Labels

Wednesday, July 12, 2017

දිගු කාලීන සතුටකට හිමිකමක්

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි එක්තරා උපාසකයෙක් ලූනුවත්තක් කොට වරින්වර භික්ෂූන්වහන්සේ බොහෝ දෙනෙකුට ලූනු ලබා දුන්නේය.
තවත් විටෙක භික්ෂුණීන් විසින් මෙපමණක් අවශ්‍ය යැයි දන්වා උපාසක තැන ලවාම ලූනු ලබාගන්නා අතර ඇතැම් විටෙක උපාසක තැන කී පමණක් ලූනු භික්ෂුණීන් විසින්ම ගලවාගෙන ගෙනයනු ලබන්නේය. එක් දිනක් උත්සවයක් සඳහා ගම්වැසි බොහෝ දෙනෙක් පැමිණ ලූනු ගලවාගෙන ගියහ. එදිනෙහිම නන්දා නම් භික්ෂුණිය උපාසකයාගේ නිවසට ගොස් ලූනු ඉල්ලා සිටි අතර උපාසක තැනද උත්සවය නිසා අන් අයටත් ලූනු ලබාදිය යුතු හෙයින් වත්තට ගොස් එයින් තුනක් පමණක් ගලවාගෙන යන්නැයි මෙහෙණියට දන්වා සිටියේය. මෙහෙණ ද ඔහුගේ කීම නොසළකා ලූනු වත්තට වැද සහායක මෙහෙණිවරුන් සමඟ එක්ව විශාල ලූනු තොගයක්ම ගලවාගෙන ගියාය. එවිට වත්ත භාරව සිටින තැනැත්තා උපාසකයාගේ ඉල්ලීම පරිදි නොකොට විශාල වශයෙන් ලූනු ගලවාගෙන ගිය මෙහෙණිවරුන්ගේ ක්‍රියාව දැක මහා හඩින් උද්ඝෝෂණය කළේය.
මුරකරුගේ කෑ ගැසීමට පිළිතුරු වශයෙන් මෙහෙණිවරුද මහත් හඩින් උද්ඝෝෂණය කළහ. අනතුරුව මෙම පුවත දැනගත් බුදුරජාණන් වහන්සේ මහණුන් විසින් දුන් දෙයක් මුත් නුදුන් දෙයක් නොගත යුතුයි. තෘෂ්ණාව හේතුවෙන් අත තිබෙන දෑ ද විනාශ වන අතර මත්තෙහි කිසිවක් නොලබන්නේය. ලද දෙයින් සතුටු වීමෙන් මත්තෙහි තවත් දෑ ලැබෙයි. අත පත් දෙයද තහවුරු වෙයි යනුවෙන් අනුශාසනා කොට ස්වර්ණ හංස ජාතකය දේශනා කොට වදාළහ.
අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරන සමයෙහි බෝධිසත්ත්වයන් වහන්සේ එක්තරා බමුණු කුලයක ඉපිද නිසි වියට පැමිණියේ විවාහ විය. විවාහයෙන් දූවරුන් තිදෙනෙක් ලද අතර ඔවුන් විවාහ වයසට පැමිණීමට පෙර පියාණන් වූ බෝධිසත්ත්වයන් වහන්සේ අකාලයේම මියපරලොව ගොස් ස්වරණ හංසයෙකු ලෙස ඉපදුණේය. මෙලොව තනි වූ මව හා දියණියන් තිදෙනා අන්‍යයන්ට බැලමෙහෙවර කරමින් ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කළහ. ජාතිස්මරණ ඤාණය පිහිටි හංසයාට තමන් පෙර භවයෙහි බ්‍රාහ්මණ කුලයක ඉපිද දියණිවරුන් තිදෙනෙකු ලද බවත් ඔවුන් හා බැමිණිය ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කරන බවත් පෙනී ගියේය. පෙර ආත්මයේ දියණිවරුන් තිදෙන හා බැමිණිය දුකින් මුදවා ගැනීමේ උපායක් වශයෙන් දෙමසකට වරක් පෙර තමන් විසූ නිවසට ගොස් එක් එක් රන් පියාපත බැගින් හලා එමියි අදිටන් කොට ගත්තේය. අනතුරුව පූර්ව ජාතියෙහි නිවසට ගොස් එහි වහලයෙහි සිටියේ නිවැසියන් දැක කවරෙක්දැයි ඇසූ කල්හී පෙර ආත්මයේ සියලු පවත් දන්වා රන් පියාපතක් හලා ඉගිල ගියේය. එය විකීණීමෙන් දියණියන් තිදෙනාත් බැමිණියත් පහසුවෙන් ජීවත් වූහ. රන් පියාපත් ලදින් ලෝභී සිත් ඇති බැමිණිය තම දියණිවරුන් අමතා ප්‍රකාශ කළේ තිරිසන් සතුන්ගේ ස්වභාවය වෙනස්ය, එක් වරක් හෝ දෙවරක් පැමිණ නැවත නොඑන සේ වෙනතක යා හැකිය, එබැවින් ස්වරණ හංසයා පැමිණි කල්හී සියලූම පියාපත් එකවර ගලවා ගතහොත් එය වඩාත් යහපත් බවත්ය. බැමිණියගේ ඉල්ලීමට එකඟ නොවූ දියණියන් තිදෙනා එය ප්‍රතික්ෂේප කළ අතර ස්වර්ණ හංසයා පැමිණි කල්හී බැමිණිය විසින් සියලු පියාපත් එක්වරම ගලවා ගත්තාය. පියාපත් ඉදිරීමෙන් පීඩාවට පත් ස්වර්ණ හංසයා පියාසර කරගත නොහී ටික දිනක් නිවසේම වාසය කළේය. දෙවන වර ඇති වූ පියාපත් සාකල්‍යයෙන්ම සුදු වූ හෙයින් නිවැසියන් විසින් හංසයා මුදා හරින ලදි. ඉන් අනතුරුව ස්වරණ හංසයා කිසි කලෙකත් එම නිවසට නැවත නොපැමිණියේය. පහසුවෙන් දිගු කලක් තිස්සේ ලැබිය හැකිව තිබුණු රන් පියාපත්, තෘෂ්ණාවේ අධික බව හේතුවෙන් නොලැබී ගිය ආකාරය දක්වා තථාගතයන් වහන්සේ ජාතක කථාව නිමවා වදාළ සේක.

අධික තෘෂ්ණාව හේතුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභය පවා අහිමි විය හැකිය යන්න මෙම ජාතක කථාවෙන් ලැබෙන උපදේශයයි. ගිහි පැවිදි දෙපක්ෂයටම එකසේ වැදගත්වන උපදෙස් සමූහයකින් යුක්ත මෙම කථාව මනෝවිද්‍යාත්මක මෙන්ම සමාජ විද්‍යාත්මක අගයකින් යුක්ත වේ. මිනිස් සන්තානගතව පවතින තෘෂ්ණාවේ බලවත් බව වර්තමාන කථාවේ එන මෙහෙණියගේ මෙන්ම අතීත කථාවෙහි එන බැමිණියගේ හැසිරීමෙන් ද පැහැදිලි වේ. ආශාවෙන් භරිත තැනැත්තාට ලජ්ජාව හෝ බියක් නොමැත. උපාසකයා විසින් ලුනු තුනක් ගෙන යන්නැයි දන්වා සිටියදීත් ඒ නොසළකා තම භික්ෂුණීත්වයද අවතක්සේරු කරගත් මෙහෙණක් පිළිබඳ වර්තමාන කථාවෙන් ද, තම දියණිවරුන් පූර්ව ආත්මයේ පියාණන් වූ හංසයාගේ පියාපත් ගැලවීමට මැලිව සිටිද්දී ඒ ගැන අල්පමාත්‍ර වූ හැගීමකින් තොරව හංසයාගේ පියාපත් සියල්ල එකවර උදුරා දැමීමට තරම් ධනයෙහි ලොල් වූ අයහපත් බැමිණියක් පිළිබඳව අතීත කථාවෙන් ද ප්‍රකට වේ.

ලද දෙයින් සතුටුවීම බුදුරදුන් විසින් අනුදත් සත්පුරුෂ ධර්මයකි. ප්‍රත්‍ය පරිහරණයෙහිලා ලද දෙයින් සතුටු වීම පැවිද්ද අර්ථවත් වීමට හේතුවේ. ශ්‍රද්ධාවන්ත දායකයින් කොතෙක් සිටියත් ඔවුන් විසින් කොතෙක් දෑ සිව්පසය උදෙසා පිරිනැමුවත් පමණ දැන පිළිගැනීම පැවිදි විනයට අනුකූලවනවා පමණක් නොව පැවිද්දේ අධ්‍යාත්මික සන්තෘප්තිය පිණිස ද ඉවහල් වේ. වර්තමාන කථාවෙහි එන නන්දා භික්ෂුණිය වෙත සුභරතා ගුණය පිහිටා නොතිබුණි. උපාසක තැන ලූනු කොටස් තුනක් රැගෙන යන්නැයි පවසා සිටියදීත් එය නොසළකා විශාල ප්‍රමාණයක් රැගෙන ගියාය. මෙවැනි හැසිරීම් සහිත පුද්ගලයන් ද අප අතර දක්නට ලැබේ. සුභරතාව හෙවත් පහසුවෙන් පෝෂණය කළ හැකි අයෙකු බවට පත්වීම හැම අතින්ම වාසිදායක වේ. අසීමිත තෘෂ්ණවේ දාසත්වයට පත් වූ තැනැත්තාට අවශ්‍යතාවේ සීමාවන් තබා ගත නොහැකිය. සියල්ල තමා සතුකර ගැනීමේ ආත්මාර්ථකාමී ආකල්පයට යට වූ පුද්ගලයා සෙසු අයගේ අවශ්‍යතා පිළිබඳ සැළකිලිමත් නොවන අයුරු මෙහෙණිය ක්‍රියා කළ ආකාරයෙන් පැහැදිලි වේ. සවර්ණ හංසයා කලින් කලට පැමිණ දමා යන රන් පියාපතින් සෑහීමට පත් නොවී එක් දිනකින්ම පොහොසත් වීමට අපේක්ෂා කළ බැමිණිය වැනි අය ද කොතෙකුත් දක්නට ලැබේ. ඉක්මනින් පොහොසත් වීම පිණිස විවිධ කූට උපාය අනුගමනය කරමින් භාණ්ඩ අලෙවි කරන පුද්ගලයන් නාගරික ප්‍රදේශවල බහුලව දක්නට ලැබේ. නොයෙකුත් බොරු සත්‍ය ලෙස ගෙනහැර දක්වමින් කෙරෙන පෙළඹවීම්වලට රැවටී අගයෙන් අඩු භාණ්ඩ මිලදීගෙන පසුවට දුක්වෙන විශාල පිරිසක් ද ඒ අතර සිටිති. කඩිනමින් පොහොසත් වීමට දරන ප්‍රයත්නය නිසා ඇතැමෙක් නීතිය යුක්තිය හා සදාචාරය නොසළකා ක්‍රියා කරති. ධනයෙන් අන්ධ වූ පුද්ගලයාට ආත්මාර්ථය හා පරාර්ථය මැනවින් තේරුම් ගත නොහැකිය.



ස්වභාව ධර්මයෙන් අපට ලැබෙන දෑ සියල්ල වටිනා ත්‍යාගයන් ලෙස සැළකිය හැකිය. ඒවායින් තම අවශ්‍යතා සපුරා ගැනීමේදී එම සම්පත් කෙරෙහි සැහැසිව තෘෂ්ණාවෙන් භරිතව ක්‍රියා කිරීමේ ආදීනව රැසකි. ස්වරණ හංසයා විසින් ලබාදුන් රන් පියාපත් ස්වභාව ධර්මයෙන් අප වෙත ලැබෙන ත්‍යාග හා සමකොට සැළකිය හැකිය. එයට සාහසික වීමෙන් වන හානිය රන් පියාපත් සියල්ල එකවර උදුරා ගැනීමෙන් බැමිණියට සිදූ වූ අයහපත හා සදිසි වේ. එසේ නොකොට තෘෂ්ණාව පාලනය කොට ස්වාභාවික සම්පත් කෙරෙහි දයාවෙන් යුක්ත වන්නේ නම් එයින් දීර්ඝ කාලීන ප්‍රතිලාභ ලැබිය හැකි වේ. අල්පේච්චතාව මෙන්ම සුභරතාව දිළින්දා තුළ මෙන්ම ධනවතා වෙතද එකසේ පිහිටිය යුතු ගුණාංගයෝය. අසීමිත තෘෂ්ණාව බැහැර කොට ලද දෙයින් සතුටු වීමෙන් දිගු කාලීන සතුකට හිමිකම් කිව හැකි වේ.


කොළඹ විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත 
උඩුහාවර ආනන්ද හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජුනි 23 වන සිකුරාදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment