වචනයට තිබෙන්නේ පුදුම බලයකි. මේ බලය නිවැරැදිව තේරුම්ගත් ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේය. වචනයට සසර දිගු කරන්නට පුළුවන. සසර කෙටි කරන්නටද පුළුවන. මේ නිසාම නිවන් මගෙහි, එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි තුන්වන අංගය වශයෙන් සම්මා වාචා පෙන්වා දී ඇත.
”කතමාච ආවුසො සම්මා වාචා මුසාවාදා වෙරමණී පිසුණාවාචා වෙරමණී, ඵරුසා වාචා වෙරමණී, සම්ඵප්පලාපා, වෙරමණී, අයං වුච්චතාවුසො සම්මාවාචා”
බොරුකීමෙන්, කේලාම් කීමෙන් , පරුෂවචන කීමෙන්, වැඩකට නැති හිස්වචන කීමෙන් වැළකීම , සම්මාවාචා යන්නෙන් අදහස් කරයි. එනම් යහපත් වචන භාවිත කිරීමය. අටුවාවෙහි දක්වා ඇති ආකාරයට ‘කථා සම්මා වාචා’ යනු යහපත් හොඳ ප්‍රතිඵල ගෙන දෙන කතාවයි.
‘චේතනා සම්මාවාචා’ යනු හොඳ යහපත් කතාවට මුල්වන චේතනාවයි. ‘විරති සම්මාවාචා’ යනු අයහපත් අවැඩදායි වචනවලින් වෙන්වීමයි. මේ ආකාරයට හොඳ වචනයක් නම් ඒ සඳහා පසුබිම් වූ හොඳ සිතිවිල්ලක් තිබිය යුතුය. ප්‍රකාශ කරන වචනය අවංකවම හදවතට එකඟව කරන ප්‍රකාශනයක්ද විය යුතුය. බොරුව හැම පැත්තකින්ම විනාශකාරී ලක්ෂණ පෙන්නුම් කරයි. අනුන් රවටන, තමාටත් සමාජයටත්, හානිකර බොරුවෙන් වැළකීම මුළු මහත් සමාජයටත් සැනසිල්ලකි.
ගූථභාණි, පුෂ්ඵභාණී, මධුභාණී යනුවෙන් වචන තුනක් ධර්මයෙහි සඳහන්ය. ගූථභාණි, යන්නෙන් බොරු කියන්නා පෙන්නුම් කරයි. ගූථ යනු මිනිසා පිට කරන මළ පහය. දුර්ගන්ධය හමන යන තේරුම දෙයි. බොරු කීම යනු ගඳ ගසන, සමාජය පිළිකුල් කරන වචන ප්‍රකාශ කිරීමකි. පිරිසක් මැද නොදන්නා දේ දනිමි’යි කියයිද, දන්නාදේ නොදනිමියි කියයිද, දැක්ක දේ නොදැක්කායැ’යි කියයිද, නොදැක්ක දේ දැක්කා යැයි කියයිද ඔහු තමාද ගඳ ගසමින් අන් අයද ගඳ ගස්වන්නෙකි. මොහු ලාභ ලෝභ බලාපොරොත්තු වෙන් බොරු කියයි. බොරු කියන්නා හිස් පුද්ගලයෙකු වශයෙන් බුදුරදහු රාහුල හිමියන්ට පෙන්වා දී ඇත.
“පුප්ඵභානී නම් ඇත්ත කතා කරන, මල් මෙන් සුවඳවත් හදවතින්, ප්‍රතිපත්ති ගරුකව කතා බහ කරන තැනැත්තා ය. මුවින් දුර්ගන්ධය හමන විකෘති කටක් ලැබීම, ගොත ගැසීම, ගොළුබවට පත්වීම ආදිය බොරු කීමෙහි දුර්විපාක ලෙස ධර්මයෙහි සඳහන්ය. මෙලොවදී විශ්වසනීය පුද්ගලයෙකු ලෙස ගරුත්වයක් ඇතිව ජීවත්වීමට නම් සත්‍යයට ගරු කළ යුතුය. අසත්‍ය කීමේ ඵලවිපාක ගැන සිතිය යුතුය. බොරු කියන්නාට ලජ්ජාවක් බයක් නැත. ඕනෑම වැරැදි වැඩක් කළ හැකිය.
“සච්චං භවෙ සාධුතරං රසානං” රස අතර ඉහළම රසය සත්‍යයයි. සත්‍ය බලයක් බවට පත්කරගත හැකිය. සත්‍ය වචනයේ බලයෙන් අන් අයට ආශිර්වාද කිරීම අපට හුරු දෙයකි. පිරිත් යනු සත්‍ය වචනයේ ආශිර්වාදයයි. සත්‍ය වචනය අපගේ ජීවන ගමන් සුවපත් කරගැනීම සඳහා මහඟු ඖෂධයකි.
පිසුණාවාචා යනු කේළාම් කීමයි. පුද්ගලයා, නිවස ,ගම,රට අසමගි කරන, භේද භින්න, කරන පරිසරයක් කේළාම් තුළින් ගොඩ නැඟේ. කේලාම් කීමේ විපාක මෙලොවදීම පෙන්නුම් කරන ආකාරය ජාතක පොතේ එන මඝමානවක චරිතය අපට කියා දෙයි.
අසභ්‍ය සැරපරුෂ වචන ‘ඵරුසාවාචා’ යන්නෙන් අදහස් කරයි. සාමාන්‍ය ව්‍යවහාරයෙහි අසික්කිත කතා ලෙස සඳහන් වන්නේ මෙයයි. එනම් අශික්ෂිත යන්නයි. මේ වචන අනුන්ගේ සිත් රිදවයි. ශාරිරික වේදනාවට වඩා ලොකු මානසික වේදනාවක් මෙයින් ලැබෙන්නට පුළුවන. අසන්නා පමණක් නොව කියන්නා ද මානසික වේදනාවට පත්වෙයි. සිතින් ගතින් ලෙඩ වෙයි.
සමහර මවුපියන් , ගුරුවර වැඩිහිටියන්, දරුවන්, ශිෂ්‍යයන් වෙනුවෙන් රළු වචන භාවිතා කරන්නට පුළුවන්. නමුත් ඒවා පරුෂ වචන ගණයට වැටෙන්නේ නැත. දරුවා සුමගට ගැනීමට ආදරයෙනුයි ඒ වචන ඔවුන් භාවිත කරන්නේ. අනුන්ගෙන් වැඩක් කර ගැනීමේ දීත් රළු වචන බාධකයක් වන්නට පුළුවන. කළද ඒ කාර්ය ඉටුකරන්නේ ඕනෑකමකින් නොවේ. රළු වචනයට තිරිසන් සතුන් පවා අකීකරු වූ බව නන්දි විසාල ජාතකය අපට කියා දෙයි. ඔබ ගෙදරදී අන්‍යෝන්‍ය වශයෙන් පි‍්‍රයශීලි වදනින් අමතන්න. සැනසිලිදායක නිවසක් ඔබට දැකගන්න පුළුවන් වේවි. සමහරු බලය තාන්න මාන්න වලින් හා මුදල් නිසා අන් අය පහත් කර කතා කරන අවස්ථා දැක ඇත. මේවායේ ප්‍රතිඵල දුක්ඛදායක ය.
සිත් රිදෙන වචනවලින් ඉවත්ව කනට සුව ගෙන දෙන (කණ්ණ සුඛා) පි‍්‍රය බව ඇති කරන (පේ‍්‍රමනීයා) හදවතට සැනසිල්ල උදාකරන හොඳ වැදගත් වචන (පෝරී ) බොහෝ දෙනා පි‍්‍රයකරන (බහුජනකන්තා) බොහෝ දෙනා කැමැති (බහුජන මනාපා) වචන කියනවානම් ඒ තැනැත්තා මධුභාණී ලෙස ධර්මයෙහි සඳහන්ව ඇත. ඔහුගේ වචන මී පැණි මෙන් රසවත්ය. ඔබත් මධුභාණී වන්න.
එලොවටත් මෙලොවටත් වැඩක් නැති හිස් වචන කතා කිරීම සම්ඵප්පලාප යන්නෙන් අදහස් කරයි. ප්‍රතිඵලය දෙපැත්තේම කාලය කා දැමීමකි.
බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයේ ඇති සංවර බව සිත්ගන්නා සුළු බව කොතෙක්ද යන්න උන්වහන්සේගේ දේශනා තුළින් දමනය වූ පුද්ගලයන් දෙස බැලීමෙන් ද, අද දක්වාත් එම දේශනා මිනිස් හදවත් ඇද බැඳ තබා ගැනීමට සමත්වීම තුළින්ද දැක ගත හැකිය. සෝණදණ්ඩ බ්‍රාහ්මණයා බුදුරදුන් පිළිබඳව සඳහන් කරන්නේ උන්වහන්සේ “තමන් ළඟට එන අය ආශිර්වාදාත්මකව සුබපතමින් පිළිගන්නවා. යහළුවෙක් වගේ තමයි කතා කරන්නේ, සිනාවෙලා ප්‍රසන්න මුහුණින්, ඍජුව මුහුණ දී කතා කරනවා. අන් අයට පෙර කතා කරන්නෙත්, මුලින්ම හිනාවෙන්නෙත් බුදුහාමුදුරුවෝ 'යි යනුවෙනි. අපට කෙනෙකු මුණගැසුනවිට හැසිරිය යුතු ආකාරය කෙතරම් ලස්සනට මේ වදන් පෙළෙන් පෙන්නුම් කරනවාද?
හොඳ වචනයේ වටිනාකම් අගය කළ බුදුරදුහු වචනයෙන් උපරිමව ඵල නෙළා ගත්හ. තමන් වෙත එල්ලවූ සියලු වාග් ප්‍රහාරවලට ඉවසීමෙන් මුහුණ දී ලෝකය ජය ගත්හ. වචනයෙහි බලය තේරුම්ගෙන නිවැරැදිව වචන හසුරුවන්ට ඔබත් පුරුදු පුහුණු වන්න.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළ පුර පසෙළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 08 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment