Labels

Wednesday, July 12, 2017

උපද්‍රව උපදින්නේ කාටද?

මේ උතුම් බුද්ධ ශාසනය රඳා පවතින්නේ කල්‍යාණ, සද්පුරුෂ ආශ්‍රය නිසා බව තථාගතයාණන් වහන්සේ වරෙක ආනන්ද තෙරණුවන්ට වදාළහ. උතුම් වූ නිවන පිණිස පණ්ඩිත ලක්ෂණවලින් යුතු සද්පුරුෂයෙකු වීම අවශ්‍යයයි."
බට දඬුවලින් හෝ තණ කරලින් කරන ලද ගෙයක් ගිනි ඇවිළෙන්නේ ද එය බිය ගෙන දෙන්නේය. ඇතුළත හා පිටත හුනු පිරියම් කරන ලද, වැළක් වූ සුළඟ ඇති, අගුල් දැමූ, වැසූ කවුළුදොර ඇති කූඨාගාරයක් යම් සේ දැවෙන්නේ ද එය බිය ගෙන දෙන්නේ ය.
ඒ ආකාරයෙන් යම් බියක් උපදින්නේ නම් ඒ භිතීන් සියල්ල බාලයා නිසා ම උපදින්නේය. පණ්ඩිතයා නිසා නූපදින්නේ ය. යම් උපද්‍රවයක් වේ නම් ඒ හැම උපද්‍රවයක් ම බාලයා නිසා උපදින්නේ ය. පණ්ඩිතයා නිසා නූපදින්නේ ය.” යැයි තථාගත බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ තික නිපාතයේ බාල වග්ගයේ දී දේශනා කොට වදාළහ.

“යානි කානි චි භික්ඛවේ භයානි උප්පජ්ජන්ති, සබ්බානි තානි බාලතෝ උප්පජ්ජන්ති. නො පණ්ඩිතො යේ කේචි උපද්දවා උප්පජ්ජන්ති. සබ්බේ තේ බාලතෝ උප්පජ්ජන්ති. නො පණ්ඩිතෝ යේ කේචි උපසග්ගා උප්පජ්ජන්ති. සබ්බේතේ බාලතෝ උප්පජ්ජන්ති. නො පණ්ඩිතෝති”.

මේ අනුව බාල පුද්ගලයාගේ ස්වභාවය, ඔහු හෝ ඇය නිසා සිදුවන විපත්තීන් පිළිබඳ මෙහි විස්තර කෙරෙයි. එහි පණ්ඩිතයා එනම් නුවණ ඇති තැනැත්තාගේ යහපත් බව මතු කරයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ යම් බියක්, උපද්‍රවයක්, විපතක් වේ නම් ඒ හැම බාලයා නිසාම හට ගන්නා බවයි. බාල, අඥාන අසද්පුරුෂයන් සමාජයට කෙතරම් හානි ගෙන දෙන්නේ ද යන්න ඉන් පැහැදිලි වෙයි.
තථාගත බුදුරජාණන් වහන්සේ මේ පුද්ගල ස්වභාවය තවදුරටත් විස්තර කර පෙන්වා දෙන්නේ බාලයා බිය සහිත බවය. පණ්ඩිතයා බිය සහිත නොවන බවය. බාලයා උපද්‍රව සහිත බවය. පණ්ඩිතයා උපද්‍රව සහිත නොවන බවය. බාලයා විපත් සහිත බවය. පණ්ඩිතයා උපද්‍රවයක් සහිත නොවන බවය.
මුලින් දැක් වූ උපමාව ගළපා බලන්න. බට දඬුවලින් හෝ තෘණවලින් කරන ලද ගෙයක් ගිනි ඇවිල ගත්තේ නම් එහි දොරගුළු වසා ඇත්තේ නම් කුමක් සිදුවන්නේද? ගෙය පමණක් නොව එහි ඇති සියලු වස්තූන් ද, ඇතුළත සිටින්නා වූ පිරිස ද ගින්නට හසුවනු ඇත. එය මහත් වූ බියකි. මහත් වූ උපද්‍රවයකි. මහත් වූ විපතකි. එමෙන් ම බාල හෙවත් අඥාන පුද්ගලයා නිසා ස්ථානය, පරිසරය පමණක් නොව ඇසුරු කරන ලද පිරිසද මහත් වූ බියට උපද්‍රවයන්ට හා විපත්වලට මුහුණ දෙන්නට සිදුවේ. ගෘහස්ථ පරිසරයක අඥාන පුද්ගලයන් නිසා අපමණ විපත් සිදුවේ. මවුපියන්ට, දරුවන්ට, ස්වාමි භාර්යාවන්ට, හිත මිතුරන්ට ආදී හැමට විපත්තිකරය. පැවිදි පරිසරයක ද අඥාන පැවිද්දෙක් මුළු ශාසනයට ම මහත් වූ විපත් ගෙනදෙනු ඇත. එහෙයින් බාලයාත්, පණ්ඩිතයාත් හඳුනා ගැනීම ඉතා වැදගත්ය.
තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ

“ කම්මලක්ඛනෝ භික්ඛවේ බාලෝ, කම්මලක්ඛනෝ පණ්ඩිතෝ, අපදානසොභිනී පඤ්ඤාති”

බාලතෙමේ කර්මය ලකුණු කොට ඇතිසේය. ප්‍රඥාව චරිතාපදානයෙන් හොබනීය.
මෙහි දී බාලයාගේ සහ පණ්ඩිත තැනැත්තාගේ කර්ම ලක්ෂණ ලෙස දැක්වූයේ කුමක් ද? බාලයා කර්ම තුනකින් සමන්විතය. එනම් කාය දුශ්චරිතය, වාග් දුශ්චරිතය. මනෝ දුශ්චරිතය පණ්ඩිතයා ද ධර්ම තුනකින් සමන්විතය. එනම් කාය සුචරිතයෙන් ද, වාග් සුචරිතයෙන් ද, මනෝ සුචරිතයෙන් ද යුතු වන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඉහත දේශනා කළ ධර්ම කොට්ඨාසයේ ඉතාමත් අගනා දහම් පෙළක් ඇත. “අපදාන සෝහිනී පඤ්ඤා” යනුවෙනි. එනම් ප්‍රඥාව චරිතාපදානයෙන් පෙන්වන්නේය යන්නයි. බාල පුද්ගලයා යනු හොඳ නරක හෝ කුසල් අකුසල් තේරුම් ගන්නට තරම් නුවණක් නැත්තාය. එසේ නොමැති නම් පාපී සිතිවිලි නිසා යහපත මඟහැර සිටින්නාය. අයහපතට ම, පාපයට ම, අකුසලයට ම, යොමුවන තැනැත්තාය.
බාලයාගේ ලක්ෂණ ලෙස දැක් වූ ත්‍රිවිධ දුශ්චරිතය තරමක් විමසා බලමු. තථාගත බුදුරජාණන් වහන්සේ බාලයාගේ තුන් ආකාර ස්වභාවයක් පෙන්වා දෙති. බාලා භිඥානනෝ, බාල නිමිත්තෝ, බාල චරිතයෝ තුන්දෙනෙකි. ඒ තුන්දෙනා කවරෙක් ද? මේ ලෝකයෙහි බාල පුද්ගලයා නපුරු සිතිවිලිවලින් යුතුවේ.
“බාලෝ දුච්චින්තිත චින්ති ච හෝති – නපුරු වචන කතා කරනුයේ වෙයි. දුබ්භාසිතහාසි - නපුරු ක්‍රියා කරනුයේ ද වෙයි. දුක්කතකම්මකාරි – බාලයා නපුරු සිතිවිලි සිතන්නේ. නපුරු දේවල් කතා කරන්නේ, නපුරුකම් කරන්නේද, පණ්ඩිතයන් විසින් මේ බාලයෙක්ය අසද්පුරුෂයෙක් යනුවෙන් ඒ පිරිස හඳුනාගන්නාහ. මෙම ලක්ෂණ බාලයාගේ බාල ලක්ෂණ වෙති. බාල නිමිති වෙති. බාලාපදාන වෙති.

පණ්ඩිත පුද්ගලයාගේ පණ්ඩිත ලක්ෂණ පණ්ඩිත නිමිති, පණ්ඩිත චරිත තුන් ආකාරය. පණ්ඩිත පුද්ගලයා යහපත් සිතිවිලි සිතන්නේ වෙයි. “පණ්ඩිතෝ සුචින්තිත චින්තී ව හෝති – යහපත් දේ පවසන්නේ වෙයි. සුභාසිතභාසි - යහපත් දේම කරන්නේවෙයි. සුඛතකම්මකාරි – යම් හෙයින් පණ්ඩිත පුද්ගලයා යහපත් සිතිවිලි නොසිතන්නේ නම්, මනා වූ වචන නොපවසන්නේ නම් මනා වූ කර්ම නොකරන්නේ නම්, පණ්ඩිතයන් විසින් මම පණ්ඩිතයෙක්ය. සද්පුරුෂයෙක්ය යනුවෙන් කෙසේ හඳුනා ගනීද? යහපත් සිතිවිලි සිතන නිසාම, කර්ම කරන නිසාම, පණ්ඩිතයෝ මේ සද්පුරුෂයකැයි පණ්ඩිතයෙකැයි හඳුනා ගනිති. මේ පණ්ඩිත පුද්ගලයාගේ පණ්ඩිත ලක්ෂණයෝ ය. පණ්ඩිත නිමිත්තයෝය. පණ්ඩිතාපදානයෝය.

එහෙයින් නුඹලා විසින් ම මේ බව දැන මෙසේ හික්මිය යුතුය. බාලයාගේ සහ පණ්ඩිත පුද්ගලයාගේ ගති ලක්ෂණ මැනවින් අවබෝධ කොටගෙන පණ්ඩිත ලක්ෂණම, පණ්ඩිත නිමිත්තම, පණ්ඩිත චරිතයම පුරුදු කිරීම පණ්ඩිත ලක්ෂණවල සද්පුරුෂ ලක්ෂණවල හික්මීම යනුවෙන් අදහස් කෙරේ.
බාල සහ පණ්ඩිත ලක්ෂණ අප විසින් අවබෝධ කොටගත යුත්තේය. පිරිස් අතර පටිඝයක් ලෙස ගැටීමට, බෙදීමට, අමනාපකම් ඇති කර ගැනීම හේතුවක් කර ගැනීමට නොවේ. තම චරිතයෙහි බාල ලක්ෂණ වෙත්නම් ඒවා බැහැර කරමින් පණ්ඩිත ලක්ෂණ පුරුදු කර ගැනීමටය. සද්පුරුෂයෙක් ලෙස අන් අය කෙරේ බාල ලක්ෂණ වෙත්නම් කාරුණිකව පෙන්වා දිය හැකිය. එනම් අවමන් කිරීමේ හෝ නිග්‍රහ කිරීමේ අදහසින් නොවේ. අවට ලෝකයාට ද කියමින් නුගුණ ලෙස පතුරවමින් විපත් කරන අදහසකින් නොවේ. ගුණබර අම්මා කෙනෙක් රටට ලෝකයට නොකියාම තම දරුවාගේ වරද, නිවැරදි කරන ආකාරයෙනි. එමෙන් ම තමා කෙරේ පණ්ඩිත ගති පවතින්නේ යැයි පවසමින් මද මානයන්ට ද පත්නොවිය යුතුය.


බාල ලක්ෂණ ඇති අය, අවංකව ඒවා තේරුම් ගෙන, තවදුරටත් ඒවා තම චරිතයෙහි පවත්වා නොගෙන පණ්ඩිත සහ සද්පුරුෂයන්ගේ ආශ්‍රය ද ඇතුව තමා නිවැරදි කරගත යුතුය. යම් බාලයෝ තම බාල ගති ලක්ෂණ, බාල ගති ලක්ෂණ ලෙස තේරුම් නොගන්නා අතර, වරෙක එම බාල ගති හා නිමිති නිවැරදි ලක්ෂණ ලෙස සිතන්න සහ පවසන්නට ද පුරුදු වී සිටිති. මේ උතුම් බුද්ධ ශාසනය රඳා පවතින්නේ කල්‍යාණ, සද්පුරුෂ ආශ්‍රය නිසා බව තථාගතයාණන් වහන්සේ වරෙක ආනන්ද තෙරණුවන්ට වදාළහ. උතුම් වූ නිවන පිණිස පණ්ඩිත ලක්ෂණවලින් යුතු සද්පුරුෂයෙකු වීම අවශ්‍යයයි.



බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජුනි 23 වන සිකුරාදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment