‘සන්තින්ද්‍රියෝ’ නම් ශාන්ත වූ ඉඳුරන් ඇති බවය. දෑමුනු ඉඳුරන් ඇති බවය. එසේත් නැති නම් ඉඳුරන් සංවරව ආරක්ෂා කරගෙන ඇතැයි යන අර්ථ දෙන්නේ ය.
අපේ ඇසට, කනට, නාසයට, දිවට හා ශරීරයට විවිධ අරමුණු හමුවේ. ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් ඒ අරමුණුවල ඇලෙනවා නම්, ගැටෙනවා නම් ඉඳුරන් නොසන්සුන් වේ. දමනය නොවේ. ඒ අරමුණු අවබෝධයෙන් හඳුනාගෙන ඒවායෙහි නො ඇලෙනවා නම්, නොගැටෙනවා නම් අපගේ ඇස සන්සුන් වේ. කන සන්සුන් වේ. සියලු ඉඳුරන් සංවර වේ. ඒ ශාන්ත බව, සංවර බව භික්ෂූන් වහන්සේට පමණක් නියම වූවක් නොවේ. ගිහි ජීවිතයේ ශික්ෂණයටද, හික්මීමට ද හේතු වේ.
මිනිසා යැයි කියන්නේ ඉන්ද්‍රිය සයක එකතුවකි. ජීවත් වීම යනු ඒ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වයයි. අක්‍රිය වූ දාට ජීවිතයේ පැවැත්මක් නැත.
බුදුරජාණන් වහන්සේ පන්සාළිස් වසක් පුරා දේශිත ශ්‍රී සද්ධර්මය කැටිකොට දක්වන්නට කීවේ නම් මේ ඉඳුරන් සය ආරක්ෂා කරගන්නා ආකාරය යැයි පෙන්නුම් කළ හැකිය. වැරැදි ආකාරයට, දූෂ්‍යවන, කිළිටිවන ආකාරයට ඉන්ද්‍රිය ක්‍රියාත්මක කරන්නේ නම් මේ සංසාරයේ කෙළවරක් දැකිය නො හැකිය. රෝදයක් කරකැවෙනවා සේ කැරකි කැරකී සසරේ ගමන් කරන කෙනෙකු බවට පත්වේ. ඒ පුද්ගලයා සතර අපායේ ද, මිනිස් ලොවෙහිද, දිව්‍ය ලෝකයේ ද, ආදී ලෙස ඉපදෙමින්, මිය යමින් සසර සැරි සරනු ඇත. සතර අපාය අපමණ දුක් වේදනා ගෙන දේ. මිනිසුන් ලෙස ඉපදුණ ද දුකෙහි අඩුවක් නොවේ. මේ බිය උපදවන සංසාරය නම් වූ දුක් ගොඩෙන් නිදහස් වන්නට නම් ඇස රැක ගත යුතු ය. කන, නාසය, දිව, ශරීරය, මනස රැකගත යුතු ය. අවබෝධයෙන්, සතියෙන් හා ප්‍රඥාවෙන් ඒ ඉන්ද්‍රිය මෙහෙය විය යුතු ය. ඒවායෙහි වහලෙකු බවට පත් නොවිය යුතු ය.
එහිදී ඇලීම් හා ගැටීම් ඇතිවන ආකාරය නිවැරැදිව වටහා ගැනීම වැදගත් වේ. ඇසට පි‍්‍රය රූපයක් දකින විට අපි ඒ දෙස ආශාවෙන් බලා සිටිමු. ආස්වාදයක් ලබමු. නැවත, දකින්නට, පෙළඹෙමු. ඉන් ද නොනැවතෙමු. එය ළං කර ගන්නට උත්සාහ කරන්නෙමු. මේ ස්වභාවය අරමුණෙහි ඇලීමයි. උත්සාහය අසාර්ථක වූයේ නම් ප්‍රතිඵලය දුක්ඛදායක ය. ආශා කරන දේ නො ලැබීමෙන් බලාපොරොත්තු කඩ වූ ස්වභාවයට පත් වේ. සිතට අසහනය ගෙන දේ. ඇතැම් විට අන්‍යයන් හා අඬ දබර ඇති වේ. සිය දිවි නසා ගැනීම් පවා සිදුවේ. ඒ ඇස නම් වූ ඉන්ද්‍රිය අනවබෝධයෙන් ක්‍රියාත්මක කිරීමේ ඵලයන් ය.
අපේ කන් දෙකෙන් දවසකට මොන තරම් නම් අකුසල් රැස් කර ගන්නවාද? මොහොතක් සිතන්න. අසල්වැසියා ලොකු, ගෙයක් හදනවා නම් සමහර කෙනකුට එය ඉවසන්නට නොහැකිය. ඊර්ෂ්‍යා සිතිවිලිවලින් දැවෙන්නේ ය. අන් අය සමඟ ද ඒ සිතිවිලි බෙදා හදා ගන්නට යන්නේ ය. ‘කුමටද මෙපමණ ලොකු ගෙයක්’ කොහොම සල්ලි හම්බ කරල ද දන්නේ නෑ. යි විවිධ දේ කියන්නේ ය. නොදැනුවත්වම මේ සිදු කරගන්නේ කුමක්ද? ඒ නිවස දකින මොහොතක් පාසා පව් රැස් කර ගැනීම ය. අනවශ්‍ය බරකින් සිත පෙළීමය. රෝගාබාධයන්ට ගොදුරු වීමය. කොපමණ ඊර්ෂ්‍යා කළත් ඒ නිවෙස ගොඩනැඟීම නවතන්නේ ද නැත. ඵලය මානසික පීඩනය ඇතිකර ගැනීම ය. අකුසල් රැස් කර ගැනීම ය. අනවශ්‍ය ප්‍රශ්නයක් නිසා මෙලොව දුක් ගොඩක් කර ගැනීම ය. පරලොව ද දුකට පත්වීම ය.
මෙසේ ඇලීම්, ගැටීම් ඇති නොවන සේ සිත සංවර කර ගන්න. අනුන්ගේ දේ තමන්ට ප්‍රශ්නයක් කර ගන්නේ කුමටද? ඒ දෙස අවංක හදවතින්, සතුටින් බලන්නට පුරුදු වෙන්න. එසේ කළ හැකි නම් ඔබ බොහෝ පුණ්‍යවන්තය. සතුටින් බලන මොහොතක් පාසාම ඔබගේ සිත පින් උල්පතක් බවට පත්වන්නේ ය. මේ ලෙසම රාගයෙන්, තණ්හාවෙන්, වෛරයෙන් තොරව ලෝකය දෙස බලන්නට පුරුදු වන්න.
කපුටා උදෑසනම අවදිවන පක්ෂියෙකි. එහාට පනිමින්, මෙහාට පනිමින් නාද කරන මේ පක්ෂියා කරන්නේ ම කුණු ගොඩවල් ඇවිස්සීමය. ඒ කුස පුරවා ගන්නටය. සමහර මිනිස්සු ද අනුන්ගේ කුණු ගොඩවල් අවුස්සති. ඒ සිත පුරවා ගන්නටය. අනුන්ගේ ඇද කුද, අඩුපාඩු වගතුග ගැන සෙවීමටය. ඒ කන අසංවරව, හැසිරවීමකි. කනින් පව් පුරවා ගැනීමකි.කන හොඳ දේ ශ්‍රවණයට ම යොමු කරවන්න. පිරිත් දේශනයකට, ධර්ම දේශනයකට ඇහුම් කන් දෙන්න. යහපත් කතා අසන්න. පින් රැස් කරගන්නා උල්පතක් කර ගන්න.
නාසය ගඳ සුවඳෙහි ඇලීම් ඇති කරයි. ගැටීම් ද ඇති කරයි. දිව ප්‍රවේශමෙන් හසුරුවන්න. රස පසුපසම යනවා නම්, රසයෙහිම ඇලෙනවා නම් දිව අසංවරය. තමන්ට යහපතක් නොවන අනුන්ට ද අයහපත් කිසිම වචනයක් මුවින් පිට නොකරන්න. බොරුව, වංචාව, රැවටීම, කේළම් සේ ම අන් සිත රිදවන වචන නො කියන්න. එවැනි දේ නෑදෑ හිතමිතුරන් භේද කරවයි. අසල්වැසියන් භේද කරවයි.
මත් පැනට, මව්පිය දූදරු අසමගිකමට ආදී බොහෝ දේට කට මුල් වේ. මේ නිසා දිව නම් වූ ඉන්ද්‍රිය අවබෝධයෙන් හසුරුවන්න.
ගවයා අලුත් තණ සොයමින් ඇවිදින්නා සේ අලුත්, අලුත් ස්පර්ශයන් හි ඇළීම මිනිසාගේ ස්වභාවයයි. ඊට මුල අනවබෝධයයි. කරුණාව, දයාව, මෛත්‍රිය පෙරදැරි කරගන්න. ඔබේ සිත දවන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ලෝභ ආදී ක්ලේෂයන්ට වසඟ නොවන්න. ඒ කෙලෙස් ධර්මවලට වහල් නොවන්න. සුවඳවත් හදවකින් ලොව දකින්න. සන්සුන් ඉඳුරන් ඇත්තෙකු වන්න. කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනය කිරීමේ අරමුණ විය යුතු වන්නේ ඒ ගුණධර්ම ප්‍රගුණ කරනා බවට, ජීවිතයට සමීප කර ගන්නා බවට තමන් තුළ අධිෂ්ඨානයක් ඇති කර ගැනීමයි.
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රීමූර්ති මහා නා හිමි
මෛත්‍රීමූර්ති මහා නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ඇසළ පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 01 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment