සසර දුකින් මිදී නිවනට පැමිණීම නම් පස්කම් සුව විඳිමින් පහසුවෙන් කළ හැකි දෙයක් ද නොවේ. මහත් වූ උත්සාහයෙන්, දීර්ඝ කාලයක් පිළිවෙත් පුරා සිදු කර ගත යුත්තකි. නිවන් ලැබීම සඳහා පිරිය යුතු ප්‍රතිපත්තියක් ඇත. එහි කරුණු අටකි. එම ප්‍රතිපත්තිය ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙස හැඳින්වේ.
“මජ්ක්‍ධිමා පටිපදා” මැඳුම් පිළිවෙත නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ඇතුළත් ‘සම්මා කම්මන්ත’ හෙවත් යහපත් කටයුතු පිළිබඳව විවරණයක් ඇති කර ගනිමු. ‘කතමො ච භික්ඛවෙ, සම්මාකම්මන්තො? යා ඛො භික්ඛවෙ, පාණාතිපාතා වෙරමණී. අදින්නාදානා වෙරමණී. කාමෙසු මිච්ඡාචාරා වෙරමණී. අයං වුච්චති භික්ඛවෙ සම්මාකම්මන්තො”
මග්ග විභංග සූත්‍ර දේශනාවට අනුව සම්මා කම්මන්තය මෙසේ විස්තර කොට ඇත. එනම් ප්‍රාණඝාතයෙන් වැළකීමක් වේද? අදත්තාදානයෙන් වැළකීමක් වේ ද? කාමේසුමිච්ඡාචාරයෙන් වැළකීමක් වේ ද? එය සම්මා කම්මන්තයයි. එනම් නිවන අරමුණු කරගෙන ආර්ය මාර්ගයෙහි පිළිවෙත් පිරීමත්, සම්පූර්ණ කිරීමත් හැටියට සිහියට නඟාගෙන සිදු කිරීමයි.
මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් ‘සාලෙය්‍යක’ සූත්‍ර දේශනාවට අනුව, කායද්වාරයෙන් අධර්මචාරී සහිත විෂමචර්යාවෙන් යුතු කටයුතු තුනක් සිද්ධ වේ. එනම් මෙලොව යම් කෙනෙක් ප්‍රාණඝාත කරනුයේ නම් හේ නපුරුවෙයි. ලේ තැවුරුණු අත් ඇතිව වාසය කරන්නේ වෙයි. අන් අයට පහර දී කපා කොටා මැරීමට තරම් නපුරු කෙනෙක් බවට පත්වෙයි. ප්‍රාණීන් කෙරෙහි දයාවන්ත නොවූ කෙනෙක් බවට පත්වෙයි.
එසේ නම් මාර්ගාංගයක් හැටියට නිවන අරමුණු කරන්නා වූ පුද්ගලයෙකුට අන් සත්ත්වයන්ගේ ජීවිත නැති කිරීමට චෛතසික උපදවාගත නොහැකිය. එනම් චිත්ත චෛතසික අරමුණු වශයෙන් පහළ කර ගත නොහැකිය. නිවන අරමුණු කරගෙන මාර්ගාංගයක් ලෙස සම්මා කම්මන්තය වඩන විට ප්‍රාණඝාතයෙන් වැළකීමට නම් පරමාර්ථ ධර්ම කතාවම මෙනෙහි කළ යුතුය. සිතෙහි වැඩිය යුතුය.
සම්මුතියේ සිට “මම මගේ යැයි” පැවසුවත්, මේ ශරීරය, ජීවිතය, පරිහරණය කළත් පරමාර්ථ වශයෙන් මෙහි ස්ථිර වූ සත්වයෙක්, පුද්ගලයෙක් යමක් නැති බව අවබෝධයෙන් ම සිතෙහි පුරුදු කළ යුතුයි. ප්‍රාණඝාත සිදුවන්නේ හෝ සිදු කරන්නට යන්නේ කුමක් නිසා ද? “මමය මාගේ යැයි යන වැරදි දෘෂ්ටිය නිසාය. ස්ථිර සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත කියන අදහස සිත්හි පුරුදු කරන විට සක්ඛාය දිට්ඨිය බැහැර වීමට අවස්ථාව සැලසේ. සක්ඛාය දිට්ඨිය බැහැර වීම යනු නිවන් මාර්ගයට බාධා කරන, සසර පැවැත්ම සාදන දස සංයෝජනයන් හි පළමුවැනි සංයෝජනය හෙවත් බැම්ම නැති කොට දැමීමයි. එනම් තමා කියා ස්ථිර සත්ත්වයෙක් පුද්ගලයෙක් නොමැති නම් තමා මුල්කොට තවත් සත්වයෙක් ඝාතනය කරන්නට නසන්නට සිතක් පහළ වන්නේ කෙසේද?
සියලු සංඛත, සංඛාර වස්තු අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දකින්නට පුරුදු නොකළ සිත් ඇත්තා අභාවිත සිත් ඇත්තෙකි. එවැනි අයෙකුට අතීතය ගැන සිතා තරහව වෛරය ඇතිවිය හැකියි. අතීතයේ මේ පුද්ගලයා මට ගැසුවේය, බැන්නේය, මා සතු දේ සොරකම් කළේය, නින්දා අපහාස කළේය. ආදී වශයෙනි. එසේ ම වර්තමානයේ දී ද, අනාගතයේ දී මේ ආදී ලෙසින් සිදු වෙනු ඇතැයි සිතන්නට පටන් ගන්නේය.
එවිට අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ගළපාගෙන සක්ඛාය දිට්ඨියෙන් ආත්ම සංඥාවට අරගෙන තමා අකැමැති අරමුණෙහි ගැටෙන්නට පටන් ගන්නේය. මෙහි දී පටිඝානුසය නම් වූ අනුසය ධර්ම ද අතීත සංඥා සංස්කාර වශයෙන් මේ පුද්ගලයන් නොදැනුවත්වම හෝ මතුවෙන්නට පටන් ගනී. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රාණඝාත කරන්නේය.
අවබෝධයෙන් තෙරුවන් සරණ යන ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත්වන්නට කැමැති ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා සියලු දෙනා විසින් ම මේ මාර්ගය අනුගමනය කළ යුතුයි. එනම් පරමාර්ථ ධර්මය සිහිපත් කොට සක්ඛාය දිට්ඨිය බැහැර කිරීමෙන් ම අවබෝධයෙන් ම ප්‍රාණඝාත සිදුවීමට ඇති මූලික අවස්ථාව නැතිකරලීමට, සිඳබිඳ දැමීමට උත්සාහ කිරීමයි.
සම්මුති වශයෙන් පමණක් නොව පරමාර්ථ වශයෙන්ම මෙනෙහි කරමින් ප්‍රාණඝාතය සිදු වීමට උපකාර කරන සක්ඛාය දිට්ඨියටම පැමිණ එය වැරැදි දෘෂ්ඨියක් බව අවබෝධයෙන් ම දැක විදර්ශනා කරමින් ම ප්‍රාණඝාතයෙන් වැළකීමට උත්සාහ කළ යුතුයි. එය චතුරාර්ය්‍ය සත්‍ය ධර්ම අවබෝධයෙන් නිවනට මඟ පාදන මාර්ග අංගයක් බවට පත්වේ.විදර්ශනා සිතක් පුරුදු කරන ශ්‍රාවක, ශ්‍රාවිකාවකට තමා යන ස්ථිර සත්ත්වයෙක්, යමක් නැති බව අවබෝධ කරගන්නේ නම් තමා මුල්කොටගෙන තමාට අයිති නැති යම් වස්තුවක් සොර සිතින් ගන්නේ කෙසේද? සොර සිතින් ගැනීම පමණක් නොවෙයි. සොර සිතින් වස්තුවකට අත තැබීමක් හෝ නොකරන්නේය.
තමා මුල්කරගත් දෘෂ්ටියෙන් ඇසට රූප, කනට ශබ්ද වශයෙන් ඉන්ද්‍රියන්ට ආරම්මණයන් හසුකර ගැනීමෙන් ඒවාට ඇලීමක් ඇතිකර ගනී. මේ ලෝභය හෝ අභිජ්ඣා නම් වූ විෂම ලෝභය විය හැකිය. පසුව මෙය රතියක්, කාමයක්, නන්දියක් බවට පත්විය හැකිය. වඩාත් ඇල්මක් බවට පත්විය හැකිය. එවිට සොකරම වෙනුවෙන් යම් කෙනෙකුගේ ජීවිතයක් නැතිකොට ප්‍රාණඝාත ද සිදු කරන්නටත්, බොරු කියන්නටත්, කේලාම් කියන්නටත්, පස් පව් දස අකුසල් ම සිදු කරන්නටත් පෙළඹිය හැකියි. මේ නිසා සක්ඛාය දිට්ඨිය නම් වූ ‘මම මගේ’ යන වැරැදි දෘෂ්ටිය නැති කිරීමෙන් ප්‍රාණඝාත වගේ ම සොරකම් කිරීමම නොව තමා සතු නොවන වස්තුවකට සොර සිතින් අත තැබීමක් හෝ සිදු නොවීමට සිත සකස් වන්නේය.
කාමේසුමිච්ඡාචාරයෙන් වැළකීමෙන් සම්මා කම්මන්තය නම් වූ මාර්ග අංගයේ කොටසක් බව නිවනම අරමුණු කොටගෙන සිහිපත් කළ යුතුයි. මෙහි දී කාමයෙහි නිවැරදි ලෙස ගෘහස්ථ ජීවිත ගත කරන පිරිස්වලට චර්යා පවත්වාගත හැකි බව පංච ශීලයෙන් පැහැදිලියි.
දහස් සංඛ්‍යාත පිරිස් සෝතාපන්න ස්වභාවයට පත්ව ඉතාම යහපත් වූ ගෘහස්ථ ජීවිත ස්වාමි භාර්යා, දෙමාපියන් දරුවන් ලෙස පැවැත් වූ බවත් බුදුරජාණන් වහන්සේගේ කාලේ කතා වස්තූන්ගෙන් පැහැදිලියි. නිවන් මඟට අවතීර්ණ වන මාර්ගය වඩාත්ම පහසු වන්නේ කාමයවරදවා හැසිරීමෙන් මුළුමනින් ම වැළකීමෙනි. මෙය බ්‍රහ්මචාරී ජීවිතයක් හැටියට ධර්මයේ පෙන්වා දී තිබෙනවා. මෙය බ්‍රහ්මචාරී ජීවිතයක අවශ්‍යතාවයක් බව පැවිදි ජීවිතවල දක්වා තිබෙන්නෙත් මේ නිසයි. මාර්ග අංගයේ දී සම්මා කම්මන්තය තුන්වෙනි කරුණ හැටියට කාමේසුමිච්ඡාචාරයෙන් වැළකීමෙන් ශික්ෂාපදය ආරක්ෂා කරගෙන නිවන් මඟ අරමුණු කරගත හැකි බව ඉන් පැහැදිලියි. එය ගෘහස්ථ ජීවිත සඳහා දක්වා තිබෙන ශික්ෂා පදයකි.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළ පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 08 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment