Labels

Sunday, July 16, 2017

අලාභ ( අලාභයට මුහුණ දෙන්නේ කෙසේද? )

අෂ්ටලෝක ධර්මයේ දෙවන කාරණාව වන්නේ ‘අලාභයි’. එය පැතිකඩ කිහිපයකින් අර්ථ කථනය කළ හැකියි. තමන් සතු දේ අහිමි වීම, ආයෝජනය කළ ප්‍රමාණයට ප්‍රතිලාභ නොලැබීම, අවශ්‍යතා හෝ අපේක්ෂාවන් එලෙසම සම්පූර්ණ නොවීම, “අලාභ” යන පොදු වදනින් ආවරණය වෙයි.
පළමු කාරණය ගැන සඳහන් කිරීමේදී , තමන්ට මෙතෙක් තිබූ ධනය අහිමි වීම, තමාගේ අතක් පයක් හෝ ඇසක් අහිමි වීම, සවන් නොඇසීම වැනි නොපැතූ, නොසිතූ අයුරින් යම් විකෘතිතාවක් සිදුවීම අලාභයි. තමන් පැමිණි ගමන් මඟෙහි සෙවණැල්ලක් සේ පිහිට වූ ඥාති හිත මිත්‍රාදීන් අහිමිවීම, තමන්ගේ දැනුම ,හැකියාව, අහිමි වීම, තමන් සතුව තිබූ භෞතික දේ , අධ්‍යාත්මික දේ තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකිව තමන්ගෙන් දුරස්වීම අලාභයයි.
දෙවන කාරණය වශයෙන් ආයෝජනයට ප්‍රමාණවත් ප්‍රතිලාභ නොලැබීමයි. යම්කිසිවෙක් අනාගත ප්‍රතිලාභ අපේක්ෂාවෙන් පුද්ගල සම්පත්, කාලය, ශ්‍රමය ආදී භෞතික අධ්‍යාත්මික වශයෙන් බොහෝ සම්පත් කැපකර ප්‍රතිලාභයේ තරමට ප්‍රතිඵල නොලැබීම අලාභයයි. නැතහොත් යොදා ඇති සාධකවලට අනුකූලව ප්‍රමාණවත් ප්‍රතිඵල නොලැබීම අලාභයයි.
ඉහත දැක්වෙන තෙවන කාරණයට අනුව මව්පියන් හෝ යමෙක් අපට යමක් ලබාදෙ’යි යනුවෙන් අපේක්ෂාකර එය නොලැබීම අලාභයි. මෙසේ අලාභ ලෙස ඉහත සඳහන් කාරණාවන් ඉමහත් පාඩුවක් ලෙස ලෝකයා දකිති.

බුදු දහමට අනුව අෂ්ට ලෝක ධර්මයෝ ගැන බෞද්ධයන් ලෙස කල්පනා කර පිරිසුදු මනසක් ඇති කරගන්නේ කෙසේද? ,යමිකිසි අලාභයක් සිදුවුණොත් පිළිපැදිය යුතු ක්‍රවේදයන් කුමක්දැ’යි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය පිළිවෙතින් දේශනා කර වදාළා. එනම් ගැටලුව කුමක්ද, හේතු මොනවාද, ඒවා වෙනස් කරන්නේ කෙසේද, ඒ සඳහා ක්‍රියාත්මක විය යුත්තේ කවර ආකාරයකින් ද යනුවෙනි.
අප අලාභය කොටසින් කුමන පැත්තටද වැටෙන්නේ? ඇත්තට තිබුණ දෙයක්ද අපට අහිමි වුණේ ? ඇත්තටම ආයෝජනය කළ දේකට ද අවශ්‍ය තරමේ ඵලයක් නොලැබුණේ, නැත්නම් අපේක්ෂා කළ දේ ලැබෙන්න තියෙනවා යනුවෙන් තමන් විශ්වාස කළ දෙයක් අහිමි වීමද සිද්ධ වුණේ? මෙසේ කුමන පැතිකඩකින් අලාභය සිදුවුණාද, යනුවෙන් අප තෝරා බේරා ගත යුතුයි. එය ගැටලුව හඳුනා ගැනීමයි.
දෙවන කාරණය වශයෙන් අලාභය තමන්ට සිද්ධ වෙන්න හේතු මොනවාදැ’යි විමසීමයි. එහිදී ඇත්තටම හේතුවක් හෝ දෙකක් මත සමස්ත බර පැටවීම මේ පැනයට ප්‍රධානම හේතුවයි. නමුත් ධර්මය පරිහරණය කරන බෞද්ධයෙක් වශයෙන් එක කරුණක් දෙකක් මත සමස්ත බර පටවන්නේ නැතිව හාත්පසින් පරීක්ෂා කර බැලිය යුතුයි. ඇත්තටම මෙසේවීමට කුමන පැතිවලින් හේතු බලපෑවාද? එතනදී තමන්ගෙන් මතුවූ හේතු මොනවාද? මා සිතපු දේ , කල්පනා කළ අයුරු වැරැදිද? නැත්නම් මා කතා බහ කළ අයුරු, පිළිතුරු දුන් අයුරු වැරැදිද? ක්‍රියා කළ ආකාරය, තීරණ ගත් ආකාරය වැරැදිද? මගේ චින්තනයේ, භාෂණයේ, ක්‍රියාකාරිත්වයේ දුර්වලතාවකින් මේ ප්‍රශ්නය , අලාභය සිද්ධ වුණාද යනුවෙන් ප්‍රත්‍යවේක්ෂා කර බැලිය යුතුයි.
තෙවැන්න තමන්ගේ තත්ත්වයෙන් ඇතිවූ අඩුපාඩු මඟ හැර වෙනස් වන්නේ කෙසේද? මා හිතන ක්‍රමය වැරැදි නිසා අලාභය සිද්ධ වුණාද? මා නිවැරැදිව සිතන්න පුරුදු වෙන්නේ කෙසේද? නිවැරැදිව තීරණ ගන්න පුරුදු වෙන්නේ කෙසේද? මට අවශ්‍යය පුහුණුව හෝ මඟ පෙන්විම නැති නිසාද? කුමන ඌණතාවක් නිසාද, මගේ චින්තනයේ දුර්වලතා මතුවෙන්නේ කෙසේද, සිතා තමන් දැනුම සහ කෞෂල්‍යය ඇතිකර ගත යුතුයි.
අප චින්තනය නිවැරැදි කරනොගත්තොත් අලාභ බහුල වෙයි. ඒ නිසා පුද්ගලයා චින්තනයේ අඩුපාඩු සකසා ගත යුතුයි. තමන් කතා බහ කිරීමේදී යම් ද්වේශයක් මතුවීම, තමන්ගේ රැකියා ස්ථානයේ සේවකයන් අහිමි වෙන්නේ ඇයි? පාඩු විඳින්නේ , අන් අය තමන් සමඟ අමනාප වන්නේ, ඥාති හිත මිත්‍රාදීන් තමන්ට අහිමි වෙන්නේ තමන්ගේ කීර්තිය අහිමිවන්නේ තමන්ගේ වදන් පෙළෙහි කුමන දෝෂයක් නිසාද? අපේ කටවරද්දා ගැනීම කෙසේ සකසා ගත යුතුද? යනුවෙන් සිතා බැලිය යුතුයි.
මේ සඳහා තමන් දායකත්වය දෙන්නේ කෙසේද? චින්තනයේ ,වචනයේ ක්‍රියාවද, තීරණ ද නොඑසේනම් කුමන පැතිකඩකින් මා දුර්වල වුණාද? එය අලාභයට කෙසේ බලපාන්නේදැ’යි ප්‍රත්‍යවේක්ෂා කර බැලිය යුතුයි.
ඊළඟ කාරණය කර්ම ශක්තියයි. සොබාදහමෙන් හෝ අනුන්ගෙන් බාධා පැමිණීමෙන් යම් සිතුම් පැතුම් සංකල්පනා මතුවුණත් තමන්ට යමක් අහිමි වීමෙන් අලාභයක් ඇතිවීමේ කර්ම බලපවත්නේ කෙසේද? යනුවෙන් අප විමසා බැලිය යුතුයි. ගංවතුර, පෑවිල්ල, හදිසි ගිනි විපත්, නායයාම් ආදී සොබා දහමෙන් අලාභය සඳහා සාධක එකතු වුණේ කෙසේද? චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම වශයෙන් අලාභයට හේතු කාරණා වුණේ කෙසේද? යනුවෙන් පරීක්ෂා කර බැලිය යුතුයි.
අනුන්ගේ පැත්තෙන් විමසා බැලීමේදී රැකියා ස්ථානයක නම් සේවකයන් දැනුවත්කර නිවැරැදි පුහුණුවක් ලබා දිය යුතුයි. මේ සියලු පහසුකම් සපයා තිබියදී ඔවුන් අතින් තවත් පාඩු සිදු වුණොත් තදින් අවවාද ලබා දී අනතුරු ඇඟවීම් කළ යුතුයි. සේවකයන්ගෙන් තව දුරටත් අලාභ සිදු වෙනවා නම් ඔවුන් සේවයෙන් පහකර වෙනත් සේවකයෙකුගෙන් අලාභය පියවා ගනියි.
නමුත් තමන්ගේ නිවසේ සැමියා, බිරිඳ, දරුවන්ගෙන් යම් යම් අලාභ සිදු වුණත් ඒ අය නිවසින් පිටමං කරන්නේ නැහැ. ඔවුන් සමඟ හැකිතාත් මිත්‍රශීලීව සහයෝගය ලබාගෙන වඩා ඵලදායී ලෙස මේ සියලු කටයුතු සිදු කරයි.
එසේනම්, අලාභය වෙනස් කිරීමට තමන්ට මතුවූ තත්ත්වයට ඔරොත්තු දෙන පරිදි මනස සකසා ගත යුතුයි. ගෙයක් දොරක් නම් සුදුසු පරිසරයක ඉදිකළ යුතුයි. තමන්ට මතුවන ගැටලු තනිව විසඳා ගැනීම අපහසුනම් සුදුසු පුද්ගලයෙක් මඟින් ධර්මානුකූලව විිෂයට අනුකූලව අවශ්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
අවසාන වශයෙන් තමන් සතු දේ විනාශවීම, තමන්ට අලාභ පාඩු සිදුවී දුක් විඳින්නේ යම්කිසි කර්ම ශක්තියක් තමන් සතු නිසයි. එයට හේතුව සසර ගමනේ අනුන් සතු දේ අප සොරකම් කර, අනුන් සතු දේ විනාශකර, අනුන්ට ජීවත් වෙන්න තිබෙන ඉඩකඩ අසුරා තිබීමයි.

බුදුහාමුදුරුවෝ අපට වදාළේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට යම් දෙයක් දීමට පොරොන්දුවී පසුව නොදී සිටීම සසර ගමනේ ආයෝජනයන්ගේ නිසි ඵල නොලැබීමට හේතුව ලෙසයි. අන් අයගේ අපේක්ෂා කඩා බිඳදා යමක් දෙන බවට පොරොන්දු වී නොදීසිටීමෙන් අකුසල කර්ම අප සිදු කර තිබෙන්න පුළුවන්. එබඳු අකුසල කර්ම යටපත් කරන්න මා විසින් කළ යුතු කුසල් මොනවාදැ’යි නුවණින් කල්පනා කිරීම අත්‍යවශ්‍යයයි. නැති බැරි අසරණයන්ට යම් දේ පරිත්‍යාග කිරීමෙන් , යම් දෙයක් තිබී අහිමිවී පීඩාවට පත් වූ පුද්ගලයෙකුට උදවු කිරීමේ කුසලයන් සිදු කිරීමට අප අධිෂ්ඨාන කළ යුතුයි. තමන්ට අලාභ සිද්ධ නොවී සුවසේ ජීවත්වන්න, ලද සම්පත් සංරක්ෂණය කරගන්නත්, ආයෝජනය කරන දෙයින් නිසිඵල ලබන්නටත්, තමන් අපේක්ෂා කරන දෙයින් යහපත් දේ සමෘද්ධිමත් වන්නටත් තෘප්තිමත්ව ජීවත්වී අලාභයක් නොවෙන්ට සංසාර ගමන කුසල් දහම් සිදුකිරීමට අධිෂ්ඨාන කිරීම වැදගත්. එලෙසයි, අප බෞද්ධයෙක් ලෙස අලාභ කාරණාවට මුහුණ දිය යුත්තේ.


පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමවාසී, 
ශාස්ත්‍රපති
කුකුල්පනේ සුදස්සි හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළ අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 16 වන ඉරිදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment