Labels

Saturday, July 8, 2017

සම්මා සංකප්ප ( නික්මීමේ අරුත වැටහෙන්නේ ප්‍රඥාවන්තයාටයි )

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දෙවන මාර්ගාංගය සම්මා සංකප්පයි. එය, මිථ්‍යා සංකල්පනාවෙන් වැළකී, සොඳුරු නිවන් මඟ සලසාලන, කෙලෙස් දුරු කිරීමට උපකාරවන සංකල්පනාවකි.
නිවන් දකිනවා යනු කෙලෙස් තැවීමයි. සිත කිළිටි කරන,සිත අඳුරු කරන, සිතේ ශක්තිය විපරීත කරන ස්වභාවය කෙලෙස් වෙයි. කෙලෙස් ධර්ම දුරු කිරීම සඳහා නිවැරැදිව දැකීම මෙන්ම නිවැරැදිව සිතීම ද කළ යුතුයි.
බොහෝ මිනිසුන් විසින් තමන් රුචි කරන දෙය හෝ, සමාජයේ තමන්ට උරුම වී තිබෙන්නා වූ සංසාරික පුරුදු සිදු කරනු ලබයි. ජීවිතයේ ඇබ්බැහිවීම්, පෙළඹවීම්, රුචි අරුචිකම් මත පිහිටා අපේ චිත්ත සංකල්පනාවන් නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙයි.
අප සිතන ආකාරය, විතර්ක චෛතසිකය (නිවැරැදිව හසුරුවා ගැනීම) ලෙස අභිධර්මයේ සඳහන් වෙයි. විතර්ක චෛතසිකය කෙලෙස් අරමුණු ඔස්සේ විතර්ක කිරීම මිථ්‍යා සංකල්පයි. කුසල ආරම්මණය පදනම්ව කුසල් වැඩෙන සේ විතර්ක සිදුවීම සම්මා සංකප්පයි. මෙය නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප යනුවෙන් ත්‍රිවිධාකාර වෙයි.
නෙක්ඛම්ම සංකප්ප යනු කාමයන්හි නිසරු බව තේරුම් ගෙන නික්මීමයි. නෙක්ඛම්ම රසය වැටහෙන්නේ ප්‍රඥාවන්තයාට පමණයි. සංස්කාර ධර්මයන්ගේ නිසරු බව , අර්ථ ශූණ්‍ය බව ප්‍රඥාවෙන් වටහාගෙන අත්හැරීම නෛෂ්ක්‍රම්‍යයයි. මෙය පරිස්සමින් වටහා ගත යුතු කාරණාවකි. අද බොහෝ දෙනා තුළ කාම සංකල්පනාවන් දෝරේ ගලති. ඉන් සිදු වන්නේ සමාජයේ පැවැත්ම දෙදරා යාමයි. ඇතැම් අය බිරිඳ හෝ සැමියා, ද්‍රව්‍ය, ගේ දොර, ආගම, දන්දීම ආදී භෞතික දේ අත්හැර දමති. තෘෂ්ණා උපාදානයෙන් නොහොත් කාම සංකල්පනාවන්ගෙන් නිදහස් වීම යනු ද්‍රව්‍ය, පුද්ගලයෝ එසේ තිබියදී ඇතිවන වැරැදි හැඟීම් දුරු කිරීම නොහොත් තෘෂ්ණා උපාදානයෙන් නිදහස් වීමයි. එනම්, ලෝකයේ භෞතික දේ තිබියදී අප සිතන ආකාරය , අප විතර්ක කරන ආකාරය වෙනස් විය යුතුයි. බුදුන් වහන්සේ දේශනා කර වදාළේ ප්‍රශ්න විකෘති නොකර පැවැත්මෙහි ස්වභාවය හඳුනාගෙන එය නවත්වන ක්‍රමයයි.

තමන්ගේ පැවැත්ම නැවැත්මෙන් ලෝකයාට අනතුරක් නැහැ. භෞතික දේ තෘෂ්ණාවෙන් උපාදානය නොකර මනසේ ඇතිවන වැරැදි වැටහීම් දුරු කරගැනීම නෛෂ්ක්‍රම්‍ය සංකල්පනාවයි. සංස්ඛාර ධර්මයන්ගේ අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, අසාර බව වටහා ගැනීම සැබෑ නෛෂ්ක්‍රම්‍යයයි.
අප දුකෙන් නික්මීමට වෑයම් කළ යුතුයි. දුක්ඛ ලක්ෂණය සහ දුක්ඛ වේදනාව වෙනස් වෙයි. දුක්ඛ වේදනාව යනු සිතට, ගතට දැනෙන වේදනාවයි. දුක්ඛ ලක්ෂණය යනු වහා කැඩී බිඳී යන නිසා, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා නිසා, නැවත නැවත නඩත්තු කළ යුතු නිසා, කොපමණ නඩත්තු කළද අවසානයේ ඵලයක් නොලබන නිසා සංස්කාර ධර්මයන්ගේ නිසරු බව නුවණින් තේරුම් ගැනීමයි.

සමස්තයක් වශයෙන් සංස්කාර ධර්මයන්ගේ ඇලෙන්නට, බැඳෙන්නට, උපාදානය කරන්නට දෙයක් නැති බව නුවණින් වටහා ගෙන ඒවායෙන් මනස නිදහස් කරගැනීමේ හැකියාව නෙක්ඛම්ම සංකප්පයි. ඒ සඳහා යම්තාක් අප නැවත කල්පනාවෙන් සිටිනවාද, විතර්ක කරනවාද එය නෙක්ඛම්ම සංකප්පයි.
දෙවැන්න අව්‍යාපාද සංකප්පයි. මෙහි ප්‍රතිවිරෝධය වන්නේ ව්‍යාපාදයයි. එය ද්වේශ මූලික වෙයි. ද්වේශය සහ කෝපය මතු පිටින් නොපෙන්වා, අනෙකාගේ විනාශය, පරිහානිය අපේක්ෂා කිරීම ව්‍යාපාදයයි. එයට විරෝධී බව අව්‍යාපාදයයි. එනම් මෛත්‍රී සහගත බවයි. ව්‍යාපාදයෙන් අන්‍යයන්ගේ විනාශය අපේක්ෂා කළත් මෙත්තාවෙන් අන්‍යයන්ගේ අභිවෘද්ධිය අපේක්ෂා කරයි. තෘෂ්ණා මූලික අපේක්ෂා නොමැතිව, අන්‍යයන්ගේ අභිවෘද්ධිය පතා තමන් කායිකව හා මානසිකව කැප විය යුතුයි. එසේ නොකිරීමට තමන්ට අවස්ථාව නොලැබීමෙන් දුක ඇතිවෙනවා නම් එතැන ඇත්තේ මෛත්‍රී සංකල්පනාව නොවන තෘෂ්ණා මූලික බලාපොරොත්තුවක්. නිදසුනක් ලෙස සෑම මවකටම තම දරුවා කෙරෙහි ඇත්තේ මෛත්‍රිය සහගත තෘෂ්ණාවක්. මෙසේ පහළ වන රාග අපේක්ෂාවන් නිසා උපාදානය මතු වෙයි. තමා අපේක්ෂා කරන දරුවාගේ යහපත සිදු නොවීමෙන් මවකට දුකක් ඇතිවුණොත් එතන ඇත්තේ තෘෂ්ණා මූලික බලාපොරොත්තුවකි. එය මෛත්‍රී මනෝභාවය ලෙස හඳුන්වන්නට බැහැ. අව්‍යාපාද සංකල්පය යනු මෛත්‍රී සහගතව අනුන් ගැන සිතන දැක්මයි.

තෙවැන්න අවිහිංසාවයි. ව්‍යාපාදය ඉක්මවා හිංසා කිරීමට පෙළඹවීමට ප්‍රතිවිරුද්ධ සංකල්පය අවිහිංසා සංකල්පයයි. එනම් යමෙක් දුකට පත්ව ඇත්නම් කරුණාවෙන්, දුකෙන් මුදා ගැනීමයි. නමුත්, කෙනෙකුගේ දුකේදී නොඇලී, තමන් මනසින් වික්ෂිප්ත නොවී, දුකට පත්වූ පුද්ගලයා දුකෙන් මුදා ගත යුතුයි. මහා කාරුණික බුදු පියාණෝ සියලු සත්ත්වයන්ගේ දුක හමුවේ නොසැලී සිටිමින් අන්‍යයන්ගේ දුකට පිහිට වූ අයුරු සුවිශේෂී වෙයි.
ඇතැමෙකු අතපය නැති අසරණයන්ට භෞතික වශයෙන් කරුණාව උපදවන්න පුළුවන්. නමුත්, අත, පය ඇති භෞතික වශයෙන් පිරිහීමක් නොමැති මනසින් වැටුණු පුද්ගලයාට කරුණාව නොදක්වන්නේ කෙනෙකුගේ සිතේ මතුවන ඊර්ෂ්‍යාව නිසයි.

එහෙත්, ප්‍රඥාවන්තයා අතපය ඇති මනසින් පීඩා විඳින පුද්ගලයාගේ සහ අතපය නොමැති අසරණයාගේ දුක තේරුම් ගෙන කරුණාව උපදවා ගනියි. මෙසේ සියලු සත්ත්වයෝ දුකෙන් මුදාගන්නා සෞම්‍ය හැඟීමෙන්, අන්‍යයන්ගේ දුක හමුවේ අකම්පිතව, ප්‍රඥාවෙන් විකසිත වූ බුදුන් වහන්සේ දෙව් ,බඹුන් විඳින දුක පවා නිබඳවම තේරුම් ගත්තා.
මෙසේ කෙලෙස් දුරුකරන්නට, කුසල් වඩන්නට, නිවන් දකින්නට උපකාරවන නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප ත්‍රිවිධාකාරය ‘සම්මා සංකප්ප’ නමින් බුදු දහමෙහි දෙවන මාර්ගාංගය ලෙස වදාළා.


පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමවාසී, 
ශාස්ත්‍රපති
කුකුල්පනේ සුදස්සි හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍ඇසළ පුර පස‍ෙ‍ළාස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජූලි 08 වන සෙනසුරාදා දින   බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment