" ජීවිතයේ දුක්, කරදර, ගැටලු ඇති වූ විට ඒවා අත් හරින්නේ කෙසේ දැයි ඉගෙන ගන්න. අද දවසේ දුක් ගැටලු අත්හැර දමන්න පුළුවන් නම් හෙට දවසේ දුක් ගැටලු සමඟ කටයුතු කරන්න, හෙට්ටු වෙන්න ඔබට පුළුවන් වේවි. දුෂ්කරතා ගැටලු ඇතිවීම සාමාන්‍ය දෙයක්. එහෙත් ඒවා ද ගෙවී අවසන් වෙනවා."
මගේ ගුරුතුමා අජාන් චා හාමුදුරුවෝ. ‘අජාන් බ්‍රහ්ම්’ මම කසළ බඳුනක් වගෙයි. හැම දෙනෙක් ම ඇවිත් ඔවුන්ගේ දුක් කරදර ගැන මට කියනවා.’ එක් දිනක් උන්වහන්සේ මට කිව්වා.
කසළ බඳුනක් වගේ වෙන්න. ඒත් හැම විට ම එහි පතුල සිදුරු කර තබා ගන්න.’ උන්වහන්සේ කී අනෙක් වැදගත්ම කාරණය එයයි. මිනිසුන් ඔවුන්ගේ දුක් කරදර ඔබට කියන විට එය කසළ බඳුනකට කුණු දමනවා වගෙයි. ඒත් පතුලක් නැති නිසා කිසිම දෙයක් එහි රඳා සිටින්නේ නෑ.
ඔබ පතුලක් තිබෙන කසළ බඳුනක් නම් බොහොම ඉක්මනට එය පිරී යනු ඇති. තවත් කිසිවක් එයට දමන්නට නොහැකි වනු ඇති. ඔබ මට යමක් කියන විට පතුල නැති කසළ බඳුනකට දමන්නා සේ ඔබගේ දුක් කරදර මම අසාගෙන සිටිනවා. ඉන්පසුව ඒවා මට අමතක වේවි. ඉන්පසු තවත් කෙනෙක් ඒ කසළ බඳුනට යමක් දමාවි. මේ විදිහට මගේ කසළ බඳුනට පතුලක් නැති නිසා මගේ කුටියට යන විට ඒ සියල්ල මා අමතක කරනවා. මෙය කරන්නට පුළුවන් කදිම දෙයක් නේද? පතුලක් නැති කසළ බඳුනක් වෙන්නට හැකි නම් කොතරම් කදිමද? එයින් කියන්නේ ඊළඟ කෙනාගේ ගැටලු දමන්නට පුළුවන් විදිහට එය නිතරම හිස්ව තිබෙන බවයි.
මේ විදිහට ජීවිතයේ දුක්, කරදර, ගැටලු ඇති වූ විට ඒවා අත් හරින්නේ කෙසේ දැයි ඉගෙන ගන්න. අද දවසේ දුක් ගැටලු අත්හැර දමන්න පුළුවන් නම් හෙට දවසේ දුක් ගැටලු සමඟ කටයුතු කරන්න, හෙට්ටු වෙන්න ඔබට පුළුවන් වේවි. දුෂ්කරතා ගැටලු ඇතිවීම සාමාන්‍ය දෙයක්. එහෙත් ඒවා ද ගෙවී අවසන් වෙනවා. මා දැන් කියන්නට යන අධිරාජ්‍යයාගේ මුද්දේ කතාවේ ඇති වැදගත්කම ඒකයි. මේ අධිරාජයා කවුද කියා ඔබ දන්නවාද? ඒ ඔබයි. ඔබේ ජීවිතයේ අධිරාජයා ඔබයි. ඔබගේ ශරීරයේ, ඔබගේ කුඩා පවුලේ අධිරාජ්‍යයා ඔබයි. මා මේ කියන්නට යන කතාවේ අධිරාජයා ජීවිතය ගැන, වැඩි පළ පුරුද්දක් නැති තරුණ හාදයෙක්.
‘හැමදේම හොඳින් ම සිදුවේවි. මේක තමයි ජීවිතය’
කියා ඔහු සිතාගෙන සිටියා. මේ නිසා ඔහු නිතර උත්සව පැවැත්වූවා. සාද පැවැත්වූවා. විනෝදයෙන් සිටියා. ඒත් මේ යහපත් කාලය ගෙවී අවසන් වෙනවා යැයි තේරුම් ගෙන සිටියේ නෑ. මේ නිසා දුෂ්කර කාලයකට සූදානම් වුණේ නෑ. දුෂ්කර කාලය එළඹුණා. එහෙත් ඔහු එය අපේක්ෂා කළේ නෑ. දෙවැන්න, ඒ නිසා ම ඔහු ඒ වගේ කාලයකට ගැළපෙන ලෙස වැඩ කටයුතු කරන විදිහ දැනගෙන සිටියේ නෑ. මේ නිසා ඔහු දුෂ්කරතා, අමාරුකම් හමුවේ සිත් තැවුලට පත්වුණා. අසහනයට පත් වුණා. කෝප වුණා. අන් අය ගැනත්, තමන් ගැනත් කෝප වුණා. කිසිම දෙයක් කරන්න බැරි වුණා. කාමරයක් ඇතුළට ගිහින් දොර වසාගෙන හඬා වැළපෙන්න, කෑ මොර දෙන්න පුරුදු වුණා.
එය ප්‍රශ්න විසඳන විදිහ නොවෙයි. රජතුමාට උදව් වෙන්න ඇමතිවරු ගණනාවක් සිටියා. ඒත් උපදෙස් දෙන්නට අපහසුයි. රජතුමා ඇහුම්කන් දෙන්නේ නෑ. ඒ වගේ ස්වාමි පුරුෂයෙක්, භාර්යාවක් සිටිනවා නම් වෙන දේ ඔබ දන්නවා නේද?
මේ වෙලාවේ අමාත්‍යවරු එක්වෙලා මුද්දක් හැදුවා. එය බොහොම චාම්, එහෙත් ඒ මුද්දෙ පිටත මෙහෙම කියමනක් සටහන් කර තිබුණා.
‘මෙය ද ගෙවී අවසන් වනු ඇත.’ මේ මුද්ද පැළඳගත් අධිරාජයාගේ මුළු ජීවිතයම වෙනස් වුණා. ජීවිතය බොහොම දුෂ්කර අවස්ථාවලට පත්වුණාම, ජීවිතයේ සමහර කාලවලට කඳු උසට ගැටලු ගොඩ ගැසුණාම ඔහුගේ මුද්ද දිහා බැලුවා. ‘මෙයද ගෙවී අවසන් වනු ඇත.’ කියමන දුටුවා. එය ඒ ලෙසම සිදුවුණා.
මෙය සැබෑවක්. ඔබ අතර සිටින බොහෝ දෙනාගේ ජීවිතවල අඳුරු සහගත තැන් තිබෙන්න ඇති. ඒ වගේම සතුට, විනෝදය, සැපත තිබෙන්නට ඇති. ඒවා ඒ විදිහට සිදුවෙනවා. කොයිතරම් අමාරු වුණත් කොයි තරම් සතුටු දායක වුණත්, ඒවා හැමදාම ඒ ලෙසට ම පවතින්නේ නෑ. වෙනස් වෙනවා. ජීවිතය පිළිබඳ සත්‍ය එයයි.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් අවඅටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූනි 17 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment