බුදු දහමේ උගන්වනු ලබන්නේ එම දුකෙන් නිදහස් වීමේ මාර්ගයයි. උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං බුදුරජාණන් වහන්සේලා උපන්නත් නැතත් මේ ලෝක ස්වභාවය වන දුක ඒ ආකාරයෙන්ම ලෝකයෙහි පවතී.
හැඩ වැඩ ලස්සන ජීවිතයක් අවබෝධයෙන් ගතකරමින් නිවන් දැකීමට යුහුසුළු වීම බෞද්ධයාගේ අරමුණ විය යුතුබව බුදු දහමෙහි සඳහන් වෙයි.සෑම බෞද්ධයෙකුම තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් ප්‍රාර්ථනා කරමින් සංසාරයෙහි ගමන් කරයි. එසේ යන ගමන කිසියම් මොහොතක නිවනින් නිමා වෙයි.බුද්ධත්වය ලබාගැනීම හෝ පසේ බුද්ධත්වය ලබාගැනීම හෝ මහරහත් බව ලබාගැනීම බෞද්ධයෙකු තුළ තිබෙන උදාරතර අරමුණයි. එම අරමුණ මනසේ තබාගෙන සියලු කාර්යයන් කරනු ලබයි. මහරහතන් වහන්සේලා එම අරමුණ තබාගෙන සංසාරයෙහි ගමන් කළ ආකාරය බණ පොතෙහි සඳහන් වෙයි.
සැරියුත් මුගලන් දෙනම එම තනතුරු බලාපොරොත්තුවෙන් සමාජයට යහපත් දේ කරමින් සංසාරයෙහි ගමන් කළ අයුරු පැහැදිලියි.එදා සමාජයෙහි යම් තනතුරක් බලාපොරොත්තු වූ පිරිස් තමාගේ දැනුමෙන්,තමාගේ ශ්‍රමයෙන්, තමාගේ ධනයෙන් සමාජයට යහපතම සිදු කර ඇති ආකාරය බුදු දහමෙහි විග්‍රහ වෙයි. එම යහපත විසින් එම තනතුරු ලැබී ඇති ආකාරයත් එවැනි ආකාරයෙන් තනතුරු පතාගෙන පැමිණි පිරිස් නිවන් දුටු ආකාරයත් බුදු දහමෙහි සඳහන් වෙයි. මනුෂ්‍යධර්ම තිබෙන පුද්ගලයන්ට ආගමක් අවශ්‍ය වන්නාසේම අවබෝධාත්මක පුද්ගලයාට ආගමික අනන්‍යථාවය පිළිබඳ වැටහීමක් පවතී. බුදු දහමෙහි, බුදු දහමට අනන්‍ය කාරණා අන්තර්ගත වෙයි. අනෙක් ආගම්වලද එම ආගම්වලට අනන්‍යවන භෞතික සාරධර්ම වස්තූන් අන්තර්ගත වෙයි. එම භෞතික සාරධර්ම වස්තූන් මිශ්‍ර කළ පමණින් ආගමික සමඟියක් ඇති නොවෙයි. ආගමික සමඟියක් ඇතිවීමට අවබෝධපූර්වක විය යුතුයි.
සංසාරගතව යන ගමනේදී අපට පෙර මියගිය පුද්ගලයා සංසාරයෙහි නැවත අපට මුණ ගැසෙන බව බුදු දහමෙහි සඳහන් ඉගැන්වීමක්. එක එක ආත්මභවයන්හි විවිධ පුද්ගල චරිත ලෙස හමුවෙනවා මිස මේ භවයේදී හමු වූ අම්මා ලබන භවයෙහිදීත් අම්මා ලෙසම හමුවේවිද කියා ප්‍රකාශ කළ නොහැකියි. ඇතැම් විට සහෝදරියක් හෝ ලේලි වශයෙන් හෝ වෙනත් ආකාරයකින් හමුවේවි. සංසාරික හමුවීම පමණක් ස්ථිර වශයෙන් ප්‍රකාශ කළ හැකියි. සිත රිදෙන ආකාරයෙන් වචනයක්වත් කතා නොකළ යුතු බවත් , සතෙකුටවත් හිංසා නොකළ යුතු බවත් බුදු දහමෙහි සඳහන් වන්නේ තමාට හමුවී ඇති මනුෂ්‍යයා ගිය ආත්මභවයන්හි තමාගේ අම්මාද ,තාත්තාද ,සහෝදරියද, සහෝදරයාද, කියා ප්‍රකාශ කළ නොහැකි නිසයි. තමන් තමන්ට අවනත විය යුතු බව බණ පොතෙහි උගන්වයි. තමාගේ සිතෙහි තිබෙන මෛත්‍රිය අනුව පෙර සංසාරයේ දී කවුරුන් වශයෙන් එකට ජීවත් වූවාද කියා අප දන්නේ නැහැ. එම මරණයට පත්වූ පුද්ගලයා සංසාරයේදී අපට හමුවන නිසා ඔහු වෙනුවෙන් කැප වෙමින් සුචරිතය වැඩිය යුතුයි. නැවත ඔහු අප අතරට පැම්ණියත් , එම පැමිණීමේදී ඔහු හඳුනාගත නොහැකි වුවත්,එම හමුවීම බැඳීමක් ලෙස ගොඩනැඟෙන බව බුදු දහමෙහි උගන්වයි. පුද්ගලික ලාභ ප්‍රයෝජන, බලාපොරොත්තු නැතිව මනුෂ්‍යයන් මනුෂ්‍යයන් අතර බැඳීම් ගොඩනැඟෙන්නේ එම කාරණය නිසයි. ධර්මයෙහි උගන්වන එම උදාර සංකල්ප ආත්මාර්ථකාමී අවිචාරවත් ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීම වැරැදියි. බලාපොරොත්තු නැතිව සමීපකම් ගොඩනැඟී තිබෙන ආකාරය පිළිබඳ අටුවා පොත්වල සඳහන් වෙයි.
යශෝධරා කුමරියත්, සිද්ධාර්ථ කුමරාත් ආත්ම ගණනාවක සිට පැමිණෙන හමුවීමක්.ධර්මයෙහි උගන්වන එම සංකල්ප ගැඹුරු නිසාම ඒවා ඒ ආකාරයෙන්ම වටහා ගත යුතුයි. එම බැඳීම කිසියම් ගනුදෙනුවක් මත ගොඩනැඟෙනවා නම්, සංසාරගත බැඳීමක් ලෙස විග්‍රහ කළ නොහැකියි.ගංජා,මත් කුඩු, මත් වතුර වැනි නීතිවිරෝධි ක්‍රියාවල යෙදෙන පිරිස් අතර සමීප සම්බන්ධකම් ගොඩනැඟුනත් එවැනි සම්බන්ධකම් පිළිබඳව මෙයින් ප්‍රකාශ වන්නේ නැහැ. සංසාරයෙහි අපට හමුවන ඇතැම් පුද්ගලයන් සමඟ බැඳීම් සම්බන්ධකම් ගොඩනැගුණත් ,ඇතැම් පුද්ගලයන් දකින විටම රුචිකත්වයක් ඇති නොවෙයි. ඇතැම් පුද්ගලයන් දැක නැතිවත් කටහඩ ඇසෙන විටත් තරහවක් පැමිණෙයි.මනුෂ්‍යයන් පිළිබඳ උපේක්ෂාව, දයාව, කරුණාව, මෛත්‍රිය සමඟ කිසියම් දෙයක් සමාජය තුළ ගොඩනැඟෙයි. ඇතැම් පුද්ගලයන් කතා නොකර, උදව් නොකර ලෙන්ගතු වෙයි. පුද්ගලික ලාභ ප්‍රයෝජනවලින් තොරව පවතින එම තත්ත්වයන් සංසාරගත සම්බන්ධකම් ලෙස බණ පොතෙහි විග්‍රහ වෙයි. එම සම්බන්ධකම් සමඟ පින් දහම් කරමින් , මල් පූජා කරමින් , තුන්දොර සංවර කරගනිමින් නිවන් දැකීම සඳහා යන ගමනේ උදාර අරමුණු වෙනුවෙන් ඒකරාශී වන්නේ එම සමාජයයි. ඔවුන් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් ප්‍රාර්ථනා කරගෙන පින්කම් කරමින් සංසාර චාරිකාවෙහි යෙදෙයි.
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ පොසොන් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජුනි 23 වන සිකුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment