Labels

Sunday, July 16, 2017

සැප (සැබෑ සැපය )

අටලෝ දහමෙහි මූලික වශයෙන් කරුණු අටක් විස්තර වෙනවා. එයින් හත්වැනි කාරණය තුළ සැපය විස්තර වෙනවා. මේ සැපය ලෞකික සහ ලෝකෝත්තර සැපය කියා කොටස් දෙකකට බෙදෙනවා.
අපේ සමාජයේ ලෝකෝත්තර සැපයට වඩා ලෞකික සැපයටයි. බොහෝ දෙනා අවධානය යොමු කරන්නේ. ආහාරපාන, ඇඳුම් පැළඳුම්, නිවාස ඇතුලු එදිනෙදා ජීවිතයේ පරිභෝජනය කරනු ලබන භෞතික සම්පත්වල ඒකරාශීත්වය භෞතික සැපය ලෙස සලකනවා. මේ කියන සැපය අපි බලාරොත්තු වන්නේ හුදෙක් ඉඳුරන් පිනවීම හරහා. ඔබ දන්නවා ඉන්ද්‍රියය පහක් තිබෙනවා. ඒ ඉන්දි‍්‍රයය පහ නිතර නිතර පිනවීමට අප උත්සාහ කරනවා.ඇස රූපයෙන්, කන ශබ්දයෙන්, නාසය ගද සුවඳින්, දිව රසයෙන්. කය පහස ආදී ලෙසින්. විඳීම් වලට සැපය කියා කියනවා. ජීවත් වෙනවා කියා අප කියන්නේ අර කියන අරමුණු පහෙන් ලබන පිනවීමයි. රැකියා, ව්‍යාපාර හෝ කර්මාන්ත කටයුතු, ගොවිතැන් ආදී අනේක විධි දෑ කරන්නේ ඉහත කී අරමුණු පහ පිනවීමටයි.

මේ ලෝකයේ පුද්ගලයන්ට එක හා සමානව මේ සැපය ලැබෙන්නේ නැහැ. සමහර අයට අධිකවත් තව කොටසකට මධ්‍යස්ථවත් ලැබෙනවා. තව කොටසකට සැපය නොලැබීම යනවා. මජ්ක්‍ධිම නිකායේ චුල්ලකම්ම විභංග සූත්‍රයේදී දේශනා කොට වදාළේ සැපය අඩු වැඩි වන්නේ ඒ ඒ පුද්ගලයන් පෙර ජීවිතවල කරගත් කර්ම ශක්තීන් මත බවයි.
යමක් උත්සාහ කරන ඇතැම් අයට ඒ උත්සාහයට සරිලන ප්‍රතිඵල අත්විඳින්නට බැරි වූ අවස්ථාවන් තිබෙනවා. පෙර පුණ්‍ය ශක්තිය තිබෙන තැනැත්තාට එසේ උත්සාහය මත සාර්ථකත්වය කරා යන්නට පුළුවන්. ඒ දියුණු වූ පුද්ගලයාට සැප විඳින්නට ලැබෙනවා. සමහර අවස්ථාවල කොතරම් උත්සාහ කළත්, මහන්සි වුණත් දියුණුවීමට බැරි වෙනවා. එවිට සැපය නැතිවෙනවා. සැපය නැති වූ තැන, අටලෝදහම නො දැන කම්පාවට පත්වෙනවා. ඒ කම්පාව තුළින් අපේක්ෂා භංගත්වයට පත්වෙනවා. එසේ වූ විට සියදිවි නසා ගැනීමට පවා උත්සාහ කරනවා.
ලෞකික සැපය එසේ අපේක්ෂිතව ලබා ගන්නට නොහැකි වුවත් ලෝකෝත්තර සැපය ඉතාමත් ඉහළින් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ධර්මයේ සඳහන් වන රජ්ජුමාලාගේ කතාව එයට උදාහරණයක්. රජ්ජුමාලාට ලෞකික සැපය ලැබුණේ නැහැ. තමන් සේවය කළ නිවසේ ස්වාමි දියණියගෙන් ඇයට අනන්ත අප්‍රමාණ දුක් පීඩා ලැබුණා. නමුත් ඇය බුදුරජාණන් වහන්සේගේ සරණ ලබාගෙන ලෝකෝත්තර සැපයට ළංවී රහත් මෙහෙණින් වහන්සේ නමක් බවට පත්වුණා. ඒනිසා අප බලාරොත්තු වූ සැපය නො ලැබුණා කියා කලකිරීමකට පත්විය යුතු නැහැ.
ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අටලෝ දහමින් කම්පා වූ චරිතයක් නොවේ. උන්වහන්සේ ලෞකික ජීවිතයේ සාමාන්‍ය පුද්ගලයෙක් පරිහරණය කරන යම් සැපයක් වේද, ඒ සැපය ඉක්මවා ගිය සැපයක් ලැබුවා. ජීවත් වීමට භික්ෂුන් වහන්සේට තිබෙන නිවහන තමයි ආරාමය නැත්නම් පන්සල.
භාග්‍යවතුන් වහන්සේට සිටුවරු, රජවරු කෝටි ගණන් වියදම් කරලා ජේතවනාරාමය, වේළුවනාරාමය, ඝෝෂිතාරාමය ආදී විහාර තනවා පූජා කළා. නමුත් භාග්‍යවතුන් වහන්සේ ඒ සැපයට කිසිදින ඇලුණේ නැහැ. විහාර චාරිකාවේ වඩිමින් සකල සතට සෙත සැලසුවා. උන්වහන්සේට දන් පැන් වුවත් නිතර නිතර රජවරුන්ගෙන්, සිටුවරුන්ගෙන් දෙවිවරුන්ගෙන් පවා ලැබුණා. නමුත් ඒ කිසිවකට නොඇලී උද්දාමයට පත්නොවී වාසය කළා. ඒ වගේම සමහරවිට සිව්පසය නොලැබුණ අවස්ථාත් තිබුණා. ඒ අවස්ථාවලදීත් නොගැටී, කම්පානොවී මැදහත් සිතින් වාසය කළා. ඒ මධ්‍යස්ථභාවය කෙනෙකුගේ ජීවිතය තුළ නියම සැපය අත් විඳින්නට වැදගත් වෙනවා. සැපයක් ළංවෙනවිට උඩඟුª වෙලා යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඔහුට ඒ සැප සම්පත් අහිමි වුණොත් විශාල ලෙස කඩා වැටීමකට, බිඳ වැටීමකට ලක්වෙනවා.
අද මේ භෞතික සමාජයේ විවිධ පරිභෝග භාණ්ඩ තිබෙනවා. ඒවා මාධ්‍ය හරහා ප්‍රචාරය වෙනවා. ඒ්වා දකිනකොට හිතනවා “අනේ මේ දේ මට ඇත්නම්” කියා. ඒවා උරුමකර ගන්නට සමහර විට සිල්පද කඩනවා. නරක දුරාචාර ක්‍රිියා කිරීමට පෙළෙඹෙනවා. මේ සැප සම්පත් අපේක්ෂිත පරිදි නො ලැබෙන විට ගැටීමක් ඇතිකර ගන්නවා පමණක් නොව ඒ සැප සම්පත් විඳින අය කෙරෙහිත් ද්වේශයක් ඇතිකර ගන්නවා.ඒ අය විඳින සැපයට ඊර්ෂ්‍යා කරමින් අකුල් හෙලනවා.නමුත් මධ්‍යස්ථ සිතින් ඒ දෙසෙ බලනවානම් ඔහුගේ සිතේ සුන්දර සැපයක් ගොඩ නැඟෙනවා.

ඒ නිසා බුදුදහම තුළ කියාදෙන සැපය කියන වචනය විස්තර වෙන්නෙත් සැපය විඳිය යුතු වෙන්නෙත් ලෞකික සම්පත් කේන්ද්‍ර කර ගෙන නොවේ. සැබෑ අධ්‍යාත්මික සැනසිල්ල වන ලෝකෝත්තර සැපය පදනම් කරගෙනයි. ඒ බව අප ගැඹුරින් වටහා ගත යුතු වෙනවා.

පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ
නියෝජ්‍ය පරිවෙනාධිපති
ගොම්බද්දල දමිත හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළ අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 16 වන ඉරිදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment