුවාසේම තමන් සෙසු පුද්ගලයන් වෙනුවෙන් පොදු සමාජය වෙනුවෙන් කළ යහපත් වැඩ කොටසක් තිබිය යුතුයි.
එය බෞද්ධයෙකු සතු පළමුවෙනි අරමුණයි. ඔබගේ ජීවිතය සාර්ථකද? යනුවෙන් ප්‍රශ්නයක් විමසුවහොත් ඒ සඳහා පිළිතුරක් දීමට පෙර ඔහු යමක් සිතිය යුතුයි. සාර්ථක ජීවිතවල නියමාවලියක් බුදු දහමේ අන්තර්ගතව තිබෙන නිසාම සිතිය යුතුයි. තමාගේ ජීවිතය සාර්ථක කරගැනීමටත්, ලස්සන කරගැනීමටත් තමන් කරන කැප කිරීම් මොනවාද? කුඩා දරුවෙකු නම් අධ්‍යාපනය වෙනුවෙන් කළ කැප කිරීම් මොනවාද? විවාහ වූ පුද්ගලයෙකු නම්, තමාගේ විවාහ ජීවිතය සාර්ථක කරගැනීම සඳහා දෙදෙනා හඳුනා ගැනීම වෙනුවෙන් කළ කැපකිරීම් මොනවාද? ඇතැම් පුද්ගලයන් බිරිඳ මිය ගියාට පසුව බිරිිඳගේ ගුණ වර්ණනා කරයි. ජීවිතයේ සාර්ථක බව මැනීමට මරණය තෙක් සිටිය යුතු නැහැ.ජීවතුන් අතර සිටින කාලයෙහි සාර්ථක බව මැනිය යුතුයි. ළමයෙක් නම් ළමා ජීවිතය, තරුණයෙකු නම් තරුණ ජීවිතය, අම්මා කෙනෙකු වශයෙන් නම් මාතෘ ජීවිතය, තාත්තා කෙනෙකු නම් පීතෘ ජීවිතය යනාදී වශයෙන් තමා ජීවත් වන වර්තමාන ජීවිතය දෙස බැලිය යුතුයි. බුදු දහමෙහි වර්තමානයට වැඩි සැලකිල්ලක් දක්වයි. තමන් තමන්ගේ ජීවිතය සරුසාර කරගැනීමටත් ,සාර්ථක කරගැනීමටත් කළ කැපකිරීම් කෙතරම්ද? යන්න පිළිබඳ එක අරමුණක්. එම කැපකිරීම් කෙතරම්ද? යන්න ලිඛිතව සටහන් කර බැලිය හැකියි.
පොදු සමාජයෙහි යහපත දියුණුව වෙනුවෙන් තමන් කළ කැපකිරීම් මොනවාද? දැනුම තිබේ නම් බුද්ධි දාන, ශක්තිය තිබේ නම් ශ්‍රම දාන, මුදල් තිබේ නම් දාන මාන වශයෙන් . දාන මාන දීමට මුදල් තිබීමම අවශ්‍ය නැහැ. මුදල් තිබෙන සියලු දෙනාම දාන පූජා කරන්නේ නැහැ. දානය දීමටත් සංසාරගත පුරුද්දක් තිබිය යුතුයි. තමන් පොදු සමාජය වෙනුවෙන් කළ සේවය කුමක්ද?බුද්ධිය තිබෙන පුද්ගලයෙකු තමන්ගේ කපටි බුද්ධිය යොදමින් කොන්ත්‍රාත් ලබාගෙන මුදල් වැඩියෙන් ඉපයූවාට එවැනි පුද්ගලයන් බුදු දහමේ සඳහන් වන ආකාරයට බුද්ධි දාන වශයෙන් ගත නොහැකියි. තමන් ලාබයක් බලාපොරොත්තු නැතිව, පොදු සමාජය වෙනුවෙන් කළ වැඩ කටයුතු මොනවාද? එය පරහිත යනුවෙන් බණ පොතෙහි සඳහන් වෙයි. "හරි හම්බ කරපු දේවල් දනට පිනට ගෙදර දොරට දුන්නේ මං සිතේ මනාපෙන්.". යනුවෙන් තමන්ගේ යමක් ලබාදෙනවා නම්, කැමැත්තෙන් දිය යුතුයි. අකැමැත්තෙන් දෙන දෙයක පිනක් සිදුවන්නේ නැහැ.තමන්ගේ ජීවිතය වෙනුවෙන් තමන් කළ කැපකිරීම් වගේම අනෙකාගේ පරාර්ථය වෙනුවෙන් කළ කැප කිරීම් තිබිය යුතුයි. මේ තරම් පරාර්ථය උගන්වන සමාජය වේගයෙන් ස්වාර්ථකාමී වන ස්වභාවයක් දක්නට ලැබෙයි. තමාගේ පවුලේ සහෝදරයන් වෙනුවෙන් නොසිතන තත්ත්වයන් , ඇතැම් විට නැතිවා නොවෙයි. තමාගේ සහෝදරයන් වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයන් සිටියත් වැඩිපුර ස්වාර්ථකාමී පුද්ගලයන් දක්නට ලැබෙයි. තමන් යමක් ලබාදීමෙන් ලබන පුද්ගලයාට දැනෙන සතුට තමාටත් ලොකු සතුටක් වෙයි.පොදු සමාජය වෙනුවෙන් තමන් කරන උපකාර වෙනුවෙන් තමන් සමාජයෙන් කිසිවක් බලාපොරොත්තු නොවිය යුතුයි. බලාපොරොත්තු වීමක් නම්, එය හුවමාරුවක් මිස පින නොවෙයි. පිනක් නම්, අප අනෙකාගෙන් කිසිවක් බලාපොරොත්තු නොවීමයි. බලාපොරොත්තු වෙනවා නම් , එය පිනක් නොවෙයි. තමාට නැති බැරි අවස්ථාවක ඔහු හෝ ඇය උපකාර කළා නම්, ඔහුට හෝ ඇයට නැති බැරි අවස්ථාවක උපකාර කිරීම හුවමාරුවක් වෙයි. හුවමාරු ක්‍රමය සමාජ දියුණුවට අවශ්‍ය වුවත්,හුවමාරුව යනු පින නොවනා බව අවබෝධ කරගත යුතුයි. පින හුවමාරුවට වඩා ඉහළින් අර්ථකථනය වෙයි. බලාපොරොත්තු නැතිව අනෙකාගේ, පරහිත වෙනුවෙන් සමාජය වෙනුවෙන් තමන්,කරනු ලැබූ වැඩ කොටසයි. මෙලොම ජීවිතය සාර්ථක කරගැනීමට හැඩකරගැනීමට අවශ්‍ය පුද්ගලයා ස්වාර්ථයම පතාගෙන ලුහුබැඳීම කළ යුතු සේම එම පුද්ගලයා තුළ පරාර්ථය ද තිබිය යුතුයි.
මෙම තත්ත්වයන් දෙකෙහිම කරුණු සොයා බලා තමාගේ ජීවිතය සාර්ථකද ? අසාර්ථකද? යන තීන්දුව ලබාදිය යුතුයි.තමාගේ ජීවිතය සාර්ථක කරගැනීම වෙනුවෙන් කළ කැප කිරීම් සහ පොදු සමාජය වෙනුවෙන් කළ කැපකිරීම් මොනවාද යනුවෙන් ගොනුවක් තිබිය යුතුයි.
විවාහය සාර්ථක කරගැනීම සඳහා බිරිඳ පමණක් කැප කිරීම් කළ යුතුය යන්න බමුණු මතයක්. විවාහ ජීවිතය සාර්ථක කරගැනීමට කැපකිරීම් සියල්ල කළ යුත්තේ කාන්තාවය. යන මතය බමුණන්ගේ ප්‍රකාශයක්. ස්වාමියා බිරිඳ දෙදෙනාම කැපකිරීම් කළ යුතු බව බුදු දහමේ සඳහන් ඉගැන්වීමක්.අම්මා තාත්තා සතුටෙන් සිටීමේ ප්‍රතිලාභය දරුවන්ට ලැබෙන බව බුදු දහමේ ඉගැන්වීමයි.විවාහයක් කැඩී බිඳී ගියවිට එහි වගකීම කාන්තාවට පැවරීම බමුණු මතයයි.අවස්ථාවට අනුව කැපකිරීම් කරගැනීමට බිරිඳ සහ ස්වාමිපුරුෂයා දෙදෙනාම යුහුසුළු විය යුතුයි.
දෙව් මිනිස් සැප කෙළවර නිවන් සම්පත් ලබාගැනීම යනුවෙන් පහසුවෙන් ප්‍රකාශ කළාට නිවන් දකින්නේ කෙසේද? යන ප්‍රශ්නය මතුවෙයි. තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත්වෙලා නිවන් දැකිය යුතුයි. බුද්ධත්වය ලබාගැනීම, පසේ බුද්ධත්වය ලබාගැනීම මහරහත් බව ලබාගැනීම එම තුන්තරා බෝධියයි.බෝධි යනු සංසාරය පිළිබඳ අවබෝධයයි. සංසාරය දුකයි යනුවෙන් බුදු දහෙමි කිසිදු ස්ථානයක උගන්වා නැහැ. සංසාරය දුකයි යන කාරණාව ලෝක ස්වභාවය මිස බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමක් නොවෙයි. සංසාරය දුකයි, යන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළත් , නැතත් , එය දුකක්මයි.බුදු දහම උගන්වනු ලබන්නේ ,එම දුකෙන් නිදහස් වීමේ මාර්ගයයි. දුකයි යන සංකල්පයක් බුදු දහමේ උගන්වා නැහැ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් අවඅටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූනි 17 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment