Labels

Sunday, July 16, 2017

අවශ්‍ය දේ නොව අත්‍යවශ්‍ය දේ තෝරා ගන්න

සහනශීලී ජීවිතයකට ආර්ථික දියුණුව අත්‍යවශ්‍යය. අඹු දරුවන් පෝෂණය කරන්නට , බේත් හේත් ටික ලබා ගන්නට, දරුවන්ගේ අධ්‍යාපනයට ආදී සෑම දේටම මිල මුදල් නැතිවම බැරිය . ඒ අවශ්‍යතා මනාව සම්පූර්ණ කරගත නොහැකි වූ තැන සිත බලාපොරොත්තු කඩ වූ ස්වභාවයට පත්වේ.
අසහනයට, කළ කිරීමට පත් වේ. එවැනි දිවියක සතුට නැත. සැනසීම නැත. ආර්ථිකය කළමනාකරණය කරගත යුතු වන්නේ එහෙයිනි.
සමාජයේ බොහෝ දෙනෙක් පවසන්නේ හම්බ කරන මුදලෙන් එදිනෙදා ආහාර වේලවත් පිරිමසා ගන්නට බැරි බවය. නිසි කළමනාකරණයක් නොමැතිකම ඊට ප්‍රධාන හේතුවය. විය පැහැදම් කළ යුතු අත්‍යවශ්‍ය දේ, අවශ්‍ය දේ හා අනවශ්‍ය දේ තෝරා බේරා ගන්නට නොහැකිකම නිසා බොහෝ දෙනෙක් ආර්ථික පරිහානියට ලක්වෙති. එක්කෝ අනුන් කරන දේ අනුකරණය කරමින් තමන්ට කළ හැකි දේ වෙනුවට නොගැළපෙන දේ කරති. ලෝකයට පෙනෙන්නට ජීවත් වෙන්නට ගොස් සිතින් වද විඳිති. හොඳින් සිතා බලන්න. අප වැඩිපුර වියදම් කර තිබෙන්නේ අත්‍යවශ්‍ය දේට නොව අවශ්‍ය යැයි උපකල්පනය කරන දේටය.

දියුණුව ළඟා කරගත හැකි අපූර්ව ආර්ථික සංරක්ෂණ ක්‍රමයක් බුදු දහමේ ඉගැන්වේ. ඒ කුමක් සඳහාද? අපගේ ජීවිතය සෑමදාම ඒකාකාරී නොවේ. සැප පසුපස දුක ද පැමිණේ. නොසිතන විදිහේ ලෙඩ රෝගයන්ට මුහුණ දෙන්නට සිදුවේ. පසුගියදා කිසිවෙක් නොසිතූ ලෙස දරුණු ගං වතුර තත්ත්වයක් ඇති වුණි. ගේ දොර , ගෘහ භාණ්ඩ විනාශ වුණි. බෝග වගාවන් , හරි හම්බ කළ දේ වතුරේ දිය වුණි. බොහෝ දෙනකුට ඉතිරි වූයේ ඇඳිවත පමණි. මේ විපත්තිකර මොහොතේ ධෛර්යමත් සිතින් නැඟී සිටින්නට, නැවත ජීවිතය ගොඩ නඟා ගන්නට තැන්පත් ධනයක් තිබුණා නම් එයම ශක්තියක් කර ගන්නට තිබුණි. මේ සඳහා අපූර්ව ආර්ථික සැලැසුම් ක්‍රම වේදයක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
උපයන්නේ යම් ප්‍රමාණයක් ද එය කොටස් සතරකට වෙන් කර ගන්න. ඉන් එක් කොටසක් පමණක් එදිනෙදා පරිභෝජනයට ගන්න. දෙකොටසක් තමන් කරන ව්‍යාපාරයේ, රැකියාවේ දියුණුව වෙනුවෙන් වෙන් කරන්න. හදිසියකදී , විපතකදී ප්‍රයෝජනයට ගන්නට ඉතිරිය තැන්පත් කර තබා ගන්න. මේ ආර්ථික ක්‍රමවේදය අසීරු යැ’යි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් උත්සාහය, ඕනෑකම තිබේනම් අසීරුවෙන් හෝ එය අත්හදා බලන්නේ නම් මාස කිහිපයක් ගෙවී ගිය පසු තමන්ගේ ආර්ථිකය ගැන විශ්වාසයක්, ආඩම්බරයක් ඇති කර ගැනීම අසීරු වන්නේ නැත.
ජීවිතයේ දියුණුව වෙනුවෙන් ආයෝජනය කළ හැකි නිධාන හතරක් පිළිබඳව එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. ථාවර, ජංගම, අංගසම හා අනුගාමික නිධාන වශයෙනි. ථාවර නිධාන නම් ගේදොර ඉඩකඩම්ය. අඹු දරුවන් සමඟ සතුටින්, ආරක්ෂිතව ඉන්නට නම් තමන්ට කියා නිවහනක් ඇවැසිය. එය නිධානයකි. යාන, වාහන, ගව මහීෂාදී සතුන් ජංගම නිධානය. ‘අංගසම’ නම් තමන් ඉගෙන ගත් දේ ය. ‘අ’ යන්න ‘ආ’ යන්න හඳුනා ගනිමින්, අකුරු ගොනු කර, වචන නිර්මාණය කරන පුංචි දරුවා අනාගතයේ දිනෙක ඉංජිනේරුවකු, වෛද්‍යවරයෙකු, නීති වේදියෙකු, ගුරුවරයෙකු ඈ ලෙසින් උසස් තත්ත්වයන්ට පත් වන්නේ එසේ ඉගෙන ගන්නා දෙයින් ලබන ප්‍රතිඵල වශයෙනි. එය මහත් වූ නිධානයකි. ජීවිතයට ආයෝජනයකි.
ආගමික වශයෙන් නම් අසා ඉගෙන ගන්නා ධර්මය, ප්‍රායෝගිකව වර්ධනය කරන භාවනා ක්‍රම මඟින් දියුණු කරගත් සිත, ධර්මානුකූල හැසිරීම, හා ඒ සියල්ල තුළින් ලබන අධ්‍යාත්මික සුවය නිධානයකි. ‘සන්තුට්ඨි පරමං ධනං’ යනු එම තත්ත්වයයි.
සිතෙන් , කයින්, වචනයෙන් සිදු කරන ක්‍රියාදාමයන් ගේ ඵල මිය ගිය පසුද අප පසුපස පැමිණේ. එය යහපත් වීමට පුළුවන. අයහපත් වීමට ද පුළුවන. ‘අනුගාමික’ නිධාන ලෙස බුදුරජාණන් වහන්සේ අර්ථ දැක්වූයේ මේ යහපත් පැත්තයි. යහපත් දේ රැස් කර ගැනීමෙන් ඊළඟ භවය සුවසේ ගත කිරීමට අවස්ථාව ලැබෙන නිසා එය ද නිධානයකි.

සසරේ කළ පුණ්‍ය මහිමයන්ගේ ඵලයක් ලෙස මිනිසත් බව ලැබූ අප තේරුම්ගත යුතු වන්නේ එය ඉතා දුර්ලභව හිමි වූ භාග්‍යයක් බවය. බුද්ධෝත්පාද කාලයක ලද ඒ මිනිස්කමින් උපරිම ප්‍රයෝජන ගෙන ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට , මේ ජීවිතයත්, මතු ජීවිතයත් සැපවත් කර ගන්නට සදහම් දේශනා මහෝපකාරී කර ගනිමු.

ශාස්ත්‍රපති 
මුරුංගාගස්යායේ ඥානිස්සර හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළ පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 01 වන  සෙනසුරාදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment