Labels

Sunday, July 2, 2017

කළ යුතු දේ සුදුසු කල්හිම කරන්න


තරුණ වියේ ප්‍රඥාව මෙහෙයවා මොනතරම් දේ කළ හැකිද? එහෙත් සමහර තරුණ පිරිස් බලා සිටින්නේ සියල්ල ඉබේ ලැබෙනතුරු ය. තමන්ගේ දියුණුවට කටයුතු කළ යුතු වන්නේ තමන්මය. කිසිවක් ඉබේ ලැබෙන්නේ නැත. උත්සාහවන්ත විය යුතු ය. තරුණ විය කුසීතව ගෙව්වේ නම් මහලු වියේ දුක් විඳින්නට සිදුවේ. "

උට්ඨාන කාලම්හි අනුට්ඨහානො
යුවා බලි ආලසියං උපෙතො
සංසන්ත සංකප්ප මනො කුසීතො
පඤ්ඤාය මග්ගං අලසොන වින්දති

පින්වත්නි,
ශක්ති සම්පන්න තරුණ වියේ සිටියද, උත්සාහයෙන් ක්‍රියා කළ යුතු කල්හි උත්සාහවත් නොවන්නා වූ කුසීත පුද්ගලයා ප්‍රඥාවෙන් ලැබිය යුතු ආර්ය මාර්ගය නොලබන්නේ ය.
මෙම ගාථාව දේශනා කිරීමට හේතුවක් වූයේ දෙව්රම් වෙහෙරේ ජීවත් වූ එක්තරා භික්ෂුවකි. උන්වහන්සේ නමින් පධානකම්මිකතිස්ස නම් වේ. සම්බුද්ධ දේශනාව ඇසූ උන්වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ පන්සිය නමක් සමඟ පැවිදි උපසම්පදාව ලැබූ සේක. අනෙක් සියලු දෙනා තමාට අභිමත යම් කමටහනක් ලබාගෙන බවුන් වැඩීම සඳහා වනගත වුව ද මෙම භික්ෂුව බුදුන් වහන්සේ වැඩ වාසය කරන දෙව්රම් වෙහෙරෙහිම උන්වහන්සේට උපස්ථාන කරමින් වැඩ සිටියහ.
අනෙක් භික්ෂූන් වහන්සේ පන්සිය නම වස් කාලය අවසන් වූ වහාම බුදුන් වහන්සේ බැහැ දැක්කාහ. උන්වහන්සේ අර්හත් භාවයට පත්ව සිටියහ.
බුදුන් වහන්සේද උන්වහන්සේ සමග ඉතා කුළුපගව සාකච්ඡාවේ යෙදී සිටින අයුරු දැක උන්වහන්සේට මෙබඳු සිතක් පහළ විය. ‘මෙපමණ කලක් මා මෙහි වාසය කළද මා සමඟ මෙවැනි ආකාරයට කුළුපග වීමක් ඇති වූයේ නැත. මුන් වහන්සේලා සමග කුළුපගව කථිකා කරන්නේ මොවුන් උන්වහන්සේ වදාළ මාර්ගයේ ගමන් කර ඇති නිසා වන්නට ඇත. යනුවෙන් සිතා උන්වහන්සේද වහා එතැනින් පිටත්ව ගොස් භාවනා කොට අර්හත් භාවයට පත් වූ සේක. මෙම සිදුවීම හේතු පාදක කරගෙන ඉහතින් වූ ගාථාව දේශිතය.
මෙම ගාථාවෙන් පැවසෙන කරුණු අපේ ජීවිතය හා සම්බන්ධ කිරීමට උත්සාහ ගනිමු. අපේ හිතට නිරන්තරයෙන් එන හැඟීමක් නම් මේ වැඩේ මට කරන්න බැරිවෙයි, මේ කරන දෙයින් හොඳ ප්‍රතිඵලයක් විඳින්න බැරිවෙයි ආදී වශයෙන් එන සෘණාත්මක හැඟීම් සමුදායයි. පුද්ගලයෙකුගේ ජීවිතය පරිහානියට පත් කිරීමට මේ සිතිවිල්ල ප්‍රබල සාධකයක් බව නොකිවමනාය. අපගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වන්නේ අන් කිසි දෙයක් නොව උත්සාහවත් බවයි. බැරිකම, මැලිකම, කළයුතු වැඩය පමා කිරීම ආදී දේ නිසා අපේ ජීවිත අයසට පත්වන බව අපටම යම් යම් අද්දැකීම් ආශ්‍රයෙන් හඳුනාගත හැකි වේ.
ළමා කාලයේ දී කළ යුතු නිසි ක්‍රියාවන් නොකර අද වන විට නිරපරාදේ කල් යවන උදවිය ඕනෑතරම්. ඔවුන්ගෙන් අපේ ජීවිතවලට ගත හැකි සාරයක් නැති වුවත් ඔවුන් ජීවිතය වරද්දාගත්තා සේ අපද ජීවිතය වරද්දා ගැනීම නොකළ යුත්තකි. ඔවුන්ට වැරදුනු හේතුව මනාව දැන ඒ මගෙන් ඈත් වීමයි බුද්ධිගෝචර උදවිය කළ යුතු දේ වන්නේ.
බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේ උදෙසා දේශනා කළ එක් සූත්‍ර ධර්මයක් තමයි දසධම්ම සූත්‍රය කියන්නේ. මේක භික්ෂූන් උදෙසා දේශනා කළත් ගිහි ජීවිතය සරු කර ගන්න හේතු වන අදහස් රැසක් මෙහි අඩංගු වනවා ඒකේ එක් ස්ථානයක තියෙනවා ‘තමා කළ කී දෑ පිළිබඳව රාත්‍රියේ සයනයට ගිහින් නැවත විමසා බලා අඩුපාඩු සකසා ගන්න’ කියලා. කම්මැලිකම කුසීතකම වැඩ පමා කිරීම ආදී දේවල් දියුණුවන පුද්ගලයාගේ ලක්ෂණ නොවෙයි. ඔහු බලාගෙන සිටියදීම පරිහානියට පත් වෙනවා.
කම්මැලිකමෙන් ජීවත් වුණොත් අපට මොනවාද ලැබෙන්නේ. අපට ලැබෙන දේවල් කිහිපයක් බුදුහාමුදුරුවෝ පෙන්වා දී තියෙනවා. ඒවා තමයි කාමවිතර්ක, ව්‍යාපාද විතර්ක සහ විහිංසා විතර්ක කියන්නේ.
කාමවිතර්ක කියන්නේ කාමය ගැන පහළ වන හැඟීම්. කාමයට ලොල් වෙන්න ගියහොත් ඉක්මනින්ම අපේ ජීවිත විනාශ වෙනවා. කාමභෝගී ජීවිත ගත කළත් ඉතාම පරිස්සමින් ජීවත් වීම වැදගත්. කාමය කියන්නේ ඉතා භයානක හැඟීමක්.
කාමවිතර්කවලට වඩා අතිශයින් භයංකර තවත් හැඟීමක් තමයි ව්‍යාපාද විතර්ක කියන්නේ. ව්‍යාපාදය කියන්නේ අකුසලයක්. අනුන් නැසේවා කියන හැඟීමෙන් යුතුව කටයුතු කිරීමයි ව්‍යාපාදයෙන් වෙන්නේ. මෙම ලක්ෂණයෙන් යුක්ත තැනැත්තා මේ සමාජයට භීතිය ගෙන දෙන්නෙක්. තමාළඟ සිටින දෙමාපියන්, සහෝදරයින්, ඥාතීන් කියන මේ හැම දෙනාම අයසකට පත් කරන්නෙක් තමයි ව්‍යාපාද විතර්කයෙන් යුක්ත තැනැත්තා. ව්‍යාපාදය ඇති වන්නේ කම්මැලිකමෙන් ජීවත් වන තැනැත්තාට කිව්වොත් ඔබ ද එයට එකඟ වේවි. මොකද නිරන්තරයෙන් වැඩ කරන අයට අනුන් ගැන සිතීමට වේලාවක් ඉතිරි වන්නේ නැහැ.
තෙවැනි කාරණාව තමයි විහිංසා විතර්ක කියන්නේ. ව්‍යාපාදය වගේම විහිංසාවත් අනෙකාගේ ජීවිතය විනාශ කරන පුද්ගල මනෝභාවයක්. අනෙකා තලා පෙලීමට ඇති කැමැත්ත තමයි මෙයින් කියවෙන්නේ. මේ ලෝකයේ ජීවත් වන පණ ඇති සියල්ලෝම නිදහසේ තමා කැමති විදියට ජීවත් වීමට ආශා කරනවා. ඔවුන් දඬුවමට බියයි.
එසේ හෙයින් මෙම සිතිවිල්ල ඇති වීමම අනෙකා නැසීමට කටයුතු කිරීමේ මූලික අඩිතාලමයි. මෙවැනි සිතිවිලි පහළ වන්නේ කම්මැලිකමෙන් යුක්තව ජීවත් වීම නිස යි.

අප ජීවත් විය යුත්තේ ලෞකික දිවිය ගැන සිතා සහ විශේෂයෙන් ලෝකෝත්තර විමුක්තිය සිහි තබා ගෙනයි. හැකි සියලු අවස්ථාවලදීම පුණ්‍යක්‍රියා කුසලක්‍රියා සිදු කිරීමට වෙහෙස ගත යුතුයි. මේ ලබාගත් මනුෂ්‍ය ආත්මය සාර්ථක කර ගැනීමට වෙහෙසෙනවා විනා විනාශ කර ගැනීමට කටයුතු නොකළ යුතුයි.


බිබිල යල්කුඹුර 
මො / ශ්‍රී විද්‍යානන්ද පිරිවෙණේ පරිවෙණාධිපති 
රාජකීය පණ්ඩිත 
පදියතලාවේ ඤාණවිමල හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් අවඅටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූනි 17 වන සෙනසුරාදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment