පාලකයෙකුට, නායකයෙකුට ඉතා සාර්ථකව එම ආයතනයන්, ගම්, ජනපද පාලනය සඳහා අවශ්‍ය ම ගුණධර්ම දහයකි. ඒ දසරාජධර්ම නම් වේ. තමන්ගේ ආයතනය, රට තුළ සමගිය, සාමය, ආරක්ෂාව, සහජීවනය පවත්වාගෙන යාම පිළිබඳ ව නායකයාට විශාල වගකීමක් වේ. පාලනය, යනුවෙන් අදහස් වන්නේ එයයි. පටු සීමා ජාති, ආගම්, කුලභේදය නායකයෙකුට සුදුසු ගුණයන් නොවේ. භේදයකින් තොරව දසරාජ ධර්මයන්ට අනුව නායකත්වය ක්‍රියාත්මක වන්නේ නම්, එතන දියුණුවක් නිර්මාණය වේ.
එම රාජ ධර්ම මෙසේ ය.
1. දානය,
2. සීලය
3. පරිත්‍යාගය,
4. සෘජු බව
5. මෘදුබව
6. තපස
7. අක්‍රෝධය
8. අවිහිංසාව
9. ක්ෂාන්තිය,
10. අවිරෝධතාව යනුවෙනි.
දියුණුව උදෙසා නායකත්වය
දානය හෙවත් පරිත්‍යාගය පාලකයා විසින් සිදුකළ යුත්තකි. සීහනාද, කූටදත්ත වැනි සූත්‍රවල දී මෙය අවධාරණය වේ. තම රටේ මෙන් ම තම ආයතනයේ කටයුතු කරන පිරිස් උදෙසා අවශ්‍ය දේ ලබාදීම සිදුකළ යුතු වේ. ඔවුනගේ මූලික අවශ්‍යතා සුබසාධන කටයුතු පිළිබඳව උනන්දුවීම අවශ්‍ය ම ය. එසේ නොමැති වූ විට ජිවිත අපේක්ෂාවන් හීන වීම නිසා විවිධ නොකටයුතුකම්වලට ඔවුන් පෙළඹීමට හැකි ය. එය රටක්, ආයතනයක් වශයෙන් ගත්කළ සුබවාදී නොවේ. පරිත්‍යාගයේ දී ඔවුන්ගේ අවශ්‍යතාවය පිළිබඳ ව සොයා බැලිය යුතු අතර කථාකරන භාෂාව, ජනවර්ගය පිළිබඳ නොසෙවිය යුතු වේ. බඩගින්නට, ආහාර, ලෙඩට බෙහෙත් මෙවැනි දෑ සියල්ලන්ට ම පොදුය. සිංහල බඩගින්න දෙමළ බඩගින්න, මුස්ලිම් බඩගින්න ලෙස නොසිතිය යුතු ය. ලෙඩ දුක් ගත් විට ද එසේම ය.
ලෙඩ ලෙඩ නාමයෙන් හඳුන්වනවා මිස ජාති ආගම් නාමයෙන් හඳුන්වන්නේ නැත. පරිත්‍යාගය අක්‍රමවත්වීමේ දී විසඳාලිය නොහැකි ගැටුම්, ඇතිවීම ස්වාභාවික ය. අශෝක රජු සියලු රටවැසියන් තමන්ගේ දරුවන් ලෙස සලකා අවශ්‍යතා ඉටු කළහ. රටක් කරවන පුද්ගලයා ගෝත්‍රික නායකයෙක් ලෙස නොසිතිය යුතු ය. ලොකු කුඩා,දුප්පත් පොහොසත්, පක්ෂ විපක්ෂ සියලු දෙනා ම සුඛිත මුදිත කිරීම ඔහුගේ කාර්ය භාරයයි.
උචිත දේ සහ අනුචිත දේ
පාලකයා නිරන්තර ව කය වචන සංවර කරගත් කෙනෙකි. ඔහු එසේ සංවර නොවුණහොත් අනුගාමිකයන්ද අසංවර වේ. එසේ අසංවර වීම නිසා නීතිය අධිකරණය පිළිබඳ තැකීමක් ඇති නොවේ. තම බලවත් බව අනෙකාට පීඩා ගෙනදීමට සමත් ය. සුළු කොටස් නිරන්තර ව පීඩාවට පත්වීම නිසා වෛරය, ද්වේෂය, පළිගැනීම නිර්මාණය වේ. ඒ තුළ ජාති ආගම් ගැටුම් නිර්මාණය විය හැකි ය. මේ නිසා සාමය සමගිය ඇති කිරීමට නම් සීලය අවශ්‍ය වේ. ඝාතන, සොරකම් කිරීම් අසංවරව පංචකාමය සෙවීම පාලකයාට අනුචිත ය. ලෝක ඉතිහාසයේ එවැනි පාලකයන් විනාශ වූ අවස්ථා ඉතා සුලබ ය. පාලන තන්ත්‍රයේ දී ඒ ඒ රටවල් තුළ ඇති චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදායන් මෙන් ම ඒ ඒ ආගම් ජාතීන්ට සුවිශේෂී චාරිත්‍ර වාරිත්‍ර ඇත. මේ පිළිබඳ නායකයා සංවේදී විය යුතු වේ. සෑම පුංචි කාරණයක දී ම කිපී, ඉවසීමෙන් තොරව කටයුතු කිරීමට නායකයෙකුට නොහැක. ඒ සඳහා ගිහි පැවිදි භේදයක් නැත. අසත්‍ය ප්‍රකාශ කිරීම, කේළම් කීම, සිත් රිදවන වචන කතා කිරීමෙන් නාකයන් ඉවත්වීම වැදගත් ය. සාමය, සමගිය සහජීවනය රැකෙනුයේ එවැනි වට පිටාවක ය.
කැපවීම හා කැපකිරීම
නායකයාගේ කැපවීම සහ කැපකිරීම පරිත්‍යාගය යි. නායකයෙක් යනු ජයග්‍රහණ පසු පස හඹා යන්නෙක් නොවේ. ඔහුගේ ජීවිතයේ සුවිශේෂී කැපකිරීම් සිදු කළ යුතුව ඇත. එනම් ධනය, කාලය, ශ්‍රමය, දැනුම, සැප පහසුව නිරන්තර ව කැප කිරීමට සූදානම් විය යුතු ය. තමන්ගේ, තම දරු රුවන්ගේ හෝ සමීප මිනිසුන්ගේ සුඛ විහරණය පිළිබඳ පමණක් නොසිතිය යුතු ය. එසේ වීමේ දී මහජනතාව මෙන් ම බුද්ධිමත් ප්‍රජාව නොසන්සුන් වේ. එහි ප්‍රතිඵලය වන්නේ අනවශ්‍ය ගැටුම් කෝලාහල නිර්මාණය වීම ය. එය රටක ආයතනයක ආර්ථික දේශපාලනික අස්ථාවරත්වයට හේතු වේ. විවිධ අදහස් මතවාද සහිත පිරිස් සමඟ ගනුදෙනු කිරීමේ දී මේ පිළිබඳ සැලකිළිමත් වීම වැදගත් ය. කොහේ කොතනක සිටියත් ජනයාගේ සුභසිද්ධිය වෙනුවෙන් කාලය කැප කිරීමට නායකයාට හැකියාව තිබිය යුතු ය. තම පාලකයා එසේ කැප කිරීම් සිදුකරනවා යැය ජනයාට ඒත්තු ගිය විට ඔවුන් ද තම රටට, ආයතනයට ආදරයෙන් තම ශක්ති ප්‍රමාණයෙන් කැපකිරීම් සිදුකිරීමට දෙවරක් නොසිතයි. එසේ නායකයන් කැපකිරීම් නොකරන විට ඔවුන් පිළිබඳ ආදරය ගෞරවය හීන වී යයි. දෙපක්ෂය අතර විරසක ඇතිවීමේ දී නැතිවී යන්නේ සහජීවනයයි. එහෙයින් පාලක ගුණයන් අතර පරිත්‍යාගය උත්තුංග ගුණයකි.
කියන දේ හා කරන දේ
සෘජු ගුණය පාලකයා සතුවිය යුතු ය. එනම් කියන දේ සහ කරන දේ අතර පරස්පරතා නොමැති වීමයි. එසේ වීම තුළ පාලිතයන්ට පාලකයන් පිළිබඳ විශ්වාසය ඇතිවේ. සෘජු බව නැති වන්නේ ඥාතීන්, පක්ෂයන්, ඇතැම් උපදේශකයන්ගේ සිත් සතුටු කිරීමට යාම නිසාවෙනි. එසේ ම ඔවුනගේ අනිසි බලපෑම් නිසාවෙනි. නීතියට සදාචාරයට පිටින් යම්යම් දේ සිදුකරනුයේ බලය නැමැති සාධකය නිසාවෙනි. පාලකයෙක් තුළ සෘජු ගුණයන් ඇතිනම් විවිධ උපදේශකයන්ගේ වැරදි උපදෙස් ක්‍රියාත්මක කිරීමට නොයයි. ක්‍රියාත්මක කොට එය වැරදුණුවිට එම තත්ත්වයන් ආගම හෝ ජාතිය පදනම් කරගනිමින් සාධාරණීය කරගත නොහැක. පාලකයෙකුට ආගමක් අවශ්‍ය වන්නේ වඩා හොඳින් පාලනය මෙහෙයවීම සඳහා ආධ්‍යාත්මය සකසා ගැනීමට මිස තම පව් සමා කරවා ගැනීමට නොවේ. එහෙයින් තීන්දු තීරණ ගැනීමේ දී වඩා නිවැරැදි, සෘජු, දෙලොව යහපතට හේතුවන තීන්දු ගැනීම වැදගත් ය. නිවැරැදි නොවන තීරණ නිසා සමාජය කැළඹීමට පත්ව අනවශ්‍ය ගැටුම් ඇතිවේ. ඒ නිසාම සමාජයේ තිබිය යුතු සාමය, සමගිය, සහජීවනය අතුරුදහන් ව වෛරය, ක්‍රෝධය පළිගැනීම අසහනය අසතුට නිර්මාණය වේ.
සංවේදී බව
මෘදු බව හෙවත් සංවේදී නම්‍යශීලී ගුණය තීන්දු තීරණ ගැනීමේ දී වැදගත් ය. නීති රීති, අණපනත් ගෙන ආයුත්තේ ජනයාගේ සුබ සිද්ධියට ය. කෙතරම් නීති රීති තිබුණත් සමාජ සාධාරණත්වය පිළිබඳ සැලකිළිමත් වීම අවශ්‍ය ය. දඬුවම් ඇතත් ඒවා ක්‍රියාත්මක කිරීමේ දී වඩා ප්‍රවේශම් විය යුතු ය. වරදකරු කවුද නොව, වරද කොතනද යන බව අවබෝධ කරගත යුතු ය. යම් යම් තීරණ ගැනීමේ දී අඩියක් දෙකක් පස්සට ගැනීම නිවටකමක් නොවේ. සැබෑ නායකයා ජනතා අදහසට කන් දෙමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ පමණක් කළ යුතු ය.
රටක වැදගත් ම පිරිස පාලිතයන් ය. නීති රීති තිබිය යුත්තේ ඔවුනගේ යහපත වෙනුවෙනි. ඇතැම් දෑ ක්‍රියාත්මක කිරීමේ දී අඩුපාඩු පෙනේ. එහි දී එය සකසාගත යුතු ය. ජනතා මතයට පමණක් නොව තම අනෙක් නිලධාරීන්ගේ අදහස් පිළිබඳව ද සැලකිලිමත් වීම අවශ්‍ය ය. තම වුවමනාවන් සියල්ලන්ගේ ම අවශ්‍යතාවන් යැයි සිතා තීන්දු තීරණ නොගත යුතු ය. ජාති, ආගම්, තරුණ, මහලු වශයෙන් ගත්විට අවශ්‍යතාවයන්ගේ වෙනස්කම් ඇත. මෙය තේරුම්ගෙන කටයුතු කිරීම මෘදු බවයි.
සංවරශීලී චාම් ජීවීතයත් ගත කිරීම තපසයි. අධි සුඛෝපභෝගී ජීවිත ගත කිරීම පාලකයන්ට නුසුදුසු ය. අධික සැපසම්පත් පසුපස හඹා යාමේ දී රටේ දියුණුව අඩාල වේ. පාලකයන් යනු රටක අයිතිකාරයන් නොව තාවකාලික භාරකරුවන් පිරිසකි. එය තේරුම් නොගෙන මහජන දේපළ අයුතු ලෙස පරිහරණය කිරීමේ දී ජනතාවගේ පිළිකුලට හේතුවේ. එය පාලන තන්ත්‍රය අතින් ගත් කල සුබවාදී නොවේ. අධික ආශාවන් සහිතව කටයුතු කිරීම තුළ සල්ලාලයන්ට, බේබද්දන්ට, පාලකයාට නැමීමට සිදුවේ. මෙහි ප්‍රතිඵලය වන්නේ සමාජ සාධාරණත්වය අගයන නීති ගරුක මිනිසුන් පාලනය පිළිබඳ අසතුටට පත්වීමයි.
තරහ, ක්‍රෝධ නොගෙන මිනිසුන් නොතලා රාජ්‍ය විචාරීම උතුම් ගුණයකි. එය දසරාජ ධර්මයන් හි අක්‍රෝධයයි. පාලකයා සහ පාලිතයා අතර තිබිය යුතු වන්නේ පිය පුතු සබඳතාවකි. මහා සුදස්සන සූත්‍රයේ දී මෙය අවධාරණය කළහ. අසෝක රජු මෙය සෙල්ලිපි ගත කළේ ‘සවේ මනුස මම පජා’ වශයෙනි. පාලකයන් තම ජනයා දෙස බැලිය යුත්තේ තරහකාරයන් වෛරකාරයන් දෙස බලන්නාක් මෙන් නොවේ. රට වැසියන්ගේ ක්‍රියාවන් පිළිබඳ උපේක්ෂාවෙන් බැලීම අවශ්‍ය ය. එසේ නොමැතිව තම බලය අනවශ්‍යලෙස යෙදවීමට සූදානම් වුවහොත් මහජන කැළඹීම් වැඩි වී මනුෂ්‍ය ඝාතන පවා සිදුවේ. එය පාලකයාට සුබවාදී නොවේ. එසේ ම සුහදත්වය පලුදු වී තම නායකකම් පවා අහිමි වේ. හිංසාවෙන් පීඩාවෙන් තොරව කටයුතු කිරීම අවිහිංසාවයි කෲරත්වය භීෂණය පිටු දැකීමට නායකයන් වගබලා ගැනීම වැදගත් ය.
වරදට දඬුවම පලිගැනීම නොවේ.
වරදට දඬුවම අවශ්‍ය මුත් පළිගැනීම නුසුදුසු ය. එකට එක කිරීම පාලකයන්ට නුසුදුසු ය. වරදට දඬුවම් ලබාදුන්නේ යැයි මධ්‍යස්ථ නීතිගරුක මිනිසුන් රජුට එරෙහි නොවේ. දඬුවම, පළි ගැනීම ලෙසවත්, පළිගැනීම දඬුවම ලෙසවත් අර්ථවිවරණය නොකළ යුතු ය. වරදට දඬුවම් ලබා දුන්න ද වරදකරුවන් නොවූ පිරිස්වලට දඬුවම් ලබාදීම අනිසි කැළඹීම්වලට හේතුවක් වේ. ක්ෂාන්තිය හෙවත් ඉවසීම නායකයෙකුට අත්‍යවශ්‍ය ය. රටක ජනයා විවිධ අදහස් ඇති, විවිධ ආගම් අදහන, ජාති ගෝත්‍ර අනුව වෙනස් පිරිසකි. ඔවුන්ගේ අවබෝධය, අධ්‍යාපනය, බුද්ධිය, රුචි අරුචි බව අසමාන වේ. එසේ ම ආකල්ප කුසලතාවයන් වෙනස් වේ. එහෙයින් ඔවුනගේ අදහස් උදේඝෝෂණ, ඉල්ලීම්, සංස්කෘතික ලක්ෂණ පිළිබඳ ඉවසීමෙන් අධ්‍යයනය කළ යුතු ය. මේ පිළිබඳ නොසැලකිලිමත් වුවහොත් සාමකාමී පරිසරය නැතිවී යයි.
විවේචනයේ දී සතුටුවීම
තම මතයට පටහැනි මත දැරීමේ දී එය ඉවසීම අවිරෝධතාවයි. තම මතය පිළිබඳ විවේචන එල්ලවීමේ දී පාලකයා ඒ පිළිබඳ සතුටු විය යුතු ය. ඔහු නසනවා වෙනුවට රැකිය යුතු ය. එසේ කළ යුතු වන්නේ ඒ අදහස, තමාට නිවැරදිවීමට අවශ්‍ය බැවිනි. ප්‍රතිවිරුද්ධ අදහස් ඇති වූ විට නොසන්සුන්වීම අනුචිත ය. ඉතා සරල ව පහසුවෙන් විසඳාගත හැකි දෑ නොසන්සිඳෙන ප්‍රශ්න බවට පෙරළෙන්නේ විරෝධතා නො ඉවසීම තුළිනි. මෙම රාජ ධර්ම යම් රටක, ආයතනයක ආරක්ෂා වන්නේ නම් අසහනය දුරු වී සාමය සහජීවනය ආරක්ෂා කරගත හැකි ය.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වප් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 සැප්තැම්බර් 28 වන බ්‍රහස්පතින්දාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment